අනිත් ඉවුරෙ සයිමන් හිටියා. අපි මේ කොනේ සුගත්ලාගෙ ගෙදර කරක් ගහලා හවස අනිත් කොනේ සයිමන්ලාගෙ ගෙදර කතාවට සෙට් වුනා.
ඇත්තටම සයිමන් සහ සුගත් කියන්නෙ ඉවුරු දෙකක්. සයිමන් විඥානවාදී, පුද්ගලවාදී, ශෘංගාරවාදී වෙනම ෂානරයක් නිර්මාණය කරද්දි සුගත් සමූහවාදී, භෞතිකවාදී වෙනම ෂානරයක් නිර්මාණය කළා.
සුගත්ලාගෙ ගෙදර හැමතිස්සෙම මිතුරු අංකුර කලාකරුවන් රංචුවක් හිටියා. නාට්ටි කරන, පොත් ලියන, ඒවා හඹා යන අය සුගත් වටේ පොකුරු ගැහුනා. ඒ සුගත්ගෙ තිබුනු ළබැඳි බව නිසාමයි. නිහතමානී, කා එක්කත් සුහද, හරිම සොඳුරු පැවතුම් සුගත්ගෙ තිබුනා.
මට තාම මතකයි මොරටුව විශ්ව සමාධියෙ නාට්ටියක් බලන්න අපි පෝලිමේ ඉන්නවා. සුගත් හිටියෙ අපිට පිටිපස්සෙන්. නාට්ටිය කරන කට්ටිය සුගත්ව දැකලා දුවගෙන ඇවිත් බොහොම ගෞරවයෙන් ඇතුලට යන්න කතා කළා. ඒත් සුගත් හිනාවෙවී තමන්ට පෝලිමේ ඇවිත් නාට්ටිය බලන්න පුළුවන් බව කිව්වා. මොකක් හරි හින්ද ඒ කිසිම මාන්නයක් නැති ආදරණීය බව මට අමතක නොවෙන විදිහට පපුව ඇතුලට කිදාබැස්සා.
ඇටමැස්සා කියන්නෙ මගේ ජීවිතේ වෙනස් කරපු පොතක්. මං කියෙව්වෙ ඒකෙ සුගත් කරපු පරිවර්තනය. පරිවර්තනයක් වුනාට සුගත්ගෙ ආත්මය ඒක ඇතුලෙ තිබුන. ඇටමැස්සා හෙවත් ආතර් කියන විප්ලවකාරයා බවට පත්වීමේ සිහිනය අපි ඇතුලෙ මුල්බැසගත්තෙ සුගත් හින්ද. 89 කැරලි ගහපු අය ටිකක් විවේක අරන් ඇටමැස්සා කියවලා තිබුනා නම් තත්වය ගොඩක් වෙනස් වෙන්න තිබුන. ඒ වෙනුවට ඒ අය කියෙව්වෙ වානේ පන්නරය වගේ රොමාන්තික රුසියානු කයිකතන්දර.
පීටර් වයිස්ගෙ marat/sade අපි දැක්කෙ සුගත්ගෙ මරාසාද් නාට්ටියෙන්. සාද් ගැන මුල්ම කුතුහලය මට ඇතිකලේ සුගත්. මේ වෙද්දි සාද් කියන්නෙ මගේ සිතීමේ ලෝකයේ ප්‍රධාන අක්ෂයක්.
සාද් මෙහෙම කියනවා,
මරා, ඔබ හිතනවාද ඔබේ විප්ලවය ජයග්‍රහණය කරයි කියලා.
ඔබේ විප්ලවයෙන් වෙන්නෙ පාලකයන් මාරු වීම පමණයි.
මට ඒ කාලෙ හරියටම දැනුනෙ සොයිසාපුර මේ කොනේ මරා සහ අනිත් කොනේ සාද් ඉන්නවා වගෙයි.
මොකක් හරි ලියද්දි ඒකට ගැලපෙනම සිංහල වචනය හොයන්න පවා සුගත් පුදුම විදිහට මහන්සි වුනා. ඒ වචනය ගැන මුනගැහෙන අයගෙන්, විශාරදයන්ගෙන් නිතර විමසීම් කළා. ළගින් යන වචනයෙන් සෑහීමට පත්වෙනවා වෙනුවට සිංහලෙන් හරියටම ඒ හැගීම දෙන නිවැරදිම යෙදුම සොයාගන්නා තුරු සුගත් තෘප්තිමත් වුනේ නෑ.
ගුවන් විදුලිය කියන්නෙ සුගත්ගෙ හුරුපුරුදුම පිට්ටනිය. ඒ දවස්වල සුගතපාල ද සිල්වා ලියයි කියලා ඇහෙන රහස්පරීක්ෂක කතා අපි ඇහුවෙ මයිල් කෙලින් කරගෙන. අවුරංගා, වැස්ස වළාහක, ගොම්මන් හෝරාව වගේ අමුතු ත්‍රාසය භීතිය කැටි කරපු නාට්‍ය සුගත් ගුවන්විදුලියට ලිව්වා.
සුගත් වේදිකාව අධ්‍යක්ෂණය කලෙත් සද්දෙ මුල් කරගෙන. ගොඩක් වෙලාවට වේදිකාව මත සිද්ද වෙන දේ බලන් ඉන්න එයාට උවමනා වුනේ නෑ. පුටුවකට ඔලුව ගහගෙන දෙබස් කියන සද්දෙ අහන් ඉඳලා සුගත් රංගනයේ හරි වැරදි බව විනිශ්චය කළා. ඒක ටක්කෙටම හරි.
අපි කෙටි නාට්‍යකරුවන් විදිහට නාට්ටි හදාගෙන තරුණ සේවා සභාවට ගියේ සුගත්ගෙන් ඒ ගැන ඇගයීම් ලබන්න. ඒ දවස්වල කෙටි නාට්‍ය විනිශ්චය මන්ඩලයේ අනිවාර්යෙන්ම සුගතපාල ද සිල්වා හිටියා. නාට්‍යයක අඩුපාඩු ගැන සුගත් කියන දෙයින් අපි දොම්නස් වෙනවා වෙනුවට සොම්නසින් පිනා ගියා.
මේ අසිරිමත් නිර්මාණශීලී මනුස්සයා අපි අතරින් නික්ම ගිහින් බොහෝ කල්. දැන් සොයිසාපුරයේ මරා හෝ සාද් යන දෙන්නාම නෑ. ඒ බිම පාළුවෙලා ගිහින් කියල මට හිතෙනවා.
කාලෙකට පස්සෙ ආපහු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ සුගත් ගැන මතකාවර්ජනයක් සිද්ද වෙනවා. අලුත් පරම්පරාවෙ ගොඩක් අය සුගත් ගැන දන්නෙවත් නැතුව ඇති. ඒත් මේ මහා වනස්පතීන් ගැන සුළුවෙන් හෝ සිහිකැඳවීමක් කළත් ඒක ලොකු වැඩක්. මොකද එහෙම මිනිස්සු දැන් මේ රටේ නෑ.
පුළුවන් අය එන්න. ඇවිත් සුගත්ගේ වේදිකාව අතපත ගාලා බලන්න. ඒ හුස්ම තැවරුණු තැන් විඳින්න. ලංකාවෙ මං මෙතෙක් දැකපු නිහතමානීම ප්‍රවීණයා සුගත්. වෙනස් මත කෙතෙක් තිබුණත් සුගත්ගේ සමාජවාදයට අදත් මගේ තියෙන්නෙ විසල් ගෞරවයක්.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)






