මහ මැතිවරණය අති විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසු ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියූ පරිදිම එය ඔවුන්ට විශාල බරක් වී ඇති සෙයක්ද පේනවා. අනුර පවා මුලින් කීවේ තුනෙන් දෙකක බලයක් යනු ලෙහෙසි පහසු දෙයක් නොවන බවයි.
මේ කෙසේවෙතත් මැතිවරණ ජයග්‍රහණයකින් පසු නායකත්වයට මෙන්ම ආණ්ඩුවටද වෙනස් මානසිකත්වයකින් සිතීමට මෙන්ම ක්‍රියා කිරීමටත් සිදුවනවා. වත්මන් ආණ්ඩුව එය සමබරව කරන්නේද නැද්ද යන්න මත අදාළ විවේචන රඳාපවතින බවයි මගේ අදහස. කරුණු කිහිපයක් අහුලාගත් උදාහරණ සමග දැක්වීමට කැමැත්තෙමි.
01. ජයග්‍රහණ සාර්ථකත්වය සමඟ යථාර්ථවාදීව කටයුතු කිරීම (Dealing realistically)

මෙය අභියෝගයකි. තම පාලනයක් යටතේ සහල් ආනයනය නොකරනවා යැයි කියූවද එසේ කිරීමට සිදුවීම යථාර්ථයකි. එක රැයින්, සති දෙකෙන් හෝ පෝය දෙකෙන් හොරු අල්ලනවා යැයි කියූවද එය කළ නොහැකිවීම ප්‍රායෝගික යථාර්ථයයි.
ජයග්‍රහණය පිළිබඳ සතුටුවෙමින් තව දුරටත් මේවා අතිශයෝක්තියෙන් දැක්වීම කළ නොහැකි අතර ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ යථාර්ථවාදී බව ආණ්ඩුව ප්‍රකට කළ යුතුය. එමෙන්ම මේ අවස්ථාවේ පැන නැගී ඇති ගැටළුවලට අදාළව සිය වගකීම් හා අනෙකුත් අභියෝග පිළිබඳවද යථාර්ථවාදි වැටහීමක් ආණ්ඩුවට තිබිය යුතුය.
Paye Tax සහ පොහොර සහනාධාරය සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කළේ එවැනි යථාර්ථවාදි එළඹුමකින්දැයි මට නම් නොසිතේ.
2. නම්‍යශීලී වීම (Being flexible)
මෙතෙක් කලක් ආණ්ඩු නොකළ කණ්ඩායමකට එකී තනතුරුවල වැඩකිරීම සඳහා හුරුවීමට කාලයක් ගත වන බව පිළිගත යුත්තකි. එනිසාම අනෙකුත් පාර්ශවවල අත්දැකීම් හා අදහස්වලට විවෘතව සිටීම ඉතා වැදගත්ය. එහෙත් පසුගිය මසක පමණ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ බොහෝ මැති ඇමතිවරුන්ගෙන් එවැන්නක් දිස්වූයේ නැත.
සභානායක බිමල් රත්නායක වරෙක මන්ත්‍රී දයාසිරි ජයසේකරට කියා සිටියේ "තමුන්නාන්සේලාගේ උපදෙස් අපට අවශ්‍ය නැහැ" යනුවෙනි. පාර්ලිමේන්තුව යනු කිම? පසුගිය ආණ්ඩුවල මෙන්ම තවත් ඇතැම් ඇමතිවරුන්ද මේ ආකාරයටම උද්ධච්ඡකමින් විවිධ ප්‍රකාශ කරන ආකාරය දුටුවෙමි.
සාධාරණ විවේචනයන්ට තමන් විවෘත බව ජනාධිපති අනුර දිසානායක කිහිපවරක් කියූ බව මතකය. එනිසා විවිධ ප්‍රතිචාර ගැන විවෘත වීමත් විවේචන හා යෝජනා සාධනීයව භාර ගැනීමට නම්‍යශීලීවීමත් ආණ්ඩුවට ගුණදායකය.

76 වසරකින් පසු දැන් බලයට පත්ව ඇත්තේ වෙනස්ම කණ්ඩායමකි. ඔවුන් ජනතාවට දුන් පොරොන්දු මෙන්ම ජනතා බලාපොරොත්තුද ඇත්තේ ඉහළ තැනකයි. එනිසාම මහජන අවධානය ආණ්ඩුව කෙරෙහි යොමුවීම හා වැඩි වගකීම් නිසා ඇතිවන පීඩනයත් මාලිමා ආණ්ඩුව කෙරෙහි යොමුව තිබේ.
IMF ණය සම්බන්ධයෙන් පෙර මගම යාම පිළිබඳ එල්ල වන චෝදනා දරාගැනීමට ආණ්ඩුවට හැකිවිය යුතුය. එහි ප්‍රතිලාභය රටට අත්කරදීමෙන් එකී පීඩනයන් සමනය කරගත හැකිවනු ඇත. තමන් දුන් පොරොන්දු කඩිනමින් ඉටුකිරීමට නොහැකිවීම මෙන්ම සහල්, පොල් ආදී ප්‍රශ්න මතින් පැන නගින පීඩනයද කළමනාකරණය කරගැනීමට ආණ්ඩුවට හැකියාවක් තිබිය යුතුය. මාධ්‍යයද පීඩනය ගෙන දෙන බව වටහාගත යුත්තකි.
4. භාහිර සහ අහ්‍යන්තර සහයෝගීතාවය (External and internal cooperation)

ජාතික ජන බලවේගය යනු ජවිපෙ කේන්ද්‍ර කරගත් කණ්ඩායමකි. එහි දෙපිරිසක් සිටින බව නොරහසකි. අපට ඇසදුටු සාක්ෂි නැතත් ජවිපෙ සියල්ල මෙහෙයවන බවට එළියේ කතාබහක් පවතී. එය එසේ නම් කණ්ඩායම තුළ සහයෝගීතාවක් නොවීම ආණ්ඩුවක් පවත්වාගෙන යාමේදී බාධාවකි. මහ මැතිවරණයේදි ජාතික ජනබලවේගයේ ඇතැම් අපේක්ෂකයන් පරාජයට පත්වීමටද මේ තත්ත්වයක් බලපෑ බව කියවින.
අනෙක් පසින් ආණ්ඩුවක් සිය පාලනය ගෙන යායුත්තේ නිළධාරීන් සමගයි. එහෙත් ජනාධිපති ලේකම්වරයාගේ සිට ප්‍රධාන තනතුරු කිහිපයක්ම පිටතින් කළ පත්කිරීම් බව නොරහසකි. එහි හොඳද නරකද තිබිය හැකිය. වඩාත්ම වැදගත් වන්නේ තම ඉලක්ක වෙනුවෙන් රාජ්‍ය නිළධාරීන් නිසි ලෙස මෙහෙයවා ගැනීමයි.
යහපාලන ආණ්ඩු සමයේ මෙන්ම මාලිමා ආණ්ඩුවෙන්ද කියැවෙන දෙයක් වන්නේ ඇතැම් නිළධාරීන් හිතා මතා සිය ගමනට බාධා කරන බවයි. බස්නාහිර පළාතේ ගුරුවරුන්ට ටියුෂන් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට මැදිහත් වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මේ බව කියනු දුටුවෙමි. (එය "බල්ලාගේ වැඩේ බූරුවා කිරීමක්" බවද කිව යුතුය.) දේශපාලන අධිකාරියේ සහ නිළධාරී තන්ත්‍රයේ සහයෝගීතාව ඇතිකර ගැනීම වුව ආණ්ඩුව සිය වගකීමක් ලෙස ගත යුත්තකි.

මෙතෙක් කළක් පැවති ආණ්ඩුවල මැති ඇමතිවරුන් සමග සැසඳීමේදි වත්මන් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ඉහළින් තැබිය හැකිය. තමන්ට රිසි දේ කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැත. එහෙත් අශෝක රංවල කථානායකවරයා මෙන්ම තවත් කිහිපදෙනෙකු සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ පක්ෂයටත් ජනතාවටත් කියා තිබුණේ සත්‍ය නොවන බව පෙනේ. මෑතදී මන්ත්‍රීවරයෙකුගේ බිරිඳක් කළ පොලිස් පැමිණිල්ල වුවද ආණ්ඩුවේ නියෝජිතයන්ගේ විනයගරුක බව ප්‍රශ්න කිරීමට හේතුවක් වී තිබේ.
සමස්ත ආණ්ඩුවද විනයගරුක විය යුතු අතර පසුගිය පාර්ලිමේන්තු සභාවාරවල අප දුටුවේ පරණ පාර්ලිමේන්තුවේම දිගුවකි. විද්වත් හා විනයගරුක පාර්ලිමේන්තුවක් පිළිබඳ අදහස ජාතික ජන බලවේගය විසින්ම අවධාරණය කරනු ලැබ තිබුණද ඔවුන්ගේ 159 දෙනෙකු සිටිනා එතැන අප එලෙස දුටුවේ නැත. ජනතාවගේ විශ්වාසය රැකගැනීමට නම් එකී විනයගරුක බව රැකීමට ආණ්ඩුවේ සියලු මැති ඇමතිවරුන් උත්සාහගත යුතුය.

මෙහි ප්‍රධාන අභියෝගයක් අතීත උදාහරණයකින් දැක්විය හැකිය. 2015 දී යහපාලන ආණ්ඩුව පත්වන විටද ජනතාවට මහත් බලාපොරොත්තු තිබිණි. එහෙත් ජනපති - අගමැති විරසකය මෙන්ම ඉතා සුළු දේ සම්බන්ධයෙන් වුවද විපක්ෂ කණ්ඩායම් හා මාධ්‍ය ගෙනගිය දැවැන්ත ප්‍රචාරණයන් ආණ්ඩුව දුර්වල කිරීමට හේතු විය.
එමගින් සිදුවූයේ සොරුන් ඇල්ලීම ආදී බලයට ඒමට පෙර දුන් පොරොන්දු ඉටුකිරීමට නොහැකි වීමයි. "පහු වෙන්න පහු වෙන්න කොහු වෙන්නා සේ" ආණ්ඩුව දුර්වල වී හොරු චණ්ඩි බවට පත්වීමයි.
මේ ආණ්ඩුවට වුවද එවැනි සංතෑසියක් අත්වන්නට බැරි නැත. එදා මෙන්ම අදත් ප්‍රධාන මාධ්‍යයත්, Youtube, facebook වැනි සමාජ මාධ්‍යයත් ඒ වෙනුවෙන් කැසකවමින් සිටින බව පෙනේ. ඒ සඳහා අඩුමකුඩුම ලබා නොදීමට වගබලාගැනීමද ආණ්ඩුවේ වැඩකි.
| මහින්ද රුබසිංහදේශපාලන හා සමාජ විශ්ලේෂක
mahiruba@gmail.com
(උපුටා ගැනීම - Mahinda Rubasinghe ගේ ෆේස්බුක් පිටුවෙන් )



