මම කියන්නේ හාමුදුරුවෝ කොච්චර බලවත් කෙනෙක් උනත් වින්දිත දරුවා සම්බන්දයෙන් පූර්ණ සාධාරණය වෙන්න ඕනි කියන ගමන් සහ නීතිය නොනැමිය යුතුයි කියන තැන ඉඳල.
නමුත් මේක පල්ලේගම හාමුදුරුවෝ උල තිබ්බ සැනින් විසඳෙන්නේ නැති පුළුල් සමාජ ප්‍රශ්නයක්.
ලංකාව 1978න් පස්සේ ආර්ථික සමාජයීය වශයෙන් පුළුල් ලෙස විවර උනාම ගෝලීය ලෞකිකකරණය (විශේෂයෙන් පරිභෝජනය එක්ක) අපේ සමාජයට වේගයෙන් කඩාගෙන වැදුන. ඒ ලෞකිකකරණය ගොඩක් දුරට බටහිර එකක්.

ඒ කඩාවැදීමේ 'ෂොක් වේව්' වලින් අපි තවමත් බැට කමින් ඉන්නවා. අද ඒක ලාංකික නිල් චිත්‍රපට නළු නිළියන්ගේ කන්ටෙන්ට් ක්‍රියේෂන් දක්වා අපේ ලෝකයට කඩාවදිමින් තිබෙනවා. මේ හැමදේම ගිහියන් වගේම භික්ෂූන් වහන්සේලාත් දකිනවා.
අපි කියනවා භික්ෂූන් හැටියට මේවා කොච්චර දැක්කත් නොදැක්කා වගේ ඉන්න ඕනි නැත්නම් දරාගෙන ශීලය පැත්තට නැඹුරු වෙන්න ඕනි කියල. නමුත් දරාගන්න පුළුවන් වගේම බැරි අයත් ඉන්නවා. ගොඩක් වෙලාවට ලෞකික සංඥා පැත්තට ඇදවැටෙනවා.
ඉතිං කියන්න පුළුවන් සිවුරු අරින්න පුළුවන් නේ. ආයේ මොකටද බැරි බැරියාවේ ඉන්නේ කියල. ඒක හරි.
ඒ උත්තරය දෙන්නේ දයලේක්තික විදියට එක්කෝ නැත්නම් ද්වයිතයේ ඉඳල. එක්කෝ සිවුරේ ඉන්නවා නැත්නම් සිවුර අරිනවා. ඒක සරල තේරීමක්. ඇත්තටම තේරීමක් නැහැ එතන.
මම කියන්නේ අපිට ඇයි මැද තැනකට එන්න බැරි කියල. ලංකාවේ එහෙම 'මැද තැනක්' තිබිල තියනවා. හිතන්න උඩරට යුගයේ හිටපු ගණින්නාන්සේල. පවුලක් නඩත්තු කරනවා පිරිමියෙක් හැටියට. පාංශකූලෙට එනවා සිවුරක් දාගෙන. උඩරට සමාජෙට හයියක් තිබ්බ මේ ප්‍රපංචය දරාගන්න.
ජපානයේ නම් ඇතැම් මහායාන නිකායවල විවාහ වෙන්න පුළුවන් භික්ෂූභාවයේ ඉඳගෙනම. ඒක එතකොට පැහැදිළියි. භික්ෂූභාවයේ යම් කොටසකුත් පුද්ගලයා තුල තියෙනවා. ලෞකිකත්වයත් තියනවා. සංකීරණ පුද්ගලභාවයක් සමාජයට ප්‍රක්ෂේපනය වෙයි.
ලංකාවේ ඇතැම් භික්ෂූන් වහන්සේලාත් පවුල් නඩත්තු කරනවා. හැබැයි රහසේ. ඇතැම් තැන්වලදී මේ රහස් එළියට එනවා. එතකොට මිනිස්සු අනේ අපොයි ගානවා. පස්සේ කඩේ වහනවා.
භික්ෂූන් වහන්සේලාත් අර මිනිස්සුන්ට බොරු බණ කියල ජනප්‍රිය වෙනවා. පස්සේ ඒ මිනිස්සුම කැති පොලු අරන් පන්සලට එනවා. මේ මිනිස්සු හදා වඩා ගත්තේ අර 'හාමුදුරු බණ' විසින්මයි. මේ නිසා කරන්නේ වැඩේ රහසින් යටින් යන්න අරින එක.
මේ රහසේ කෙරිල්ලේ විශේෂ 'අතිරික්ත විනෝදයක්' නැත්නම් මම කියන්නේ පවුලක් නඩත්තු කරමින්ම යම් භික්ෂූභාවයක් නඩත්තු කිරීමේ 'භික්ෂූ-ලෞකික මැද තැනක්' (in between position) තිබ්බානම් හොඳයි කියන එක. පුද්ගල සාංදෘෂ්ටික තේරීම එක්ක පසුව පූර්ණ භික්ෂූභාවය හෝ ලෞකික බව තෝරාගන්න පුළුවන්. ඒක පරිණත තේරීමක් වෙයි එතකොට.
හුඟක් අය දකියි මේක බුද්ධ සාසනේ විනාශ කරන්න හැදීමක් හැටියට. මම කියන්නේ මේ සරල බුද්ධ සාසනේ සංකීර්ණ වෙන්න ඕනි කියන එක.
සංකීර්ණ මිනිස්සු බිහිවෙයි එතකොට.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




