The Leader News
BREAKING
Top Ad
Opinion

ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු රජය සහ මධ්‍යගත වාමාංශික පක්ෂ ආකෘතිය තුළ ජන බලවේගයේ අනාගතය | Athulasiri Samarakoon

T

The Leader Desk

April 9, 2026 • 8:00 AM

ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු රජය සහ මධ්‍යගත වාමාංශික පක්ෂ ආකෘතිය තුළ ජන බලවේගයේ අනාගතය | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Image: Shehan Gunasekara
  • නමුත් එම සංධානය පක්ෂමය සංධානයක් නොකර ගනිමින්, බහුජන අරගල ක්‍රියාකාරීන්, විවිධ රාජ්‍ය නොවන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, ප්‍රජාතන්ත්‍රවාදී, ලිබරල්, වාමාංශික කොටස්, විවිධ කලා, බුද්ධිමය, වෘත්තික බලවේග සහ පුද්ගලයන් ගේ සංධානයක් බවට පත්කෙරිණ.
  •  අවසන, ජන බලවේගය "2022 අරගල පසුබිමේ ඇතිවූ දැවැන්ත ජනතා නැගී සිටීම හරහා 2024 වන විට රාජ්‍ය බලයට පැමිණ, මෙරට නිර්ප්‍රභූ කොටස් බහුතරයක් නියෝජනය කරන පාර්ලිමේන්තු බලය සහ විධායක බලය ලබාගනී.
  • අද ජන බලවේග රජය මුහුණ දෙන අභියෝග අභ්‍යන්තර දේශපාලන අභියෝග, භාහිර අන්තර් ජාතික අර්බූද හා එම බලවේගයේ ප්‍රකාශිත දැක්ම සහ එහි ප්‍රායෝගිකත්වය අතර පවතින දයලෙක්තික සම්බන්ධතාවයක් ලෙස වටහාගත හැක.
අකුරු ප්‍රමාණය (Font Size):

 ජන බලවේගය නිර්මාණය කිරීමේ සමස්ථ යටිතල පහසුකම සහ නියමු නායකත්වය ජනතා විමුක්ති පෙරමුණ බව පොදුජන දැනුමට එක්ව හමාරය.

නමුත් එම සංධානය පක්ෂමය සංධානයක් නොකර ගනිමින්, බහුජන අරගල ක්‍රියාකාරීන්, විවිධ රාජ්‍ය නොවන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, ප්‍රජාතන්ත්‍රවාදී, ලිබරල්, වාමාංශික කොටස්, විවිධ කලා, බුද්ධිමය, වෘත්තික බලවේග සහ පුද්ගලයන් ගේ සංධානයක් බවට පත්කෙරිණ. එය ජවිපෙ සම්ප්‍රදායික චින්තන රාමුව වෙනුවට නව මාක්ස්වාදී-ප්‍රජාතන්ත්‍රවාදී චින්තනයක් හරහා සංකල්පීයකරණයවූ ආයතනික- සංවිධානමය ආකෘතියක් සහ අන්තර්ගත දර්ශනයක් - දැඩිව දූෂණ විරෝධය සහ සම්ප්‍රදායික පක්ෂ, ප්‍රතිරූප වන්දනීය දේශපාලන විරෝධී අදහස් වලින් පෝෂණය වූවකි.

 නමුත් එහි මූලික ප්‍රතිවිරෝධය නිර්ධන - ධනපති ප්‍රතීඝතා අක්ෂය හරහා සිදු නොවුන අතර එනයින්ම විජේවීර සහ මාක්ස්-ලෙනින්වාදී සම්ප්‍රදායට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික සහ ජනරජවාදී (රිපබ්ලිකන්) දේශපාලනයට නැඹුරු වූවකි.

NPP 260129

ජන බලවේගය මන්දගාමීව ආරම්භ වූවත්, ආරම්භයේ පක්ෂ කාඩරයට විශාල බරක් දැරීමට සිදුවූවත්, එය පැවති පාලන තන්ත්‍රයන් ප්‍රතික්ෂේප වීමේ සීග්‍රතාවයට සාපේක්ෂව දැවැන්ත ජනගතවීමකට ලක්විය. ජනාකර්ශණයක් ලැබීය. ජවිපෙ වෙනුවට ජාජබය ඉදිරියට පැමිණි අතර, ආරම්භක වාම ලිබරල්, ජනරජවාදී ආකෘතිය, ලිබරල් සිවිල් සමාජීය, ස්ත්‍රීවාදී, පරිසරවාදී, දූෂණ විරෝධී මතවාද ද පරයා 'ජාතික දේශප්‍රේමීත්වයක්' කරා වර්ධනයවී, සමස්ථ ජාතිකවාදී සිංහල බෞද්ධ එකගතාවය සහ රණවිරු ජාතිකවාදී කොටස්වල ආශිර්වාදය ලැබිණ.

 අවසන, ජන බලවේගය "2022 අරගල පසුබිමේ ඇතිවූ දැවැන්ත ජනතා නැගී සිටීම හරහා 2024 වන විට රාජ්‍ය බලයට පැමිණ, මෙරට නිර්ප්‍රභූ කොටස් බහුතරයක් නියෝජනය කරන පාර්ලිමේන්තු බලය සහ විධායක බලය ලබාගනී.

අද ජන බලවේග රජය මුහුණ දෙන අභියෝග අභ්‍යන්තර දේශපාලන අභියෝග, භාහිර අන්තර් ජාතික අර්බූද හා එම බලවේගයේ ප්‍රකාශිත දැක්ම සහ එහි ප්‍රායෝගිකත්වය අතර පවතින දයලෙක්තික සම්බන්ධතාවයක් ලෙස වටහාගත හැක. ආර්ථිකමය ලෙස ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය සඳහා යාන්ත්‍රිකව මෙන් ක්‍රියාත්මක වෙයි. කලාපීයව ඉන්දීය හෙජමොනියට ආශිර්වාද කරන සූහදශීලිත්වයක පිහිටයි. ජාත්‍යන්තරව ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය හා එහි ගෝලීය බලපෑම විවේචනය කරනු වෙනුවට උපායික මධ්‍යස්ථ භාවයට අවතීර්ණ වී ඇත.

 

CEB protest

ජන බලවේග ආණ්ඩුව දේශීයව ඇතිවූ පාරිසරික කාලගුණික අර්බූදයන් කලමණාකරනය, විදුලි බල මණ්ඩලය වැනි ආයතන පෞද්ගලීකරණය ආදී ගැටළු වලදී දැඩි ලෙස ප්‍රශ්න කිරීමට සහ විවේචනයට ලක්ව ඇත. එසේම එහි ඇමතිවරු පිළිබඳ විශේෂයෙන්ම වෙළද, පාරිභෝගික, බල ශක්ති කේෂ්ත්‍රයේ විශාල විවේචන ගොනුවී ඇත. අධ්‍යාපන ප්‍රතිපත්තිය ජාතිවාදී ප්‍රහාරයකට ගොදුරු විය. බල ශක්ති සැපයුම පිළිබඳ ගැටළුවට වර්තමානයේ මුහුණ දෙයි. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ප්‍රමාදවී ඇත.

බංකොලොත් රටක බලය ලබාගැනීමට ජන බලවේගය ඉදිරිපත් කල ප්‍රතිමානීය දේශපාලන එළඹුම් අදවන විට ප්‍රායෝගික දේශීය, ගෝලීය, පාරිසරික සහ සංස්කෘතික අර්බූදයන් විසින් පරීක්ෂාවට සහ තර්ජනයට භාජනය වී ඇත. නමුත් එම සියලු තත්වයන් තුළදීත් ජවිපෙ විසින් කේන්ද්‍රීයව ජාජබය බලපෑමට ලක් කරමින් එහි දේශපාලන ව්‍යූහය ආධිපත්‍යයට ගන්නා බවක් පෙනෙයි.

 

election rally

මෙහිදී මතුවන ප්‍රධාන ගැටලූවක් විය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය සහිත ආණ්ඩුවක් සමග වාමාංශික පක්ෂයක් විසින් පවත්වාගෙන යන අදියුරු බලය හරහා ප්‍රජාතන්ත්‍රවාදීව එම බලවේගය, ආණ්ඩුව පරිවර්තනයට හා ගැටීමට ලක්වී නව ශක්තියක් බවට පත්වීම කොතෙක් දුරට උත්ප්‍රේරණය කරන්නේ ද නැතිනම් දුෂ්ප්‍රේරණය කරනවාද යන්නයි.

ජවිපෙ විසින් ජාජබ ආකෘතිය බලය ලබාගැනීමට පමණක් ප්‍රයෝජ්‍යතාවදී ආකාරයෙන් භාවිතා කළා නම්, සහ අද පක්ෂය කේන්ද්‍රීය තීරකයා වන්නේ නම්, පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය තුළ ගමන් කරන ආණ්ඩුවක ඉදිරි පැවැත්ම සම්බන්ධයෙන් අනුගමනය කරන උපායික දැක්ම කූමක්ද? එවැන්නක් පවතීද? එවැන්නක් ඇති කරගතයුතු නම් එය කරන්නේ කෙසේද?


Athulasiri Samarakoon
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)

Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo


smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...