එයාගෙ ඇස් හැමවෙලාවකම කඳුළුවලින් දිලිසෙමින් තියෙනවා. ඒ අනෙකා ගැන හැගීමෙන් ඇස් තෙමන කඳුළු. එයා වයින් බොමින්, මිතුරන් සමග විනෝද වෙමින්, සත්‍යය සොයාගෙන යනවා. ඒ සොයාගත් සත්‍යය නූගත්, සරල මිනිස්සු එක්ක බෙදාගන්නවා. ජේසුස් දේවදූතයෙක් නෙමෙයි. ජේසුස් ශාස්තෘ කෙනෙක් නෙමෙයි. ජේසුස් දාර්ශනිකයෙක් නෙමෙයි. එයා මනුස්සයෙක්. රැඩිකල් මනුෂ්‍යත්වය ගැන දහමක් ජීවිතයෙන් ආදර්ශයෙන් විදහා දක්වපු උත්තුංගයෙක්.
ජේසුස් ගැන නසීම් තලෙබ් ලස්සන විග්‍රහයක් කරනවා. තලෙබ්ට අනුව ජේසුස් කියන්නෙ රැඩිකල් ආචාර් ධාර්මිකත්වයක් සහ ඇන්ටි ෆ්‍රැජයිල් නොහොත් නොබිදෙනසුළු මිනිස් චර්යාවකට උදාහරණයක්.

තලෙබ් කියන්නෙ ජේසුස් ඉතාම ප්‍රායෝගිකතාවාදියෙක් කියලයි. ඒ දහම හියුරිස්ටික් නොහොත් සමාජ සම්බන්ධතා ගැන සරල ප්‍රායෝගික දහමක් කියලයි. උදා විදිහට 'ඔබේ එක කම්මුලකට පහර දෙන්නාට අනෙක් කම්මුලත් දිගු කරන්න'. 'ඔබේ සතුරාට ප්‍රේම කරන්න'. 'කොන්දේසි විරහිතව සමාව දෙන්න'. මේ ආදී කතා මෘදු සදාචාරාත්මක කතා විදිහට ගැනීම දෝෂයක් බව තලෙබ් කියනවා. මේවා ඇසිමෙට්‍රික් ස්ට්‍රැටජි නැත්නම් අනෙකා අපේක්ෂා නොකරන, අසාම්ප්‍රදායික නමුත් විශාල ප්‍රතිඵලදායී උපාය මාර්ග විදිහට එයා විස්තර කරනවා. සමාව දීමෙන් ඔබට අහිමි වන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. නමුත් වෛරයේ සහ පලිගැනීමේ චක්‍රය ආරම්භ වුනොත් එතැනින් අහිමි වන ප්‍රමාණය අතිවිශාල වෙනවා. එය වළක්වා ගැනීමේ සරල චර්යාවක්, පුහුණුවක් ජේසුස් දේශනා කරනවා. මේවා ආධ්‍යාත්මික හෝ පරලොවක් වෙනුවෙන් කරන සාධනාවන් නෙමෙයි. ඊළග මොහොත ගැන විසල් චිත්‍රය දැකීමෙන් ගන්නා මමත්වයෙන් තොර ක්‍රියාමාර්ග.
මේ සරල සමාජ දහම ක්‍රිස්තියානිය විසින් ආගමක් බවට පත් කළා. ඒක සදාචාර දහමක් බවට විකෘති කළා. ගිල්ටිය මූලික ආර්ථිකයක් බවට පත් කළා. ජේසුස් හැමදාම විරුද්ධ වුනු බියුරොක්‍රටික් ආගමික ආයතනයක් බවට විකාශනය කළා.
ජේසුස් කියන්නෙම අද වෝක් සංස්කෘතිකවාදීන් විසින් සමාජ මාධ්‍යවල ඔසවා තබන වර්චු සිග්නලින් නොහොත් තමන් සදාචාරයේ උපරිමයේ සිටින්නෙක් හැටියට විදහා දක්වන බොරුවට එරෙහිව 'ස්කින් ඉන් ද ගේම්' නැත්නම් ශරීරයෙන් මාංශයෙන් ඒ ක්‍රියාවෙහි අනුගත වීමේ අවශ්‍යතාව විදහා දක්වන චරිතයක්. ජේසුස් දෙවි කෙනෙක් නෙමෙයි. එයා වේදනාව දැනෙන, උහුලන මනුස්සයෙක් වීමේ කතාවම ඒකයි. ඒක හුදු නූතන ප්‍රාසාංගික යුක්තිය සාධාරණය වෙනුවෙන් රංගනයක් නෙමෙයි.

තමන්ගේ පෙනී සිටීමේ බර, කුරුසියේ බර දරා සිටිමින්, අවමන් අපහාස බාරගනිමින්, ඒ වෙනුවෙන් ඇණ ගසා මරාදැමීමට පවා ලක්වෙමින්, දහම යනු ජීවිතය බව පසක් කළ මිනිසෙක්. තලෙබ් කියන්නෙ ජේසුස් මියයාමෙන් ක්‍රිස්තුස් ගේ උපත සිදුවීම කියන්නෙම තමන්ගේ අදහස, මතවාදය වෙනුවෙන් මාංශයෙන් කැප කිරීම් කරන්නෙකු මරණය ඉක්මවා නැවත ජීවනය ලබන බවට කියාපාන උපමා කතාවක් කියලයි. අවදානමක් ගන්නෙ නැත්තං එතන දර්ශනයක් නෑ. අවදානම උපරිම නම් ඒ අදහස නැවත නැවත උපදිනවා.
ජේසුස් කතා කලේ එදිනෙදා සරල වහරෙන්. හැමෝටම තේරෙන උපමාවලින්. ඒවා ඒ අදාල වටපිටාවෙන්, ජීවිතයෙන් ගත්ත ඒවා මිස දුරබැහැරින් ආනයනය කරපු ඒවා නෙමෙයි. ඒ හින්දා ජේසුස් කියන්නෙම ලෝකල් සිතන්නෙක්. සංදර්භීය අවබෝධය ප්‍රකට කරන්නෙක්. විශාල න්‍යායන් බැහැර කරන්නෙක්. ප්‍රායෝගික ජීවිතය වැළඳගන්නෙක්. තලෙබ්ට අනුව ජේසුස් කියන්නෙ වීදියේ ප්‍රඥාවන්තයෙක්.
ජේසුස්ගෙ දහම ආගමක් විදිහට දකිනවට වඩා ඊගෝව නිසා ඇතිවෙන මිනිස් මුග්ධබව වළකන ප්‍රායෝගික සමාජ දහමක් විදිහට දකින්න කියලයි තලෙබ් යෝජනා කරන්නෙ. ඒ අනුව තලෙබ් ජේසුස්ව එයාගෙ ඇන්ටි ෆ්‍රැජයිල් නොහොත් නොබිදෙනසුළු බවේ රූපකයක් විදිහට ගන්නවා. වීදුරු ගත්තොත් ඒවා බිදෙනවා. ගලක් වගේ දෙයක් ගත්තොත් ඒක දැඩි ලෙස ප්‍රතිවිරෝධය දක්වනවා. ගැටෙනවා. අවසානයේ පුපුරා යනවා. නමුත් ඇන්ටි ෆ්‍රැජයිල් කියන්නෙ මාංශය වගේ දෙයක්. ආතතිය දැනෙන්න දැනෙන්න තවත් වර්ධනය වෙනවා. වියවුල මැද ශක්තිමත් වෙනවා.
ජේසුස්ට සුබ උපන්දිනයක් වේවා.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




