The Leader News
BREAKING
Top Ad
Opinion

ජනතාවගේ ආණ්ඩුවකට එරෙහි ප්‍රචාරණ යුද්ධය: පන්තිමය දේශපාලන අභියෝගයක් ද? | Athulasiri Samarakoon

T

The Leader Desk

May 5, 2026 • 5:01 AM

ජනතාවගේ ආණ්ඩුවකට එරෙහි ප්‍රචාරණ යුද්ධය: පන්තිමය දේශපාලන අභියෝගයක් ද? | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමාන ජාතික ජන බලවේග (ජාජබ) ආණ්ඩුව බලයට පත්වී තවම වසර දෙකක්වත් ගතවී නැත.
  • මෙවැනි ආණ්ඩුවක් “නිර්ප්‍රභූ” ලක්ෂණ සහිත එකක් ලෙස විචාරකයන්, විශේෂයෙන් ජයදේව උයන්ගොඩ වැනි මධ්‍යස්ථ බුද්ධිමතුන්, විස්තර කිරීම අහම්බයක් නොවේ.
  • මෙම ප්‍රචාරණ යුද්ධය යනු සාමාන්‍ය දේශපාලන විවේචනයක් නොව, පන්තිමය අරමුණු සහිත දෘශ්‍ය-අදෘශ්‍ය බලවේගයන්ගේ ප්‍රතික්‍රියාවක් ලෙස අවබෝධ කරගත යුතුය.
  • ඒ අනුව, ආණ්ඩුවේ සෑම ක්‍රියාවක්ම විකෘති කරමින්, අසාර්ථකත්වය ගැනම ප්‍රචාරය කරමින්, ජනමනස තුළ අවිශ්වාස පිළිබඳ ගැඹුරු චිත්‍රයක් නිර්මාණය කිරීම (trust deficit) ඔවුන්ගේ ප්‍රධාන උපාය මාර්ගයක් වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එය සාමාන්‍ය බල හුවමාරුවක් නොව, දීර්ඝ කාලයක් පුරා පවතින දූෂිත, ප්‍රභූ-කේන්ද්‍රීය දේශපාලන සංස්කෘතියට එරෙහිව ජනතාව විසින් ලබාදුන් ප්‍රබල දේශපාලන තීන්දුවක් ලෙස හැඳින්විය හැක.

මෙවැනි ආණ්ඩුවක් “නිර්ප්‍රභූ” ලක්ෂණ සහිත එකක් ලෙස විචාරකයන්, විශේෂයෙන් ජයදේව උයන්ගොඩ වැනි මධ්‍යස්ථ බුද්ධිමතුන්, විස්තර කිරීම අහම්බයක් නොවේ.

FB IMG 1746107815012

එහෙත්, බලය ලබාගැනීම යනු සටනක අවසානය නොව, නව සටනක ආරම්භයයි. ජාජබ ආණ්ඩුව අද මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ ආර්ථික හෝ පරිපාලනමය ගැටලු පමණක් නොව, එයට එරෙහිව සංවිධානාත්මකව ගොඩනැගුණු ප්‍රචාරණ යුද්ධයකි. මෙම ප්‍රචාරණ යුද්ධය යනු සාමාන්‍ය දේශපාලන විවේචනයක් නොව, පන්තිමය අරමුණු සහිත දෘශ්‍ය-අදෘශ්‍ය බලවේගයන්ගේ ප්‍රතික්‍රියාවක් ලෙස අවබෝධ කරගත යුතුය.

අහිමි වූ බලය නැවත අල්ලාගැනීමේ උත්සාහය

ජාජබ ආණ්ඩුවේ නැගීම සමඟ, දීර්ඝ කාලයක් රටේ ආර්ථික, දේශපාලන සහ මාධ්‍ය බලය හිමිකරගෙන සිටි ප්‍රභූ පන්තියට එය සෘජු තර්ජනයක් විය. මෙම පන්තියට අයත් කොටස්, සම්ප්‍රදායික දේශපාලන ප්‍රභූන්, වාණිජ ප්‍රාග්ධනයට අයත් බලවතුන්, සහ ඔවුන් සමඟ සම්බන්ධ මාධ්‍ය ජාල, නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණවාදී ක්‍රියාවන් නිසා තමන්ගේ වරප්‍රසාද අහිමිවීමක් දකිති.

jvp lk rally
ඒ අනුව, ආණ්ඩුවේ සෑම ක්‍රියාවක්ම විකෘති කරමින්, අසාර්ථකත්වය ගැනම ප්‍රචාරය කරමින්, ජනමනස තුළ අවිශ්වාස පිළිබඳ ගැඹුරු චිත්‍රයක් නිර්මාණය කිරීම (trust deficit) ඔවුන්ගේ ප්‍රධාන උපාය මාර්ගයක් වී ඇත. සමාජ මාධ්‍යයේ සංවිධානාත්මක ප්‍රචාරණය, අසත්‍ය හෝ අර්ධ සත්‍ය තොරතුරු, සහ දේශපාලන විවේචනයේ නාමයෙන් සිදු කරන විකෘතිකරණ, මේ සියල්ල අවසානයේ සම්බන්ධීකරණය වූ දෘෂ්ටිවාදීමය ප්‍රහාරයක් (a coordinated ideological offensive) නිර්මාණය කරයි.

ආණ්ඩුව මුහුණ දෙන ව්‍යුහමය අභියෝග

මෙය අවබෝධ කරගැනීමට, වර්තමාන ආණ්ඩුව බලය ලබාගත් පසුබිම අමතක කළ නොහැක. එය ආර්ථික වශයෙන් කඩා වැටුණු, ණය බරින් පීඩිත, සමාජීය වශයෙන් විභේදිත සහ විශ්වාස අහිමි වූ රාජ්‍යයකි. එම තත්ත්වය තුළ, ජාත්‍යන්තර වෙළඳපල කම්පන, භූ-දේශපාලනික ගැටුම්, ස්වභාවික ආපදා, දේශීය සමාජ ගැටලු (වාර්ගික විෂමතා, මත්ද්‍රව්‍ය, දූෂණය) යන සියල්ල සමග එකවර සටන් කිරීමට ආණ්ඩුවට සිදු වී ඇත.

එවැනි තත්ත්වයක දී, ඕනෑම පාලනයක් සාර්ථක වීම යනු කාලය, ස්ථාවරත්වය සහ සමාජ සහයෝගය මත රඳා පවතින දෙයක් වේ. එහෙත්, නිරන්තර දැඩි ප්‍රචාරණ ප්‍රහාරයක් යටතේ එම අවකාශය දුර්වල කරනු ලබයි.

ප්‍රචාරණ යුද්ධයේ ස්වභාවය

People 1 1
මෙම ප්‍රචාරණ ප්‍රහාරය සාමාන්‍ය, වාස්තවික දේශපාලන විවේචනයක් නොව, “සංවේදී මහජන අවකාශය” අල්ලා ගැනීමට කරන උත්සාහයක් බව පෙනීයයි. ජනතාවගේ දෘශ්ටිකෝණය, බලාපොරොත්තු සහ විශ්වාසය පාලනය කිරීම හරහා දේශපාලන බලය නැවත ලබාගැනීම මෙහි අරමුණයි.

මෙය සරලවම කියනවා නම්, “සත්‍යය” වෙනුවට “නිෂ්පාදිත සත්‍යය” (manufactured reality) ජනතාවට ලබාදීමකි. එය මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ දූෂිත දේශපාලන, ආර්ථික ප්‍රභූන් අතර පවතින ගැඹුරු සංධානයක ප්‍රතිපලයකි.

ජනතාවගේ වගකීම : ආණ්ඩුව ආරක්ෂා කිරීමද, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමද?

මෙහි දී ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ජනතාවගේ ආණ්ඩුවක් ආරක්ෂා කිරීමේ වගකීම කාටද? යන්නයි.  ජනතාව විසින් තෝරාගත් ආණ්ඩුවක් ආරක්ෂා කිරීම යනු එම පක්ෂය හෝ නායකයන් ආරක්ෂා කිරීම පමණක් නොවේ. එය, ජනතා මතය, ප්‍රජාතන්ත්‍රවාදී තීරණය, සමාජය වෙනස් කිරීමට ඇති අවස්ථාව යන සියල්ල ආරක්ෂා කිරීමකි. ඒ අනුව, ජනතාවට තිබෙන වගකීම වන්නේ අන්ධ ලෙස ආණ්ඩුවට සහාය දීම නොව, නියම විවේචනය සහ දූෂිත ප්‍රචාරණය අතර වෙනස හඳුනා ගැනීමයි.

නැවත පරණ පන්තියට බලය ලබාදීමේ අවදානම

ඉතිහාසය අපට පෙන්වා දෙනුයේ, දූෂිත පාලන පද්ධති පහසුවෙන් නැවත මතු විය හැකි බවයි. ඒවා සෑම විටම “අලුත් මුහුණු” හෝ “නව ප්‍රතිපත්ති” යටතේ එම කොටස් නැවත පැමිණෙයි. නමුත්, ඒවායේ මූලික ව්‍යුහය—සාමානාත්මතාව නොමැති කම, වංචාව, සහ ප්‍රභූ ආධිපත්‍යය වෙනස් නොවේ.

ඒ අනුව, වර්තමාන මොහොත විසින් ඇතිකරන තත්වය යනු සරලව ආණ්ඩුවක් පිළිබඳ  තීරණයක් ගැනීම ගැන වූවක් නොව, රටේ අනාගත දේශපාලන දිශාව පිළිබඳ තීරණයක් වේ. එය ජන අරගලයක පසුබිමක එය ආපසු හැරවීමට ගන්නා ප්‍රබල ප්‍රාග්ධන ආයෝජන, මාධ්‍ය මෙහෙයුම් හා විවිධ ප්‍රභූ අභිලාසී කණ්ඩායම් විසින් දියත් කරන අසාධාරණ ප්‍රචාරණ හා දේශපාලන බලය පිළිබඳ යුද්ධයක ප්‍රතිඵලයකි.

NPP Anuradhapura May Day 2024 image NPP
අවසානයේ දී ජාජබ ආණ්ඩුවේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වන්නේ එහි කාර්ය සාධනය මගින් පමණක් නොව, එය වටා පවතින සමාජ බලවේගයන් ද මතයි. සංවිධානාත්මක ප්‍රචාරණයට එරෙහිව සත්‍යය, විවේචනශීලීව සිතීමේ හැකියාව, සහ ප්‍රජාතන්ත්‍රවාදී වගකීම සහ වගවීම ගොඩනැගීම අත්‍යවශ්‍යය.

ජනතාවගේ ආණ්ඩුවක් ආරක්ෂා කිරීම යනු පුද්ගලයන් හෝ පක්ෂයක් ආරක්ෂා කිරීම නොව, සමාජය වඩා සාධාරණ, සමානාත්මතාව සහිත, සහ මානුෂීය දිශාවකට ගෙන යාමේ හැකියාව ආරක්ෂා කිරීමයි. එම මොහොත අහිමිවුවහොත්, නැවත ලබාගැනීම වඩාත් දුෂ්කර වනු ඇත.

athulasiri samarakoon(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)

Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...