The Leader News
BREAKING
Top Ad
Opinion

ඇත්ත ගියත් පැත්ත ගන්නාවිට ප්‍රජාතන්ත්‍රවාදය වැළලීයාම... | Athulasiri Samarakoon

T

The Leader Desk

April 24, 2026 • 7:35 AM

ඇත්ත ගියත් පැත්ත ගන්නාවිට ප්‍රජාතන්ත්‍රවාදය වැළලීයාම... | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනමාධ්‍ය යනු සත්‍යය සරලව ප්‍රකාශ කරන යාන්ත්‍රණයක් නොව, සත්‍යය යනු කුමක්දැයි ගොඩනගන දේශපාලන ක්‍රියාවලියක කොටසකි.
  • චොම්ස්කි සහ එඩ්වර්ඩ් හර්මන් විසින් රචිත "එකගතාවය නිෂ්පාදනය" (Manufacturing Consent) ග්‍රන්ථයේ මූලික අදහස වන්නේ ජනමාධ්‍යය “නිදහස්” ලෙස පෙනී සිටින නමුත් එය ආර්ථික, දේශපාලන සහ සංස්ථාගත බලවේග මඟින් පෙරීමකට (filtering) ලක්කරනු ලබන බවයි.
  • ඒවා "මහජන සේවා” ආයතන ලෙස පැවතිය යුතු නමුත්, ව්‍යවහාරිකව බලයේ සිටින පක්ෂයේ ප්‍රචාරණ වේදිකාවක් බවට පත්වීම අපට අලුත් දෙයක් නොවේ.
  • "දෙරණ" මාධ්‍ය ජාලය දේශපාලන සම්බන්ධතා සහිත අයිතිකාරීත්වයක් සමඟ ක්‍රියාත්මක වන අතර "සියත" සහ "ස්වර්ණවාහිනී" වැනි මාධ්‍ය සමහරවිට මධ්‍යස්ථ ස්ථානයක් ගන්නා බව පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ලංකාවේ වර්තමාන මාධ්‍ය පරිසරය-රජයේ මාධ්‍ය, පෞද්ගලික මාධ්‍ය සහ සමාජ මාධ්‍ය-අතර පවතින විෂමතා, පක්ෂපාතිත්වයන් සහ විරෝධීත්වයන් සහ විරසකභාවයන් මෙය පැහැදිලිව පෙන්නුම් කරයි. සමහරවිට මෙය තේරුම් ගැනීමට සුදුසුම න්‍යායික කවුළුවක් සපයන්නේ නෝම් චොම්ස්කි විසින් ඉදිරිපත් කරන ලද මාධ්‍ය පිළිබඳ සංකල්පයන්ය.

චොම්ස්කි සහ එඩ්වර්ඩ් හර්මන් විසින් රචිත "එකගතාවය නිෂ්පාදනය" (Manufacturing Consent) ග්‍රන්ථයේ මූලික අදහස වන්නේ ජනමාධ්‍යය “නිදහස්” ලෙස පෙනී සිටින නමුත් එය ආර්ථික, දේශපාලන සහ සංස්ථාගත බලවේග මඟින් පෙරීමකට (filtering) ලක්කරනු ලබන බවයි. ඒ අනුව මාධ්‍ය අයිතිය, වෙළඳ දැන්වීම්, ප්‍රවෘත්ති මූලාශ්‍ර, ප්‍රතික්‍රියා පීඩනය සහ ප්‍රධාන අදහස් ධාරාව යන කරුණු හරහා “අනුමත කළ සත්‍යය” ජනතාව වෙත ඉදිරිපත් වේ.

media sunanda deshapriya

ලංකාවේ පවතින වත්මන් මාධ්‍ය පද්ධතිය හා භාවිතය විසින් මෙම න්‍යාය පැහැදිලි කළ හැක. රජයේ මාධ්‍ය - ජාතික රූපවාහිනිය සහ ITN වැනි ආයතන -සම්ප්‍රදායිකව ආණ්ඩුවට පක්ෂපාතීව ක්‍රියා කරයි. ඒවා "මහජන සේවා” ආයතන ලෙස පැවතිය යුතු නමුත්, ව්‍යවහාරිකව බලයේ සිටින පක්ෂයේ ප්‍රචාරණ වේදිකාවක් බවට පත්වීම අපට අලුත් දෙයක් නොවේ. අනෙක් අතට පෞද්ගලික මාධ්‍ය අතර පැහැදිලි බෙදීමක් පවතී. "හිරු" වැනි මාධ්‍ය ආණ්ඩුවට දැඩි විවේචන ඉදිරිපත් කරන අතර "සිරස" වැනි මාධ්‍ය සමහරවිට මෘදු හෝ සංයමිත ස්ථාවරයක් ගනී. "දෙරණ" මාධ්‍ය ජාලය දේශපාලන සම්බන්ධතා සහිත අයිතිකාරීත්වයක් සමඟ ක්‍රියාත්මක වන අතර "සියත" සහ "ස්වර්ණවාහිනී" වැනි මාධ්‍ය සමහරවිට මධ්‍යස්ථ ස්ථානයක් ගන්නා බව පෙනේ.

මෙවැනි තත්ත්වයකදී ප්‍රවෘත්ති වාර්තාකරණය යනු සරලව සිදුවීම් වාර්තා කිරීමක් නොව, එය රාමුගත ( framing) කිරීමකි. එකම සිද්ධියක් රජයේ මාධ්‍යයකදී ජයග්‍රහණයක් ලෙස ඉදිරිපත් විය හැකි අතර, ආණ්ඩු විරෝධී මාධ්‍යයකදී එය අසාර්ථකත්වයක් ලෙස පෙන්වයි. මෙය චොම්ස්කි පෙන්වා දෙන “manufacturing consent” ක්‍රියාවලිය සෘජුවම ක්‍රියාත්මක වන ආකාරයයි.

මෙම පසුබිම තුළ, "හිරු සහ දෙරණ" වැනි පෞද්ගලික මාධ්‍ය ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාකරමින් ජන බලවේගය වැනි දේශපාලන බලවේග පරාජය කිරීමට උදව් කරන ආකාරයක් පෙනී යාම අසාමාන්‍ය දෙයක් නොවේ. එය හුදෙක් සූත්‍රගත කරගත් කුමන්ත්‍රණයක් ලෙස නොව, හිමිකාරීත්වය ownership සහ දෘෂ්ටිමය පෙරණයන් ideological filters මඟින් ස්වභාවිකවම නිර්මාණය වන ප්‍රවණතාවක් ලෙස තේරුම් ගත යුතුය. මාධ්‍ය ආයතන තමන්ගේ අයිතිකරුත්වය, ආර්ථික සබඳතා සහ දේශපාලන සම්බන්ධතා අනුව තම ආඛ්‍යානය narrative  ගොඩනගයි.

එමෙන්ම ආණ්ඩුව විසින් රාජ්‍ය මාධ්‍ය state media සිට ආණ්ඩු government media බවට පත්කරගැනීම නවතා නැති බවද පැහැදිලිය. මෙය මහජන පරීමණ්ඩලය  public sphere තුළ සමාන අවස්ථා අහිමි කරන අතර විපක්ෂයට ලැබිය යුතු අවකාශය සීමා කරයි. චොම්ස්කි පෙන්වා දෙන මුලාශ්‍රකරණය sourcing සහ ප්‍රහාරාත්මක විමර්ශනය flak යන පෙරනයන්  filters බව මෙහිදී පැහැදිලිය-රජයේ නිල මූලාශ්‍රවලට වැඩි අවකාශයක් ලැබීමත්, විවේචනාත්මක හඬවල් සීමා වීමත් එහි ප්‍රතිඵල වේ. පෞද්ගලික මාධ්‍ය ආණ්ඩුව විරෝධය ද එලෙසම ක්‍රියාත්මකය.

TV advertesment

තවත් වැදගත් කරුණක් වන්නේ වෙළඳ දැන්වීම් සහ වෙළඳපොළ බලයයි. පෞද්ගලික මාධ්‍ය ජීවත්වන්නේ වෙළඳ දැන්වීම් මත බැවින්, විශාල ව්‍යාපාරික බලවේගවලට හෝ ආණ්ඩුවට අහිතකර වාර්තා කිරීමට සීමාවන් පවතී. එම නිසා වෙළඳ පළ ආයතන සම්බන්ධ විවේචන බොහෝවිට මෘදු “softened” ආකාරයකින් ඉදිරිපත් වේ.

එසේම ප්‍රවෘත්ති මූලාශ්‍ර ලෙස නිල මූලාශ්‍ර “official voices” මත රඳා පවතින නිසා, ජනතාවට ලැබෙන්නේ විවිධ පාර්ශවයන්ගේ සම්පූර්ණ අත්දැකීම් නොව, බලයට සමීපව සිටින අයගේ අර්ථකථන වේ. මේ හේතුවෙන් එකම සිද්ධියක් සම්බන්ධයෙන් ද්විත්ව “dual” හෝ බහුවිධ වූ යථාර්ථ ගොඩනැගෙයි. එසේම "හිරු" වැනි මාධ්‍ය සිදු කරන්නේ නිල මූලාශ්‍ර වෙනුවට "ගොසිප්" මය මූලාශ්‍ර වෙත යාම බවද එහි ප්‍රතිපක්ෂයි.

මෙම සියලු ක්‍රියාවලීන් එකට එක්වෙද්දී, සමාජය “ආණ්ඩුව” සහ “ ආණ්ඩු විරෝධය” ලෙස සරල දෙපාර්ශවයකට බෙදී යන දෘෂ්ටිකෝණයක් ගොඩනැගෙයි. එය සංකීර්ණ සමාජ-දේශපාලන සත්‍යයන් සරල ද්විපාර්ශ්වික binary ව්‍යූහයකට පරිවර්තනය කරයි.

සමාජ මාධ්‍ය විකල්පයක් ලෙස පෙනුනද, එයද algorithm, දූස්තොරතුරු සහ "(ග්‍රාහකයා කැමති දෘෂ්ටියට සේවය කරන) ප්‍රතිරාව කුටීර echo chambers" වැනි බලවේග මඟින් පෙරීමට ලක් වන බැවින් සම්පූර්ණ නිදහස් වේදිකාවක් නොවේ.

newspaper

ඒ අනුව ලංකාවේ මාධ්‍ය පද්ධතිය තුළ අප දකින්නේ එක සමාන ප්‍රචාරණ යන්ත්‍රයක් නොව, වෙනස් බලකේන්ද්‍ර කිහිපයක් අතර සිදුවන ප්‍රචාරණ තරඟයකි. එක පැත්තකින් ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය භාවිතා කරමින් තම සාර්ථකතා ඉදිරිපත් කරයි. අනෙක් පැත්තකින් පෞද්ගලික මාධ්‍ය කිහිපයක් ආණ්ඩුවේ අසාර්ථකතා උද්දීපනය කරමින් "විරෝධී" දේශපාලන ස්ථාවරයන් ශක්තිමත් කරයි.

මෙම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදයට විශාල අභියෝගයක් වෙයි. එබැවින් වැදගත් වන්නේ කුමන මාධ්‍යය නිවැරදිද යන්න තීරණය කිරීම නොව, සියලු මාධ්‍යවල පක්ෂපාතීත්වයන් හඳුනාගෙන ඒවා විචාරාත්මකව කියවීමයි. එය අද ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියෙකුට අත්‍යවශ්‍යම කුසලතාවයක් බවට පත්වී ඇත.

Athulasiri Samarakoon
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)

Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...