The Leader News
BREAKING
Top Ad
Opinion

ලාංකීය දේශපාලනයේ පශ්චාත් - නිව්ටෝනියානු නිමේෂය - සුමිත් චාමින්ද

T

The Leader Desk

March 28, 2022 • 4:36 AM

ලාංකීය දේශපාලනයේ පශ්චාත් - නිව්ටෝනියානු නිමේෂය - සුමිත් චාමින්ද

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආචාර්ය නිව්ටන් ගුණසිංහ
  • මුදල් අමාත්‍යවරයා IMF සහයෝගය ලබා ගන්නට ඉදිරිපත් කළ සැළසුම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
  • ජනාධිපතිවරයා තමන් වත්මන් අර්බුදයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගන්නට සූදානම් බව නිල වශයෙන් පිළිගෙන තිබේ (“IMF Bailout” යන යෙදුම භාවිතා නොකළද).
  •   ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland) මාර්තු 23දා ජනාධිපතිවරයා හමුවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පසුගිය සතිය දේශපාලනික “යූ ටර්න්” සතියකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකා පාලනාධිකාරයේ සාකච්ජා සිදුවෙමින් තිබේ.

මුදල් අමාත්‍යවරයා IMF සහයෝගය ලබා ගන්නට ඉදිරිපත් කළ සැළසුම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ජනාධිපතිවරයා තමන් වත්මන් අර්බුදයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගන්නට සූදානම් බව නිල වශයෙන් පිළිගෙන තිබේ (“IMF Bailout” යන යෙදුම භාවිතා නොකළද). සර්ව-පාක්ෂික සමුළුවේ දිශානතියද එයම බැව් පෙනේ (එහි මාධ්‍ය අවධානයේ කැමරා ඇස් රනිල් වික්‍රමසිංහ වෙත යොමු වීම ඒ අනුව සහේතුකය).

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් ඇයගේ “සාර්ථක” ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් කළ කතාවේදී ලංකාණ්ඩුව IMF වෙත හැරීමට ධෛර්යමත් වීම පැසසුමට ලක් කළාය.

 

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland) මාර්තු 23දා ජනාධිපතිවරයා හමුවිය.

 

නිල ඉන්දීය ස්ථාවරය සමග සමාන්තරව යමින් ඇය ලංකාණ්ඩුව දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ජා ආරම්භ කිරීම අගයමින් පළාත් සභා මැතිවරණ පැවැත්වීමද උනන්දු කළාය.

දෙරටෙහි ඒකාබද්ධ ප්‍රකාශනය තුළ “ඉන්දු-පැසිෆික් කළාපයේ නාවික නිදහස” වෙනුවෙන් වූ කැපවීම අවධාරණය වී තිබේ (මේ එක්සත් ජනපද, ඉන්දීය, ජපාන සහ ඕස්ට්‍රේලියානු චතුර්-පාර්ශ්වීය ගිවිසුමේ ආදර්ශ පාඨයයි).

යළිත් වරක් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්වි-පාක්ෂික ආරක්ෂක සහයෝගීතාව, ඒකාබද්ධ මිලිටරි කටයුතු, ත්‍රස්ත-විරෝධී සහයෝගීතාව යනාදී රාජ්‍ය තාන්ත්‍රික යෙදුම් අපට අසන්නට ලැබිණ.

 

කලාපීය පෙරමුණෙහි සිදුවීම්ද මේ හා සමාන්තරව යයි. ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග හමුවේදී රාමායනය ගැනද සඳහන් කළ නරේන්ද්‍ර මෝඩි අග්‍රමාත්‍යවරයා ඉන්දියාව දුෂ්කර මොහොතේදී තම අසල්වැසියා සමග එකට සිටින බව පැවසීය.

 

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා ඩොලර් බිලියනයක ඉන්දීය ණය ආධාරයක් රැගෙන මුදල් අමාත්‍යවරයා දිවයිනට ළඟා වී දින කිහිපයකට පසුව ආණ්ඩුවත් දෙමළ සන්ධානයත් අතර සාකච්ජා ආරම්භ විය. දෙමළ සන්ධානය සර්ව-පාක්ෂික සම්මේලනයටද සක්‍රීයව සහභාගී විය.

අභ්‍යන්තර පෙරමුණේ නව හැඩ ගැසීම් නිසැකවම ඉහත සිදුවීම් හා අනුගතව යයි.


ඇමෙරිකන් විරෝධයේ සටන් පාඨය ...



ඇමෙරිකන් විරෝධයේ සටන් පාඨය යළිත් සුරැකිව පවතින්නේ චීන හිතවාදී ලාංකීය දෘෂ්ටිවාදී කඳවුරේ නායක චරිතය වන විමල් වීරවංශ අතේය. එය කදිම ලෙස ඉන්දීය විරෝධය, IMF-විරෝධය සහ දෙමළ විරෝධය සමග සුසම්බන්ධ වී පවතින්නේ 1980 දශකයේ අධිපති දේශපාලන කතිකාව සිහි ගන්වමිනි.

මේ අනුව, නව දේශපාලන වර්ධනයන් විමල්ට වඩාත් අවාසිසහගත වන්නේය යන නිර්මාල් දේවසිරිගේ කියා පෑම (FB, මාර්තු 21) මුළුමනින්ම වැරදිය. (විමල්-නාමල් සන්ධානය යන්න එහෙම පිටින්ම ඔහුගේ විකාරසහගත හිතළුවකි).

 

Don't go near Ranil, might sell you off – Wimal

සැබවින්ම දැන් එක් පසෙකින් විමල් සහ අනෙක් පසින් රනිල්ද ලාංකීය දේශපාලන දේහය දෙකට මැදින් පලන නව පසමිතුරුතා අක්ෂයක් ඇඳීමේ ව්‍යායාමයේ යුහුසුළුව නිරතව සිටී. (අනෙකා තුළ තමන්ගේම ප්‍රතිමුඛ පිළිඹිබුව දකින පසමිතුරන් උනුනුන් ඇගයීමේ නාට්‍යමය ජවනිකා දේශපාලනය තුළ දුලබ නොවේ).

 

මෙරට දේශපාලනය යළි සැකසීමට යම් හෙයකින් එකී පසමිතුරුතා අක්ෂය සමත් වුවහොත්, සියළු පක්ෂ, සංවිධාන මෙන්ම බුද්ධිමය කතිකාවන්ද ඒ අනුව ප්‍රතිසංස්කරණයට ලක් වනු ඇත.

 

නිදසුනක් ලෙස, සර්ව-පාක්ෂික සම්මේලනයට සහභාගී නොවූ සමගි ජන බලවේගයේ නව-ලිබරල්වාදී දෘෂ්ටි වාහකයින්ගේ (එරාන්, හර්ෂ ප්‍රමුඛව) තෙරපුමෙන් පක්ෂ නායකත්වයේ තීරණය ගැන නැවත සිතන්නට බල කෙරෙනු ඇත. ජාජබ එකතුවට තම දේශපාලන ආර්ථික ප්‍රවේශය පිළිබඳව පැහැදිලි ස්ථාවරයක් ගන්නට බල කෙරෙනු ඇත. දෙමළ ප්‍රභූ දේශපාලන නායකත්වය සහ සජබ අතර සම්බන්ධය තුළ ආතතීන් උග්‍ර කෙරෙනු ඇත.



නිසැකවම ආර්ථික සාධකය සහ ඒ සමග ගැට ගැසුණු ගෝලීය බල අරගලයේ සාධක කේන්ද්‍රයට පැමිණ තිබේ. වත්මන් පාලනාධිකාරය යටතේදී කිසිසේත්ම ඩොලරය රුපියල් තුන් සියයේ සීමාව පසු නොකරනු ඇතැයි පර සක්වල ගැසූ බක පණ්ඩිත විශ්ලේෂණ ඇස් පනාපිට බොරු වී ගොස් තිබේ. ආර්ථික ව්‍යසනයේ ප්‍රහාරය තවදුරටත් උග්‍ර වනු ඇත.

ඇතැම්විට, ශන්තාල් මූෆ් පෙර දුටු ආකාරයේ නව-ලිබරල් අධිකාරීවාදයේ (neoliberal authoritarian capitalism) යුගයට අප ඇතුල් වෙමින් සිටිනවා විය හැකිය. ගෝලීය නව-ලිබරල් අධිකාරීවාදී ධනවාදයේ දුර්වලම පුරුක වන්නේ ඇතැම්විට ශ්‍රී ලංකාව විය හැකිය.

 

1983 ජූලි සංහාරයට පසුව පවත්වන ලද මැයි දින රැළි නිරීක්ෂණය කරමින් ආචාර්ය නිව්ටන් ගුණසිංහ “ජූලි ව්‍යසනයට පසුව මැයි දිනය” (May Day after July Holocaust) නමින් ලිපියක් ලිවීය. එය විධිමත් න්‍යායික රචනයක් නොවූවද, ’83 ජූලියෙන් පසු ලාංකීය දේශපාලනයේ ගමන් මග පෙර දකින්නට සමත් විදර්ශනාවන් එතුළ ගැබ්ව පැවතිණ.

 

ජනවාර්ගික පසමිතුරුතා අක්ෂය ඔස්සේ ලාංකීය දේශපාලන දේහය දෙකට පැලීමේ සංසිද්ධිය එහි ආරම්භයේදීම නිරීක්ෂණය කරන්නට නිව්ටන් සමත් විය.

අප ඉදිරියේදී ලිවිය යුතුව ඇත්තේ “ආර්ථික ව්‍යසනයෙන් පසුව මැයි දිනය” නමැති ලිපිය බැව් මට දැන් හැඟේ (මා මිත්‍ර උවිඳු කුරුකුලසූරියද මෙවන් ඇඟවීමක් සිදු කොට තිබිණ). මේ මෙතෙක් නොලියූ ඒ ලිපිය වෙනුවෙන් හදිසියේ ලියූ කටු සටහනකි.




sUMITH cHAMINDAc(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
sumith.chaaminda@yahoo.com

(උපුටා ගැනීම -colombotelegraph.com)


ලේඛකයාගේ වෙනත් ලිපි :


ගණඳුරු මැදියම දකිනෙමි ගිනිදළු - කථිකාචාර්ය සුමිත් චාමින්ද
(සංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? - හය වන කොටස)

දෙව්ලොවද වියවුලක  - කථිකාචාර්ය සුමිත් චාමින්ද
වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? -පස් වන කොටස

වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? - (සිව්වන කොටස) : සුමිත් චාමින්ද

වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? (තෙවන කොටස) -සුමිත් චාමින්ද

වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? (දෙවන කොටස) -සුමිත් චාමින්ද

වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? - සුමිත් චාමින්ද

කොරෝනා ව්‍යසනය ලෝකයම වෙනස් කරන කේන්ද්‍රීය මොහොතක්! - කථිකාචාර්ය සුමිත් චාමින්ද

ඔස්ට්‍රියාවෙන් වාමාංශයට පාඩමක්

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලාංකීය දේශපාලනයේ පශ්චාත් - නිව්ටෝනියානු නිමේෂය - සුමිත් චාමින්ද | The Leader