අපේ අධිකාරීන් වඩාත් කාර්යක්ෂමව ඉටුකරන රාජකාරියක් තමයි වාරණය. මොකක් හරි වැඩකට අනුමැතියක් ගන්න ගියොත් හත් අවුරුද්දක් බලා ඉන්න වෙන අධිකාරියකින්, යමක් තහනම් කෙරෙන්න යන්නේ ක්ෂණයයි. ඒ පොත වහාම ක්‍රියාත්මක වන පරිදි පාසල් අතරේ බෙදා හැරීම අධ්‍යාපන අමාත්‍යංශයෙන් අත්හිටෙවුවා කියලා ප්‍රවෘත්තිවල කියනවා ඇහුණා.
මොකක් හරි එකක් තහනම් කරන එකම තමයි, ඒක පැතිරෙන්න කරන හොඳම ප්‍රචාරණය. ඒ මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ පොත ගැන හාන්කවිසියක් දන්නේ නැති අය පොත ගැන හොයන්න පටන්ගත්තා. ඒ පොතේ පීඩීඑෆ් කොපි සමාජජාලවල බෙදා හැරුණා. හතේ පංතියේ විතරක් නෙවෙයි, පහේ පංතියේ කොල්ලෝ කෙල්ලො අතටත්, සීයලා ආච්චිලා අතටත් පොත ගියා.
හාමුදුරුවෝ අර මාධ්‍ය සාකච්ඡාවේදී පොතේ අදාල පාඩම නාට්‍යයක ඩයලොග් කියනවා වගේ කියවනාව. එෆ්බී එකේ ඉන්න නසරානියෝ ටිකක් හාමුදුරුවෝ පොත කියවන රූප එක්ක, පොතේ අදාළ රූප ගළපලා සර්ජි අයිසන්සිටයින්ගේ මොන්ටාජ් එකක් කරලා. දැන් ඒක හතර අතේ ෂෙයාර් වෙනවා. පොත කියවනවා වගේ නෙවෙයි ඒක බලන එක. නාට්‍යමය අත්දැකීමක්. එතකොට තමයි තේරුණේ, අපේ හාමුදුරුවන් දීල තියෙන්නේ පොතට පොඩි ඇඩ්වර්ටයිසින් තල්ලුවක් කියලා.
එහෙම සැරිසරන පොතක් මගේ අතටත් අහු වෙලා කියෙවුවා. ඒක කියවන කොට තමයි පොඩිකාලේ මුහුණ දුන්නු අත්දැකීමක් මතක් වුණේ.
දැන් වගේ නෙවෙයි, ඔය අටේ නවයේ පංතිවල ඉන්න කාලයේ මම කුරක් වගේ කෙට්ටුයි. අපේ අත්තා, ( තාත්තගේ තාත්තා ) සිංහල වෙදකම එහෙම හොඳට දන්නා කෙනෙක්. දවසක් කොල්ලො එක්ක සෙල්ලම් කරලා, වෙල අයිනේ ළිඳට ගිහින් ලයිෆ්බෝයි ගාලා නාගන අත්තා ඉන්න මහගෙදර ගාවින් එනකොට මට අඬ ගැහුවා. මම ළඟට ගියාම එයා මගෙන් අහනවා , "කොල්ලෝ මොකද බං උඹ ඔය තරම් කෙට්ටු?" කියලා. කොහොම උත්තර දෙන්නද ඒකට. ඔය කාලේ, නොකන කෑමක් නැහැ. පාන් රාත්තල දෙකට කඩාගන හොදිත් නැතුව කන කාලේ . මම ඉතින් ඔළුව කහ කහා හිටියා. ටිකකින් එයා තමන්ගේ පොත් ගොඩ අවුස්සලා මට දුඹුරු පාට ගැහුණු පොඩි පොතක් දුන්නා. " මෙන්න මේක කියවපන්" කියලා. ඩීමන් ආනන්දගේ මාරක කතා පොතක් තරම් එකක්.
පොතත් අරං ගෙදර යන්න හැරෙනකොට කිවුවා " රෑට නිදා ගන්නකොට තෙම්ච්ච රෙදි කෑල්ලකින් පිරිමි ඇඟ ඔතාගෙන නිදා ගනින්" කියලා. පිරිමි ඇඟ කියන්නේ මොකක්ද කියලා " ශුද්ධ සිංහලෙන් දැනගත්තේ පස්සේ දවසක ඉස්කෝලේ යාලු අයියා කෙනෙකුගේන්.
ගෙදර ගිහින් පොත කියවන්න ගත්තා. පොත පුරාම තියෙන්නේ හෙළ හවුල් බසට ආසන්න බසකින් ලියවුණු හතර පද කවි. ( අමාරුවෙන් තේරුම් ගතත් ඒ බස , හෙළ හවුල් බසටයි කිට්ටු කියලා වැටහුණේත් පස්සේ කාලෙක.) ඒ කවි එකින් එක මතක නැහැ. හැබැයි, මුළු පොතේම තියෙන හැම කවියක් ම ලියවලා තියෙන්නේ ' ස්වයංවින්නදනයේ ' ආදීනව ගැන. ඒ පොතේ හැටියට ස්වයංවින්දනය කියන්නේ හතර අපාගත වන පාපයක්. ස්වයංවින්නදනයේ යෙදෙන අයගේ පුරුෂ ලිංග හීනි වෙලා, හැකිලිලා ( පුරුෂ ) ශක්තියෙන් හීන ගැඩවිල් පණුවෝ වගේ වෙනවලු. එහෙම කරනවුන් ශරීරයෙන් කෘශ වෙලා, කැහැටු වෙලා, දිරලා දරකොටු වගේ පොළොවට පස්වෙලා යනවලු. ස්වයංවින්දනය ජාති ද්‍රෝහී වැඩක්ලු. මොකද එහෙම කරනවුන්ට දාව ඉපදෙන ළමයි, බෙලහීන, දුරුවල, කිසි පෞරුෂයක් නැතිවුන් නිසා, එහෙමවුන් ඉපදෙන එකත් රටට ජාතියට බරක්, ණයක් නිසා. ඒ වගේ උන්ට තාත්තා වෙන එකා ජාති ද්‍රෝහියෙන් ලු.!
ඒ කවිටික කියෙවුවට පස්සේ කොයිතරම් බය වුණාද කියුවොත්, එදා රෑ නින්ද ගියෙත් නැහැ. නින්ද ගියොත් 'පිරිමි ඇඟ' ඇහැරෙන්න පුළුවන් නිසා. අත්තා මං කෙට්ටු වෙන හේතුව දැනගෙන තමයි ඒ පොත කියවන්න දීලා තිබුණේ කියලා හිතෙනකොට පොළොව පලාගන යන්න තරම් ලැජ්ජාවක් ඇති වුණා. ඒ ලැජ්ජාවට, අත්තාට මුහුණ දෙන එක වලකා ගන්න මහගෙවල් පැත්තේ යන එකත් ටික දවසකට නැවැත්තුවා.
රෑට නිදා ගන්නකොට තෙත රෙදි කෑල්ලකින් පිරිමි ඇඟ ඔතාගෙන නිදාගන්න කියලා කිවුවේ ඇයි කියලත් දැනගත්තේ පස්සේ නින්දෙන් පිරිමි ඇඟ කලබල කරන එක නවත්තන්න. අඟේ කෙට්ටුකම දකිනකොට බයකුත් ලැජ්ජාවකුත් ඇතිවුණා. අපේ තාත්තා හොඳ පෘෂ්ටිමත් ඇඟක් තිබුණ කෙනෙක්. මම මෙහෙම කෙට්ටු වෙන්නේ ඇයි කියලා තාත්තා දන්නවා ඇති. අම්මාටත් එයා කියලා ඇති. අහල පහල හැමෝමත් දන්නවා ඇති. ඔය වගේ හැඟීම් නිසා කාටවත් මුහුණ දෙණ එකත් නිකන් මොකක්ද වගේ දැනුණේ.
ඒ දවස්වල අපි කනිෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩායමේ පුහුණුවීම් කරනවා. කෙඩේටින් අපි බොහෝ දෙනෙකුට 'සෙක්ස් එඩියුකේෂන් පදනම වැටුනේ කෙඩිටින් කරද්දී තමයි. සාමාන්‍ය පෙළවත් කරලා හිටියෙන් නැති අපිට පුහුණුවීම් කරන්න අවේ උසස්පෙළ පංතිවල අයියලා. ඒ ගොල්ලො අපිව අමතන්නේ සිංහලෙන් නෙවෙයි ශුද්ධ සිංහලෙන්.
අපේ කාලේ උසස් පෙළට ජීව විද්‍යාව ටියුෂන් කරන සර් කෙනෙක් හිටියා නෝනිස් කියලා ( තවම උගන්නවනවාද නම් දන්නේ නැහැ.) ඒ සර් මාර මහතයි. එයා කියලා තියෙන්නේ උඹලට කටින් අහන්න බැරි ප්‍රශ්න ලියලා එවපල්ලා කියලා . ඉතින් කොල්ලෝ ප්‍රශ්න අහලා 'චිට්' යවනවා. එහෙම යවන චිට්වල ප්‍රශ්න සර් පන්තියේ හැමෝටම ඇහෙන්න කියවනවා. ඒ චිට් එකක තිබුණු ප්‍රශ්ණයක් තමයි. " සර් , ස්වයං වින්දනයේ යෙදෙනකොට කෙට්ටු වෙනවද" කියන එක. ( මේක හොඳ තේරෙන සිංහලෙන් කොල්ලෝ අහලා තිබුණේ). ප්‍රශ්ණේ හැමෝටම ඇහෙන්නේ කියවලා සර් උත්තරේ දුන්නාලු මෙහෙම.
"උඹලට බෝලයක් වගේ ඉන්න මාව පේනවා නේද? යකෝ එහෙම වෙනවානම් , මෙලහට මං වාෂ්ප වෙලා තියෙන්න ඕන" කියලා. ඔහොම තමයි ස්වයංවින්දනය 'ට තියෙන බය අපි නැති කරගත්තේ.
'හතේ අපේ පොත' ළමයින්ට ලිංගිග අධ්‍යාපනය ලබා දෙන්න තියෙන හොඳම පොතක් නෙවෙයි. ඒත් දුකට සැපට දෙකටම ඉන්න 'අල්ලපු ගෙදර අංකල් ' පටවලා ගන්නේ නැතුව ළමයෙකු ලිංගික අපයෝජනයට ලක්විය හැකි අවස්ථාවලට උදාහරණයක් හොයා ගත්තානම්, මේ පොත පටන්ගැන්මක් හැටියට නරක නැහැ. මීට වඩා මේ වැඩේ නිර්මාණාත්මකව සකසා ගන්න තිබුණා.
හැබැයි අපේ හාමුදුරුවෝ කියන විදියට 'හතේ අපේ පොත කියවලා ළමා මනස දූෂණය වෙනවා කියන එක නම්, ජෝක් එකක්. හාමුදුරු කෙනෙක් අකමැති වුණු පලියට ඒක තහනම් කරන්න තීරණය කළ එක තක්කඩිකමක්. මොකද හරි හැටි තතු විමසා බලන්නේ නැතුව එහෙම කරන්නේ අපි කොන්දේසි විරහිතව සිවුරට පක්ෂපාතයි කියලා ලකුණු දාගන්න නිසා.
අපේ හාමුදුරුවෝ ' හතේ අපේ පොත ' කියවලා ඔය තරම් කලබල වෙන්නේ උන්වහන්සේ ලිංගික අධ්‍යාපනය ලබන්න ඇත්තේ මට අපේ අත්තා දුන්නු පොත වගේ එකකින් නිසා වෙන්න ඇති. ඒක වෙදපොතක්නේ. අත්තා දුන් පොතේ තිබුණු ' ස්වයංවින්දනයේ ආදීනව කියවා නොසන්සුන්වුණු හිත හදන්න කෙඩෙටින් කරපු ලොකු අයියලා, නෝනිස් සර්ලා හිටිය නිසා අපි ගැලවුණා. හාමුදුරුවණ්ට කොහෙන්ද එහෙම අවස්ථාවක් ?
මේ පොත කියවන මට වැටහුණු එකක් තමයි, පොත ලියපු අය ඒක ලියලා තියෙන්නේ 'කාටද බයෙන් ' වගේ. පොතේ අවධානය යොමුකරලා තියෙන්නේ ලිංගික සහ සබඳතා අධ්‍යාපනයට (sex and Relationship Education ) බව පේනවා.
එංගලන්තය වලේ රටවල මේ විෂය පරාසය පාසල් අධ්‍යාපන කාලය තුළ ළමයින් අනිවාර්යයෙන් හැදෑරිය යුතු එකක්. අපේ පොතේ තියෙන්නේ ඉතාම ප්‍රාථමික, බොහෝ වෙලාවට ඔය වයසට එනකොට ළමයින් වට පිටින් දැන ගන්න ඒවා. ඒවා යල් පැන ගිය දේවල්. සමහර විට ඒවා පොත සම්පාදනය කළ අය පොඩිකාලේ අත්විඳි අත්දැකිම් ඇසුරින් ලියවුණු ඒවා වගේ. අපේ පොඩි කාලේ වගේ නෙවෙයි. ස්වයංවින්දනය පිළිබඳ දුරුමත වගේ දේවල් අද වෙනකොට සමාජයේ නැහැ. 
දුරවබෝධය නිසා අනතුරක් සේ නොපෙනෙන ඊට වඩා සංකීර්ණ කාරණා පිළිබඳ ළමයින් දැනුවත් කළ යුතු වෙනවා. ළමයින් දන්නා දේවල් ටීචර් කියවනකොට ටීචරුත් ලමයින් ඉස්සරහා ජෝක් වෙන එක වළක්වන්න බැහැ. ඒත් ළමයින්ට තබා සමහර වැඩිහිටියන් ඉස්සරහා දුරවබෝධ කාරණා මේ සයිබර් අවකාශ යුගයේ තියෙනවා. ඒ වගේ නොදන්නා දෙයක් කියලා දෙනකොට ළමයින් උනන්දුවෙන් අහගන ඉන්නවා.
අද කාලේ සමහරක් සබඳතා ඇති වෙනනේ තාත්වික ලෝකයේම නෙවෙයි. තථ්‍යසමාන ( virtual reality - VR ) අවකාශයක වන්නට පුළුවන්. මේ සබඳතා නිසා ඇතිවන මානසික ව්‍යාධීන් ඉතා සංකීර්ණයි. ළමා මනසට හානි සිදුවිය හැකි, අනාරක්ෂික කලාපයක් තමයි සයිබර් අවකාශය. පාරිභාෂිත සිංහල වචනවත් හරියට නැති cyber - bullying, sexting වගේ දේවල් නිසා ළමයින්ට විය හැකි අනතුරු අතිශය බයංකාර විය හැකිය.
සමාජ මාධ්‍ය, පරිගණක සහ මංගත ක්‍රීඩා ( Computer and Online Games ) වගේ ඒවා නිසාත් ළමා මනස විකෘති විය හැකියි. මේ වෙබ් අඩව්වලට පිවිසීම සුදුසු වයස් කාණ්ඩ අනුව සීමා කර තිබුණත්, ඒවාට පිවිසීමේදී අනාවරණය විය හැකි අනතුරුදායක කලාපයන් පිළිබඳ ළමයින් දැනුවත් කිරීම වැදගත්.
තහංචි පැනවීමෙන් ඔවුන්ව ආරක්ෂා කිරීමට යාම වෙනුවට අවබෝධ ලබා දීම හරහා යි ළමයා ඒවාට පිවිසීමෙන් වළකාගත හැකි වන්නේ. අවාසනාවට මිථ්‍යාවෙන් අපිව ගලවා ගන්න සුදු හුණු කෑල්ලෙන් බ්ලැක් බෝඩ් එකේ විද්‍යාව උගන්වපු නෝනිස් සර් වගේ ගුරුවරු වෙනුවට, සමාජ ජාලා , යුටියුබ් තියෙන අද වගේ කාලෙක ළමයින්ට විද්‍යාව ඉගෙනගන්න වෙලා තියෙන්නේ තිස්ස සර්ලාගෙන්.
(අශෝක හඳගම - 'අනිද්දා' පුවත්පතින් උපුටා ගන්න ලදී)
අශෝක හඳගම වෙනත් ලිපි :
''ඩියර් චිත්‍රාල්, - අමන්දා පාමර් හදාරන්න'' - අශෝක හඳගම (video)
කුමාරස්වාමි මහ බැංකුවට සමුදෙයි: ''ඔහු බැංකුවෙන් පිටව යන්නේ සෑම දෙනාගේම ආදරය වැලඳ ගනිමිනි'' -අශෝක හඳගම
'හතේ අපේ පොත' : අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි - අශෝක හඳගම
T
The Leader Desk
January 15, 2020 • 5:16 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- 2019 අවුරුද්දේ අන්තිම මාසය ගෙවී ගියේ රසබර සිදුවීම් ගොඩක් මැදින්. 'හතේ අපේ පොත' කියවලා මැදගොඩ හමුදුරුවන්ගේ මනස කැළඹිලා. හාමුදුරු මනසක් කියන්නේ බණ භාවනාවෙන් ශීක්ෂණය වුණු එකක් නේ. එහෙවු මනසක් මේ විදියට නන්නත්තාර වෙනවානම්, මේක කියවන හතේ පොඩි උන්ගේ මනස ඉතුරු වෙන එකක් නැහැ කියලා කලබල වෙලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා උන්වහන්සේ ඒ කම්පනය පිට කරගත්තා.
- අත්තා මං කෙට්ටු වෙන හේතුව දැනගෙන තමයි ඒ පොත කියවන්න දීලා තිබුණේ කියලා හිතෙනකොට පොළොව පලාගන යන්න තරම් ලැජ්ජාවක් ඇති වුණා.
- අඟේ කෙට්ටුකම දකිනකොට බයකුත් ලැජ්ජාවකුත් ඇතිවුණා.
- මම මෙහෙම කෙට්ටු වෙන්නේ ඇයි කියලා තාත්තා දන්නවා ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


