විශේෂයෙන් යුද්ධය, ජාතිකත්වය සහ ස්වයං තීරණ අයිතිය වැනි කරුණු ආශ්‍රිතව රචිත කෘති, හුදු කලාත්මක නිෂ්පාදන නොව, සමාජ මතකය හා දේශපාලන අර්ථකථනයන් බිහි කරන නීයෝජිතත්වයක් (agency) ලෙස ක්‍රියා කරයි.
මෙම පසුබිම තුළ දීපචෙල්වන්ගේ කෘතිවලට එල්ලවී ඇති වාරණය හෝ පරීක්ෂණයට ලක් කිරීම හුදු පාලන තීරණයක් ලෙස නොව, මෙරට ජාතික ගැටළුව තවදුරටත් ජීවමාන බව පෙන්වන දේශපාලන සංඥාවක් ලෙස කියවිය යුතුය.
ආරක්ෂක අමාත්‍යාංශ දෘෂ්ටියෙන් සාහිත්‍ය කියවීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක්
මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ, මෙම කෘතිවල අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය හෝ හමුදාව සම්බන්ධ කර ගැනීමයි. මෙය සාමාන්‍ය පරිපාලන ක්‍රියාවක් ලෙස සැලකිය නොහැක.
ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක, හමුදාව යනු රාජ්‍යයේ ආරක්ෂාවට වගකිවයුතු ආයතනයකි. එය අදහස්, කලාව, හෝ බුද්ධිමය නිෂ්පාදන විමර්ශනය කරන ආයතනයක් නොවේ. එවැනි කාර්යයන් හමුදාවට භාරදීම, සමාජයේ බුද්ධිමය ක්ෂේත්‍රය ද “ආරක්ෂාව” පිළිබඳ ප්‍රශ්නයක් ලෙස පරිවර්තනය කිරීමකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික වටිනාකම්, විශේෂයෙන් අදහස් වල නිදහස සහ ජනරජවාදී පාලනය—අඩපණ කරන ක්‍රියාවකි.
ශ්‍රී ලංකාව මූලධර්මවාදී (fundamentalist) රාජ්‍යයක් නොවේ. එය ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකි. ඒ අනුව, සාහිත්‍ය කෘති සම්බන්ධයෙන් ඇතිවන ගැටළු විසඳීමට වඩාත් සුදුසු වන්නේ අධිකරණ පද්ධතිය, ස්වාධීන බුද්ධිමය මණ්ඩල, සාහිත්‍ය විචාරකයින් සහ අධ්‍යාපනික ආයතන භාවිතා කිරීමයි.
එම ආයතන වෙනුවට හමුදාව හෝ ආරක්ෂක යන්ත්‍රණය යොදා ගැනීම, රාජ්‍යය නැවතත් “ජාතික ආරක්ෂක රාජ්‍යයක්” බවට පත් වීමේ ලක්ෂණයක් ලෙස දැකිය හැක.
වාරණය හා වෛරී කථනය: සීමාව කුමක්ද?
පරමාදර්ශීයව සලකා බැලූ විට, සාහිත්‍ය කෘති වාරණය කළ යුත්තේ ඉතා සීමිත අවස්ථාවලදී පමණි. විශේෂයෙන්, සෘජු වෛරී කථනය (hate speech) සහ ප්‍රචණ්ඩත්වය උත්ප්‍රේරක කරවන අන්තර්ගතය ප්‍රධාන වෙයි. දීපචෙල්වන් එවැනි සෘජු වෛරීය කථනයක් භාවිතා කරන ජාතිවාදී සාහිත්‍ය කරුවකු නොවෙයි. එය සාහිත්‍ය සමාජයට අවබෝධවන සත්‍යයකි.
එවැනි අවස්ථාවන් හැර, යුද්ධය, ජාතිකත්වය, හෝ ස්වයං තීරණ අයිතිය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීම වාරණයට ලක් නොවිය යුතුය. ඒවා සමාජයේ පවතින බල අසමතුලිතතාව, වේදනාවන් සහ දේශපාලන අභිලාෂයන් පිළිබඳ ප්‍රකාශනයන් වන අතර, ඒවා අවහිර කිරීමෙන් ගැටළුව විසඳෙන්නේ නැත—එය තවදුරටත් ගැඹුරු කරයි.
දකුණේ දේශපාලනය සහ ජාතිවාදී භීතිය
මෙම ගැටළුව තුළ දකුණේ සිංහල සමාජයේ පවතිනවාය කීයන භීතියද අවබෝධ කරගත යුතුය. මෙහිදී “ඒකීය රාජ්‍යය” යන පරිකල්පිත අදහස බොහෝවිට බහුතරවාදී රාජ්‍යයක් ලෙස අර්ථකථනය වන අතර, උතුරේ පවතින පවතින පරිකල්පනය වෙනස් දේශපාලන රාජ්‍යයක් බව පැහැදිලිය. එම පරිකල්පිත රාජ්‍යයන් අතර සාම්‍යයක් සහිත එක්සත් රාජ්‍යයක් සඳහා සාහිත්‍ය කරුවාගේ හෘද සාක්ෂියට ඉඩ දිය යුතුය.
ඒ නිසාම, එවැනි කෘති නිදහස් කිරීම දකුණේ ජාතිවාදී කොටස් විසින් දේශපාලන අවි ලෙස භාවිතා කිරීමට ඉඩ ඇත. නව ආණ්ඩුව, විශේෂයෙන් අනූර කුමාරගේ නායකත්වය අද මෙම උභතෝකෝටිකයට මුහුණ දෙයි: කල යුත්තේ අදහස් ප්‍රකාශනයේ නිදහස රැකීමද? නැත්නම් ජාතිවාදී දේශපාලන ප්‍රහාර වලින් වැළකීමද?
බුද්ධිමය ප්‍රතිචාර: කල්පනා ඇම්බ්‍රෝස්ගේ ස්ථාවරය
මෙම පසුබිම තුළ කල්පනා ඇම්බ්‍රෝස් විසින් සාහිත්‍ය අණුමණ්ඩලයෙන් ඉවත්වීම වැදගත් බුද්ධිමය ප්‍රතිචාරයක් ලෙස සැලකිය හැක. එය හුදු පුද්ගලික තීරණයක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වෙනුවෙන් ප්‍රකාශිතවූ විරෝධයකි.
එවැනි ක්‍රියාවන් සමාජයට මතක් කර දෙන්නේ සාහිත්‍යය හා චින්තනය යනු රාජ්‍යයේ පාලනයට යටත් නොවිය යුතු ප්‍රදේශ බවයි.
වාරණය වෙනුවට සංවාදය
මෙම ගැටළුවට යථාර්ථවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම වන්නේ කූමක්ද? හමුදාකරණයෙන් ඉවත්වීම පළමුව අවශ්‍ය වෙයි. බුද්ධිමය ගැටළු ආරක්ෂක යන්ත්‍රණයට භාර නොදීම වැදගත්ය.
එසේම ස්වාධීන විමර්ශනයක් අධිකරණය හෝ විද්වත් මණ්ඩල හරහා සිදු කිරීම වඩා මානුෂවාදී ය.
විවෘත කතිකාවට විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් සමාජයට ඉදිරිපත්වීමට මග සැලසීම ද තවත් උපක්‍රමයකි. එසේම අධ්‍යාපනය හරහා යුද්ධය හා ජාතිකත්වය පිළිබඳ බහුදෘෂ්ටික අවබෝධයක් ගොඩනැගීම දීර්ඝකාලීන විසදුමකි.
දීපචෙල්වන්ගේ කෘති සමග මතුව ඇති ගැටළුව විසින් අපි කුමන ආකාරයේ දේශපාලන රාජ්‍යයක්ද, කුමන ආකාරයේ මානව සමාජයක්ද යන ප්‍රශ්න නැවත අප හමුවේ තබා ඇත. අපි බිය නිසා නිදහස් අදහස් පාලනය කරන සමාජයක්ද? නැත්නම් වෙනස් හා විවිධ අදහස් සමඟ ජීවත් වීමට හැකි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්ද?
සාහිත්‍යය සැමවිටම ජනතාවට හා රාජ්‍යයට අභියෝග කරයි. ඒ සාහිත්‍ය යනු මානව පරිකල්පනයේ නිර්මාණයක් වන නිසාය. පරිකල්පනය මානවයා සතු විශිෂ්ටතාවයකි. නමුත් සාහිත්‍ය යනු තහනම් කළ යුතු දෙයක් නොවෙයි: එය යම් පාර්ශවයකට තේරුම් ගැනීමට අපහසුයි කියා හෝ එය සමාජයට හානියක් කරනවා කියා හෝ හුදු ලෙස බැහැර කළ යුතු නැත. සාහිත්‍ය කරුවා කෘතියට පසු පවතින්නේ සමාජ කතිකාව තුළ නිසා දීපචෙල්වන් හෝ වෙනත් ලේඛකයකු රසවිඳීම සමාජීය ප්‍රතිපලයකි. එයට ආරක්ෂක හමුදාව බාධා නොකළ යුතුය. එසේම නිරපේක්ෂ සත්‍යක් නොමැති අතර යථාර්ථය සාපේක්ෂව භාරගත යුතුය.
දකුණේ සහ උතුරේ ගැටලුව ගැන නව පරිකල්පනයන් අපට අළුශ්‍යවෙයි, ඒවාට අප දේශපාලන සමාජයක් ලෙස ශක්තිමත්ව මුහුණදීමට බිය විය යුතු නැත. ඒ අතරතුර, ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ සැබෑ පරීක්ෂාව වන්නේ අප විසංවාදී අදහස් සමඟ ජීවත් විය හැකි පිරිසක් බව ඒත්තු ගැන්වීමට හැකිවීමයි.
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
smasa@ou.ac.lk
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)




