එය දශක ගණනාවක් පුරා ගොඩනැගුණු දූෂිත ප්‍රභූ දේශපාලනය, ආර්ථික බංකොලොත්භාවය, පවුල්වාදය සහ අසාර්ථක රාජ්‍ය පාලනයට එරෙහි ගොඩනැගුණු සමාජීය ප්‍රතික්ෂේපයේ ප්‍රතිපලයකි. එබැවින් මෙම ජනවරම ආණ්ඩු මාරුවක් පමණක් ලෙස නොව, රාජ්‍යය ම ප්‍රතිසංස්කරණය කළ යුතු ඓතිහාසික අවස්ථාවක් ලෙස තේරුම් ගැනීම වැදගත්ය.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය පෙන්වන්නේ විශාල දේශපාලන හා ආර්ථික හැරවුම් ලක්ෂ්‍යයන් බොහෝවිට නව ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සමග පැමිණි බවයි. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව බණ්ඩාරනායක මැතිනියගේ යුගයේ බිහිවූයේ යටත් විජිත උරුමයන්ගෙන් මිදී ස්වදේශීය රාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණින්ය. එය සිංහල බෞද්ධ ප්‍රමුඛත්වය සහ සුළු ජාතීන්ගේ ගැටලු සම්බන්ධයෙන් විවේචනයට ලක් වුවද, එහි ආර්ථික දර්ශනය වූයේ රාජ්‍ය මූලික, සමාජවාදී හා මිශ්‍ර ආර්ථිකයක් ය. එහි රාජ්‍යය යනු වෙළඳපොළට යටත් නොවූ, සංවර්ධනය මෙහෙයවන ආයතනයකි.
ඊට ප්‍රතිවිරුද්ධව 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දුන්නේ ජයවර්ධන අග්‍රාමාත්‍යවරයා සහ පසුව පළමු විධායක ජනාධිපති විසිනි. එය නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණවල දේශපාලන රාමුව විය. විධායක ජනාධිපති ක්‍රමය හරහා බලය කේන්ද්‍රීය කරමින්, රාජ්‍යය වෙළඳපොළ හිතකාමී ධනවාදී මාවතකට යොමු කරන ලදී. එම ක්‍රමය සංවර්ධනයේ වේගය, විවෘත ආර්ථිකය සහ ගෝලීය ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කළද, එය ප්‍රජාතන්ත්‍රවාදී සමතුලිතතාවය දුර්වල කළේය. ඒ සමගම වාර්ගික ගැටුම ද තීව්‍ර විය.
මෙම ඉතිහාසය අපට කියා දෙන්නේ ආර්ථික ක්‍රමයක් වෙනස් කිරීමට ව්‍යවස්ථාමය පදනමක් අවශ්‍ය වන බවයි. එබැවින් අද ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග — ආර්ථික අර්බූදය, ජනතා අවිශ්වාසය, වාර්ගික ප්‍රශ්නය, ගෝලීය බල කේන්ද්‍රවල වෙනස් වීම සහ ඉන්දියාව-චීනය-ඇමරිකාව අතර භූ දේශපාලනික තරගය — මේ සියල්ලට පිළිතුරු සෙවීමට නව දේශපාලන ගිවිසුමක් අවශ්‍ය වී ඇත.
අද ලෝකය ඒකධ්‍රැවීය නොවේ. ඇමරිකානු ආධිපත්‍යය පමණක් නොව, චීනය, ඉන්දියාව, රුසියාව, BRICS කණ්ඩායම සහ කලාපීය බලවේග නව බල ව්‍යුහයක් නිර්මාණය කරමින් සිටී. ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයකට මෙවැනි බහුධ්‍රැවීය ලෝකයක ජීවත්වීම සඳහා නව රාජ්‍ය දර්ශනයක් අවශ්‍ය වේ. ඉන්දියාව සමග සහයෝගීතාවය, දකුණු ආසියානු ආරක්ෂක යථාර්ථය, සාගරීය භූ දේශපාලනය සහ ආර්ථික ස්ථාවරභාවය එකිනෙකට බැඳී ඇත.
එමෙන්ම වාර්ගික ගැටලුවට ද නව විසඳුමක් අවශ්‍යය. දශක ගණනාවක් පුරා සිදු වූ යුද්ධය අවසන් වුවද, දේශපාලන විසඳුමක් නොමැතිව ජාතික ප්‍රශ්නය අතුරුදන් වී නැත. නව ජනරජයක් යනු ඒකීය රාජ්‍යය සහ බහුජාතික සමාජය අතර නව සමතුලිතතාවයක් සෙවීමේ උත්සාහයක් විය යුතුය.
රූසෝ කතා කළ general will හෙවත් පොදු ජන කැමැත්ත යනු පුද්ගලික ප්‍රභූ වුවමනාකම්වලට වඩා මහජන පොදු යහපත ප්‍රමුඛ කරගැනීමයි. අද ජාතික ජන බලයට ලැබී ඇති ජනවරම තුළ ද එවැනි පොදු ජන අපේක්ෂාවක් දක්නට ලැබේ — දූෂණයට එරෙහි වීම, සමාජ සාධාරණත්වය, රාජ්‍ය ප්‍රතිසංස්කරණය සහ සමානාත්මතාවය ආදීය එය පෙලගැස්විය හැක.
නමුත් ඉතිහාසය පෙන්වන්නේ ජන බලය ආයතනික ගතනොක.ගළහොත් එය නැවත ප්‍රභූ පංතිය විසින් අත්පත් කරගන්නා බවයි. 1956 ජනතා විප්ලවයද, 1977 ආර්ථික විවෘත කිරීමද, 2022 අරගලයද අවසානයේ ආයතනික බල ව්‍යුහයන් විසින් නැවත පාලනය කරනු ලැබීය. එබැවින් අද ඇති ප්‍රශ්නය වන්නේ ජනතා ආණ්ඩුවක් තාවකාලික මැතිවරණ ජයග්‍රහණයක් ලෙස නොව, දිගුකාලීන ජනතා රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්නේ කෙසේද යන්නයි.
ඒ සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍යය. එය හුදෙක් නීතිමය ලේඛනයක් නොව, නව සමාජ ගිවිසුමක් විය යුතුය. එහිදී, විධායක බලය සීමා කිරීම, පාර්ලිමේන්තු සහ ස්වාධීන ආයතන ශක්තිමත් කිරීම, වාර්ගික බල බෙදාහැරීම පිළිබඳ නව ආකෘතියක්, සමාජ ආරක්ෂාව හා ජනතා අයිතිවාසිකම් තහවුරු කිරීම, දූෂණ විරෝධී ව්‍යූහයන්, සහ ජනතා සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය යන කරුණු අත්‍යාවශ්‍ය වේ.
තෙවන ජනරජයක් යනු නමක් පමණක් නොව, එය රාජ්‍යයේ දිශාව වෙනස් කිරීමකි. එය ප්‍රභූ රාජ්‍යයකින් මහජන රාජ්‍යයකට යාමක් විය යුතුය. එසේ නොවුවහොත්, අද ගොඩනැගී ඇති ජන බලය ද හෙට නැවතත් පැරණි බල කේන්ද්‍ර වෙත ලිස්සා යා හැකිය. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය නැවත නැවතත් පෙන්වා දී ඇත්තේ ජනතාව විප්ලව කරන්නේ පාලකයන් වෙනස් කිරීමට පමණක් නොව, රාජ්‍යයේ ස්වභාවය වෙනස් කිරීමට බවයි.
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
smasa@ou.ac.lk
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)




