මේක දැන් කාලයක් තිස්සෙ ලියන්න ඕන කියල හිතමින් හිටපු කාරණයක්. ඒත් මේ පොත් ප්‍රදර්ශන එක්ක වෙන වෙන දේවල් කරමින් හිටපු හින්ද ඒක අමතක වෙලා ගියා. දැන් මාලිමාව පරාජය වෙමින් මේ මොහොතෙ හරි ලියලා තියන එක හොඳයි කියල හිතුන.
ලංකාවෙ එතෙක් මෙතෙක් බිහිවුනු දේශපාලනිකව මුග්ධම පක්ෂය තමයි මාලිමාව. කිසිම දේශපාලන සවිඥානකත්වයක් නැතුව තමන් විසින්ම තමන්ගේ විනාශය කැඳවාගත් පක්ෂයක්. ඒකෙන් ඇත්තටම සිද්ද වුනේ ජවිපෙ කියන මේ රටේ පරිහාණියට ඓතිහාසික සාධකයක් වුනු කාරණය අවසන් වී යාම. ඒ පැත්තෙන් මාලිමාව බලයට පැමිනීම රටට හොඳක්.
මාලිමාව කලේ තමන් හැර අනෙක් සියලු පක්ෂ, කණ්ඩායම්, මතවාදී පිරිස් එක ගොඩකට ගොනු කිරීම. තමන් වඩා පිරිසිදුයි, ශුද්ධයි, වරදින් තොරයි යන අදහසින් අන් සියල්ලන්ව එකට කඳවුරුගත කිරීම. ඒ අය සොරුන්, දූෂකයන් විදිහට හඳුන්වන්න ගත්තා. මාලිමාවෙ අදහසට විරුද්ධ අපි වගේ අයවත් අපහාස කරමින්, අවලාද නගමින් ඒ ගොඩට තල්ලු කළා. ඒක මට සිද්ද වුනු මාරම හොඳ දෙයක්.
මෙතෙක් කල් ජාතිකවාදී පිරිස්වලට පරම විරුද්ධව හිටපු මට ඒ ජාතිකවාදී අදහස්වල හේතුව, අනාරක්ෂිතබව දකින්න පුළුවන් වුනා. ඒ අයත් මිනිස්සු විදිහට, ඒ අයගෙ අදහසුත් වලංගු අදහස් විදිහට දකින්න පුළුවන් වුනා. ඒවා එක්ක මතවාදිමය වශයෙන් ගැටෙමින් වුනත් ඒ අදහස් පැවතීමේ අවශ්‍යතාව දකින්න පුළුවන් වුනා. කොටින්ම මාලිමාව හැරෙන්න අන් සියලු මතවාදී කණ්ඩායම් මගේ මිතුරන් වුනා. එතෙක් මෙතෙක් මිතුරන්ව සිටි මාලිමාවෙ කණ්ඩායම් දුරස් වුනා.
ඇත්තටම මාලිමාව කරගත්තෙ තමන් හුදකලා කරගැනීම. ඒක දේශපාලනිකව කරගන්න තියෙන මුග්ධම කාරණයක්. අනෙක් සියලු මතවාදී කණ්ඩායම් එකපිලකට ගොනු කරමින් හුදු අරගලයේ ජන රැල්ල උඩ ඔරු පදින්න මාලිමාව තීරණය කළා. මේ දේශපාලන හුදකලාව විසින් මාලිමාව සමතලා කිරීම අනිවාර්යයක්.
අනිත් පැත්තෙන් සියලු මතවාදී කණ්ඩායම්වලට එකට එක්විය හැකි වේදිකාවක් හදලා දෙන්නත් මාලිමාව මහන්සි වුනා. ඒ අය ජනතාව කියල එකක් විශ්වාස කළා. එහෙම එකක් නෑ කියල දකින්න ඒ අයට බැරි වුනා.
දේශපාලනයේදී වැදගත් වෙන්නෙ මතවාදී කණ්ඩායම් මිස ජනතාව කියන කිසි අදහසක් නැති ගොනුවීම නෙමෙයි. පාලම් තනාගත යුත්තේ මතවාදී කණ්ඩායම් එක්කයි. ජනතාව මේ චන්දෙදි එක පැත්තක අනිත් චන්දෙදි සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ද පැත්තෙ. තමන්ව උස්සන් යන්නෙ ගෝටාට චන්දෙ දීපු අයමයි කියන එකවත් මාලිමාවට තේරුම් ගන්න බැරි වුනා. ඒක වරදක් නෙමෙයි. කුඩා කණ්ඩායමක්, කල්ට් එකක් විදිහට ගතකරපු ඉතිහාසයක් නිසා හිමිවුනු පටු දැක්මක් ඉරණම.

දේශපාලන වශයෙන් හුදකලා වීම ජයග්‍රහණයක් නෙමෙයි. සමූපාකාර චන්ද ටික බැලුවම ඉස්සරහට වෙන දේ හිතාගන්න පුළුවන්. අමතක නොකළ යුතු දේ වෙන්නෙ මාලිමාවෙ දේශපාලනය කියන්නෙ ලංකාවෙ ඉතිහාස, දේශපාලන ආචාර්ය මහාචාර්ය ආදී නිදහස් අධ්‍යාපන උගතුන් වියතුන් විසින් ගොඩනැගූ මුග්ධත්වයේ ප්‍රාකාරයක් කියන එකයි. ඒ බිඳවැටීම සරල දේශපාලන පරාජයකට වඩා ගොඩක් දේවල් වෙනස් කරන්න නියමිතයි.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
2025 ඔක්තොම්බර 07




