The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ස්ටාලින් හා පොල් පොට් අතර වන සම්මුතිය ගැන පොඩි කතාවක් | Kusal Perera

T

The Leader Desk

May 11, 2026 • 9:21 AM

ස්ටාලින් හා පොල් පොට් අතර වන සම්මුතිය ගැන පොඩි කතාවක් | Kusal Perera

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාස 18 ක පමණ ඉතා කෙටි ආයු කාලයක් ඇති මේ ජවිපෙ/මාලිමා ආණ්ඩුව තරම් දූෂණ සහිත අවුල්, පටලැවිලි, පරස්පර, දෝස ඇති ආණ්ඩුවක් මීට පෙර නොතිබුණි.
  • නමුත් ග්‍රාමීය පදනමක ඉන්නා ජ.වි.පෙ කාඩර්වරුනට, මේ ආර්ථිකය හා කටයුතු කිරීමේ අවුලක් ඇත.
  • ඔවුන්ට තිබිය යුතු රාජ්‍ය බලය, ජාවාරම්කාර ව්‍යාපාරිකයින් අතට මාරුවීමේ ප්‍රවනතාවක් ඇතැයි හා එය ඔවුන්ගේ දේශපාලනය හා පරස්පරයක් ලෙස ඔවුහු දකිති.
  • ඉන් දැක්වෙන්නේ, කාඩර්ගත පක්ෂයේ දේශපාලනය හා ලාල් ප්‍රසිද්ධියේ කුමක් කීවත් ඔහුද ඇතුළුව අනුර කුමාර, විජිත හේරත්, බිමල්, වසන්ත සමරසිංහ ඇතුළු පාර්ලිමේන්තුවාදී කණ්ඩායම, ජා.ජ.බ/මාලිමාව සමග පෙනී සිටින ලිබරල්වාදී දේශපාලනය අතර ඇත්තේ අසීරු සම්මුතියකි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

බලයට පත්ව දෙමසක් ඇතුළත 2025 ජනවාරියේ කොළඹ වරායෙන් බහළුම් 323 ක් අතුරුදහන් වීම, ඉන් පසුව සහල්, සීනි, සුදුළුණු ආනයනය, අලුත්ම ඩබල් කැබ් 1,175 ක් ආනයනය, බාල ගල් අඟුරු ආනයනය සම්බන්ධ ටෙන්ඩර පටිපාට අවුල් කෙරුණු ප්‍රසම්පාදන වංචා, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ වාර්තා අනුව දූෂණ සම්බන්ධ චෝදනා ඇති සහ පෙර වංචා හේතුවෙන් රැකියා අහිමි වූවන්ට නාමයෝජනා ලබාදීම, එවැන්නන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී පත්වීම් ලබා දී බලසම්පන්න ඇමති පත්වීම් ලබා දීම, පුරවැසිභාවය නොසළකා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී පත්වීම් හා අමාත්‍යාංශ ලේකම් පත්වීම් දීම, බලයට පැමිණි විගස තුනෙන් පංගුවකින් අඩු කිරීමට පොරොන්දු වූ විදුලි බිල එවැනිම ලොකු ප්‍රතිශතයකින් වැඩි කිරීම, බලයට පැමිණි වහා අහෝසි කිරීමට පොරොන්දු වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවමත් ඇප නොමැතිව රඳවා ගැනීම් වෙනුවෙන් යොදා ගැනීම, මහ භාණ්ඩාගාරයේ ඩොලර මිලියන 02.5 ක (රුපියල් කෝටි 80) ඕස්ත්‍රේලියානු රාජ්‍ය ආයතනයකට ගෙවිය යුතු ණය වාරික හා ඇමෙරිකානු තැපෑලට ඩොලර ලක්ෂ 6.25 ක ගෙවීම් ආ ගිය අතක් නොවීම, මාර්ග සංවර්ධන අධිකාරයේ කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 263 ක් සහ අස්වැසුමලාභීන්ට රුපියල් මිලියන 248.8 ක් දෙවරක් ගෙවීම, විද්‍යුත් පාස්පෝට් මුද්‍රණය සඳහා ටෙන්ඩර කැඳවීමේ මගඩියක් ගැන පෝලන්ත ආණ්ඩුවෙන් නිල පැමිණිල්ලක් ලැබීම, දූෂණ පැමිණිලි හා පරීක්ෂණ වලට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයින් 03 කු අතරින් ඩෑන් ප්‍රියසාද් ඝාතනය හැර අනෙක් 02 ගේ මරණ සම්බන්ධයෙන් සමාජයේ ඇති විචිකිච්චා, මාස 18 ක ජවිපෙ/මාලිමා ආණ්ඩු පාලන ඉතිහායේ දළ සාරාංශයකි.    

Cabinet

 

මේ ජවිපෙ/මාලිමා ආණ්ඩුව “වමේ” නැතිනම් “වාමවාදී” ආණ්ඩුවක් යැයි කියන්නාවූ විචාරකයින් ඇතත් පසුගිය මාස 18 ක පාලනයෙහි ඉහත කෙටි සාරාංශයට අනුව එහි “වමේ” හෝ “වාමවාදී” දේශපාලනයක් තියේදැයි අසන්නට තරම් කිසිවක් නැත. ඒ සටහන පැත්තකින් තැබුවත් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අරමුදල) සමග නඩත්තු කරන මේ ජාතික ආර්ථිකය, වාමාංශික දේශපාලනයක් හා ගැලපිය හැකි ආර්ථිකයක් නොවන, ජාවාරම්කාර වෙළඳපලකි. නමුත් ග්‍රාමීය පදනමක ඉන්නා ජ.වි.පෙ කාඩර්වරුනට, මේ ආර්ථිකය හා කටයුතු කිරීමේ අවුලක් ඇත. ඔවුන්ට තිබිය යුතු රාජ්‍ය බලය, ජාවාරම්කාර ව්‍යාපාරිකයින් අතට මාරුවීමේ ප්‍රවනතාවක් ඇතැයි හා එය ඔවුන්ගේ දේශපාලනය හා පරස්පරයක් ලෙස ඔවුහු දකිති. එයට පිළිසරණක් වන්නට කතා කරන්නේ ලාල් කාන්ත හා ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාය. ජ.වි.පෙ කාඩර්වරුන් නිල රාජ්‍ය හා බද්ධ කිරීමක්, පක්ෂ කාඩරයට රාජ්‍ය බලයේ පංගුකාරිත්වයක් ලබා දීමක් ගැන ඔවුන් කතා කරන්නේ එබැවින් ය. ඉන් දැක්වෙන්නේ, කාඩර්ගත පක්ෂයේ දේශපාලනය හා ලාල් ප්‍රසිද්ධියේ කුමක් කීවත් ඔහුද ඇතුළුව අනුර කුමාර, විජිත හේරත්, බිමල්, වසන්ත සමරසිංහ ඇතුළු පාර්ලිමේන්තුවාදී කණ්ඩායම, ජා.ජ.බ/මාලිමාව සමග පෙනී සිටින ලිබරල්වාදී දේශපාලනය අතර ඇත්තේ අසීරු සම්මුතියකි.

 

image aa84df873a
අනුර කුමාර ප්‍රමුඛ වත්මන් ජ.වි.පෙ නායකත්වය මේ වික්‍රමසිංහවාදී ලිබරල් ගමන පැමිණියේ සෝමවංශ-වීරවංශ හා නන්දන ගුණතිලක නොමැතිවය. ඔවුන්ගේ දේශපාලනයෙන්ද ඉවත් වෙමින් ය. සෝමවංශ-වීරවංශ හා නන්දන ගුණතිලකට අමතරව, පැරණි ජ.වි.පෙ දේශපාලන සංස්කෘතියට අනුව ප්‍රසිද්ධියේ පෙනී නොසිටි එවැනිම ජ්‍යෙෂ්ඨ වාම ප්‍රධානීන් තව කිහිප දෙනෙකුද ඒ වන විට ජ.වි.පෙ අත හැර තිබූණි. සෝමවංශලා, නන්දන ගුණතිලකලා 1992 දී පමණ ඔවුන්ගේ දේශපාලන ගමන නැවත ආරම්භ කරන්නේ බිඳී, විසිරී තිබුණු ජ.වි.පෙ මෙවර ප්‍රජාතන්ත්‍රවාදී, විවෘත දේශපාලනයකට පරිවර්තනය කිරීමේ අසීරු වගකීම බාර ගනිමින් ය. මේ මැතිවරණවාදී නව ජ.වි.පෙ ප්‍රසිද්ධියට පත් කෙරෙන්නේ 1994 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ය. මැතිවරණ දේශපාලනයට හැඩ ගැසීමේදී ඔවුන් අතර 88-90 ම්ලේච්ඡ අතීතයෙන් ඉතිරි වූ විශ්වාසද ඇත. ඒ අතීතයෙහි නිරායුධ ප්‍රතිවාදී දේශපාලන ක්‍රියාකාරකයින්, ප්‍රධාන වශයෙන් පළාත් සභා පිහිටුවීමේ පළමු මැතිවරණ සඳහා ඉදිරිපත්වූ හා සහභාගී වූ දකුණේ සිංහල සමාජයේ වාමවාදීන් මෘග ලෙස ඝාතනය කළ ජ.වි.පෙ සන්නද්ධ ක්‍රියාකාරීන්, ඒ ම්ලේච්ඡ ත්‍රස්තවාදය අර්ථ ගන්වා ගත්තේ “විප්ලවීය සන්නද්ධ දේශපාලනය” ලෙසින් ය. ඒ විකෘති අර්ථ ගන්වා ගැනීම ඔවුන් අතර අදටත් ඉතිරිව තිබෙන්නකි.  

එයට දේශපාලන හේතුවක් ඇත. සෝමවංශලා, නන්දන ගුණතිලකලා විවෘත දේශපාලනයට පැමිණියේ, 88-90 කාලයේ වූ ඔවුන්ගේ ම්ලේච්ඡ සන්නද්ධ පැවැත්ම දේශපාලනිකව ප්‍රතික්ෂේප කරමින් නොවේ. එය ජ.වි.පෙ නායකත්වය විසින් එදා ගනු ලැබූ වැරදි තීන්දුවක් යැයි ප්‍රසිද්ධ පාපෝච්චාරණයක් කිරීමට ඔවුන්ගේ සූදානමක් නොවුනි. කිසිදු දේශපාලනයක් නොමැති, දේශප්‍රේමයටවත්, ජාතික විමුක්තියටවත් මාක්ස්වාදයටවත් කොයිම ආකාරයකින්වත් සම්බන්ධයක් නැති හුදු ම්ලේච්ඡත්වයක් යැයි ඒ ගැන අභ්‍යන්තර සාකච්ඡාවක් හෝ නොකෙරුණකි.

 117745323 mediaitem117745321

 

වරද පිළිගැනීමට කැමැත්තක් නොවූයෙන් ඔවුන් නිදහසට කරුණු කීවේ, “එදා පැවති රාජ්‍ය මර්දනය හමුවේ ඔවුන්ට අවි ගැනීමට බල කෙරුණේ” යැයි කියා ය. යහපාලන ආණ්ඩු සමයේ විපක්ෂයේ සිටිමින් අනුර කුමාර කීවේද ඒ කතාවම ය. එමගින් ප්‍රතිවාදී නිරායුධ දේශපාලන ක්‍රියාකාරකයින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම සාධාරණය කෙරුණි. සැබෑව නම්, විමුක්ති කොටි නායක ප්‍රභාකරන් මෙන් ඔවුහු “ලාංකීය රාජ්‍ය” හා කිසිදු ගැටුමකට නොගියහ. අඩුම තරමින් ‘71 කැරැල්ලේදී මෙන් පොලිස් ස්ථාන හෝ ඉලක්ක නොකෙරුණි. ඔවුන්ගෙන් ඝාතනය වූයේ නිරායුධ, ප්‍රාදේශීය විපක්ෂ ක්‍රියාකාරීන් පමණි. එය දේශපාලන වරදක් යැයි නොපිළිගැණුන හෙයින් ඔවුන් මුදා හැරි ම්ලේච්ඡත්වය දේශපාලන වගකීමක් යැයි වූ දැඩි විශ්වාසය ඔවුන් අතර ඉතිරි විය. ඒ විශ්වාසය, ජ.වි.පෙ දේශපාලනයේ අවිඥාණක මතවාදයක් බවට පත් වූවකි.

අනුර කුමාර නායකත්වය දෙන මේ ආණ්ඩුවේ දේශපාලන බල හවුල යනු මැතිවරණ ජයග්‍රහණයෙන් පිහිටුවා ගන්නා ලද ආණ්ඩු බලය නොසොල්වා තියා ගැනීමට, දේශපාලන නුරුස්නාවක් සමගින් නඩත්තු කෙරෙන අමිහිරි සම්මුතියකි. සංස්කෘතික වශයෙන් එකිනෙකට නොගැලපෙන දේශපාලන ප්‍රවනතා දෙකක් වූවත් “බලය” වෙනුවෙන් එකට සිටින්නට බල කෙරුණු හවුලකි.

එවැනි හවුල් සමගින් සමාජයට වග කියන්නාවූ ජනතාවාදී ආණ්ඩු පාලන පවත්වා ගැනීමට නොහැකි අතර, එනිසාම එවැනි ආණ්ඩු පාලන දිගු කල් පවත්වා ගැනීමටද නොහැක. ඒවා දිගු කල් පවත්වා ගැනීම වෙනුවෙන් එනිසා වඩා මර්දනකාරී ආණ්ඩු පාලනයකට නීති හැදීමත් හිතුවක්කාරී ලෙස නීති භාවිත කිරීමත් බොහෝ රටවල දකින්නට තිබුණකි. මෙහි වෙනස හැදෙන්නේ, ලාංකීය රාජ්‍ය තනි පක්ෂ සෝවියට්වාදී රජයක් බවට පරිවර්තනය කිරීමේදී ආර්ථික බලය ජාවාරම්කාර ව්‍යාපාරික කල්ලියක් අත රැඳවීමෙහිය.

 

Anura Kumara Dissanayake, presidential candidate for the National People's Power (NPP) party, left, speaks with Tilvin Silva, general secretary of the Janatha Vimukthi Peramuna (JVP) party, during a campaign rally in Habaraduwa, Sri Lanka, on Monday, Sept. 16, 2024. The election will be the first for the country since an economic crisis in 2022 caused living standards to plunge and the government to default on its debt for the first time ever. Photographer: Buddhika Weerasinghe/Bloomberg via Getty Images

මෙය වාක්‍යයකින් දෙකකින් අවසන් කරන්නේ නම්, “පැලවත්තේ ගැටුම්” යැයි සමාජ මාධ්‍ය ඔස්සේ රැගෙන යන කතා වල පදනම වන්නේ, ජාවාරම්කාර ආර්ථික බලය හා ස්ටාලින්වාදී රාජ්‍ය බලය අතර නඩත්තු කෙරෙන අනුර-ටිල්වින් සම්මුතියෙහි ආර්ථිකවාදී හැඩය වන්නේ ය. තවත් ආකාරයකින් කියන්නේ නම්, අනුර නියෝජනය කරන මාලිමා-ජවිපෙ සම්මුතිය සහ ටිල්වින් පවත්වා ගැනීමට උත්සාහ කරන පොල් පොට්වාදී වාග් ස්වරූපයක් ඇතිව ජවිපෙ හිමිකාරිත්වයට යටත් කෙරෙන රාජ්‍ය අතර ප්‍රතිරෝධ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරියේදී අනුරගේ සමාජ සුභසාධනය වෙනුවෙන් ලබා දෙන්නාවූ ඉඩ ප්‍රස්ථා අනුව තීන්දු වන්නකි. එහි සමාජ බලපෑම වන්නේ “සමාජවාදය” වෙනුවෙන් නිදහස හකුලන, අයිතිවාසිකම් ආණ්ඩුව විසින් අර්ථ දක්වන, රාජ්‍ය පාලනයක් වෙත ගමන් කිරීමකි.    

Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2026 මැයි 11 වන දින

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...