මෙරට සහ අන්තර්ජාතික ඇමරිකානු විරෝධී කොටස්, ජාතිකවාදීන් සහ වාමාංශිකයන් එම තත්වය අපේක්ෂා කරන බවත් පෙනී යයි.
ඇමරිකාවේ සාපේක්ෂ කඩාවැටීමත්, චීනය සහ රුසියාව වැනි රාජ්‍යවල නැගීමත් සමග ලෝක බල රටාව තුළ ඇතිවන වෙනස සමඟ, ලෝකය ගමන් කරන්නේ නව බල සමතුලිතතාවයක් දෙසටද නැතිනම් අනියත බවින් පිරි අසමතුලිතතාවයක් වෙතද යන සැකය ජාත්‍යන්තර සමාජය වෙලාගෙන තිබේ.
එම තත්වය තුළ ඇමරිකානු බලය අඩුවීම යනු සැමරිය යුතු දෙයක්ද? නැතහොත් එය අනාගතයේ අස්ථාවර සහ අතාර්කික ලෝකයක් පිළිබඳ අනතුරු සංඥාවක්ද?
ස්ථාවරභාවය වෙනුවට අස්ථාවරත්වය
1990 දශකයේ සිට ආරම්භ වූ ඒකධ්‍රැවීය යුගය ලෝකයට යම් ස්ථාවරතාවයක් ලබා දුන්නේය. චාර්ල්ස් ක්‍රව්තැමර් එය “ඒකධ්‍රැවීය මොහොත” ලෙස මෙය හැඳින්වූ අතර, ෆ්‍රැන්සිස් ෆුකුයාමා එය “ඉතිහාසයේ අවසානය” ක් එනම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය ලෙස ප්‍රකාශ කළේය.

ලිබරල් දෘෂ්ටියට අනුව එක්සත් ජනපදය යටතේ UN, ලෝක බැංකුව, ලෝක වෙළඳ සංවිධානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ශක්තිමත් විය. ගෝලීය වෙළඳාම, නීතිය, සහ මානව හිමිකම් වැනි මූලධර්ම ප්‍රචලිත විය.
නමුත් යථාර්ථවාදී ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණය පවසන්නේ මෙය සදාකාලික නොවන තත්ත්වයක් බවයි. බලවතුන් නව තරඟකාරීත්වයන්ට පිවිසීම අනිවාර්ය බව ඔහු තර්ක කරයි. රුසියානු යුක්රේන යුද්ධය, දකුණු චීන මුහුද ආශ්‍රිත ගැටුම් සහ අද මැද පෙරදිග යුද්ධයට ඇමරිකාව සෘජුව මැදිහත් වීම මෙම තත්වය පැහැදිලි කරයි.
බහුධ්‍රැවීය ලෝකය සාමකාමී ද?
බොහෝ දෙනා, විශේෂයෙන් ගෝලීය දකුණේ, ඇමරිකානු ආධිපත්‍යය අවසන් වීම නව අවස්ථාවක් ලෙස දකිනවා. නමුත් ඉතිහාසය පෙන්වන්නේ බහුධ්‍රැවීය පද්ධති බොහෝ විට අස්ථාවර බවයි. 1914ට පෙර යුරෝපයේ බලවතුන් ගණනාවක් නැගීසිටීම අවසානයේ ගමන් කළේ පළමු ලෝක යුද්ධයක් වෙතය.

අද ලෝකයේ බහුධ්‍රැවීයත්වය (මහ බලවතුන් කිහිප දෙනෙකු පද්ධතිය ට බලපෑම් කරන අවස්ථාව) සමාන බලවතුන්ගෙන් නොව, අසමතුලිත බල ව්‍යුහයකින් යුක්ත වෙයි. චිනය නව ආර්ථික සහ භූ-රාජ්‍ය ආකෘති ගොඩනඟන අතර, රුසියාව පවතින පද්ධතිය අභියෝගයට ලක් කරයි. ඉන්දියාව, තුර්කිය, සෞදි අරාබිය ආදී රටවල් ස්වාධීන රාජ්‍යමය මාර්ග සොයමින් සිටී.
මෙහි ඇති විශාලම අනතුර වන්නේ “පොදු නීති රහිත බහුධ්‍රැවීයත්වයක්”, එනම් පිලිගත් මධ්‍යස්ථ බලයක් නොමැති තත්ත්වයක් වෙත අප වේගයෙන් ලෝකයක් ලෙස ගමන් කිරීමයි.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ නව යථාර්ථවාදීන් නැතිනම් ව්‍යූහවාදීන් අනතුරු ඇගවූ ආකාරයට බල සමතුලිතතාවය බිඳවැටීම අස්ථාවරත්වයට හේතුවෙයි. ඒ අනුව “අනාගතය අරාජිකවාදී තත්ත්වයක්” දෙසට ගමන්කරන බව කිව හැක.
අද අප දකින්නේ: ජාත්‍යන්තර ආයතන දුර්වල වීම, ප්‍රොක්සි යුද්ධ සහ නව ආකාරයේ සටන් වලට ගමන් කරන ලෝකයකි.
ඒ තුළ ආර්ථික විභේදනය, ජාත්‍යන්තර නීති හා සම්මුති බිඳවැටීම ප්‍රමුඛ ලක්ෂණ වෙයි.
මෙය සරලවම ඇමරිකානු ආධිපත්‍යයෙන් නිදහස් වීමක් නොව, අරාජිකත්වය සහ අනාරක්ෂිතත්වය තව දුරටත් වර්ධනය වීමකි.
ලිබරල් චින්තකයන් පවසන්නේ ආයතන සහ අන්තර් පරායත්තතාවය මගින් සහයෝගීතාවය ප්‍රවර්ධනය වන බවයි. නමුත් UN ආරක්ෂක මණ්ඩලය වැනි ආයතන අද බලවතුන්ගේ ගැටුම් නිසා අකර්මණ්‍ය වෙමින් පවතී.

නිර්මාණවාදී චින්තකයන් (constructivism) ප්‍රකාශ කරන්නේ ලෝකය අදහස් සහ අනන්‍යතා මගින් හැඩගැසෙන බවයි. නමුත් අද ජාතිකවාදය, සංස්කෘතික අයිතිවාසිකම්, සහ ආරක්ෂක භීතිකා ඉහළ යමින් තිබේ. එනම් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක් පිළිබඳ අදහස් සහ ප්‍රතිමාන වල බලය ප්‍රශ්නකිරීමට ලක්වී තිබේ.
යුක්රේනියානු යුද්ධය පෙන්වන්නේ සම්මුති සහ නීති පමණක් බලය නියාමනය කිරීමට ප්‍රමාණවත් නොවන බවයි.
ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයක පැවැත්ම
ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයන් සඳහා මෙය අතිශය සංකීර්ණ තත්ත්වයකි. ඉන්දියානු සාගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව, ඉන්දු -චීන තරගය මධ්‍යයේ සිය පැවැත්ම සාධනය කරගතයුතුය. මෙහිදී අප ඉන්දියානු බලය සමඟ එක්වීම අනිවාර්යද? යථාර්ථවාදී දෘෂ්ටියෙන්, භූගෝලය වැදගත්ය. කෞටිල්‍ය පෙන්වා දුන්නේ ආසන්න රටවල් ප්‍රධාන බලපෑම් කරුවන් වන බවයි.

නමුත්, ශ්‍රී ලංකාවට වෙනත් උපාය මාර්ග ද ඇත: එනම් බහු රාජ්‍ය සබඳතා ඇතිකර ගැනීම, ආර්ථික ස්වාධීනතාවය, කලාපීය සබඳතා ශක්තිමත් කිරීම සහ ආයතනික ශක්තිය වර්ධනය කරගැනීම ආදියයි. කෙසේවෙතත් ඉන්දියානු බලපෑම ශ්‍රී ලංකාව මුහුණ දෙන හා එයට ශක්තියක් බවට හරවාගත යුතු භූදේශපාලන යථාර්ථය යි.
ඇමරිකානු ආධිපත්‍යය අවසන් වීම යම් පාර්ශවයකට සතුටක් විය හැකි නමුත්, එය අනිවාර්යයෙන්ම වඩා යහපත් ලෝකයක් ගෙන එන්නේ නැත. ද්විධ්‍රැවීය ලෝකයට ව්‍යුහයක් තිබුණි. ඒකධ්‍රැවීය ලෝකයට නියමයක් තිබුණි. නමුත් නව ලෝකය යනු එවැනි පැහැදිලි පර්යායක් නොමැති එකක් විය හැක.
ශ්‍රී ලංකාවට මෙහි දී ඇතිවන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ලෝකය කෙසේ වෙනස් වේද යන්න නොව, එම වෙනස්වීම් තුළ තම ස්වාධීනතාවය සහ ආරක්ෂාව කෙසේ රැක ගන්නේද යන්නයි.
අවසන ජාත්‍යන්තර දේශපාලනය තුළ ජයග්‍රහණය ලැබෙන්නේ හොඳ ලෝකයක් ගැන සිහින දැකීමෙන් නොව, පවතින ලෝකයට සුදුසු ලෙස හැඩගැසීමෙන්ය.
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
smasa@ou.ac.lk
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)





