ඊට පෙර වසරේ (2024) පැවති ඉන්දියානු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු අගමැති මෝඩිගේ භාරතීය ජනතා පක්ෂයේ (බී.ජේ.පී) නිල “X” සමාජ මාධ්‍ය ජාල ගිණුමෙහි තැබූ සටහනකින් කියන්නේ, “ඒ මැතිවරණය ලෝක ඉතිහාසයෙහි වාර්තාවන දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය” යැයි කියා ය. ලියාපදිංචි ඡන්දදායකයින් මිලියන 980 ක් පමණ වූ බවත් ඇතැම් මහද්වීප වල පවා එවැනි ජනගහනයක් හෝ නොමැති බවත් දේශපාලන පක්ෂ 700 ට වැඩිය සහ අපේක්ෂකයින් 8,000 ට වඩා මැතිවරණයට තරග කළ බවත් එහි සඳහන්ව තිබිණ.

ඉන්දියාව ලොව විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රට යැයි කියනු ලබන්නේ අදාල මැතිවරණ සංඛ්‍යා ලොකු නිසාවෙන් පමණි. එහෙත් ඒබ්‍රහම් ලින්කන් 1863 දී කියූ ප්‍රජාතන්ත්‍රවාදය යනු “ජනතාව විසින්, ජනතාව වෙනුවෙන් පත්කර ගන්නා ජනතාවගේ පාලනයක්” යන කතාව අපෙක්ෂකයින්, පක්ෂ හෝ ඡන්දදායකයින් සංඛ්‍යා අනුව කියූ කතාවක් නොවේ. අනෙක ලින්කන් කියුවාට, ජනතාව විසින් පත් කර ගනු ලැබූ පමණින් එය “ජනතා” පාලනයක් නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වන්නේද නැත. ඇමෙරිකානුවන් පත්කර ගෙන ඇති වර්තමාන ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය තරම් කදිම නිදසුනක් එයට වෙනත් නැත.
“ප්‍රජාතන්ත්‍රවාදය” යනු වාර්ගික, ආගමික, භාෂාමය, සංස්කෘතිකමය වැනි සමාජයක තිබිය හැකි සියලු වෙනස්කම් සාමකාමීව, ගෞරවාන්විතව හා සමානාත්මතාවකින් යුතුව එකමුතු කෙරුණු, සමාජ ආර්ථික විෂමතා ඉවත් කෙරෙන ජන සහභාගී, ප්‍රගතිගාමී පිරිසිදු ආණ්ඩු පාලනයකි. එවැනි පරිපූර්ණ ආණ්ඩු පාලන ලොව කොතැන හෝ ඇත්තේ දැයි නොදනිමි. එහෙත් බහුතර ජනතාවක් විසින් තෝරා පත්කර ගනු ලබන, සියල්ලන්ටම තමන්ගේ යැයි කියන්නට අපහසු, කඩතොලු සහිත වූවත් අනාගත අපේක්ෂා සමගින් වන නිදහස් රටවල් ඇත. බටහිර යුරෝපයේ ස්කැන්ඩිනේවියානු රටවල් කිහිපය එවැනි යැයි සිතමි.

එහෙත් ඉන්දියාව එවැනි නොවේ. නිදහස ලබන විටද දැඩි “හින්දුත්වා” මතවාදයක් ඉන්දීය සමාජයෙහි සක්‍රීයව තිබිණ. එය ඡන්ද එකතු කිරීමේ සාධකයක් බවට පත්කර ගනු ලැබුවේ නේරුවාදී කොංග්‍රසයට එරෙහිව බී.ජේ.පීය පිහිටුවා ගැනීමෙනි. එහි මුල් ඇත්තේ 1925 දී පමණ සිට ක්‍රියාත්මක වූ හින්දු සමාජ ආධිපත්‍ය වෙනුවෙන් සන්නද්ධ කණ්ඩායම් පවා හැදූ “රාශ්ත්‍රීය ස්වායම්සේවාක් සං” (ජාතික ස්වේච්ඡා සංගමය - RSS) සංවිධානයෙහිය. වර්තමාන ඉන්දීය දේශපාලනයේ බී.ජේ.පී නමින් ප්‍රසිද්ධ “භාරතීය ජනතා පක්ෂය” අතාල් බිහාරි වාජ්පායිගේ නායකත්වයෙන් 1984 මැතිවරණයේදී තරග කළ පක්ෂය වන්නේය. එය 2014 මැතිවරණයේදී නරේන්ද්‍ර මෝඩි ගේ නායකත්වයෙන් RSS හින්දුත්වා මතවාදය වෙනුවෙන් පෙනී සිටියහ.
පසුගිය දසකයකට වැඩි කාලයේ හින්දු ආගමට දේශපාලන බලයක් ආරෝපණය කෙරුණු, කෝවිලෙන් පිටත බහුතර හින්දු සමාජයේ අන්තවාදී කණ්ඩායම් අතට දේශපාලන බලයක් මෝඩිගේ නායකත්වයෙන් ලබා දෙනු ලැබිණ. ඉන්දීය සමාජයේ අනෙක් සාමයික, වාර්ගික ජනතාවගේ නිදහස හා ගෞරවය කෙළෙසමින් ඇත්තේ ඒ සමග ය. එහි ම්ලේච්ඡත්වය ඇත්තේ, පොලීසිය ඇතුළු නගර සභා වැනි ප්‍රාදේශීය රාජ්‍ය ආයතනද අන්තවාදී හින්දුත්වා කණ්ඩායම් සමග හවුලේ ක්‍රියා කිරීමෙහි ය.

එහි ඇති මුස්ලිම් විරෝධී ප්‍රකාශනයෙන් සිදුවන බලහත්කාරකම්, ආපදා, හිංසන ලේඛනගත කරන “හින්දු වොච්, මුස්ලිම් මිර, ඉන්ඩියා හේට්-ලැබ්, සංවිධානාත්මක වෛර අධ්‍යයන කේන්ද්‍රය, ඉස්ලාමීය සහහෝගිතා සංවිධානය” වැනි ස්වාධීන සිවිල් සංවිධාන ගණනාවක් ඇත. ඔවුන්ගේ ක්ෂේත්‍ර අධ්‍යන සටහන්වල දත්ත හා තොරතුරු වලට අනුව, 2025 වසරේ ප්‍රධාන වර්ගවාදී ප්‍රවනතා ගණනාවකි. “වෛරී ප්‍රකාශ මත සිදුවන ගැටුම් ව්‍යාප්තව ඇත. සංඛ්‍යාවක් ලෙස 1,318 කි. ඉන් සියයට 98 ක් මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කෙරුණු සිදුවීම්ය : මුස්ලිම් අවන් හල්, කඩ සාප්පු ඉලක්ක කෙරුණු සමාජීය හා ආර්ථික වර්ජන විය : ගව මස් අලෙවියට එරෙහි බී.ජේ.පී කල්ලි විසින් ඔවුන්ගේ බලහත්කාරය මත ගවමස් අලෙවිය තහනම් කර ඇත. බී.ජේ.පී පාලනය ඇති ඇතැම් ප්‍රාන්තවල අවන්හල් හිමියන්ට ප්‍රසිද්ධියේ ම්ලේච්ඡ ලෙස පහරදී ඇත : විශේෂයෙන් නැගෙනහිර ප්‍රාන්තවල බෙංගාලි භාෂාව කතා කරන මුස්ලිම් ජාතිකයින් අනවසර පදිංචි කරුවන් යැයි පිටමං කිරීම් සිදු වන්නේය. 2021 න් පසු අසාමයේ පමණක් බෙංගාලි බස කතා කරන මුස්ලිම් භක්තිකයින් 50,000 ට වඩා එළෙසින් අවතැන් කර ඇත. : මග තොටදී, වැඩපළේදී, පාසල් වලදී මුස්ලිම් කාන්තාවන් ඉලක්ක කෙරෙන හිංසන - අපහාසාත්මක කතා, අසභ්‍ය විහිළු, වාග් තර්ජන හමුවේ සමාජීය හා වෘත්තීය ජීවිතයට ඔවුන්ට ඇති අවකාශය අහුරා ඇත”.
එවැනි පසුබිමක, “අනිසි වාර්ගික සැළකීම් තුරන් කිරීමේ එක්සත් ජාතීන්ගේ කමිටුව” සහ අනෙක් ජාත්‍යන්තර සංවිධාන ඉන්දීය සමාජයෙහි අනිසි ආගමික සැළකීම් හා ආණ්ඩුව ඒවාට දඬුවම් නොපැනවීම පිළිබඳව ඉන්දීය ආණ්ඩුවට නොකඩවා කරුණු ඉදිරිපත් කර ඇත.
මෙවැනි හින්දුත්වා අන්තවාදී වර්ධන සඳහා පසුබිම සැකසෙන්නේ ෆේස්බුක්, යූ ටියුබ් සහ “X” වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන, බෙදා හදා ගන්නා වෛරී ප්‍රකාශ හා අපහාස කිරීම් සමගින් යැයි බොහෝ අධ්‍යයන වලින් කියවෙන්නකි. එවැනි වාර්ගික හා ආගමික වෛරී ප්‍රකාශ හා අපහාස කිරීම් සමග පැවතිය හැකි ප්‍රජාතන්ත්‍රවාදය කුමක්දැයි යන්න කොතැනකවත් ප්‍රශ්න නොකිරීමත් ඊට එරෙහිව සමාජ බලයක් සංවිධානය නොවීමත් හින්දුත්වා අන්තවාදය ලබන්නාවූ රුකුලකි.
මේ සමාජ පිරිහීමට, නැතිනම් අන්තවාදී මතවාද මගින් ප්‍රජාතන්ත්‍රවාදය කැබලි කිරීමට දේශපාලන හේතුවක් ඇත. එය හැම විටම මා කියන අයුරු “සමාජ සංවර්ධන” ආකෘතියක් නොවන, අන්ත දූෂිත මහ නගර කේන්ද්‍රීය නාගරික මධ්‍යම පංතිකයින්ගේ විවෘත වෙළඳපල ආර්ථිකයකි. ඉන් අත හැර දැමෙන තවමත් වැඩවසම්වාදී, කුල අනුව පවතින, බහුතර ග්‍රාමීය කෘෂි ජනගහනය, ඡන්දය වෙනුවෙන් ගාල් කර ගැනීමට ඉදිරිපත් කරන බාල “දේශප්‍රේමය” එහි දේශපාලනය වන්නේය. ඉන්දීය ග්‍රාමීය කෘෂි ජනගහනය 1960 දී මිලියන 357 ක් වූ අතර 2023 වන විට මිලියන 915 ට වැඩි වී ඇත. මේ මිලියන 915 ක ග්‍රාමීය ජනතාවට ලබා දිය හැකි සංවර්ධනයක් විවෘත වෙළඳපල ආර්ථිකයෙහි නැත. එනිසා ඒ ග්‍රාමීය ජනතාව අතරින් මිලියන 850 ක් පමණ වන හින්දු භක්තිකයින් බහුතරය මැතිවරණයට ගාල් කර ගැනීමේදී ඔවුන්ගේ දුප්පත්කම සඳහා හේතු දැක්වෙන්නේ, “ජාතික සංවර්ධනය” ගැන කතා කිරීමෙන් නොව, මුස්ලිම් ජනතාවට එරෙහි වෛරයක් වැපිරීමෙනි.
ජාතික සංවර්ධනයක් නොදන්නා තරගකාරී වෙළඳපලක ජාවාරම්කාර ධනවතුන්ගෙන් නඩත්තු වන දේශපාලන පක්ෂ නියෝජනයක් සහිත පාර්ලිමේන්තු පත් වන්නේද ජාවාරම්කාර ගනුදෙනු වෙනුවෙන් පමණි. උගතුන් යැයි සැළකෙන ආචාර්ය, මහාචාර්ය උපාධි සහිත වෘත්තිකයින් විද්වතුන් තෝරා පත් කෙරෙන පාර්ලිමේන්තු පිරිහෙන්නේද එහෙයිනි. අගමැති නරසිම්හා රාඕ ආණ්ඩුවේ මුදල් ඇමති මන්මෝහන් සිං විසින් 1991-93 දී පමණ විවෘත කළ ඉන්දියානු ආර්ථිකය, 2009 වන විට අගමැති මන්මෝහන් සිං යටතේ තහවුරු වන අතරවාරයේ බී.ජේ.පීය, ආණ්ඩු විරෝධය ගොනු කරන්නට වූයේ ඔවුන්ගේ හින්දුත්වා දේශපාලනයද පෙරටුකර ගනිමින් ය.
ක්‍රමයෙන් දූෂණය වූ විවෘත වෙළඳපලෙහි ඇතිවූ පිරිහීම නිරුවත්ව දැකිය හැක්කේ 2014 න් පසු තේරී පත්වූ ඉන්දියානු පාර්ලිමේන්තුවල සංයුතියෙනි.

* නරේන්ද්‍ර මෝඩි පළමු වරට අගමැති වූ 2014 මැතිවරණයෙන්, පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 542 න් 185 ක් සඳහා අධිකරණයෙහි අපරාධ චෝදනා ගොනුකර තිබිණ. ඉන් බරපතල චෝදනා තිබූවන් 112 ක් විය. නරේන්ද්‍ර මෝඩිගේ බී.ජේ.පීයේ මන්ත්‍රීවරුන් 281 න් 98 ට අපරාධ චෝදනා තිබිණ.
* දෙවන වරට මෝඩි අගමැති වූ 2019 මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් 233 ට අපරාධ චෝදනා ගොනුකර තිබිණ. ඉන් 159 ට, මිනීමැරීම්, ස්ත්‍රී දූෂණ, ස්ත්‍රීන්ට එරෙහි අපරාධ, පැහැර ගැනීම්, වැනි බරපතල චෝදනා විය. බී.ජේ.පීයේ මන්ත්‍රීවරුන් 301 න් 116 ට අපරාධ චෝදනා තිබිණ.
* තුන්වන වරට මෝඩි අගමැති වූ පසුගිය 2024 මැතිවරණයෙන් ලොක් සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් සියයට 77 ට නැතිනම් මන්ත්‍රීවරුන් 420 ට උපාධිය හෝ ඊට වඩා ඉහළ සුදුසු කම් තිබූණත් සියයට 93 ක් එනම් මන්ත්‍රීවරුන් 504 ක් කෝටිපතීන් වූවත් ඔවුන්ගෙන් මන්ත්‍රීවරුන් 251 ට අපරාධ චෝදනා තිබිණ. ඉන් 170 ට, බරපතල අපරාධ සම්බන්ධ චෝදනා විය. මේ පාර්ලිමේන්තුවේ, වඩා පැහැදිලිව කිවහොත් මේ බී.ජේ.පී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 240 න් 94 ට එවැනි අපරාධ චෝදනා ඇත.
ඒ අනුව 2014 මැතිවරණයෙන් අපරාධ චෝදනා තිබූ මන්ත්රීවරුන් 185 ක් තේරී පත්ව සිටි අතර, ඒ සංඛ්‍යාව 2019 මැතිවරණයේදී 233 ක් දක්වා වැඩිවී, පසුගිය 2024 මැතිවරණයේදී 251 ක් දක්වා වැඩි විය. බරපතල අපරාධ චෝදනා තිබූ මන්ත්‍රී සංඛ්‍යාව 2014 දී 112 ක් වූ අතර, 2019 දී ඒ සංඛ්‍යාව 159 දක්වා වැඩිවී 2024 දී ඒ සංඛ්‍යාව 170 ක් විය.
මෙහි අනෙක් බරපතල කාරණාව වන්නේ, එවැනි අපරාධ චෝදනා තිබියදී පාර්ලිමේන්තුවට තේරී පත්වන චූදිතයින් කිසිවෙකු මන්ත්‍රීවරයෙකුව සිටියදී නඩු අසා වැරදිකරුවකු හෝ නිවැරදිකරුවකු වූ බවට වාර්තා නොමැති වීමෙහිය. එයම ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත් කරන්නේ නම්, පාර්ලිමේන්තුවට තේරී පත්වන චූදිතයින්ගේ නඩු, ඔවුන්ගේ මන්ත්‍රී ධූර කාලය තුල ඇසෙන්නේ නැද්ද?

වඩාත්ම වැදගත් ප්‍රශ්නය නම්, එවැනි අපරාධකරුවන්ගේ හා දූෂිතයින්ගේ පාර්ලිමේන්තු බලයක් සහිත ආගමික අන්තවාදී ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වා ගන්නේද යන්න ය. එයට දිය හැකි සරළ උත්තරය නම්, ආගමික අන්තවාදය සමග ජාවාරම්කාර ලාභ වෙනුවෙන් විවෘත වෙළදපල ආර්ථිකයක් පවත්වා ගන්නේ, එයට විරුද්ධ වීමේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සමගින් නොවන්නේ යැයි කියා ය. එනිසා දැනට ඉන්දියාවේ ඇත්තේ ජනතාව වෙනුවෙන් සුරැකෙන සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයක් නොව, නාගරික මැදපංතිකයින් ගැට ගසාගෙන යා හැකි ආකාරයේ “පටිපාටීමය” (Procedural) ප්‍රජාතන්ත්‍රවාදයක් පමණි. එහි අන්තර්ගත ප්‍රජාතන්ත්‍රවාදී ජීවයක් නැත. එවැනි විට ඒ සමාජයේ ආර්ථික සාධාරණත්වයක් ඉතිරි වන්නේද නැත. වත්කම් ගොනුවීමේදී ඉන්දියානු වත්කම් වලින් සියයට 60 ට ආසන්න ප්‍රතිශතයක් අයිති වන්නේ ජනගහනයෙන් පොහොසත්ම සියයට 01 ට ය. ආදායම් බෙදී යාමත් එවැනිම ය. ජාතික ආදායමෙන් සියයට 60 ත් 77 ත් අතර ආදායමක් බුක්ති විඳින්නේ සමාජයේ පොහොසත්ම සියයට 10 ය වේ. සමාජයේ දුප්පත්ම සියයට 50 ට හිමිව ඇත්තේ ආදායමෙන් සියයට 15 කි.
ජාතික ආදායමෙන් සියයට 60 ත් 77 ත් අතර ආදායමක් බුක්ති විඳින සියයට 10 ක් හා ජාතික වත්කම් වලින් සියයට 60 ක් බුක්ති විඳින සියයට 01 ක් වෙනුවෙන්, දූෂිත අපරාධකරුවන් බහුතරයක් පත් කරනු ලබන පාර්ලිමේන්තුවකින් පවත්වා ගන්නා “ප්‍රජාතන්ත්‍රවාදය” කවුරු වෙනුවෙන් කාගේ ප්‍රජාතන්ත්‍රවාදයක් දැයි කියන්නට අවශ්‍ය නැතැයි මම විශ්වාස කරමි. එයට ප්‍රධාන හේතුවක් වන්නේ අපගේ ප්‍රජාතන්ත්‍රවාදයත් එවැනිම “Fake Democracyයක්”වීම ය.

(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 මාර්තු 30 වන දින




