ජවිපෙ හෝ ජාජබයට කිසිදා විපක්ෂයේ නායකත්වය ලැබී නොතිබුණත් ඔවුන් කැපී පෙනෙන සේ විපක්ෂයේ හඩ බවට පත්වූ යුගයක් පැවතුණි. විශේෂයෙන්ම 1994 න් පසු ලංකාවේ විපක්ෂයේ ඇජෙන්ඩාව නිර්මාණය කිරීමට ජවිපෙ විශාල දායකත්වයක් ලබා දුන්න. ඒ ඇජෙන්ඩාව යම් මොහොතක යුද්ධය ට යුද්ධයෙන් පිළිතුරු දීම අනුමත කළද බොහෝවිට මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියට ඉතාම සාධනීය දේ බොහොමයක් එකතු කළා. දූෂණ විරෝධය, විධායකයේ භීෂණයට විරුද්ධ වීම ආදිය කැපී පෙනෙන ගැටළුවිය.
අවසන ජවිපෙ ජාජබය හරහා බලයට පත්වූ පසු, පරණ දක්ෂිණාංශික සහ නව දක්ෂිණාංශික සහ ජාතිවාදී විපක්ෂය ලෙස පවතින එජාප, ශ්‍රීලනිප, පොජපෙ ආදී කොටස් සහ ඒවායෙන් මතුවූ අනෙකුත් අලුත් පක්ෂ අද කරමින් සිටින්නේ කුමක්ද? විපක්ෂය අද රාජ්‍ය ප්‍රතිපත්තියක් පිළිබඳ ඇජෙන්ඩාවක් නිර්මාණය කරන බව පෙනී යන්නේ නැත. ඒ වෙනුවට විපක්ෂය කඩිනමින් ආණ්ඩුව සහ ජනතාව අතර දුරස්ත භාවයක් නිර්මාණය කිරීමට උපකාරීවිය හැකි ජනමතයක් සදහා අවශ්‍ය මූලද්‍රව්‍ය බලහත්කාරයෙන් ජනතාව මත පැටවීමට ගන්නා උත්සාහය පැහැදිලිය. ඒ සඳහා සමහර මාධ්‍ය ආයතන කුලියට ගැනීමට සහ සමාජ මාධ්‍ය සඳහා විශාල ආයෝජනයක් කිරීමට විපක්ෂය කටයුතු කර ඇත.

විපක්ෂය වහාම බලය ලබාගත යුතුය යන අතිශය අතාර්කික උපායකට එය අවතීර්ණ කිරීමේ පළමු උත්සාහය රාජපක්ෂලාගේ වුනත් එය රාජපක්ෂ සහ වික්‍රමසිංහ කඳවුරේ අවශ්‍යතාවය බව පෙනෙයි (2022 අරගලය ආභාසයට ගනිමින්, සමාජ මාධ්‍ය හරහා ආණ්ඩුව පළමුව අපකීර්තියට පත්කර, වසරකින් හෝ දෙකකින් බලයට පැමිණීමට දරන උත්සාහය). දැනට නඩු තර්ජන වැඩිම කඳවුරු දෙක එය වීම එම තත්වය සාධාරණීකරණය කරයි. සජබය, එම රාජපක්ෂ සහ වික්‍රමසිංහ උපාය තුළ, අසරණ වුවත් මැදහත් මාවතක් දැකීමට අකමැති බලවේගයක් වීනොපැවතුණි. නමුත් අද විපක්ෂ නායකතුමා ද "මහ සංඝ සමුළුවට" යාමෙන් පෙනීයන්නේ ඊනියා ජාතිකවාදී තෛලය ආලේපනය කරගැනීමට ඇති කැමැත්තමයි.
විපක්ෂය මේ මොහොතේ ගෙනායුතු න්‍යාය පත්‍රය නැවත ජාතිවාදී, වර්ගවාදී, ඉන්දියානු විරෝධී, පුරුෂවාදී, ස්ත්‍රී විරෝධී, සමලිංගික විරෝධී සටන් පාඨම නම් ඒවා සමස්තයක් ලෙස බලය පිණිස පමණක් භාවිතා කරන, අසමර්ථ රාජ්‍යයක් සඳහා මෙතෙක් හේතුව පැවති, සහ රට බංකොලොත් කළ සටන් පාඨම බව මතක් කර දිය යුතුය.
ජාතිය රන්විමනක් කරවීමට සහ ලාංකේය ජාතියක් නිර්මාණයට එම අසාධාරණ, අයුක්ති සහගත, අමානුෂික දේශපාලනය උදව්වක් නොවෙයි. වත්මන් ධනවාදී සහ සමාජ මාධ්‍ය ගෝලීයකරණය තුළ රාජ්‍ය යනු ගොඩනැගීමට ඇති දැවැන්තම අභියෝගයකි. නමුත් ආණ්ඩු බලය ලබාගැනීමේ අවශ්‍යතාවයට පමණක් උදේ සවස සුජාත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බිදහෙළීමට දරන උත්සාහය තුළින් හෙළි වන්නේ දූෂිත, අකාර්යක්ෂම, ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ස්ත්‍රී සහ සූළු ජන විරෝධී රාජ්‍ය ක්‍රමය දිගටම පවත්වාගෙන යාමට ඔවූන් දරන උත්සාහයයි.
වත්මන් ආණ්ඩුව සියයට සියයක් නිවැරදි නොවිය හැක. නමුත් එය ප්‍රතිපත්ති ගරුක පාලන ක්‍රමයක් අභ්‍යාසයක් කරන බව දේශපාලනය පිළිබඳ වාස්තවිකව objective කරන ඕනෑම විශ්ලේෂණයකට අනුව ව්‍යාජයක් නොවෙයි (what objectivity means is a different question though ).

නමුත් බලය ලබාගැනීමට වචන හරහා දේවේශය සහ වෛරය ජනගත කරන විපක්ෂයක් යනු ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියකට පවතින ප්‍රබලතම ගැටලුවයි. එය වාර්ගික හා ආගමික අන්තවාදයෙන් බැට කෑ රටකට අමුතු තත්වයක් ද නොවෙයි. නමුත් අප වඩාත් දේශපාලනිකව සිතමින් (රාජ්‍යයට වගකියන පුරවැසියන් ලෙස), එනම්, වගකීම් සහගත ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියන් වශයෙන් සිතමින් දේශපාලන බල තරගයේ පවතින ප්‍රචණ්ඩත්වය, ව්‍යාජත්වය, බල ලෝභය වෙනුවට මානව යහපත සහ සාමය ගැන සිතීමට ජනතාව සමග සංඛතන භාෂාවක් නිර්මාණය කරගත යුතුය.
මහ සංඝ සමූළුව කියන්නේ රජුට ධාර්මික වීමට නම්, වත්මන් රජය පෙර රජයන්ට වඩා ඉහළින් ම ධාර්මික පාලනයක් බව පැවසීම මෙම සටහනට සිනා මුහුණු දාන අය පවා හදවතින් ම පිළිගන්නා සත්‍යයකි. පංතිය, කුලය, ජාතිය, ආගම, ලිංගය, භාෂාව යනු පරම සත්‍යයන් ලෙස ව්‍යාජව ගෙන දේශපාලනය කිරීම මනුෂ්‍යත්වය ට එරෙහි දේශපාලනයයි. අප විඥානවාදී ලේබලයට බිය නොවී වඩාත් ඉහළ මනුෂ්‍යත්වයක් උදෙසා දේශපාලනය සිදුකරන රාජ්‍යයක් සදහා පෙනී සිටිමු!!!!!!
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
smasa@ou.ac.lk
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)




