The Leader News
BREAKING
Top Ad
Opinion

හාමු/දුරුවෝ සහ සංඝ සමාජයේ නව බල-දේශපාලනය | Athulasiri Samarakoon

T

The Leader Desk

May 23, 2026 • 5:38 AM

හාමු/දුරුවෝ සහ සංඝ සමාජයේ නව බල-දේශපාලනය | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “හාමු” යන පදය සිංහල සමාජයේ සාමාන්‍ය ආමන්ත්‍රණයක් නොවේ. එය බලය, උසස්භාවය, සමාජීය දුරස්ථභාවය සහ ආධිපත්‍යය සංකේතවත් කරන පදයකි.
  • ඒ අනුව, වැඩවසම් වලව්ව අහිමි වූ පසු, “සංස්කෘතික වලව්ව” ලෙස පන්සල මතු වූවාද යන ප්‍රශ්නය මතුවේ.
  •   මෙය සරලව සංඝයාට එරෙහි ප්‍රකාශයක් ලෙස නොව, සමාජ බලය පිළිබඳ විග්‍රහයක් ලෙස තේරුම් ගත යුතුය.
  • ශ්‍රී ලංකාවේ පශ්චාත් යටත්විජිත දේශපාලනය තුළ සංඝයා “ආගමික නායකයා” පමණක් නොව “ජාතියේ භාරකරු” ලෙසද ගොඩනැගුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

“හාමුදුරුවෝ” යන්න අද බොහෝවිට භාවිතා වන්නේ සංඝ සාමාජිකයන් හඳුන්වන්නට වුවද, එහි ඓතිහාසික හා සමාජ විද්‍යාත්මක මූලයන් සොයා බැලූ විට එය වැඩවසම් කුලීනත්වය හා බැඳුණු සංස්කෘතික සංකේතයක් බව පැහැදිලි වේ. “වලව්වේ හාමු” සහ “පන්සලේ හාමුදුරුවෝ” අතර පවතින මෙම ගැඹුරු සම්බන්ධය, ශ්‍රී ලාංකේය සමාජයේ බලය පරිවර්තනය වූ ආකාරය තේරුම් ගැනීමට වැදගත් දොරටුවකි.

වැඩවසම් යුගයේ “වලව්ව” යනු නිවසක් පමණක් නොවීය. එය ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික බලය කේන්ද්‍රගත වූ ස්ථානයකි. වලව් හිමියන් “හාමුලා” ඉඩම්, ශ්‍රමය, කුල පද්ධතිය සහ ආගමික අධිකාරිය මත පදනම් වූ සමාජ ව්‍යුහයක ඉහළම ස්ථරය නියෝජනය කළහ. ඔවුන්ගේ බලය නීතියට වඩා ඉහළ සමාජීය පිළිගැනීමකින් පෝෂණය විය. ගම්වාසීන්ට ඔවුන් “මහත්තයා” නොව “හාමු” විය. එය ගෞරවයට වඩා යටත්භාවය පිළිබඳ සංකේතයකි.

cash money

යටත්විජිත යුගයත්, ධනවාදයේ වර්ධනයත් සමඟ මෙම සම්ප්‍රදායික වැඩවසම් බල ව්‍යුහය ක්‍රමයෙන් බිඳ වැටුණි. ගම්පෙරළිය නවකතාව තුළ මාර්ටින් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ පැරණි කුලීන පංතිය ක්‍රමයෙන් දුර්වල වී, නව ධනපති පංතිය සමාජයේ බලය අත්පත් කරගන්නා ආකාරයයි. බිඳ වැටෙන වලව් සංස්කෘතිය නව මුදල් බලය සමඟ විවාහ, සමාජ සම්බන්ධතා සහ දේශපාලන සන්ධාන හරහා එකතු විය. ඒ අනුව, කුලය මත පදනම් වූ බලය මුදල් මත පදනම් වූ බලයකට පරිවර්තනය විය.

නමුත්, “හාමු” යන ආමන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වූයේ නැත. එය සංඝ සමාජය තුළ නව ජීවිතයක් ලබාගත්තේය. “හාමුදුරුවෝ” යනුවෙන් භික්ෂූන් හැඳින්වීම, භක්තියට පමණක් අදාළ ආමන්ත්‍රණයක් නොව, සමාජීය බලය, උසස්භාවය සහ “අනන්‍ය ස්ථානයක්” හිමිවීම පිළිබඳ අදහසක්ද රැගෙන යයි. ඒ අනුව, වැඩවසම් වලව්ව අහිමි වූ පසු, “සංස්කෘතික වලව්ව” ලෙස පන්සල මතු වූවාද යන ප්‍රශ්නය මතුවේ.

 

thero colmbo

මෙය සරලව සංඝයාට එරෙහි ප්‍රකාශයක් ලෙස නොව, සමාජ බලය පිළිබඳ විග්‍රහයක් ලෙස තේරුම් ගත යුතුය. ඕනෑම ආයතනයක් එය දේශපාලන පක්ෂයක් වුවත්, හමුදාව වුවත්, සංඝ සංස්ථාව වුවත්, සමාජය තුළ විශාල අධිකාරියක් සහ අවිවේචනීය ගෞරවයක් ලබන විට, එම බලය අවභාවිතා වීමේ අවදානමද වැඩිවේ. ශ්‍රී ලංකාවේ පශ්චාත් යටත්විජිත දේශපාලනය තුළ සංඝයා “ආගමික නායකයා” පමණක් නොව “ජාතියේ භාරකරු” ලෙසද ගොඩනැගුණි. විශේෂයෙන් සිංහල-බෞද්ධ ජාතිකවාදය ශක්තිමත් වූ අවස්ථාවලදී, සංඝයාගේ දේශපාලන බලය විශාල ලෙස ඉහළ ගියේය.

විශේෂයෙන් මහින්ද රාජපක්ස යුගයේදී “රණවිරු රාජ්‍යය” සහ “දේශය රැකගත් බෞද්ධ උරුමය” යන ආඛ්‍යානයන් සමඟ සමහර භික්ෂූන් අතිශය බලවත් සමාජ-දේශපාලන ස්ථානයකට පත්විය. ඇතැම් අවස්ථාවල ඔවුන් නීතියට ඉහළින් සිටින පිරිසක් ලෙස සමාජයේ කොටසක් විසින් දක්නට ලැබුණි. දේශපාලනඥයන් පවා හාමුදුරුවන්ගේ අනුග්‍රහය ලබාගැනීමට උත්සාහ කළහ. මේ තත්ත්වය තුළ “හාමුදුරුවෝ” යන්න ආගමික පදයක් පමණක් නොව, සමාජ බලය සංකේතවත් කරන දේශපාලනික පදයක් බවටද පත්විය.

 

thero arrest drings
මෙම බලය සමඟ ගැටළුවක් මතුවන්නේ, එය විවේචනයෙන් සහ නීතිමය පරීක්ෂාවෙන් නිදහස් වීමට උත්සාහ කරන අවස්ථාවලදීය. ළමා අපචාර, ලිංගික දූෂණ, මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා, දේශපාලන මැදිහත්වීම්, ආර්ථික වංචා වැනි සිද්ධීන් සමහර භික්ෂූන් සම්බන්ධයෙන් වාර්තා වන විට, ඒවා පුද්ගලික වරදක් පමණක්ද, නැතිනම් “අසීමිත ගෞරවය සහ බලය” ඇති ව්‍යුහයක ප්‍රතිඵලයක්ද යන්න විමසිය යුතු වේ. බලය සහ අවිවේචනීයත්වය එකට එකතු වූ විට, ආයතනික අපචාර සැඟවීමේ ප්‍රවණතාවයක් ඇතිවීම සමාජ විද්‍යාත්මකව අලුත් දෙයක් නොවේ.

මෙහි තවත් ගැඹුරු පරස්පරයක් පවතී. බෞද්ධ සංඝ ජීවිතය මූලික වශයෙන් ගිහි ජීවිතයෙන් වෙන්වීම, ලිංගික ආශාවන් පාලනය කිරීම, ආත්ම දමනය සහ ශාසනය මත පදනම් වේ. නමුත් සමාජය තුළ අතිවිශාල ගෞරවයක්, දේශපාලන බලයක් සහ ආර්ථික පහසුකම් ලැබෙන විට, එම සංයමය පවත්වාගැනීමේ ගැටළුද මතුවිය හැකිය. විශේෂයෙන් මනුෂ්‍ය ආශාවන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ආයතන තුළ, එම ආශාවන් රහසිගත සහ විකෘති ආකාරවලින් නැවත මතුවීමේ අවදානමද රැගෙන යයි. එබැවින්, ඇතැම් අපචාර සිද්ධීන් පුද්ගලික දුර්වලතා පමණක් නොව, ආයතනික ව්‍යුහයන් පිළිබඳ ප්‍රශ්නද මතු කරයි.

 

bawa karma
මෙම තත්ත්වය විග්‍රහ කිරීමට බව දුක සහ බව කර්ම චිත්‍රපටවල දී ධර්මසිරි බණ්ඩාරනායක ගන්නා උත්සාහය පෙන්වා දෙන්නේ වැඩවසම් බලය විසින් සාමාන්‍ය ජනයාගේ ජීවිත සහ ශරීර පවා පාලනය කළ බවයි. රවීන්ද්‍ර රන්දෙණිය නිරූපණය කරන “හාමු” චරිතය සහ ස්වර්ණා මල්ලවආරච්චි නිරූපණය කරන දිළිඳු කාන්තා චරිතය අතර සම්බන්ධය, පංති, කුල සහ ලිංගික බලය එකිනෙකට බැඳී ඇති ආකාරය ප්‍රකාශ කරයි. එහි “හාමු” යනු පුද්ගලයෙකු පමණක් නොව, සමස්ත බල ව්‍යුහයක නාමයයි.

අද වනවිට වලව් බොහෝ දුරට අතුරුදහන් වී ඇත. නමුත් “හාමු” සංස්කෘතිය තවමත් ජීවමාන ය. එය සමහරවිට දේශපාලනඥයා තුළ, සමහරවිට ධනපතියා තුළ, සමහරවිට ආගමික නායකයා තුළ නැවත උපත ලබයි. ඒ නිසා ප්‍රශ්නය “හාමුදුරුවෝ හොඳද නරකද” යන්න නොවේ. ප්‍රශ්නය වන්නේ, සමාජයක් ලෙස අප බලය ගොඩනඟනන්නේ කෙසේද, අවිවේචනීය ගෞරවය ලබාදෙන්නේ කාටද, සහ ඒ බලයට වගකීමක් පවරනවාද යන්නයි.

වැඩවසම් වලව්වේ හාමුලාගේ යුගය අවසන් වී තිබුණද, “හාමු” යන බල සංස්කෘතිය තවමත් වෙනත් ආකාරවලින් ජීවමාන විය හැකිය. ශ්‍රී ලංකාවේ නූතන සමාජය තේරුම් ගැනීමට නම්, මෙම “හාමු” සංස්කෘතිය — එහි කුලය, ආගම, පංතිය, ලිංගිකත්වය සහ දේශපාලනය සමඟ ඇති සම්බන්ධය විවේචනාත්මකව විග්‍රහ කළ යුතුය.

Athulasiri Samarakoon
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)
2026 මැයි 22
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...