අපි යාලුවො ආශ්‍රය කරද්දි සමහර වෙලාවට අමුතු ජාතියෙ උන් මුනගැහෙනවා.
‘අතේ සතේ නෑ බං’ ‘පුළුවන් නං කීයක් හරි දියං’ ‘උඹලා ළග සල්ලි තියෙනවා නං බොමු. මගේ ළග නං නෑ’ වගේ කතා කියන යාලුවො ඉන්නවා. එහෙම ඇත්තටම අතේ සතේ නැතුව අපිත් ඉන්න වෙලාවල් ඕන තරම් තියෙනවා.
හැබැයි සමහර උන් සල්ලි තියාගෙන බොරුවට කොයිවෙලාවෙත් නෑ වගේ හිගමන් යදින බව අපිට පස්සෙ තේරෙනවා. උන් සල්ලි මිටි බඳිනවා. අනුන්ගෙන් යැපෙනවා. මං ආශ්‍රය කරනවා තියා මුනගැහීමත් අවාසනාවක් කියලා හිතන පිරිසක් තමයි ඒ.

එහෙම අය සල්ලි එකතු කරලා කෝටිපතියො වුනත් ඒ අයට ධනපතියො කියන්නෙ නෑ. ඒ අය යාචකයො. යාචකයො අතරත් ඕන තරම් කෝටිපතියො ඉන්නවා. ධනපතියො කියන්නෙ විවෘතව ධනේශ්වර ක්‍රමයට සහයෝගය දක්වන අයට. ඒ අය පුද්ගලික දේපොල පිලිගන්නවා. ලාභ ඉපැයීම පිලිගන්නවා. නිදහස් වෙළඳපොල පිලිගන්නවා. එයින් ධනය උත්පාදනය කරන අතර එහෙම ධනය උත්පාදනය කරන අනෙක් අයට ගරු කරනවා.
හැබැයි මාක්ස්වාදය ධනපතීන්ව අර්ථ ගන්වන්නෙ මෙහෙම නෙමෙයි. මාක්ස්වාදයට අනුව ධනපතියන් කියන්නෙ නිෂ්පාදන මාර්ග අයිතිකරගෙන ඉන්න අයට. ඒ අය ලාභ උපයන්නෙ අන් අයගේ ශ්‍රමය සූරාකෑමෙන්. එතකොට මාක්ස්වාදයට අනුව ධනපතියන් කියන්නෙ අන් අය සූරාකෑමෙන් සැපවත් ජීවිත ගත කරන පිරිසක්. මාක්ස්වාදීන් නිදහස් වෙළඳපොලට විරුද්ධයි. පුද්ගලික දේපොල ක්‍රමයට විරුද්ධයි. පාරම්පරික දේපොල පවා ඒ පැරණි පරම්පරාවන් විසින් සූරාකෑම තුලින් අත්පත් කරගත්ත දේවල් විදිහටයි දකින්නෙ.
ඉතින් මාක්ස්වාදියෙක් නොවෙන මට ධනපතියන් කියන්නෙ රටක වැදගත්ම පිරිසක්. හැබැයි මේ ධනපතියන් කියන්නෙ යාචක කෝටිපතීන් නෙමෙයි. ලොතරැයි දිනුම් ඇදුන අය නෙමෙයි. තමන්ගේ හිතවත් රජයන්ගේ උදව්වෙන් මඩි තර කරගන්නා හොර වෙලෙන්දන් නෙමෙයි. නිදහස් වෙළඳපොල තරගය ඇතුලෙ ධනය උත්පාදනය කරන, ආයෝජනය කරන, ඒ ධනය වියදම් කරන, පිනට දහමට සංස්කෘතික වැඩවලට යොදවන පොහොසත් මනස් ඇති පිරිසක්.

උදා විදිහට දිලිත් ජයවීර ලංකාවෙ ධනපතියෙක් විදිහට සලකන්න පුළුවන්. (රාජපක්ෂ යුගයට පස්සෙ විවිධ චෝදනා මතුවුනත් ඊට පෙර යුගය අපිට සලකන්න පුළුවන්) ඒ දවස්වල අපි චිත්‍රපටි උළෙලක් කරන්න උදව් ඉල්ලගෙන ගියොත් දිලිත් තමන්ගේ ව්‍යාපාරවලින් යම් මුදලක් ඒ වෙනුවෙන් දෙනවා. එයා ඒ වෙනුවෙන් කැට හෙල්ලීමේ ව්‍යාපාර දියත් කරන්නෙ නෑ. තමන්ගේ නැතිබැරිකම් අපිට කියන්නෙ නෑ. තමන් ඉපැයූ ධනය ගැන ආඩම්බරෙන් එයා සංස්කෘතික වැඩකට සහයෝගය දක්වනවා.
ඒත් කෙනෙක් තමන් ඉපැයූ ධනය හංගාගෙන ඉන්නවා නම්, ඒ ධනය ඉපැයීම ගැන ආඩම්බරයක් නැත්නම්, ඒ වෙනුවට නැතිබැරිකම්, දුප්පත්කම් වර්ණනා කරමින් කවි ගී කියමින් ජීවත් වෙනවා නම් ඒ අය ධනෝත්පාදකයන් නෙමෙයි. ඒ අය අර කලින් කිව්වා වගේ යාචකයන්. යාචකයන් අලෙවි කරන්නෙ දුකයි. යාචකයන්ට එක්වර කෝටි ගණන් මුදල් බැංකු පොත්වල තිබුනා යැයි ආරංචි වුනාම මිනිස්සු පුදුමයට පත්වෙනවා. ඒක තමයි ස්වභාවය.

නමුත් මේ අය කවදාවත් ධනපතීන් විදිහට හදුන්වන්න නරකයි. ඒක ධනපතීන්ට කරන අපහාසයක්. ධනපතියන් තමන් උපයන ධනය ගැන ආඩම්බරයි. එයින් රටට ගෙවන බදු ගැන, එයින් ලබාදෙන රැකියා ගැන, එයින් විඳින සුඛ විහරණය ගැන ආඩම්බරයි. ඒ අය තවත් අයට කියන්නෙ ධනය උත්පාදනය කරන මාර්ගයි.
අතීතයට හෝ කර්මයට බැණ වදිමින්, අනෙකාගේ සැපත ගැන ඊර්ශ්‍යා කරමින්, කුහකත්වය වපුරමින් ජීවත් වෙන අයට ධනපතියන් කියල කියන්නෙ නෑ. ඒක ධනපතීන්ගේ ආචාර් ධර්මය නෙමෙයි. ඒක නිසා ජවිපෙ ධනපතීන් ඉන්නවා කියන කතාව බොරුවක්. ඒ අය ධනය රැස් කළ දුගීන්.

(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




