වෙනස් දේශපාලන ආකෘතියක් ඉදිරිපත් කරන ක්‍රියාවලියක් ලෙස නොව, පරණ දේශපාලන බලවේග ප්‍රතිසංධානගතවීමට ගන්නා උත්සාහයක් ලෙස පෙනී යයි.
“මහජන හඬ”, “ඒකාබද්ධ විපක්ෂය” වැනි නාමයන් යටතේ කථාබහට ලක්වන සන්ධානවල දේශපාලන ව්‍යුහය, නායකත්වය සහ අදහස් පසුබිම සලකා බැලූ විට, එහි සැබෑ නව්‍යතාවයක් පවතින බව තවමත් පැහැදිලිව දැකිය නොහැක. එසේම සංධානගතවීම ට එකතුවන පාර්ශවයන් අතර යම් සංශයවාදීමය (නායකත්වය හා දර්ශනය ගැන) තත්වයක් පවතින බවද පැහැදිලිය.
බොහෝ විට මෙය පසුගිය දශකයේ දේශපාලන බලවේගම නැවත සංවිධානය වීමට ගන්නා උත්සාහයක් ලෙස පෙනේ. මෙම ක්‍රියාවලියේදී වැදගත් ලෙස සලකා බැලිය යුතු පුද්ගලයෙකු වන්නේ චම්පික රණවක ය. ඔහු බොහෝ අවස්ථාවලදී තමා සෘජුවම විශාල සන්ධාන නායකත්වයට නොඑන නමුත්, විවිධ දේශපාලන කණ්ඩායම් අතර සම්බන්ධතා ගොඩනැගීමේ බුද්ධිමය සහ සංවිධානමය භූමිකාවක් ඉටු කරන පුද්ගලයකු බව හඳුනාගත හැක. ඔහුගේ දේශපාලන කථනය තුළ බොහෝ විට “ආයතනික ප්‍රතිසංස්කරණ”, “නව ආර්ථික උපාය මාර්ග” වැනි සංකල්ප ඉදිරිපත් වූවද, ප්‍රායෝගික දේශපාලනය තුළ ඔහු වටා ගොඩනැගෙන සන්ධාන බොහෝවිට පරණ දේශපාලන වෘත්තිකයන්, බෞද්ධ ජාතිකවාදීන් වැනි බලවේග සමඟ සම්බන්ධ වේ. එම නිසා ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය නව ප්‍රතිපත්තිමය ආකෘතියක් ද, නැතහොත් පරණ බලවේග නව නාමයකින් සංවිධානය කිරීමක් ද යන්න පිළිබඳ ප්‍රශ්න මතුවෙයි.
තවද මෙම සන්ධාන ගොඩනැගීමේ පසුබිම තුළ බොහෝවිට දක්නට ලැබෙන්නේ මහාචාර්ය ජී. ඇල්. පීරිස් වැනි තම දේශපාලන ජීවිතයට විශ්‍රාමයක් නොසොයන දේශපාලන නායකයන්ගේ සංවිධානමය හා දේශපාලන උපදේශක භූමිකාවයි. දේශපාලන දෘෂ්ටිවාදයට වඩා ප්‍රයෝජ්‍යතාවාදය pragmatism ගුරුකොට ගැනීම ඔහුගේ සමස්ථ භාවිතාව තුළම පවතින කේන්ද්‍රීය ඓතිහාසික ලක්ෂණයකි. සජිත් ප්‍රේමදාස ඔහුට ජාතික ලයිස්තුව හරහා අවස්ථාවක් ලබා නොදුන්නද උතුරේ සහ දකුණේ යන දෙකේම ප්‍රභූන් අතර බලය සජබයට ගෙන ඒමට ඔහු ක්‍රියාත්මකවිය.
මේ මොහොතේ මහාචාර්ය පීරිස් විවිධ දේශපාලන කණ්ඩායම් අතර සංවාද හා එකඟතා ගොඩනැගීමට උත්සාහ කරන අතර, විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ සමඟ සම්බන්ධ දේශපාලන වැඩපිළිවෙල තුළ ඔහුගේ උපදේශක සහ සංවිධානමය භූමිකාව ගැන කථාබහක් පවතී. මෙම උත්සාහයන්ගේ අරමුණ වන්නේ විවිධ විපක්ෂ කණ්ඩායම් එකතු කරමින් රජයට විරුද්ධව පුළුල් දේශපාලන පෙරමුණක් ගොඩනැගීමයි. කෙසේ වෙතත්, එය නව දේශපාලන අදහසක් මත ගොඩනැගුණු සන්ධානයක් නොව, බලය ලබාගැනීමේ දේශපාලන ගණිතය මත පදනම් මත සිදුවන එකතුවක් ලෙස පෙනී යයි.
මෙම සන්ධාන පිළිබඳ විචාරාත්මකව බලන විට, එය බොහෝ විට බලය කේන්ද්‍රීය දේශපාලන දර්ශනයක් නිර්මාණය කළ මකියවෙල්ලි විසින් විස්තර කළ දේශපාලන බලය ලබාගැනීමේ ක්‍රමවේදයන්ට සමාන ප්‍රවේශයක් ලෙසද දැකිය හැක. මකියවෙල්ලියානු දේශපාලන චින්තනය අනුව, බලය ලබාගැනීම සඳහා නායකයන් අවස්ථාවට අනුව සන්ධාන ගොඩනගා ගැනීම, වාසිදායක සම්බන්ධතා සකස් කිරීම සහ දේශපාලන පරිසරය අනුව ස්ථානගත වීම සාමාන්‍ය ක්‍රියාවලියකි. ශ්‍රී ලංකාවේ ද මේ වර්තමාන සන්ධාන උත්සාහයන් තුළ එවැනි අවස්ථානුකූල දේශපාලන ගණිතයක් පවතින බව පෙනී යයි.
එසේම වර්තමාන ආණ්ඩුව පිළිබඳව පවතින විවේචන අතර බොහෝවිට ඉදිරිපත් වන්නේ එහි සමහර ඇමතිවරුන්ගේ ඉංග්‍රීසි භාෂා හැසිරවීම පිළිබඳ විවේචන වේ. කෙසේ වෙතත්, එවැනි භාෂාමය කුසලතා සම්බන්ධ කරුණු පමණක් දේශපාලනිකව ආණ්ඩුවක් පෙරළීමට හේතු වන ප්‍රධාන සාධකයක් ලෙස සලකා බැලිය නොහැක. දේශපාලන ස්ථාවරත්වය තීරණය කරන්නේ ආර්ථික ප්‍රතිපත්ති, සමාජීය එකගතාවය, දේශීය දේශපාලන සම්බන්ධතා සහ ජාත්‍යන්තර සම්බන්ධතා වැනි පුළුල් සාධක මත ය. කොටින්ම සමාජ මාධ්‍ය හරහා සිදු කරන විකෘති දේශපාලන සංනිවේදන හරහා පමණක් විපක්ෂයට බලය ලබාගැනීමට හැකියාව ලැබේද මීළග මැතිවරණ වලදී හෙළිවිය හැකි සත්‍යයකි.
වර්තමාන ලෝක දේශපාලනය තුළ දක්නට ලැබෙන ගෝලීය ආර්ථික අර්බුදය හා මැද පෙරදිග ගැටුම, කලාපීය බල තරඟ සහ භූ-දේශපාලනික පීඩනය ගැන සලකා බැලූ විට, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ද යම් මට්ටමක ස්ථාවරතාවයක් පවත්වාගෙන යාමට උත්සාහ කරන බව පෙනේ. කලාපීය බලවේග, විශේෂයෙන්ම ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමඟ සාර්ථකව සම්බන්ධතා පවත්වාගෙන යාම, එසේම ගෝලීය ආර්ථික ආයතන සමඟ ගනුදෙනු කිරීම වැනි කරුණු රටේ දේශපාලන ස්ථාවරත්වයට බලපාන ප්‍රධාන සාධකයන් ලෙස ද දැකිය හැක.
එම නිසා ශ්‍රී ලංකාවේ වර්තමාන විපක්ෂ සන්ධාන උත්සාහයන් තවමත් පරිණාමීය ආරම්භක තත්වයක පවතින අතර, ඒවාට සැබෑ දේශපාලන විකල්පයක් බවට පත්වීමට නම් නව දේශපාලන අදහස්, ප්‍රතිපත්ති සහ මහජන විශ්වාසය ගොඩනැගීමේ හැකියාව පෙන්විය යුතුය. නාමයන් වෙනස් කිරීම හෝ පරණ දේශපාලන බලවේග නැවත එකතු කිරීම පමණක්, ශ්‍රී ලංකාවේ දේශපාලන පද්ධතිය තුළ නව විකල්පයක් ගොඩනැගීමට ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය.
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
smasa@ou.ac.lk
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)




