The Leader News
BREAKING
Top Ad
Opinion

ස්ත්‍රිය ස්ත්‍රියක් වීම සහ බලයේ පුරුෂමය ස්වභාවය | Athulasiri Samarakoon

T

The Leader Desk

May 18, 2026 • 8:06 AM

ස්ත්‍රිය ස්ත්‍රියක් වීම සහ බලයේ පුරුෂමය ස්වභාවය | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව වැනි සමාජයක ස්ත්‍රී–පුරුෂ සමාජභාවය එය දෘෂ්ටිවාදීමය වශයෙන් පැවතීම නිසා පිරිමි/ගැහැණු සම්බන්ධතා අදත් පවතින්නේ සමානත්වය සහ බල අසමතුලිතතාවය අතර ගැටුම්කාරී ක්ෂේත්‍රයක් ලෙසය.
  • මෙම පරස්පරතාවය විශ්වවිද්‍යාල, පාසල්, රෝහල්, කාර්යාල, ආගමික ආයතන සහ පවුල ඇතුළු සෑම සමාජ ව්‍යුහයකම දැකිය හැකිය.
  • පුරුෂ බලය හුදෙක් ශාරීරික බලය පමණක් නොව, ආයතනික බලය, බුද්ධිමය බලය, ආර්ථික බලය සහ සංකේතාත්මක බලය ලෙසද ක්‍රියාත්මක වේ.
  • විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකුට සිසුවියක් මත බලපෑම් කිරීමට හැකිවන්නේ ඔහුගේ “දැනුම” හෝ “පදවිය” පමණක් නිසා නොව, එම ආයතනය තුළ ඔහුට හිමිව ඇති බලය, ප්‍රවේශය, ඇගයීම් පද්ධතිය සහ භීතිය නිසාය.
අකුරු ප්‍රමාණය (Font Size):


නීතිය, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව තුළ කාන්තාවන්ට වෙනස්කම් නොකළ යුතු බවට යම් සම්මුතියක් ගොඩනැගී තිබුණද, දෛනික සමාජ ජීවිතයේ බලය ක්‍රියාත්මක වන ආකාරය තුළ එම සම්මුතිය නිරන්තරයෙන් බිඳ වැටේ. රාජ්‍යය සහ පුරවැසියන් අතර “සමානත්වය” පිළිබඳ නීතිමය එකඟතාවක් පැවතියද, ජනතාව සහ ජනතාව අතර එම සමාජීය එකඟතාව තවමත් ගැඹුරින් ස්ථාපිත වී නැත.

university sex

මෙම පරස්පරතාවය විශ්වවිද්‍යාල, පාසල්, රෝහල්, කාර්යාල, ආගමික ආයතන සහ පවුල ඇතුළු සෑම සමාජ ව්‍යුහයකම දැකිය හැකිය. පුරුෂ බලය හුදෙක් ශාරීරික බලය පමණක් නොව, ආයතනික බලය, බුද්ධිමය බලය, ආර්ථික බලය සහ සංකේතාත්මක බලය ලෙසද ක්‍රියාත්මක වේ. විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකුට සිසුවියක් මත බලපෑම් කිරීමට හැකිවන්නේ ඔහුගේ “දැනුම” හෝ “පදවිය” පමණක් නිසා නොව, එම ආයතනය තුළ ඔහුට හිමිව ඇති බලය, ප්‍රවේශය, ඇගයීම් පද්ධතිය සහ භීතිය නිසාය. මේ නිසා ලිංගික අල්ලස්, අනුග්‍රහය වෙනුවෙන් ලිංගික ඉල්ලීම්, දිගුකාලීන හිරිහැර සහ මානසික පීඩනය සමාජයේ බොහෝ ස්ථානවල නිහඬව පවතී.

විශ්වවිද්‍යාල පිළිබඳ කතාබහ මෙහිදී විශේෂයෙන් වැදගත් වන්නේ ඒවා “විමුක්තිමය දැනුම නිෂ්පාදනය කරන ආයතන” ලෙස සමාජය විසින් සැලකෙන නිසාය. නමුත් බලය පවතින සෑම තැනකම අපයෝජනයේ හැකියාව ද පවතී. එබැවින් විශ්වවිද්‍යාල තුළ සිදුවන ලිංගික අපයෝජන හෝ බලහත්කාරී සම්බන්ධතා පිළිබඳ කතාබහ, විශ්වවිද්‍යාල විරෝධී කතිකාවක් ලෙස නොව, ආයතනික වගකීම් සහ සමාජීය නීතිධර්ම පිළිබඳ අවශ්‍ය විවේචනයක් ලෙස දැකිය යුතුය.

මෑතකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව මේ සන්දර්භයේදී ඉතා වැදගත් දේශපාලන හා සමාජීය සංඥාවකි. එහිදී මහාචාර්යවරයෙකු තම ආයතනික බලය භාවිතා කරමින් සිසුවියකට අපයෝජනීය ආකාරයෙන් බලපෑම් කිරීම, ඇයව දිගුකාලීනව හිරිහැරයට ලක් කිරීම සහ එම ක්‍රියාවලියට එරෙහිව ඇය අවසානයේ අධිකරණය වෙත යාම, ශ්‍රී ලංකාවේ ස්ත්‍රී–පුරුෂ සමාජභාවීය දේශපාලනයේ ගැඹුරු අර්බුදයක් හෙළි කරයි. මෙම නඩුවේ වැදගත්කම පවතින්නේ එය එක් පුද්ගලයෙකුට එරෙහි චෝදනාවකට වඩා, “බලය සහ ලිංගිකත්වය” අතර ඇති සම්බන්ධතාවය නීතිය විසින් හඳුනාගැනීම තුළය.

 

low and abbuse

එය සම්ප්‍රදායිකව කාන්තාවන් යනු “නිහඩව සිටිය යුතුය”, “ඉවසිය යුතුය” හෝ “දරාගෙන සිටිය යුතුය” යන පැරණි සමාජ මනෝභාවයට එරෙහි වැදගත් පියවරකි. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සමාජයක, කාන්තාවන් බොහෝ විට පැමිණිලි කිරීමට බියවන්නේ සමාජ අපහාසය, වෘත්තීය හානිය, චරිත ඝාතනය සහ ආයතනික පලිගැනීම් නිසාය. එවැනි පසුබිමක අධිකරණය විසින් ලබාදෙන තීන්දුවක් නීතිමය වටිනාකමකට අමතරව සංකේතාත්මක වටිනාකමක් ද දරයි. එය අනෙකුත් කාන්තාවන්ට ද “ඔබට කතා කළ හැකිය හා කතාකරන්න” යන පණිවිඩය ලබාදෙයි.

මෙය හුදෙක් ලිංගික අපයෝජන පිළිබඳ කතිකාවක් පමණක් නොවේ. මෙය සමාජයේ බලය බෙදී යන ආකාරය පිළිබඳව ද කතිකාවකි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට රැකියා ස්ථානවල ලිංගික හිරිහැර දක්වාත්, ආගමික ආයතන තුළ අපචාරවල සිට විශ්වවිද්‍යාලීය බල අපයෝජනය දක්වාත්, මෙම සියල්ල එකම සමාජීය ව්‍යුහයක විවිධ ප්‍රකාශනයන්ය. පුරුෂෝත්තමවාදය patriarchy යනු පුරුෂයන්ට පමණක් වාසිදායක සංකල්පයක් නොව, බලය සහ නිහඬතාවය සාමාන්‍යකරණය කරන සංස්කෘතික ක්‍රමවේදයකි.

ඒ නිසා ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පිළිබඳ කතිකාව ප්‍රධාන දේශපාලන ධාරාවට පැමිණිය යුතුය. එය 'කාන්තා ප්‍රශ්නයක්' ලෙස පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, ආයතනික පාලනය සහ සමාජීය යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක් ලෙස දැකිය යුතුය. වර්තමාන දේශපාලන වෙනස්කම් තුළ කාන්තාවන්ගේ ඡන්දය සහ සමාජීය සහභාගීත්වය වැදගත් බලවේගයක් වූ බව පැහැදිලිය. 'ගැහැණු එක මිටට' යන දේශපාලන සංඥාව හුදෙක් මැතිවරණීය ප්‍රකාශයක් නොව, සමාජීය ගෞරවය සහ ආරක්ෂාව සඳහා වූ ඉල්ලීමක් ලෙසද කියවිය හැකිය.

abbuse office

එබැවින් අද අවශ්‍ය වන්නේ නීති සෑදීම පමණක් නොව, ආයතනික සංස්කෘතියේ සහ සමාජීය මනෝභාවයේ පරිවර්තනයක්ද වෙයි. පැමිණිලි යාන්ත්‍රණ ශක්තිමත් කිරීම, විශ්වවිද්‍යාල හා රැකියා ස්ථානවල ස්වාධීන විමර්ශන ක්‍රම ඇති කිරීම, ලිංගික හිරිහැර පිළිබඳ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන්ට ආරක්ෂිත සමාජ පරිසරයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ.

පේරාදෙණිය නඩුව වැනි සිදුවීම් අපට මතක් කර දෙන්නේ සමාජය දියුණු වන්නේ තාක්ෂණයෙන් හෝ ආර්ථිකයෙන් පමණක් නොව, බලය දරන පුද්ගලයාට එරෙහිව සාමාන්‍ය පුද්ගලයෙකුට යුක්තිය ඉල්ලා සිටිය හැකි මට්ටමට ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු වන විට බවය. ස්ත්‍රී–පුරුෂ සමාජභාවීය යුක්තිය යනු කාන්තාවන්ගේ අයිතිවාසිකමක් පමණක් නොව, සමාජයක සදාචාරීත්වය මැන බැලෙන මූලික දර්ශකයකි.

Athulasiri Samarakoon
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)

Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...