ඒත් හාමුදුරුවරු කියන්නෙ මං ඇසුරට වඩාත් ප්‍රිය කරන පිරිසක්. මීඩියාවලින් ජනප්‍රිය නොවෙන අතිබහුතරයක් හාමුදුරුවරුන්ගෙ තවමත් හාමුදුරු ගුණය තියෙනවා. තැන්පත් කතා බහ, අපේ එදිනෙදා ලෞකික ජීවිතයේ අර්බුදවලින් බැහැර වීම නිසා ඇතිවුනු මැදිහත් දැක්ම, බුදුන්ගේ දර්ශනය තුලින් මතුවුනු අනිත්‍යවාදී සුපසන් ගුණය ආදිය හාමුදුරු සංස්කෘතියෙ ලක්ෂණ. මේ කියන්නෙ බොහෝ වැර වෑයමෙන් භාවනා වඩමින් සසරින් එතෙරවන්න වෑයම් කරන ආරන්‍යවාසී හාමුදුරුවරු නෙමෙයි. නගරයේ ගමේ පන්සලේ මිනිස් ඇසුරෙ ගතවෙන ග්‍රාමවාසී භික්ෂුව ගැනයි.

පන්සලට ගිහින් මොනවා හරි කාලා, හාමුදුරු කෙනෙක් එක්ක හවස්වරුවක අල්ලාප සල්ලාපයේ යෙදීම හිත නිවන අත්දැකීමක්. ඉස්සර නම් පන්සලේ පුස්තකාලෙන් පොතකුත් අරගෙන, එන ගමන් ලොකු හාමුදුරුවො මුනගැහිලා සුවදුක් විමසලා එන එක පුරුද්දක් වෙලා තිබුන.
ඕනම දෙයක් ගැන ගමේ කලබලයක් ඇතිවුනොත් පන්සල ඒ කලබලය සංසිදුවන තැන වෙලා තිබුනා. අපේ පන්සලේ ලොකු හාමුදුරුවො වුනේ වරකාගොඩ සීලරතන හාමුදුරුවො. උන්නාන්සෙ හෙළ හවුල එක්ක බොහොම ළගින් වැඩ කළා. ඉතින් හාන්සි පුටුවට වෙලා නිතර කවියක් කියන එක, ඒකෙ නිරුක්ති පැහැදිලි කරන එක උන්නාන්සෙගෙ සිරිතක්.
ඒ කාලෙත් ඔය ගෑනු හුටපට එහෙම තියෙන හාමුදුරුවරු හිටියා. ඒ අය කාලෙකදි සිවුරු අතෑරලා ගියා. ඒවා ලොකු දේවල් වුනේ නෑ. බුද්ධාගම හෝ පන්සල බේරගන්න පොලු මුගුරු අරන් බෞද්ධයො රැස්වුනෙත් නෑ.

මේ හාමුදුරු සංස්කෘතිය කියන්නෙ හරිම ලස්සන දෙයක්. ඒකෙ තියෙනවා ආර්ට් එකක්. පවතින අධිවේග ජීවිතය වෙනුවට විකල්ප පැවැත්මක් එතන තියෙනවා. වෙනස් අධ්‍යාපනයක්, වෙනස් සිතීමක්, වෙනස් ජීවිතයක් ගැන අවදි කිරීමක් තියෙනවා. බෞද්ධ භික්ෂුව කියන්නෙ හුදු ඇදහිලි වන්දනාවල යෙදෙන භික්ෂුවක් නෙමෙයි. ගමේ කටයුතුවලට මැදිහත් වෙන, යම් පමණකින් හෝ ගමේ මිනිස්සුන්ගෙ බෙදීම අවම කරන, ප්‍රඥාව අවදි කරන, හරිම සුන්දර අමුතු නොඇලුනු පැවැත්මක්.
එහෙම එකක් ඔය අටමස්ථාන හෝ වෙනත් නිල තනතුරු දරන අධිපති භික්ෂුන්ට තියෙනවා කියල මම හිතන්නෙ නෑ. ඒ ගමත් එක්ක බැඳුනු සොඳුරු භික්ෂු උරුමය තමයි මේ විදිහට ටිකෙන් ටික කෙලෙසමින් යන්නෙ. අන්තිමට අපිට සිවුර හා බැඳුනු ඒ බෞද්ධ ගිහි සංස්කෘතියත් නැත්තටම නැති වෙලා යනවා. අටමස්තානෙ වගේ තැන්වල ගල්කනු විතරක් ඉතුරු වෙනවා.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
2026 මැයි 27




