අනුර දීර්ඝ වශයෙන් ලංකාවේ සිංහල-බෞද්ධ සංස්කෘතිය හා බැඳුණු සංචාරක කර්මාන්තය ගැන විස්තර කරමින් මේ දිනවල පැතිර යන කතාව රජයේ ප්‍රතිපත්තිය නොවන බව කීවේය.
එහෙත් ඇත්ත නම් LGBTQIA+ අයිතිවාසිකම් පිළිගැනීම පිළිබඳ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන බියුරෝවේ සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාගෙන් EQUAL GROUND ශ්‍රී ලංකා සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කළ විමසුමකට දුන් පිළිතුර රජයේ ප්‍රතිපත්තියය.
LGBTQIA+ අයිතිවාසිකම් පිළිගන්නවා යැයි ලංකාවේ ප්‍රථම වතාවට ප්‍රසිද්ධියේ පිළිගත් දේශපාලන පක්‍ෂයත් ජනතා විමුක්ති පෙරමුණය. එය සිදුවූ ආකාරයත් මා මීට පෙර දෙවතාවක් ලියා ඇත. නැවත මතක් කරනවා නම් සිද්ධිය මෙසේය;
ජාතික ජන බලවේගය සෑදීමටත් පෙර ජනතා විමුක්ති පෙරමුණ බී.ආර්.සී පිටියේ දැවන්ත රැස්වීමක් පැවැත්වීය. සුපුරුදු පරිදි ඊට පෙර දින අනුර මා අමතා; මචං හෙට රැස්වීමෙදි අලුත් යමක් කියන්න තිබේ දැයි ඇසීය. මා කී දේවල් අතර LGBTIQIA+ අයිතිවාසිකම් පිළිගන්නවා යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙසද ඉල්ලා සිටියේය. ඒ අයිතිවාසිකම් අනුර පිළිගත්ත දෙයක්. ඒත් පක්ෂයක් විදියට ප්‍රසිද්ධියේ කියල තිබ්බෙ නැහැ.
අනුර කතාව කරන විට මා එය සජීවීව නරඹමින් සිටියෙමි. මොන හේතුවක් නිසා හෝ අනුර අතින් LGBTIQIA+ කොටස කියවුනේ නැත. ඔහු වාඩි වූ විගස මම ඔහුට කෙටි පණිවිඩයක් යවමින් අරක කිව්වෙ නැත්තෙ ඇයි කියා විමසුවෙමි. ඔහු පණිවිඩය දකින විට ටිල්වින්ගේ කතාවත් අවසානයට ළංවෙමින් තිබුණි. අනුර වහාම කොළ කැබැල්ලක ඒ පණිවිඩය ලියා ටිල්වින්ට කෙනෙකු අතේ යවනු ලැබීය. ටිල්වින් එය කියවා ඔහුගේ කතාවේ වේගවත් අවසන් හරියේ LGBTIQIA+ අයිතිවාසිකම් පක්‍ෂයක් ලෙස පිළිගන්නා බව ඉතා මැනවින් පැහැදිලි කළේය. මම එවෙලේම පෝස්ට් එකක් දමමින් "මේ දැන් ලංකාවේ ප්‍රථම වරට දේශපාලන පක්‍ෂයක් ලෙස ජවිපෙ LGBTQIA+ අයිතිවාසිකම් පිළිගත්තා" කියා ලීවෙමි. LGBTIQIA+ ප්‍රජාව පමණක් නොව, සමාජයේ ආන්තිකකරණයට ලක්කර ඇති ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සංවේදී සහ ඒ වෙනුවෙන් ක්‍රියාකරන ප්‍රජාව පවා සතුටින් ඉපිල ගියේය.

දැන් මේ ප්‍රශ්ණයට තුඩු දී ඇති සංචාරක ප්‍රවර්ධන බියුරෝවේ සභාපතිවරයා EQUAL GROUND හි විධායක අධ්‍යක්‍ෂගේ ලියුමට උත්තර දෙමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සියලුම සංචාරකයින් පිළිගන්නා බවත් EQUAL GROUND ආයතනයේ Diversity, Equity and Inclusion නම් වැඩසටහන යටතේ LGBTIQ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමට සහ දිරිගැන්වීමට ගෙන යන වැඩපිළිවෙල අගය කරන බවය.
එමෙන්ම එහි ශක්‍යතාවය තමන් පිළිගන්නා බවත් ඒ සඳහා එම ආයතනයට ඇති හැකියාව මත සංචාරක කර්මාන්තයේ නියුතු ජාත්‍යන්තර ආයතන ජාලගත කිරීම, හෝටල් සේවකයින් ආදී පරදුපාර්ශව දැනුවත් කිරීම වැනි කටයුතු සංචාරක බියුරෝව ලංකාව ලෝකයේ සංචාරක ගමනාන්තයක් කිරීම සඳහා කරගෙන යන වැඩසටහනට සමඟ කදිමට ගැලපෙන බව වගේ කරුණු.
ඒ ලියුමෙ මොකක්ද තියෙන වරද? මේ මේ එක එක විරුද්ධ පාක්‍ෂිකයින් ගහන මඩවලට රැවටිලා සංඝයායි, කතෝලික සභාවයි විරුද්ධ උන පලියට ඒක අකුල ගන්නෙ මොකටද?

ඇත්ත ප්‍රශ්ණය නම්, ලෝකයේ ගොඩක් ගතානුගතික අදහස් තියෙන රටවලට LGBTQIA+ සංචාරකයො යන්න කැමති නැහැ. හේතුව වීස ගන්න තැන ඉඳන්ම ප්‍රශ්ණ. හෝටල් බුක් කරනකොටත් ප්‍රශ්ණ. ඒ ගොඩක් අයගෙ විවාහ සහතික වල තියෙන්නෙ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව කියන තැන්වල එක්කො දෙන්නම පිරිමි, නැත්තං දෙන්නම ගැහැණු. හරි කරදර ඉතිං. නොයෙකුත් කෙනෙහිලිකම් වලට ඒ අයව පාත්‍ර වෙනව ඒව නොදන්න නිලධාරීන් ඉන්න රටවල සහ අයිතිවාසිකම් පිළිබඳ නීති නැති රටවල.
ලංකාවෙ නම් ලිංගිකත්වය කිසිම කෙනෙකුට අසමාන ලෙස සලකන්න බැහැ කියන එක මූලික නීතිය. ඒ නිසා ආගමන විගමන නිලධාරීන්, හෝටල් හිමියන් වගේ අයව දැනුවත් කරන්න තමා ඒ වැඩ සටහන. එහෙම නැතුව ඒ අය ලංකාවට ඇවිත් ප්‍රසිද්ධියේ ලිංගික කටයුතු කරන්නෙ නැහැනෙ. ඉති ජනාධිපතිට තිබ්බෙ ඒව පැහැදිලි කරල දීල, අපි අපේ රටේ සංචාරය කරන්න එන හැම කෙනාටම එක විදියට සලකන්න ඕන, ඒකයි මේ කරන්නෙ කියල තේරුම් කරල දෙන එක මිසක් "ඒක රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි" කියල කියන එක නෙමෙයි.
තව එකක් කියල දෙන්න තිබ්බ, මේ වැඩ නිසා ලංකාවෙ බාල අපයෝජන වැඩිවෙන කතාවක් නැහැ කියල. ළමා අපයෝජන හා LGBTQIA+ අතර සම්බන්ධයක් නැහැ කියලත් කියන්න තිබ්බ.
ළමයින්ටත් මේව පුරුදු වෙනව කිය කිය වැලලෙන අය ආතර් සී. ක්ලාක්ගෙ කතාව දන්නවනෙ. ආතර් සී ක්ලාක් සුප්‍රසිද්ධ සමලිංගිකයෙක් නෙ. නමුත් එයාට ළමා අපයෝජයෙක් කියන නමත් පටබැඳුන. එයා ලංකාවෙ ඉන්නෙ 1956 ඉඳන්. එයාට චාර්ල්ස් කුමාරයා අතින් ලංකාවෙ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යයාලයෙදි නයිට් පදවිය දෙන්න සූදානම් වෙනකොට බ්‍රිතාන්‍යයේ සන්ඩේ මිරර් පත්තරය හෙඩ්ලයින් ගැහැව්ව "'Child sex shame of Arthur C Clarke' කියල. බ්‍රිතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවතපත ලිව්ව Arthur C Clarke sex scandal hits Charles' Sri Lanka visit" කියල.

තව තව පත්තර ගොඩක් මේක ලිව්ව, "Strip this pervert of knighthood he shames", "We must protect the children", "It doesn't do any harm most of the damage comes from fuss made by hysterical parents", "Arthur C. Clarke accused of paedophilia" ආදී වශයෙන්. ලංකාවෙ නම් ඕක ලිව්වෙ රාවය පත්තරේ විතරයි. අපි බැණුම් ඇහැව්වත් එක්ක ඒකට ක්ලාක්ට ආදරේ අයගෙන්. චෝදනාවට මූලික පදනම උනේ ක්ලාක්ගෙ "2001: A Space Odyssey" නවකතාවෙ තිබ්බ කොටසක්. "Once they (boys) have reached the age of puberty it is O.K. ... it doesn't do any harm." කියල තිබ්බ කොටස. ඒක ක්ලාක්ගෙ පාපෝච්ඡාරණයක් විදියට ජාත්‍යන්තර මාධ්‍යවල කතා ගියා.
ක්ලාර්ක් ගැන හොයන්න පිටරටවල ඉඳන් ඇවිත් ජනමාධ්‍යවේදීන් කියා නොපෙන්නා අන්ඩකවර් කළ ගවේෂණ.
ඕව වෙනකොට කටක් ඇරියෙ නැති සංඝායයි, කතෝලික පල්ලියයි දැන් නිකාන් ඕපදූපයක් අල්ලගෙන, බිල්ලෙක් මවාගෙන කෑගහනව.(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)
2025 ඔක්තෝම්බර් 04
සබැඳි සටහනක් :
මීට පස්සෙ රජයේ තනතුරු දරන අය තීරණ ගන්න එකක් නැහැ ! | Uvindu Kurukulasuriya




