The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගැහැණුකමේ භාෂාව ආදරය -Faculty of Sex

T

The Leader Desk

May 25, 2021 • 10:49 AM

 ගැහැණුකමේ භාෂාව ආදරය -Faculty of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිරිමියෙක් හෝ ගැහැණියක් කියන්නෙ සම්පූර්ණ නිශ්චිත තත්වයක් නෙමෙයි.
  • ගැහැණියකගේ ඇසුර මට සුවිශේෂ වටිනාකමක් දෙන්නෙ ඇගේ ඇස්වලින් මම නොදකින ලෝකයක් මට ග්‍රහණය කරගන්න පුළුවන් නිසා. වෙනම සංස්කෘතික කලාපයක්, සංවේදන කලාපයක් ගැහැණු ඇස් ඇතුලෙන් මට ස්පර්ශ කරන්න පුළුවන් වෙනවා. ඒක මගේ පිරිමි ශරීරය සීමාවක් වෙමින් මගෙන් වසන් කළ මිනිස් පැවැත්මක ස්වභාවයක්.
  • ශරීරයට අනුරාගයට වඩා එහාට ගිහින් ගැහැණු සිතීම තේරුම් ගන්නවා කියන්නෙ පිරිමියෙක් ගැහැණු ආත්මයක් බවට පත්වෙනවා කියන එක නෙමෙයි.
  • විභාගවලට, උසස්වීම්වලට එහෙම වැදගත් වෙනවා ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):
අනිත් අතට මම පිරිමියෙක්ද? පිරිමියෙක් හෝ ගැහැණියක් කියන්නෙ සම්පූර්ණ නිශ්චිත තත්වයක් නෙමෙයි. ලිංගිකත්වය ස්පෙක්ට්‍රම් එකක් නැත්තං වර්ණාවලියක් නම් අපි ඒකෙ විවිධ තැන්වල වෙනස් වර්ණ. 
 
මම පිරිමි ගැහැණු සංකලනයක්. ඒකෙ ප්‍රතිශතය අඩුවැඩි වෙන්න පුළුවන්.
 
ඉතින් මම ගැහැණියක් ගැන ලියද්දි මට ලියන්න පුළුවන් වෙන්නෙ පුද්ගලයෙක් විදිහට මට ගැහැණියක් කවුද කියන එක. 
 
ඒක මට කියන්න වෙන්නෙ උපතේදී මුනගැහුනු අම්මාගේ සිට ජීවිත කාලයේ මට ඉන්ටිමේට් විදිහට බලපාපු ගැහැණු ජීවිත ඇසුරෙන්. ඒ ගැහැණු හැමෝමත් පරිපූර්ණ ගැහැණුද? කොහෙත්ම නෑ.
 
ගැහැණියකගේ ඇසුර මට සුවිශේෂ වටිනාකමක් දෙන්නෙ ඇගේ ඇස්වලින් මම නොදකින ලෝකයක් මට ග්‍රහණය කරගන්න පුළුවන් නිසා. 
 
වෙනම සංස්කෘතික කලාපයක්, සංවේදන කලාපයක් ගැහැණු ඇස් ඇතුලෙන් මට ස්පර්ශ කරන්න පුළුවන් වෙනවා. 
 
ඒක මගේ පිරිමි ශරීරය සීමාවක් වෙමින් මගෙන් වසන් කළ මිනිස් පැවැත්මක ස්වභාවයක්. ඒ ගැහැණුකම දකිනකොට මට මගේ පිරිමි සීමාවන් මුනගැහෙනවා.
 
 
 

Happysoulmatesdancinginthewoods 640w

ඒත් ගැහැණියක් කියන්නෙ වෙනම භාෂාවක්, වෙනම පැවැත්මක් කියන එක තේරුම් ගන්න මගේ ජීවිතේ ගොඩක් කල් ගතවුනා. ශරීරයට අනුරාගයට වඩා එහාට ගිහින් ගැහැණු සිතීම තේරුම් ගන්නවා කියන්නෙ පිරිමියෙක් ගැහැණු ආත්මයක් බවට පත්වෙනවා කියන එක නෙමෙයි. ඒ වෙනුවට පිරිමි තත්වානුරෝපනවලින් යම් තරමකට හෝ ඈත්වෙනවා කියන එක.
 
ගැහැණුකම:
 
 
මෙතනදි ගැහැණිය කියන පුද්ගලභාවයට යනවා වෙනුවට මම කැමතියි ගැහැණුකම කියන පැවැත්මේ ස්වභාවය ගැන කතා කරන්න. 
 
මේ ගැහැණුකම ඇතුලෙ පිරිමියෙකුට මුනගැහෙන තේරුම්ගන්නම බැරි දේ වෙන්නෙ ඈ කතා කරන ආදරයේ භාෂාව කියලයි මට හිතෙන්නෙ. 
 
පිරිමියෙක් තර්කයේ භාෂාවෙන් කියන්න හදන කිසි දෙයක් ගැහැණියකට වැඩක් වෙන්නෙ නෑ. විභාගවලට, උසස්වීම්වලට එහෙම වැදගත් වෙනවා ඇති. ඒත් ජීවිත ගනුදෙනුවකදි ගැහැණියක් බලන් ඉන්නෙ ඒ වචන හෝ ක්‍රියාවෙ තියෙන ආදරයේ මූලය දිහා.
 
 
මොකක් හරි දේකදි ඈ එක්ක ගැටෙද්දි යම් දෙයක් ගැන එයාගෙ වරද අපි කියනවා කියල හිතමු. එතනදි එයා ඒ වරද කරන මනස ගැනත් අපි නොදැනුවත්ව උපකල්පනයකට යනවා. ඒක සිද්ද වෙන්නෙ අපේ මනසිකාරයට සාපේක්ෂව.
 
 එයා ඒ කිසි දෙයක් පිළිනොගන්න ඉඩතියෙනවා. එයා අපි එක්ක ගැටෙනවා. අපිට තරහ යනවා. එයා බොරු කියනවා කියල හිතෙනවා. ඒත් එක වෙලාවකදි අපිට එයාට රිදුනු තැන දකින්න පුළුවන් වෙනවා. 
 
එයාගෙ සම්පූර්ණ විරෝධයම තියෙන්නෙ අපි නැත්තං මම විසින් එයාව දැකපු විදිහ ගැන. ඒ සිදුවුනු කාරණය හෝ සිද්ධිය ගැන නෙමෙයි. ආදරය ඇතුලෙන් ඈ දිහා නොබලා පිටස්තර දෑසින් විනිශ්චය කිරීම ගැන. විනිශ්චය කියන්නෙ පිරිමි දඬුවමක්. ඒක මාරාන්තිකව බලපාන්නෙ ගැහැණුකමට.
 
 
මේ වගේමයි ගැහැණුන්ට නිල ඇඳුම් නොපෙනෙන එකත්. පිරිමියෙක් බයෙන් තිගැස්සෙන පොලිස්කාරයෙකුගෙ තරුපටි ඉස්සරහා ගෑනු එල්ලි එල්ලි රන්ඩුවෙනවා. ගැහැණුන්ට පොලිස් නිලය පේන්නෙ නෑ. ඒ වෙනුවට ඒ ඇතුලෙ ඉන්න මනුස්ස ශරීරය ඈට පේනවා. 
 
එයා කතා කරන්නෙ, රණ්ඩු වෙන්නෙ ඒ මිනිහා එක්ක මිස නිලය එක්ක නෙමෙයි. ගැහැණු ලෝකෙ ඇතුලෙ නිල තානාන්තර හිස්.
 
පිරිමියෙකුට ගැහැණු ඇසුරක ලැබෙන්න පුළුවන් නිර්වාණය වෙන්නෙ මේ ආදරයේ භාෂාව ඇතුලට යන එක.
 ඝනීභවනය වුනු පිරිමිකම දියවෙන සුරතාන්ත මොහොතක් ඒක. 
 
ඒ පැවැත්ම ඇතුලෙ සමාජය සහ සංස්කෘතිය විසින් පනවපු නීති රීති සීමා කිසිදෙයක් වලංගු නෑ. නිරුවත් පැවැත්මේ මොහොතක් විතරක් මුනගැහෙනවා. ඒක හරියටම ඩ්‍රග් එකක් වගේ. ගැහැණු මනසක ට්‍රිප් කරන එක. හීලෑ නොවුනු වනාන්තර පැවැත්මක භාවනාවක් ඒක.
 
 
 
happy couples 11 
ගැහැණුකම කියන්නෙ ගලායන වතුර පාරක් නම් ඒක වීදුරුවක් කෝප්පයක් ඇතුලට පුරවලා ඒ ගැන කතා කිරීම තේරුමක් නෑ. එතකොට අපි කතා කරන්නෙ භාජනේ හැඩය විතරයි. වතුර කියන්නෙ වෙන එකක්. ඒක විඳින්න නම් අපි ඇළක දොළක මුහුදක ගිලිලා නාන්න ඕන. ඒ මහා ජලස්කන්ධයේ පාවෙන අංශූවක් වෙන්න ඕන.
 
ආදරේ කියන්නෙ අන්න එහෙම තැනකට දොරටුවක්. 
 
නමක් නොදී මලක් දිහා අපිට කොයිතරම් වෙලා බලන් ඉන්න පුළුවන්ද? එතකොට අපි මල බවට පත්වෙනවා. ගැහැණියක් සමග විනිශ්චය පසෙකලා අපිට කොයිතරම් වෙලා බලන් ඉන්න පුළුවන්ද? අපි අපේ අත්හැරුණු ගැහැණුකම වැළඳගන්නවා.
 
 
 
CD 25(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
facultyofsex.com
 
 
###############
THE LEADER TV 

ස' ෆේල් වෙන්නෙ බැසිල් පාස් නිසාද?

 

නොදන්නකමයි - මාෆියාවයි PCR ප්‍රමාද කරයි!

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගැහැණුකමේ භාෂාව ආදරය -Faculty of Sex | The Leader