ලාල් කාන්ත ඒක වෙනම විදියකට කිව්වා. ඇත්තටම ජනාවාස ගැන නැවත හිතන්න මේ ව්‍යසනය හේතු උනා. හැබැයි අපේ අය ආයේ අව්ව වැටෙනකොට මේක අමතක කරන්න පුළුවන්.
ලංකාවේ හැම තැනකම අළුත් නුවරවල් තියනවා. ඒ කියන්නේ රජවරු පවා පරණ නගරය අතහැරලා අලුත් නගර වෙත ඇවිල්ල තියනවා.
මම නම් ඔය නුවර තියෙන අබග්ගය ගැන කිව්වේ දැන් අවුරුදු හතරක් පහකට ඉස්සරවෙලා. මම එකේදී කිව්වේ දැන් තියෙන දළදා මාලිගාව වෙන තැනක ප්‍රති-ස්ථාපනය කරන්න වෙයි කියල. ඕනි කෙනෙක්ට පුළුවන් මගේ ටයිම් ලයින් එකේ පස්සට ගිහිල්ල බලන්න. ගොඩක් අය ඒකට බැනලත් තිබ්බ.

එහෙම කියන්න හේතුවුනේ දළදා මාලිගා පරිශයේ තියෙන ඉඩකඩ මදිකම. ඇතුලේ වගේම පිටත්. සංචාරකයෝ වගේම දේශීය විදේශීය සැදැහැවතුන් ගොඩක් එනවා මේ ස්ථානයට. ඇතුලේ ගත්තොත් හැරෙන්නවත් බැහැ ලොකු පිරිසක් ආව වෙලාවට. අර දළදා ප්‍රදර්ශනය වෙලාවේ පවා මේක අපි දැක්ක.
මම කියන්නේ මුළු නුවරම ගත්තොත් එහෙම විශාල ලෙස ව්‍යාප්ත වෙන්න ඉඩ මදි. එකක් පෞරාණික ඉදිකිරීම්. අනික සම්ප්‍රදායික ඉදිකිරීම්. අනික්වා යටත් විජිත ඉදිකිරීම්. අනික් ඒවා නූතන පැත්තට වැටෙනවා. මේ ඔක්කොම වැදගත් සහ නුවර කියල දැන් අපි හඳුනාගන්නා භූමියට තමයි යුනෙස්කෝ සහතිකය ලැබිල තියෙන්නේ. සහ දැන් ඒ ගොඩනැගිලි ගලවන්න ඕනි නැහැ. හරියට කියෝතෝ නගරයේ වගේ අපි ඒවා ආරක්ෂා කරන්න ඕනි. හැබැයි නූතන නගරයක් හැටියට තව පුළුල්වෙන්න නුවර ඉඩ මදි.
අනික් අතට ප්‍රවේශ මාර්ග දෙකම දැන් අවදානම්. කඩුගන්නාව හරහා වගේම ගලගෙදර හරහා පිවිසුම් විශාල වර්ෂාවකදී හිර වෙන්න පුළුවන්. නායයෑම් වගේම ගල් පෙරලීම් නිසා. හතරලියද්ද උනත් අමාරු පාරක්. ඉතිං මාලිමා ආණ්ඩුව රැඩිකල් තීරණයක් ගන්නවා නම් අලුත් නුවරක් නැවත නිර්මාණය කරන්න පටන්ගන්න පුළුවන්. එක රැයින් නෙවෙයි. තව අවරුදු දහයක පමණ කාල රාමුවක් එක්ක. මම නම් කැමතියි ඒක තරමක් තැනිතලා බිමකට එනවා නම්. මාවතගම කුරුණෑගල වගේ ආසන්නයට. නැත්නම් දඹුල්ල මාතලේ පැත්තට.

ඒ අලුත් නගරයේ අයට යන්න විකල්ප දළදා මාළිගාවක් අපිට ඕනිනම් හදන්නත් පුළුවන්. ලොකු අවකාශයක. පස්සේ ඒක ජනප්‍රිය වෙන්නත් පුළුවන්. හොඳ ගෘහ නිර්මාණයක් අවොත් හැමෝම ඒකට යන්නත් පුළුවන්. දැන් මහමෙව්නා වලට යනවා වගේ.
මේ පරණ නගරය කෞතුක වශයෙන් (කියෝතෝ වගේ) තියාගන්නවා. වෙළඳ, වාණිජ, කාර්මික අධ්‍යාපන වගේ නූතන දේවල් ටිකක් පුළුල් තැනකට අරන් යනවා. ලොකු අවකාශයක අලුත් නුවරක් ඇත්තටම හදන්න පුළුවන්. එතකොට දැන් තදබදය සහ වායු දූෂනය අවම කරගන්න පුළුවන්.
දළදාව උනත් එකම තැනක තිබ්බ දෙයක් නෙවෙයි. කාලෙන් කාලෙට වෙනස් වෙනස් තැන්වලට ඒක අරන් ඇවිල්ල තියනවා.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




