ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන බල සටනෙහි සජීවී නිරූපණයක් බවට පත්විය.
රැළිවලට පැමිණි ජනතාව, ඔවුන්ගේ උද්යෝගය, සහ පක්ෂ නායකයන්ගේ සම්බන්ධතා සහ සංවිධානය ශක්තිය - මේ සියල්ල එකට බැඳී, රටේ සිදුවිය හැකි නව දේශපාලන පරිණාමයක් පිළිබඳ පැහැදිලි සංඥාවක් ද එමගින් ලබා දෙයි.
මෙවර වැඩිම අවධානය දිනාගත් බලවේගය වූයේ ජාතික ජන බලවේගයයි. රට පුරාම රැළි සංවිධානය කරමින්, විශාල ජන සහභාගීත්වයක් රැස් කර ගැනීමට ඔවුන් සමත් වීම, පක්ෂයක් ලෙස පමණක් නොව, ආණ්ඩුවක් ලෙසද ජනතාව අතරට යාමට ඔවුන් උත්සාහ දරන බව පෙන්වයි. මාළිමාවේ උත්සාහය ජනතාවගේ එකඟතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමේ ප්‍රයත්නයක් ලෙසද දැකිය හැක. එනම් බලය පවත්වාගෙන යාමට හුදෙක් බලපෑම නොව, සමාජ එකඟතාවයත් අවශ්‍ය බව එය අවබෝධ කරගෙන සිටී.
"මේ වසරේ දී දූෂිතයන් හිරගෙට යවනවා" කියා අනුර දිසානායක කියන විට අපට සංඥා වන්නේ, එසේ නොකර නැවත වතාවක් ජනතාව ඉදිරියේ දෙවන වර පෙනී සිටීමට ඔහුට සහ ජන බලවේගයට පවතින සදාචාරමය අභියෝගයයි. එය සුජාතභාවය පිළිබඳ අර්බූදයක් වශයෙන් ආණ්ඩුව බාරගෙන ඇතිබව ද ජනාධිපතිවරයාගේ ස්වරය හරහා පැහැදිලි වෙයි.
එයට වෙනස්ව, සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ රැළි, සංඛ්‍යාත්මකව සීමිත වුවද, තවමත් සම්පූර්ණයෙන්ම බිඳ වැටී නොමැති විපක්ෂ පදනමක් පෙන්වයි. නමුත් එම පදනම ප්‍රමාණවත් ද යන්න පිළිබඳව සැකයක් ඉතිරි වේ.
පක්ෂය තුළ නායකත්වය පිළිබඳ අභ්‍යන්තර සාකච්ඡා-විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාසගේ භූමිකාව සහ විකල්ප නායකයන් පිළිබඳ කතාබහ-මෙම අර්බුදය තවත් තීව්‍ර කරයි. හර්ෂ ද සිල්වා වැනි නායකයන්ට යම් ඉල්ලුමක් උද්ගත වීම, මෙම තත්ත්වය සනාථ කරයි. නමුත් සජබයේ දෙදරීමකින් තොරව සාමකාමීව හර්ෂට හෝ වෙනත් අයෙකුට ඉදිරියට පැමිණය හැකිද යන ගැටළුව පැහැදිලිව තිබේ.
එක් පැත්තකින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂ නැවත සක්‍රීය වීමට උත්සාහ කරන බව ද මැයි දිනයේදී පෙනී ගිය තවත් යථාර්ථයකි. සීමිත නමුත් සැලකිය යුතු ජනසහභාගීත්වයක් රැස් කිරීම, ඔවුන් තවමත් දේශපාලන වේදිකාවේ සිටින බවට සංඥාවකි. නවක බලවේගයන් ද, සර්වජන බලය වැනි, තමන්ගේ ස්ථානයක් සොයාගැනීමට උත්සාහ කරන බව මෙවර මැයි දිනයෙන් පෙනී ගියේය.
වමේ දේශපාලනය තුළ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඉදිරිපත් කළ රැළිය, අදහස් හා සංකල්ප මත ගොඩනැගුණු දේශපාලනය තවමත් ජීවමාන බව පෙන්වයි. දැඩි වාමාංශික වාග් මාලාවක් සහ ක්‍රියාකාරී පදනමක් සමඟ පැවැත්වූ එම රැළිය, සමාජය තුළ අදහස් හරහා බලය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න මතක් කරවයි.
එමෙන්ම, එක්සත් ජාතික පක්ෂය සහ පොදු ජන පෙරමුණ වැනි පක්ෂවලට, මෙවර මැයි දින වේදිකාව අහිමි වීම විශේෂයෙන්ම කැපී පෙනුණි. මෙය සරල සංවිධාන අසමත් වීමක් පමණක් නොව, ජනතාව අතර ඔවුන්ගේ පිළිගැනීම අඩුවීමක් ලෙසද කියා හැක. මැක්ස් වේබර් විස්තර කළ සුජාතභාවය පිළිබඳ අර්බූදයක් “legitimacy crisis” - එනම් නීත්‍යානුකූල බලය පිළිබඳ විශ්වාසය බිඳ වැටීම මෙහිදී එම පක්ෂ වෙතින් දක්නට ලැබේ.
මෙම සියල්ල එකට බැලූ විට, පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය දැන් නව සංවිධාන අවධියකට පිවිසී ඇති බවයි. විපක්ෂය තුළ විවිධ කණ්ඩායම් එකතුවෙමින්, ආණ්ඩුවට එරෙහිව නව සන්ධාන ගොඩනැගීමට උත්සාහ දරයි. නමුත් ඒවාට එකගවිය හැකි තනි නායකත්වයක් තවමත් නොමැති වීම, ප්‍රධාන දුර්වලතාවයකි.
අවසන් වශයෙන්, මෙවර මැයි දිනය හෙළි කළ වැදගත්ම සත්‍යය වන්නේ, ඉදිරි දේශපාලන බල සටන තනි තනි පක්ෂ අතර නොව, සන්ධාන, එකඟතා සහ නව බල සම්බන්ධතා අතර සිදුවන එකක් වනු ඇති බවයි. එය කවුරු ජයගන්නේද යන්න තීරණය වන්නේ ජනතාව සංවිධානය කිරීමේ හැකියාව අනුව පමණක් නොව, ඔවුන්ගේ එකඟතාවය දිනා ගැනීමේ හැකියාව ද මතය.
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
smasa@ou.ac.lk
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)




