The Leader News
BREAKING
Top Ad
Opinion

රණවිරුවන් සැමරීමේ තරගය සහ මීටර්සීයේ නව වාර්තාවට පොලිස් බාධක | Athulasiri Samarakoon

T

The Leader Desk

May 19, 2026 • 4:12 PM

රණවිරුවන් සැමරීමේ තරගය සහ මීටර්සීයේ නව වාර්තාවට පොලිස් බාධක | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් මොහොතේ පවතින ආරථික දේශපාලන පසුබිමේ, ජාතිකවාදී දේශපාලනය යළි සක්‍රීය කිරීම සඳහා විවිධ බලවේග උත්සාහ කරන බව
  • මැයි 18 යනු එක් පාර්ශ්වයකට යුද්ධ ජයග්‍රහණයේ දිනයක් වුවද, තවත් පාර්ශ්වයකට එය තම ඥාතීන්, අතුරුදන් වූවන් සහ යුද්ධයේ මියගිය සිවිල් ජනතාව සිහිපත් කරන ශෝක දිනයකි.
  • එකම ඉතිහාස සිදුවීමක් සම්බන්ධයෙන් ජාතීන් දෙකක් සම්පූර්ණයෙන් වෙනස් මතක, හැඟීම් සහ දේශපාලන අර්ථකථන රැගෙන සිටින විට, 'ජයග්‍රහණය' සහ 'ශෝකය' එකම දිනයක එකිනෙකාට විරුද්ධ දේශපාලන භාෂාවන් බවට පත්වේ.
  • උග්‍ර ජාති(ක)වාදී දේශපාලන බලවේග යළිත් හමුදාව, රණවිරු සංකේත සහ 'ජාතිය අනතුරේ' යන කතිකාව ඉදිරියට ගෙන එමින් ජාතිකවාදී දේශපාලනයට නව පණක් ලබාදිය හැකි බව විශ්වාස කරන බව පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පැහැදිලිව පෙනෙන්නට තිබේ.

සජිත් ප්‍රේමදාසගේ දෘෂ්ටිවාදීමය දිශාව නොපැහැදිළි විපක්ෂය අනුගමනය කරන විවාද කිරීමේ සහ විශ්වාස භංග ගෙන ඒමේ උපක්‍රමයට ජාතිකවාදීන් එකග නොවන බවද ඒ තුළම දිස් වේ. ජාතිකවාදීන් ට ආණ්ඩු බලය දුරස්ථ වීම විශාල ගැටළුවක් බවත් කෘතීම ආකාරයේ ගැටුම් හෝ ඇති කරගෙන දකුණේ දේශපාලනය තුළ නැවත ප්‍රචාරණ වාසියක් හිමිකරගැනීමට එම බලවේගය යම් අරගලකාරී ආකාරයකින් ඉදිරීයට එන බව ආරක්ෂක වැටකඩොළු පෙරළමින් යම් පිරිසක්  රණවිරු ස්මාරකය ළග ඊයේ කළ ජවන හා පිටිය සංදර්ශනය ප්‍රබල ඉගියක් සපයයි.

මැයි 18 යනු එක් පාර්ශ්වයකට යුද්ධ ජයග්‍රහණයේ දිනයක් වුවද, තවත් පාර්ශ්වයකට එය තම ඥාතීන්, අතුරුදන් වූවන් සහ යුද්ධයේ මියගිය සිවිල් ජනතාව සිහිපත් කරන ශෝක දිනයකි. ඒ අනුව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල බොහෝ දෙමළ ජනතාව විසින් තම මියගිය ඥාතීන් සැමරීමට සහ සිහි කිරීමට උත්සාහ කළ අතර, එයට එරෙහිව දකුණේ සමහර අන්තවාදී ජාතිකවාදී කණ්ඩායම් උද්ඝෝෂණ සහ විරෝධතා සංවිධානය කරනු ද දක්නට ලැබුණි.


මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවේ මූලික සංකීර්ණභාවය නැවතත් මතුකරයි. එකම ඉතිහාස සිදුවීමක් සම්බන්ධයෙන් ජාතීන් දෙකක් සම්පූර්ණයෙන් වෙනස් මතක, හැඟීම් සහ දේශපාලන අර්ථකථන රැගෙන සිටින විට, 'ජයග්‍රහණය' සහ 'ශෝකය' එකම දිනයක එකිනෙකාට විරුද්ධ දේශපාලන භාෂාවන් බවට පත්වේ. එවැනි තත්ත්වයක සංහිඳියාව යනු එක් පාර්ශ්වයක මතකය මකාදැමීම නොව, සියලු පාර්ශ්වයන්ගේ වේදනාව සහ ඉතිහාස අත්දැකීම් පිළිගැනීමය. නමුත් ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලනය බොහෝවිට ක්‍රියා කරන්නේ එහි ප්‍රතිවිරුද්ධ දිශාවටය.


උග්‍ර ජාති(ක)වාදී දේශපාලන බලවේග යළිත් හමුදාව, රණවිරු සංකේත සහ 'ජාතිය අනතුරේ' යන කතිකාව ඉදිරියට ගෙන එමින් ජාතිකවාදී දේශපාලනයට නව පණක් ලබාදිය හැකි බව විශ්වාස කරන බව පෙනේ. මෙහිදී හමුදාව යනු ආරක්ෂක ආයතනයක් පමණක් නොව, “සිංහල-බෞද්ධ රාජ්‍යයේ ගැලවුම්කාර බලවේගය” ලෙස සංකේතාත්මකව ඉදිරිපත් කරනු ලබයි. එමඟින් ජනතාවගේ ආර්ථික අසහනය සහ පාලන අසමත්භාවය පිළිබඳ කෝපය, වාර්ගික හා ආගමික ආරක්ෂාව පිළිබඳ භීතියකට පරිවර්තනය කිරීමේ උත්සාහයක් සිදුවේ.


අනෙක් අතට, රාජපක්ස දේශපාලනය ද තම දේශපාලනිකය නැවත නැගිටවීම සඳහා වඩාත් මිලිටන්ට් ස්වභාවයකින් යුත් ජාතික-ආගමික වාදයකට වුවද ගමන් කිරීමට සූදානම් බවට වන සංඥා පෙනෙයි. ඉතිහාසය පෙන්වා දෙන්නේ, ආර්ථික අර්බුද සහ දේශපාලන අස්ථාවරතාවයන් පවතින අවස්ථාවල ජාතිකවාදය ඉතා පහසුවෙන් ජනතාව සංවිධානය කිරීමේ මෙවලමක් බවට පත්වන බවයි. එහිදී 'ජාතිය', 'ආගම', 'රණවිරුවන්' සහ 'රාජ්‍ය ආරක්ෂාව' යන සංකේත යොදාගනිමින් ජනතාවගේ බිය සහ කෝපය දේශපාලන ප්‍රාග්ධනයක් බවට පත් කරනු ලැබේ.

මෙය ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව තවදුරටත් සංකීර්ණ කරයි. යුද්ධය අවසන් වුවද, ජාතික ප්‍රශ්නය අවසන් වී නොමැත. දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම්, මතකය, සාධාරණත්වය සහ සමානභාවය පිළිබඳ ගැටලු තවමත් විසඳී නැත. එමෙන්ම සිංහල ජනතාව තුළද 'රාජ්‍යය අහිමිවිය හැක', 'ජාතිය අනතුරේ' යන භීතිකාව දේශපාලනිකව නිරන්තරයෙන් නිෂ්පාදනය කරනු ලැබේ. මේ නිසා දෙපාර්ශ්වයම එකිනෙකා පිළිබඳ සැකයෙන් සහ අනාරක්ෂිත හැඟීමෙන් පිරුණු දේශපාලන සංස්කෘතියක් තුළ සිරවී සිටී.


ඒ අනුව වත්මන් අභියෝගය වන්නේ හුදෙක් ආණ්ඩු මාරුවක් හෝ මැතිවරණ ජයග්‍රහණයක් නොවේ. සැබෑ අභියෝගය වන්නේ ශ්‍රී ලංකාව තවදුරටත් වාර්ගික ජාතිකත්වයේ සහ ආගමික අන්තවාදයේ චක්‍රය තුළ රඳවා තැබීමට උත්සාහ කරන දේශපාලනයෙන් ගැලවී, පුරවැසි සමානාත්මතාවය, බහුත්වවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදී සංහිඳියාව මත පදනම් වූ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගිය හැකිද යන්නයි.



Athulasiri Samarakoon(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)
2026 මැයි 19

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...