The Leader News
BREAKING
Top Ad
Opinion

NPP විය යුතු JVP ය – (අනුර කේ එදිරිසූරිය)

T

The Leader Desk

September 26, 2024 • 6:55 AM

NPP විය යුතු JVP ය – (අනුර කේ එදිරිසූරිය)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මට තිබුණේ විවේචනාත්මක සහයෝගයකි.
  • ජාතික ජන බලවේගය මේ මැතිවරණය පරාජය වනවාට මා අකමැතිව සිටියේ, රනිල් දිනනවාටත් වඩා සජිත් දිනනු ඇත යන බියෙනි.
  • විවේචනයෙන් ඊට බාධා වනු ඇත යන බිය හේතුවෙන් මම ජාතික ජන බලවේගයට නිහඬ සහයෝගයෙන් සිටියෙමි.
  • මෙවර මැතිවරණයේ දෙවන මනාපය ගණන් කරන්නට සිදු වීම ජාතික ජන බලවේගය ට හිතූ තරමට ජන සහයෝගයක් ලැබී නැති බවට සාක්ෂියකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මට තිබුණේ විවේචනාත්මක සහයෝගයකි. ජාතික ජන බලවේගය මේ මැතිවරණය පරාජය වනවාට මා අකමැතිව සිටියේ, රනිල් දිනනවාටත් වඩා සජිත් දිනනු ඇත යන බියෙනි. අනුර දිනීම යනු මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයකි. විවේචනයෙන් ඊට බාධා වනු ඇත යන බිය හේතුවෙන් මම ජාතික ජන බලවේගයට නිහඬ සහයෝගයෙන් සිටියෙමි. දැන් ඒ යුගය අවසන්ය. මහ මැතිවරණයට පෙර ජාතික ජන බලවේගය සපුරා ගත යුතු ඉලක්කයක් පිළිබඳ අදහසක් කීමට දැන් අවහිරයක් නැත.

 

Screenshot 2024 09 26 at 12.14.03 copy

මෙවර මැතිවරණයේ දෙවන මනාපය ගණන් කරන්නට සිදු වීම ජාතික ජන බලවේගය ට හිතූ තරමට ජන සහයෝගයක් ලැබී නැති බවට සාක්ෂියකි. එසේ වන්නට එක් හේතුවක් වන්නේ ජාතික ජන බලවේගය ඉක්මවා ජනතා විමුක්ති පෙරමුණ ඉස්මතු වීම ය. ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික ව්‍යාපාරයක් වුව, ජාජබ හැඳින්වූයේ පොදු ජන සංවිධානයක් වශයෙනි. එහෙත් මුල් කාලයේ රැස්වීම්, සාකච්ඡාවලදී ජවිපෙ පිරිසට “සහෝදරයා” වෙනුවට “මහතා” වැනි ආමන්ත්‍රණයකට මාරු වන්නට පවා අසීරු වූ බව පෙනුණි. එහෙයින් ජනතාව අතර ජාජබ මුලින්ම සලකුණු වූයේ, ලකුණ වෙනස්වු ජනතා විමුක්ති පෙරමුණක් වශයෙනි. මොනරාගල දිස්ත්‍රික්කයේ මගේ මිතුරෙක් කීවේ ” මෙහේ වාහෙලා ජාජබ කිය කිය ජවිපෙ පරණ එවුන්ම කැන්වසින් කරවනවා. අඩුම තරමින් අලුත් දෙතුන් දෙනෙක් අරන් එන්නෙවත් නැහැ.” යනුවෙනි.

මහ-ජාතිකවාදයේ නිමේෂය සහ 'ජාතික ජන බලවේගයේ' සංසාරය - ගාමිණී වියන්ගොඩ

 

ජාජබ මැතිවරණ ව්‍යාපාරයේ මා දකින අනෙක් කරුණු වන්නේ:දෙමළ බස වහරණ දෙමළ සහ මුස්ලිම් ජනතාවට ඔවුන් ගේ බසින් ආමන්ත්‍රණය කිරීමට අසමත් වීම සහ දෙමළ ජනතාවගේ ඡන්ද හැසිරීම අවබෝධ කර නොගැනීම වැනි දේය.

ජාතික විද්වත් සංවිධානය විසින් සකස් කරන ලද “ගොඩනගමු ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති මාලාව එළිදැක්වූ දා (2019) සිට අනුර ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසුව ජාතිය අමතා කළ කතාව දක්වාම එකී අඩුව පෙනුණේය.

 


ඉහත ප්‍රතිපත්ති මාලාව එළි දැක්වූ දා සුගතදාස ක්‍රීඩාංගනයට දෙමළ, මුස්ලිම් ජනතාව සැලකිය යුතු පිරිසක් රැස්ව සිටි නමුත්, ⁣දෙමළ බසින් සහ සිංහල බසින් සිය කතාව කළ විශ්‍රාමික දෙමළ මහාචාර්යා ගේ කතාව හැර අන් කිසි කතාවක් දෙමළට හැරවුණේ නැත. එකල ලංකා පුවත් පතේ කර්තෘ මණ්ඩලයේ මිත්‍රයකුට මා ඒ විවේචනය ඉදිරිපත් කළ ද එය නිසි අවධානයට ලක් වූයේදැයි මා දන්නේ නැත.

උතුරේ ⁣ජනතාව මෙවර ජනාධිපති මැතිවරණයේ දී දෙමළ අපේක්ෂක ආරියනේතිරන් පාකියසෙල්වම් ඉක්මවා සජිත් ප්‍රේමදාස⁣ට ඡන්දය භාවිත කරන්නට හේතු වූයේ සුමන්තිරන් වැනි උතුරේ දේශපාලන නායකයන් සජිත් ට සහය දීමට ගත් තීරණය නිසා බව පැහැදිලිය. එනම් උතුරේ ඡන්ද හැසිරීම දකුණට වඩා වෙනස් බව ය. උතුර තවමත් සිය නායකයන් අනුව හැසිරෙන බවය. ජාජබ ඒ බව දැන සිටියාදැයි නොදන්නා නමුත්, සුමන්තිරන් ලා සමඟ සහයෝගීතාවකට යාමට සහ ඔවුන් ගේ විශ්වාසය දිනාගන්නට ජාජබට උනන්දුවක් තිබූණේ නැත. ජාජබ කල්පනා කළේ, දූෂිත දේශපාලකයන් ගාවා නොගැනීමේ දකුණේ පිළිවෙත උතුරටත් එලෙසම ආරෝපනය කරන්නට ය.

අනුර යාපනයට ගොස් දෙමළ මන්ත්‍රිවරු සහ ආගමික නායකයින් හමුවේ

 

ජවිපෙ වේදිකාවකට එක් වීමෙන් සහ රනිල් ගේ ප්‍රකාශය අවස්ථාවේ අනුර වෙනුවෙන් පෙනී සිටීම වැනි දේ හරහා ජාජබ සම්බන්ධයෙන් සුමන්තිරන් දැල්වූ කොළ එළියෙන් ප්‍රයෝජනය ගන්නට ජාජබ උනන්දු වූයේ නැත. 

සුමන්තිරන් ඇතුළු උතුරේ දේපාලකයන් දකුණේ චෞරයන් මෙන් දූෂිත පිරිසක් නොවේ. සුමන්තිරන් පාර්ලිමේන්තුවේ ඉංග්‍රීසි බසින් කරන ඇතැම් කතා සිංහලට පෙරළා සිංහල ජනතාවට කියවන්නට දිය යුතු ය. බලය බෙදීමට රනිල් සාකච්ඡා කළ අවස්ථාවේ සුමන්තිරන් කළ කතාව එවැන්නකි. දෙමළ ජාතික පක්ෂ සමඟ එක්වී රට කඩන්නට යනවා වැනි අවලාදයකට මුහුණ දී සිංහල බෞද්ධ ඡන්ද සංඛ්‍යාව අඩු කර ගන්නට සිදුවනු ඇත යන බිය උතුර සමඟ දේශපාලන ගනුදෙනුව ගැන දෙවරක් සිතන්නට ජාජබ ට බලපෑවා වන්නට පුළුවන. නමුත්, අවලාද වලට බියෙන් හෝ අනෙකා කුමක් කියනු කරනු ඇතිදැයි සිතමින් දේශපාලනය කළ යුතු නැත.එසේම උතුර තවමත් දෙමළ ජාතික නායකයකුට වඩා දකුණේ පාලකයකු පිළිබඳ ⁣විශ්වාසයෙන් පසුවන බව මෙවර ඡන්ද ප්‍රතිඵලයෙන් නැවත වරක් ප්‍රකාශයට පත් ව තිබේ. 

 



උතුරේ දේශපාලඥයන්ට ඉදිරි ජයග්‍රහණය පිළිබඳ නිසි තක්සේරුවක් ලබා දෙන්නට ජාජබ අසමත් වීම ද ඔවුන් සජිත් කෙරෙහි නැඹුරු වීමට හේතු විය. මෙවර ජනාධිපතිවරණය සජිත් විසින් ජයග්‍රහණය කරනු ඇත යන අදහසින් උතුර හැසිරුණු බව පෙනුණි.

උඩරට දෙමළ දේශපාලකයන් ⁣උතුරේ පිරිස මෙන් නිර්දූෂිත නැත. ඒ ගඳයන් අසලට යා යුතු යැයි ජාජබ ට යෝජනා කළ නොහැකි නමුත් වතු ජනතාව ගේ පිළිගැනීම සහ විශ්වාසය දිනා ගත හැකි දෙමළ බසෙහි චතුර පිරිසක් ඉදිරි මහ මැතිවරණයේ දී ජාජබ ⁣ට අවශ්‍ය වනු ඇත.ඔවුන් සහය දුන් නායකයා පරාජය වීම ද ජාජබ ට වාසියක් ලෙස පවතී.

දෙමළ බස සහ දෙමළ දේශපාලන පක්ෂ අමතක කර දේශපාලනය කරන්නට උත්සාහ කළ හොත් ජාජබට ඉදිරි මහ මැතිවරණ ජයග්‍රහණය පහසු වන්නේ නැත. ජාතිය ඇමතීම දෙමළ ට හරවා නොදීම වැනි වැරදි ජාජබ හෝ අනුර නැවත නොකළ යුත්තේ එහෙයිනි. එසේ ම ජවිපෙ සියල්ලන් ජාජබ වන්නට ද ඉදිරියේ දී සූදානම් විය යුතුය.ඒ ජනතාව ඡන්දය දුන්නේ සීනුව ට නොව මාලිමාව ට නිසාය.


v3 copy(අනුර කේ එදිරිසූරිය)
දිනමිණ හිටපු සම කර්තෘ විශේෂාංග

උපුටා ගැනීම -vinivida.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...