The Leader News
BREAKING
Top Ad
Opinion

අහඹු සිංහල බෞද්ධ වීරයින් නම් කර “සිස්ටම්” සුද්ද කරන්න බැහැ - කුසල් පෙරේරා

T

The Leader Desk

February 18, 2020 • 3:55 PM

අහඹු සිංහල බෞද්ධ වීරයින් නම් කර “සිස්ටම්” සුද්ද කරන්න බැහැ - කුසල් පෙරේරා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ජනතාවගෙන් බහුතරයක් හොරුනෙ මල්ලි. ජනතාවගෙන් බහුතරයක් හොරු උනාම, හොරු බහුතරයක් කැමති නැහැ හොරු අල්ලනවට. ඔය හොරුන්ගෙ මීටිං වලට එන සෙනඟ කන්දරාව බලන්න.
  • ඔහු පසුගිය (2019) නොවැම්බර 11 වන දින මාධ්‍යවේදීන් හමුවේ ප්‍රශ්න කිහිපයකට දුන් උත්තර වලින් මෙය උපුටා ගත් කොටසකි.
  • එනිසා අත පය වනන්නට ගියහොත් නැවත ඇප අහෝසි වන්නට ඉඩ ඇති බැව් ඔහු හොඳින් දන්නා කාරණයකි.
  • එහෙත් කෙනෙකුට දෙදෙනෙකුට හැර ඔහුද දවස පුරා සමාජ මාධ්‍ය ජාලයන්හි සැරිසරන කිසිවකුට වීරයෙකු තබා වැදගත් සටහනක් තැබීමට තරම්වත් අවංක නිලධාරියෙකු ලෙස නොපෙණුනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සෙනඟ කන්දරාව මල්ලි වාහන අරගෙන, පෙට්‍රල් ගහගෙන, බුරියානි අරගෙන එන්නෙ ඇයි මල්ලි? තමුන්ගෙ නායකයව පත් කර ගන්න. මොකටද? මේ පුද්ගලයා ආවොත් මට වැලි ටික කපා ගන්න පුළුවන්, මට පස් ටික ඇද ගන්න පුළුවන්, මට මිනී මරන්න පුළුවන්, දූෂණය කරන්න පුළුවන්, එතනෝල් ගේන්න පුළුවන්, කුඩු ගේන්න පුළුවන්. ඒකනෙ මල්ලි මේ මරාගෙන එන්නෙ මගෙ නායකයා රජා කරන්න කියලා............ලංකාවෙ මල්ලි උප්පැන්න සහතිකයෙ ඉඳළා මරණ සහතිකය දක්වා ඔක්කොම කරන්නේ බොරු. ඒක මල්ලි මේ සිස්ටම් එකේ වරද.............”

මේ රන්ජන් රාමනායකගේම වචනය. ඔහු පසුගිය (2019) නොවැම්බර 11 වන දින මාධ්‍යවේදීන් හමුවේ ප්‍රශ්න කිහිපයකට දුන් උත්තර වලින් මෙය උපුටා ගත් කොටසකි.

සිංහල සමාජය ගැන රන්ජන්ගේ තක්සේරුව සැබවින්ම නිවැරදි යැයි පසුගිය පෙබරවාරි 10 වන සඳුදා ගම්පහ දිස්ත්‍රික් වන අඩවි නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය දේශපාලන බලපෑමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තනිව පෙනී සිටි සිද්ධියෙන් ඔප්පු විය. 

සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා ජනතාව වෙනුවෙන් යැයි පෙනී සිටියේ රන්ජන් කියූ ප්‍රාදේශීය හයිකාරයින් වෙනුවෙනි. 

සමාජ මාධ්‍ය ජාලයන්හි ඇතැමුන් සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයාගේ හික්මීම, විනය ගැන ලොකුවට කතා කරන්නේ සනත් නිශාන්ත ඉන්නේ හලාවත අධිකරණයෙන් ලබාගත් ඇප මත බැව් අමතක කරමින් ය. 

Deva 1 18ඔහුගේ සහෝදරයා වන ආරච්චිකට්ටුවේ ප්‍රාදේශීය සභාවේ සභාපති සමග ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට පහරදීම සම්බන්ධයෙන් ඔහු අපරාධ නඩුවක චූදිතයෙකි. එනිසා අත පය වනන්නට ගියහොත් නැවත ඇප අහෝසි වන්නට ඉඩ ඇති බැව් ඔහු හොඳින් දන්නා කාරණයකි. එදින චණ්ඩිකම් ඔහුගේ ගෝලයින්ට බාරදී තිබුණේ එනිසාය. 

ඒ චිත්‍රයෙහි අනෙක් රාජ්‍ය නිලධාරීන්ගේ ගොලුවතෙහි දෝංකාරයද එවැනි මැර දේශපාලනඥයකු වෙනුවෙන් වූ ගොලුවතකි. ඒ ශාලාවේ සිටි තවත් එක් පිරිමියෙකු හැරුණ විට, රන්ජන් කියූ පරිදි අති බහුතරය නිහඬ වූයේ දූෂණය, වංචාව වෙනුවෙනි.

ගම්පහ දිස්ත්‍රික් වන අඩවි නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය මෙන්ම මීට පෙර තවත් රජයේ නිලධාරීහු බලපෑම්, තර්ජන මැද නීතිය ක්‍රියාත්මක කිරීමට ගොසින් නොයෙකුත් තර්ජන හා අපහාසයන්ට මුහුණ දුන්හ. 

පසුගිය අවුරුද්දේ යහපාලන ආණ්ඩු කාලයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් නිරෝෂනී පතිරන මහත්මියද නීතියට අනුව වැඩ කිරීම නිසා තර්ජනයන්ට මුහුණ පෑවාය. ජ.වි.පෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ගමේ සගයින් සමග ඇයගේ කාර්යාලයට පැමිණ ඇයට සෘජුව තර්ජනයක් කළද, ඇය ඊට යටත් නොවුනාය.

එහෙත් ඇය ගැන සමාජ මාධ්‍ය ජාලයන්හි කෙරුණු ප්‍රශස්ති එතරම් නොවුනි. ඇය සමාජ මාධ්‍ය ජාලයන්හි වීරවරියක් නොවුනි.



අම්පිටියේ සුමන !!!

යහපාලන ආණ්ඩුව සමයේ අම්පිටියේ සුමන නමින් මඩකළපුවේ ඉන්නා කහකඩයෙක් 2016 නොවැම්බරයේදී පොලිසියේ ඉහළ නිලධාරියෙකු සහ පොලීසියේ තවත් කිහිප දෙනෙකු ඉදිරිපිටදී දෙමළ ග්‍රාම සේවා නිලධාරි මහතෙකුට සුද්ද සිංහලෙන් බැණ වැදුනේ රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචිකර ඉන්නා සිංහලයින්ට එරෙහිව නඩු නොපවරන ලෙසට තර්ජනය කරමිනි. 

“තෝ හොඳට දැන ගනින්, එක සිංහලයෙකු මේ ඉඩමකින් හෙල්ලුවොත් තම්බියාගෙ අධිකරණෙත් ඉවරයි. දෙමළගෙ අධිකරණෙත් ඉවරයි.” ඔහු පොලිස් නිලධාරීන් ඉදිරියේදී ග්‍රාම සේවා නිලධාරි මහතාට තර්ජනය කළේය. ප්‍රතිචාර වශයෙන් කිසිදු වචනයක් නොකියූ ග්‍රාම සේවා නිලධාරි මහතා ඉහළ පොලිස් නිලධාරියා විසින් කහකඩ සුමනව කැඳවාගන ගිය පසු ඔහුගේ රාජකාරි කටයුතුවල නිරත විය. 


එවැනි අනතුරුදායක, අවදානම් පරිසරයක රාජකාරිය හරියාකාරව කිරීම අද සමාජයේ ප්‍රාතිහාර්යකි. එහෙත් කෙනෙකුට දෙදෙනෙකුට හැර ඔහුද දවස පුරා සමාජ මාධ්‍ය ජාලයන්හි සැරිසරන කිසිවකුට වීරයෙකු තබා වැදගත් සටහනක් තැබීමට තරම්වත් අවංක නිලධාරියෙකු ලෙස නොපෙණුනි.

සාම්ප්‍රදායික මාධ්‍යයන්හි වාර්තා නොවුනද, විඩියෝ පට සමාජ මාධ්‍ය ජාලයේ සතර අත බෙදා හදා නොගත්තද සෘජුව, අවංකව තම රාජකාරී කරන්නාවූ සහ එනිසාම අනිසි බලපෑම් වලට තර්ජන වලට හසුවන තවත් රජයේ නිලධාරීන් සහ නිලධාරිනීන් නැතුවා නොවේ. 

එහෙත් සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන බහුතරයක් සිංහල බෞද්ධයින් අතර වීරයින් වන්නට, ඔවුන් විසින් හදාගෙන ඇති නිර්ණායකයින් කිහිපයට හසුවිය යුතුය. ඔවුන්ගේ පළමු හා ඉතාම වැදගත් නිර්ණායකය නම්, වීරයා හෝ වීරවරිය සිංහල බෞද්ධ වීමය. කෙතරම් අසීරු කාර්යකට උරදී ජය ගත්තද සිංහල බෞද්ධ නොවන්නේ නම්, යන එන ගමන් කෙරෙන සඳහන් කිරීම් මිස දකුණේ සිංහල සමාජයේ “ජාතික” ප්‍රණාම සඳහා කිසිවකු නම් වන්නේ නැත. 

මරණ තර්ජන හමුවේ රාජකාරිය කරන මඩකළපුවේ ග්‍රාම සේවා නිලධාරි මහතා ගම්පහ දේවානි තරම් වැදගත් නොවූයේ එබැවිනි.

දෙවැන්න. සිංහල බෞද්ධ වූවත් “සම්භාව්‍ය” තලයට ඔසවා තබන්නට බස්නාහිර පළාතේ විය යුතුය. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක විශේෂය. මේ විවෘත වෙළඳපල ආර්ථික ක්‍රියාවලියෙහි මහ නගර වෙළඳපල ක්‍රියාකාරිත්වයෙන් කළුතර අත හැරුණු දිස්ත්‍රික්කයකි. එබැවින් වැදගත් සටහන් සඳහා, ප්‍රමුඛතාවක් ලැබීමට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක තරම් අනෙක් පළාත් එතරම් වැදගත් නැත. වැදගත් වන්නේ සල්ලිකාර වෙළඳපල ප්‍රදේශයන් වන බැවින්ය.

තෙවැන්න නම් මොවුන්ට රාජපක්ෂ විරෝධී මුහුණතක් ඒ වීරකමෙන් ප්‍රදර්ශනය කළ හැකිද යන්නය. පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම්වරිය අභියෝග කෙරුවේ යහපාලන සමයේ චණ්ඩිකම්ය. එනිසා ඇයව අවංක, නීතිගරුක රජයේ නිලධාරිනියක් ලෙස හුවා දැක්වීම යහපාලනයත් රාජපක්ෂ පාලනයක් යැයි කීමක් වන්නකි. 

මඩකළපුවේ ග්‍රාම සේවා නිලධාරි මහතාගේ කතාව ඉස්මතු කළ විට ඔප්පු වන්නේ යහපාලන සමයේ සිංහල බෞද්ධ චණ්ඩිකම් රාජපක්ෂ යුගයටද වඩා තිරිසන් බවය. එබැවින් පොල්පිතිගම, මඩකළපුව වීර පදක්කම් සඳහා සුදුසුකම් නොලැබුණු අවංක නිලධාරීන්ගේ සේවා විය.

Deva 18 2අවසාන වශයෙන් කිව යුත්තේ කොළඹ කේන්ද්‍රීය නාගරික මැද පංතික රාජපක්ෂ විරෝධයක්ද සිංහල බෞද්ධ අධිපතිවාදී සමාජ බලයක්ද මේ සමාජයේ වීරයා හෝ වීරවරිය තීන්දු කරන බවය. 

මහ වනේ ගස් කපද්දී කොළඹ ගම්පහ පදිකවල, පිළිකණුවල ගස් සිටුවන ව්‍යාපෘති රැගෙන එන පරිසරවේදීහුද එයටම එකතු වන්නාහ. බැලූ බැල්මට මේවායේ ප්‍රතිවිරෝධයක් ඇත. 

එහෙත් රන්ජන් රාමනායකගේ සරළ පැහැදිලි කිරීමෙන් කියන්නේ එවැනි පරස්පරයක් ප්‍රතිවිරෝධයක් දේශපාලන පක්ෂ වශයෙන් නැති බවය. සැබෑව එයම ය. ප්‍රතිවිරෝධ ඇත්තේ විවෘත වෙළඳපල ආර්ථිකයෙන් හම්බකර ගන්නවුන් අතර නොව, හම්බකර ගන්නවුන් හා ඉන් අතහැරනවුන් අතරය. එය ඔහු කියූ “සිස්ටම්” එකේ වරදට බහුතර සිංහල බෞද්ධයා හවුල්වී ඉන්නා සැටි ප්‍රදර්ශනය කෙරෙන්නකි.

අද දේවානි හසුව ඉන්නේ ඒ සිස්ටම් එකේ අජීර්නයට ය. වඩා යහපත් පොදු සංවර්ධන සැළසුම් පිළිබඳ කතාවක ස්වාධීන රාජ්‍ය සේවාවක් වෙනුවෙන් පෙනී සිටිනු වෙනුවට ඇයව වීරවරියක් කරගෙන තමන් “අවංක” යැයිද, තමන් “දූෂණ විරෝධී” යැයිද ප්‍රදර්ශනය කිරීමට සමාජ මාධ්‍ය ජාල යොදා ගෙන පෙරහැරේ යන ආත්මාර්ථකාමී කුහකත්වයටය. 


දේවානි වෙනුවෙන් ස්තෝත්‍ර ගයන ඇතැමෙක් නුවරඑළිය මහ පරිමාන පාරිසරික විනාශයන්ට ගොදුරුව ඇති ප්‍රදේශයක් යැයි නුවරඑළිය පිරිසිදු කිරීමට ඇයව නුවරඑළියට ස්ථාන මාරු කළ යුතුයැයි ප්‍රසිද්ධ යෝජනා කරන්නේ මේ වීරකම් පිදීමේ ඇති කුහක ආත්මාර්ථය ප්‍රදර්ශනය කරමින්ය.

Deva 18 3ඇයට ඇයගේ අවංක, ස්වාධීනව රාජකාරි කටයුතු කිරීමේ පිළිවෙත බාධාවකින් හිරිහැරයකින් තොරව කරගෙන යාමට හැක්කේ “දේවානිට අත නොතබව්” කියා මොර දීමෙන් පමණක් නොවන බව තේරුම් ගැනීමට මොවුන්ට අවශ්‍ය නැත. 

අද පවත්නා බරපතල අර්බූද සඳහා විසඳුම් සොයන්නටද ඔවුන්ට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ “අපි සාධාරණත්වය වෙනුවෙන්” යැයි ප්‍රදර්ශනය කිරීමට පමණි. එමගින් “සිස්ටම්” පිරිසිදු වන්නේත් දේවානිලා ආරක්ෂා වන්නේත් නැත. 

එනිසා මීගමුව කඩොලාන සුරැකීමෙන් එහා ගොසින් සියල්ලන්ට සාධාරණයක්වන, රටේම පරිසරය නිසියාකාරයෙන් සුරැකිය හැකි ජාතික සංවර්ධනයක රාජ්‍ය සේවාවේ ගෞරවය හා ස්වාධීනත්වය තහවුරු කිරීමට සමාජ ජාල මැදිහත්වීම්ද සිදුවිය යුතුව ඇත. 

ඒ සමග දේවානිලාද “මේ තරම් ඉගෙන ගෙන මේ තනතුරුවල අප ඉන්නේ ගමේ ගොඬේ අයට ඕනේ දේ කරන්නට නොවේ” යැයි වන මෝඩ උද්දච්චකම් අතහරින්නටද සූදානම් විය යුතුය. ඔවුන්ද ගමේ ගොඬේ එකාගේ අවශ්‍යතා සංවර්ධනයට ඇතුලු කිරීමට හැකි නිරෝගී කතිකාවකට හවුල් විය යුතුය.

(කුසල් පෙරේරා : ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී )
2020 පෙබරවාරි 15 වන දින
kusal.perera@gmail.com
kusal

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...