ඇතැම් විට නිශ්ශබ්දතාවය, සංයමය සහ නිරීක්ෂණය ම වඩාත් ගැඹුරු බලයක් බව ඔහුගේ මනෝවිද්‍යාත්මක කියවීම්වලින් පෙනී යයි. දේශපාලනයේදීද මෙය අද අතිශය වැදගත්ය.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය තුළ ආණ්ඩුව සහ විපක්ෂය අතර පවතින්නේ සාමාන්‍ය විවේචන තත්ත්වයක් පමණක් නොවේ. මෙයට පෙරද අප දිගටම පෙන්වා දුන් පරිදි, එය ප්‍රචාරණ යුද්ධයකි. සමාජ මාධ්‍ය, යූටියුබ් නාලිකා, පක්ෂ මාධ්‍ය ජාල, පෞද්ගලික මාධ්‍ය, සහ විවිධ දේශපාලන කණ්ඩායම් හරහා සෑම දිනකම ආණ්ඩුවට එරෙහිව මත නිර්මාණය කරනු ලබයි. එවැනි පසුබිමක ආණ්ඩුවේ සෑම ප්‍රතිචාරයක්ම විපක්ෂයට තවත් දේශපාලන ඉන්ධන සැපයිය හැකිය.
එබැවින් ආණ්ඩුව සෑම චෝදනාවකටම ආවේගශීලීව පිළිතුරු දීම වෙනුවට, තමන්ගේ ක්‍රියාකාරීත්වය සහ පාලන කාර්යක්ෂමතාව මගින් පිළිතුරු සපයන "නිශ්ශබ්ද මූලෝපායක්" ගොඩනගා ගැනීම වැදගත්ය. එය දුර්වලතාවයක් නොව, සංවිධානාත්මක දේශපාලන උපායකි.
නමුත් මෙහිදී තවත් බරපතළ ප්‍රශ්නයක් සමාජය තුළ මතු වී තිබේ. දූෂණය, වංචා සහ බලවත් දේශපාලන-ව්‍යාපාරික සම්බන්ධතා පිළිබඳ හෙළිදරව් කිරීමට උත්සාහ කළ හෝ එවැනි තොරතුරු සමඟ සම්බන්ධ වූ පුද්ගලයන්ගේ මරණ පිළිබඳ ජනතාව තුළ පවතින සැක සහ කතිකාව අවම කර නොහැකි තත්ත්වයකට පත්ව ඇත.

උදාහරණ ලෙස, කපිල චන්ද්‍රසේන සම්බන්ධ දූෂණ චෝදනා සහ රාජපක්ෂ පාලන සමයේ ව්‍යාපාරික-දේශපාලන සම්බන්ධතා පිළිබඳ විවිධ කතාබහ සමාජය තුළ පැවතිණි. එමෙන්ම මහබැංකු ගනුදෙනු හා මූල්‍ය අර්බුද සම්බන්ධයෙන් කතාබහට ලක්වූ රංග රාජපක්ෂ වැනි පුද්ගලයන්ගේ මරණද ජනතා සැකය තවත් වර්ධනය කළේය.
මෙවැනි සිදුවීම් පිළිබඳ සමාජය තුළ ඇති වන්නේ සාමාන්‍ය දේශපාලන විවේචනයක් පමණක් නොවේ. “සත්‍යය හෙළි කිරීමට ගිය අය අභිරහස් ලෙස අතුරුදහන් වේද?”, “දූෂණ ජාලවලට එරෙහිව ක්‍රියා කිරීම ජීවිත අවදානමක්ද?” යන ආකාරයේ භීතියක් හා අවිශ්වාසයක් ජන මනස තුළ ගොඩනැගෙයි.

ඒ නිසා වත්මන් ආණ්ඩුවට ඇත්තේ දේශපාලන විවේචනවලට පිළිතුරු දීමේ අභියෝගය පමණක් නොවේ. රාජ්‍යය පිළිබඳ ජනතාවගන් ක්‍රමයෙන් ගිලිහී යාහැකි විශ්වාසය නැවත ගොඩනැගීමේ අභියෝගයද ඇත. ඒ සඳහා අවශ්‍ය වන්නේ කතාව නොව, විනිවිදභාවයයි. විශේෂයෙන් දූෂණ චෝදනා, අභිරහස් මරණ, රාජ්‍ය ආයතන සම්බන්ධ සැක සහ බලවත් පුද්ගලයන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ පැහැදිලි සහ ස්වාධීන පරීක්ෂණ ක්‍රියාවලියක් අවශ්‍යය.
අද ජන බලවේගයට අවශ්‍ය වන්නේ “ප්‍රතිචාර දේශපාලනය” නොව “විශ්වාසයේ දේශපාලනය” යයි. එම විශ්වාසය ගොඩනැගෙන්නේ නිශ්ශබ්දව, නීතිය සාධාරණව ක්‍රියාත්මක කරමින්, දූෂණයට ඉඩ නොතබමින්, රාජ්‍යය ජනතාවට බියකරු නොව ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමෙනි.
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
smasa@ou.ac.lk
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)
2026 මැයි 11




