BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විශේෂාංග

සම්මුති - විසම්මුති : නෙපෝ බබාලා එපා! නේපාල Gen Z නැගිටීමේ ගුණ සුවඳ! | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

September 19, 2025 • 12:56 PM

සම්මුති - විසම්මුති : නෙපෝ බබාලා එපා! නේපාල Gen Z නැගිටීමේ ගුණ සුවඳ! | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජන නැගිටීම් ඒවාට සුවිශේෂී සටන් පාඨ නිර්මානය කර ගන්නේ සංකේතාත්මකවය.
  • එනම් බලය හෝ බලපෑම ඇති අය සිය ඥාතීන්ට, මිතුරන්ට හෝ සමීපතමයන්ට අනුග්‍රහය දැක්වීමේ, විශේෂයෙන් රැකියා ලබා දීමේ දුරාචාරයයි.
  • මෙරට අරගලයේ දිගුව වසර 76ක ශාපයට විරුද්ධව නැගුණි.
  • මර්වින්ගේ එස්බීගේ කෙහෙළියගේ රාජපක්ෂගේ යනාදී දරු පරපුර ධනවත් මදාවි බවට පත්විය.
අකුරු ප්‍රමාණය (Font Size):

#GoHomeGota මෙරට අරගලයේ කාහල නාදය විය. නේපාල Z පරම්පරාව වීදි බැස්සේ අපූරු සටන් පාඨයක් සමඟනි. ඒ ‘#NoNopoBabies’ යනුය. නෙපෝ යනු Nepotism නෙපොටිසම් යන ඉංග්‍රිසි චවනය කෙටි කිරීමයි. නෙපොටිසම් යනු ඥාති සංග්‍රහයයි. එනම් බලය හෝ බලපෑම ඇති අය සිය ඥාතීන්ට, මිතුරන්ට හෝ සමීපතමයන්ට අනුග්‍රහය දැක්වීමේ, විශේෂයෙන් රැකියා ලබා දීමේ දුරාචාරයයි.

මෙරට අරගලයේ දිගුව වසර 76ක ශාපයට විරුද්ධව නැගුණි. ඒ සේනානයක, බණ්ඩාරනායක සහ රාජපක්ෂ පෙළපත සහ ඔවුනගේ පක්ෂවලට විරුද්ධවය. මර්වින්ගේ එස්බීගේ කෙහෙළියගේ රාජපක්ෂගේ යනාදී දරු පරපුර ධනවත් මදාවි බවට පත්විය. තානාපති කාර්යාල පෙළපත් දරුවන් සුඛ විවරණයෙන් කල් ගෙවන පරාදීස බවට පත්විය.

නේපාලයෙහි 2008 වසරෙහි රාජාණ්ඩුව පෙරළා දැමූ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයෙන් පසු කොයිරාල, ඔලි සහ දුර්බා පවුල් සහ ඔවුන්ගේ පක්ෂ එරට බලය හෙබවූහ. වසර ගණනාවක් තිස්සේ නේපාලය වයෝවෘද්ධ අගමැතිවරුන් තිදෙනෙකු වන කේපී ඔලි, බහදූර් ඩියුබා සහ පුෂ්ප කමල් දහල් විසින් පාලනය කර තිබුණි.

868844 82090 xzyfskomut 1518698070කේපී ඔලි
ඊට එරෙහි නැගිටීමට රැකියා විරහිත බවින්, දුෂ්ඨ ඥාති සංග්‍රහයන්ගෙන් සහ දූෂණයෙන් හෙම්බත්ව සිටි ජෙන් ඉසෙඩ් (1996 සහ 2010 අතර උපත ලැබූ පරපුර) නායකත්වය දුන්හ. ජංගම දුරකතනය අතැතිව උපන් ඔවුන්ගේ වේදිකාව සහ ප්‍රහාරක බලඇණි සමාජ මාධ්‍ය විය.

සෑම නැගිටීමක්ම ඇවිලෙන්නේ ගිනි පුපුරකිනි. අරාබි වසන්තයට මඟ පෑදු ටියුනීසියානු අරගලය පැන නැඟුණේ තරුණ වීදි වෙළෙන්දෙකු ඝාතනය කිරීම සමඟය. නේපාල පාලක දේශපාලන පංතිය මරුවැළ පෑගුවේ සිය අහංකාරකම, බල තන්හාව සහ අඥානකම නිසාය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් සිය මනාපය පරිදි විග්‍රහ කර ගනිමින් ඔවුහු සැප්තැම්බර් 05දා වන විට සමාජ මාධ්‍ය ජාලා 26ක් ලියා  පදිංචි නොවී යැයි තහනම් කිරීමට තීන්දු කළේය. 08 වන සදුදා මධ්‍යම රාත්‍රිය වන විට සමාජ මාධ්‍ය වේදිකා 26 ක් එකවර අඳුරු විය.  මෙම වේදිකා අතර සන්නිවේදනය, විනෝදය, වාණිජ්‍යය සහ අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වේදිකා ගණනාවක් ද විය. නේපාලයේ ඩිජිටල්  වේදිකා මත සතුට සොයන, යැපෙන, සැතපෙන ජෙන් ඉසෙඩ් පරම්පරාවට මෙය තමන්ට එල්ල වූ අවසාන ප්‍රහාරය බවට තේරුම් ගැනීමට එතරම් කාලයක් අවශ්‍ය නොවීය.

ktyukyuy

නේපාලයේ වයෝවෘද්ධ දේශපාලන පංතිය නෙැදැන සිටි අවියක් ඔවුන්ගේ අන්තර් ජාල ගබඩාවේ තිබුණි. එනම් තහනම නොතකා සමාජ ජාල කරා එළඹිය හැකි ‘වීපීඑන්’ නොහොත් අතථ්‍ය පුද්ගලික ජාලය යන Virtual Private Network මෙවලමයි. මෙම අතථ්‍ය පුද්ගලික ජාලයට භූගොලීය ස්ථාන මඟහැර ආරක්ෂිතව අන්තර් ජාලයට යා හැක.

ඒ සදුදා රැයෙහි නේපාලයෙහි දශ ලක්ෂ ගණනක් ‘වීපීඑන්’ කරා ගියහ. ‘වීපීඑන් ඇප්’ බා ගත කිරීම පිම්මේ ඉහළ නැගුණි.

තමන්ගේ සන්නිවේදන ආත්මය කපා හළ කේන්තියෙන් හුවමාරු වූ අන්තර් ජාල සටන් පාඨය වූ ‘නෙපෝ බබාලාට කෙළවමු’ සමඟ ‘විද්‍යාල ඇදුමින්ම පාරට එන්න.’ යන්න ලැව් ගින්නක් බවට පත් විය.‍ ඔවුන්ගේ ඩිජිටල් මෙගාෆෝනය කපා දැමූ විට තරුණ තරුණියන්ට තිබුණේ වීදි අල්ලා ගැනීම පමණි.

තරුණ නැගිටීම සටන්පාඨ තුනක් වටා වහාම පෙළ ගැසුණි. එනම් සමාජ මාධ්‍ය ප්‍රවේශය සහ ඩිජිටල් නිදහස ප්‍රතිෂ්ඨාපනය කිරීම, ඥාති සංග්‍රහය සහ දේශපාලන වරප්‍රසාද අවසන් කිරීම, දූෂණ විරෝධී  පිළිවෙතක් සහ රජයේ වගවීම යනුය.

පසුගිය 9වන අඟහරුවාදා උදෑසන වන විටම නේපාලයේ කොමියුනිස්ට් අගමැතිගේ සහ මධ්‍යස්ථ-වාම ජනපතිගේ ආණ්ඩුව වීදියෙහි පරාජය වී තිබුණි. දශක දෙකක් පුරා වනගතව සන්නද්ධ අරගලය මෙහෙය වූ දෙවරක් අගමැති ද වූ මාඕවාදී කොමියුුනිස්ට් නායක පුෂ්ප කමාල් දහල් නොහොත් ප්‍රචන්ඩා විපක්ෂ නායක ලෙස නිහඬව සිටියේය. ඔහු ද තරුණ නැගිටීමට බිය විය.

gez zzz
නේපාලය පුරා කිසි කලෙක නොවූ පරිදි ලාබාල තරුණ පරපුරක් ඉතිහාසය තමන්ගේ අත්වලට ගනිමින් සිටියහ. මෙරට අරගලය කොළඹ කේන්ද්‍රීය වූ නමුත් ජෙන් ඉසෙඩ් අරගලය රටපුරා ව්‍යාප්ත විය. නගර ගණනාවක්ම නැගීටීම සිය යටතට ගත්තේය.

ගාලු මුවදොර අරගලයට සහාය දීමට විවිධ කලාකරුවන් ශාස්ත්‍රඥයින් යනාදීන් පැමිණියාක් මෙන්  නේපාලයේ පරසිඳු චරිත තරුණ නැගිටීමට සහාය පළ කළහ. ඒ අතර තරුණ තරුණියන් සමඟ වීදියට ආ මිත්තනියක ද වූවාය. ඇය සුෂිලා කර්කි නම් විය.

“නෙපෝ බේබිලා” අපහාසයට සහ උපහාසයට නැංවූ ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් වීඩියෝ වයිරස් බවට පත් විය.

දූෂණයට එරෙහි සාමකාමී විරෝධතාවක් ලෙස ඉදිරියට ගිය නැගිටීම කත්මණ්ඩු නගරය මැද පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීමත් සමඟ  පොලිසිය සහ හමුදාව උන්මන්තකයින් බවට පත් විය. ඔවුහු වෙඩි තබා ලාබාල විරෝධතාකරුවන් මරා දැමූහ. ඒ අඳුරු සදුදා රැය පුරා  එවැනි අවිචාරවත් වෙඩි තැබීමක් අවශ්‍ය වූයේ මන්දැයි ප්‍රශ්න කරගත් පුරවැසියනට එය තේරුම් ගැනීමට නොහැකි විය. නිහඬතාවය කෝපය බවට ඇවිළුණි. පසුදා පැනවුණූ තහනම් නියෝග සහ ඇඳිරි නීතිය හිමාලයට උඩින් විසිකර දැමූ තරුණ ජනයා සමඟ  එක් වූ සියලු තරාතිරම්හි ජනයා රට පුරා වීදි පිරවූහ.

 



මියගිය ගණන සියයට ලඟා වෙත් දී තුවාලකරුවන් පන්සියයට ළඟා විය. විපාකය රුදුරු විය. 9 දා රැයෙහි විස්මිත කත්මණ්ඩු නගරය ගිනි බත් විය. වෙඩි තැබීමේ සහ මිය යාමේ දර්ශන අන්තර් ජාලය පිරවූ වේගය පරදවමින් ගිනි දලු අහස් කුසට නැඟුණි.

‘සැප්තැම්බර් 8 සහ 9  දිනවල නේපාලයේ සිදු වූ දේ තවමත් යථාර්ථයක් සේ නොදැනෙන අතර  නරක සිහිනයකින් අවදි වූවාක් මෙන් බව’ එක් ලේඛකයකු ලීවේය. ‘එය සිදුවීමට පෙර සියල්ල පෙනුනේ සාමාන්‍ය ලෙසය. හදිසියේම එය එසේ නොවීය. මතුපිටින් එය වැරදී ගිය තරුණ පෙළපාලියක් සේ පෙනෙන්නට තිබුණි. එනමුත් එහි හරය බලවත් සහ අර්ථවත් විය.’

තරුණ නැගිටීම ජය ගත්තේය. අගමැති සහ ජනපති හමුදා රැකවරණ මැද පලා ගියේය. ගෝටාගෙන් ඉගෙන ගත්තාක් වැන්න! ජෙන් ඉසෙඩ් සාමකාමී වන්නැයි ඉල්ලා සිටියේය.

නැගිටීම පාවා දී දුෂිතයින් රැක ගැනීමට වික්‍රමසිංහ කෙනෙකුට ඉඩක් නොතිබුණි. නේපාලයේ ජෙන් ඉසෙඩ් පරම්පරාව ජගංම දුරකතනය අතින්ගෙන උපත ලැබු බැවින් ඔවුන්ගේ නැගිටීමෙහි සහජ ලකුණක් වූයේ අතත්‍ය යතාර්ථයයි. අන්තර් ජාල නිපුනත්වයයි.

 



නේපාලයේ අන්තර්කාලීන අගමැතිනි සුෂිලා කර්කි තෝරා පත් කර ගැනීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේද අන්තර් ජාලයයි. ඒ අන්තර් ජාල ක්‍රීඩා උපංගයක් වූ ඩිස්කෝඩ් නම් නාලිකාවය. 2015 දී දියත් කරන ලද ඩිස්කෝඩ් මෘදුකාංගය (ඇප් එක) බහු ක්‍රීඩක ක්‍රීඩා අතරතුර ක්‍රීඩකයින්ට සන්නිවේදනය කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද්දකි. ජෙන් ඉසෙඩ් සිය ක්‍රීඩා මෘදුකාංගය දේශපාලන පෙරළියක සන්නිවේදකයා බවට පත් කර ගත්තේය.

එය සංවිධානය කරන ලද්දේ ‘අපි නේපාල්’ නම් බලගතු සිවිල් කණ්ඩායම විසිනි. එම උපාංගය විරෝධතා අතරතුර දේශපාලන විවාදයේ සහ තීරණ ගැනීමේ ඩිජිටල් කේන්ද්‍රස්ථානය බවට පත්විය. නේපාල තරුණ තරුණියන් 145,000 කට අධික සංඛ්‍යාවක් එහි සර්වර් එකට සම්බන්ධ වූ අතර එය ඉතිහාසයේ ඩිස්කෝඩ් හි විශාලතම දේශපාලන භාවිතය බවට පත්විය. ක්‍රීඩා මෘදුකාංගයක් හෙවත් ඇප් එකක් අගමැති තෝරා ගැනීමේ මෙවලම බවට පත්වීම ජෙන් ඉසෙඩ් විප්ලවයේ සංකේතයකි.

ඩිස්කෝඩ් නාලිකාව නැගිටීම අතරතුර සජීවී විවාද, ඡන්ද විමසීම් සහ අපේක්ෂක පරීක්ෂා කිරීම් පැවැත්වූ අතර එය එක්තරා ආකාරයක ඩිජිටල් පාර්ලිමේන්තුවක් බවට පත් විය.

මෙරට අරගලය ගාලු මුවදොරින් ඇරඹී එතැනින්ම අවසන් විය. එයට අතත්‍ය වේදිකාවක් නොතිබුණි.

 

karki
ඉදිරිපත් වූ අපේක්ෂකයින් අතරින් අවසානයේ සුෂිලා කාර්කි තේරී පත්විය. ඒ දූෂණ විරෝධී වාර්තාව සහ අධිකරණයෙහි දැක් වූ ස්වාධීනත්වය වෙනුවෙනි. මාස 06ක් සඳහා පමණි. ඉන් පසු මහා මැතිවරණය පැවැත්වෙනු ඇත. නේපාලයේ ව්‍යවස්ථාව නූතනවාදීය, ෆෙඩ්රල්වාදී සහ අනාගමිකය. එය නැගිටීමට ඔරොත්තු දුන්නේය. හමුදාව වෙනසට සහාය දුන්නේය.

‘නපුරු සිහිනය අවසන්ය. නේපාලය පුරා කැළැල්ය. උදෑසන සිහින තවමත් අඳුරුය. නමුත් අපි නේපාල ජාතිකයන් හිරු එළිය බලාපොරොත්තුවෙන් සිටිමු. නව දේශපාලන පක්ෂ සහ පවතින පක්ෂ ප්‍රතිසංස්කරණය, අවංක දේශපාලන නායක නායිකාවන්, යහපාලනය, දූෂිතයිනට විමර්ශන සහ නඩු පැවරීම් සහ මාධ්‍යයට පහරදීම් විමර්ශනය යනාදිය 2026 මාර්තු 5 වන දින පැවත්වෙන මහ මැතිවරණයට පෙර සහ පසුව අප අරමුණූ කරන ප්‍රධාන දේ’ යැයි තවත් ලේඛකයකු ලීවේය.


ජය පතමු!

sunanda deshapriya(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist

sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...