The Leader News
BREAKING
Top Ad
Opinion

#CleanSriLanka සාර්ථකද? | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

January 9, 2025 • 3:52 PM

#CleanSriLanka සාර්ථකද? | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපට තේරෙන හැටියට නම් ජනාධිපතිතුමාටවත් මේ ගැන පැහැදිලි අදහසක් නැත.
  • ඒ කියන්නේ ඔවුන් සිතන්නේ ශ්‍රී ලංකාව කිළිටි වී ඇතැයි කියාය.
  • උපතේදී සාමාන්‍ය ආයු අපේක්ෂාව අදට වඩා අවුරුදු 25කටත් වඩා අඩුය.
  • මාලිමාවේම සහායක බලවේගයක් වූ ත්‍රීවීල් මල්ලිලාටත්, සජබට බර බව පෙනෙන බස් අයියලාටත් එයින් කලකිරී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


අපට තේරෙන හැටියට නම් ජනාධිපතිතුමාටවත් මේ ගැන පැහැදිලි අදහසක් නැත. මේක මුළු ශ්‍රී ලංකාවම සුද්ද කරනවා වැනි දෙයක් විය හැකිය.

ඒ කියන්නේ ඔවුන් සිතන්නේ ශ්‍රී ලංකාව කිළිටි වී ඇතැයි කියාය. ඒකම මිථ්‍යාවකි.

නිදහස ලබන කාලය වන විට ලංකාවේ වැඩි දෙනෙකු වැසිකිළි ගියේ කැලේටය. පස්ස මෙන්ම අතපය ද ඒ හැටි හේදුවේ නැත. කොකු පණු, කිරි පණු රෝග සුලබය. දත් මැදීම ද අවමය. දුංකල, බුලත් කෑ හකු පිළිකාකාරයෝ සුලබය. උපතේදී සාමාන්‍ය ආයු අපේක්ෂාව අදට වඩා අවුරුදු 25කටත් වඩා අඩුය. මාතෘ මරණ, ළමා මරණ අධිකය. තව ඕනෑ තරම් දේ කිව හැකිය. අපි දැන් සෑහෙන්න දියුණුය.

කෙසේ වෙතත්, මාලිමාණ්ඩුව හා රජය ක්ලීන් ශ්‍රී ලංකා කියා එක එක මගුල් කරති. සමහරු අතුපතු ගාන, මකුළු දැල් කඩන ශ්‍රමදාන කරති. මේ අතර පොලිසිය සුපිරි ගේමකට බැස්සේය. මාලිමාවේම සහායක බලවේගයක් වූ ත්‍රීවීල් මල්ලිලාටත්, සජබට බර බව පෙනෙන බස් අයියලාටත් එයින් කලකිරී ඇත. උන්ව ෆෝම් කර ආණ්ඩුවට එරෙහිව යැවිය හැකි යයි විපක්ෂයේ සමහරු සිතති. ඒ සඳහා තාම ඉක්මන් වැඩිය.

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ එහෙමට දෙයක් සිදු වුණේ නැතත් ලොකු ආන්දෝලනයක් නම් ඇති වී තිබේ. ඒ විශේෂයෙන්ම බස්වලටත්, ත්‍රීවීල්වලටත් පොලිසිය අත තැබූ නිසාය. එම කර්මාන්තවල නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පෙනී සිටින්නට ඒවා කරන අයටවත් බැරි නිසා මේ වන විට යම් වෙනසක් නිර්මාණය වී නැතුවා නොවේ. ඒ නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි බිය නිසාය. ලංකාවේ ජනයා බියගැන්වීමෙන් මිස නීතියට අවනත කරගැනීම දුෂ්කරය.

එහෙත්, මෙහිදී කිසිදු පද්ධතියක් හෙවත් සිස්ටම් එකක් වැඩිදියුණු වී නැති නිසා ඔය කැඩූ සෝඩා බෝතල්වල රැස් විහිදී අවසන් වූ පසු ආපසු තිබුණු තත්වයම ඇතිවන බව නියතය. උදාහරණයක් ලෙස නගර පවිත්‍රව තබාගැනීම සඳහා වැඩ පිළිවෙලක් නොමැතිව අතුපතුගාන්නට ශ්‍රමදාන පැවැත්වූවා කියා වැඩක් නැත. ආපහු කිළිටි වෙන්නට ගතවන්නේ ඉතා සුළු කාලයකි.

ක්ලීන් ශ්‍රී ලංකා පරිසරය පිරිසිදුව පවත්වා ගැනීම යන එක කරුණකට හෝ විධිමත් අන්දමින් යොමු වෙනවා නම් හොඳය. එය මූලිකවම සංචාරක කර්මාන්තය වැනි ආර්ථික අංශවලින් ප්‍රතිඵල ලබාදෙනු ඇත. එසේම පරිසරය පිරිසිදුව තබාගැනීම මහජන ජීවිතයේ අංගයක් වේ නම්, එමගින් සෑහෙන සමාජ විපර්යාසයක් සිදු වනු ඇත.

දැනට නම් ලංකාවේ බහුතර ජනයා පොදු ස්ථාන අපවිත්‍ර කරන තිරිසනුන් සමාන පිරිසකි.

ක්ලීන් ශ්‍රී ලංකාවලට අපේ සහයෝගය අපි අඛණ්ඩව පවත්වාගෙන යන බව කිව යුතුය. එයට ප්‍රධාන හේතුව මෙයයි. ආණ්ඩුව ආර්ථික වශයෙන් අසමත් වී රට තව මාස කීපයකින් අතිශය දුෂ්කර තත්වයකට පත්වන බව අනුමාන කළ හැකිය. මේ යන විදියට නම් ලංකාවට ණය ගෙවීම පටන් ගන්නටත් පෙරම නැවත ණය ප්‍රතිව්‍යූහගතකරණයකට යන්නට සිදුවනු ඇත.  මූලික හේතුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු නොකිරීමයි.

කෙසේ වෙතත්, මේ බලලෝභී බලවේගය පහසුවෙන් බලයෙන් පහ කළ නොහැකිය. එසේ කරන්නට මා නම් කිසිම මහන්සියක් වෙන්නට සූදානම් ද නැත.

එසේම, ජවිපෙ එළියේ නැති නිසා උන්ව එළවන්නට එන ජනයා බලමුළුගන්වන්නට කඩාකප්පල්කාරී නායකත්වයක් ද එළියේ නැත. එබැවින්, මුන්ටම කියා මුන්ම විරුද්ධ වූ හා මුන් නිසා අල වූ සියලු දේ කරවා ගන්නට උත්සාහ කළ යුතුය. මේ පටු මුග්ධ ග්‍රාම්‍ය ජේවීපීවාදය එයින්ම අවසන් කළ යුතුය.

ක්ලීන් ශ්‍රී ලංකා කියා හරිහමන් දෙයක් නැති වුණත් මම නම් එහෙම දෙයක් ඇතැයි සිතා මාලිමාවට තමන්ගේම බලවේගය විනයගත කරගන්නට සහාය දෙමි.


Ajith parakum J(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

Ajith Parakum ගේ ෆේස්බුක් පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...