The Leader News
BREAKING
Top Ad
Opinion

පාර්මේන්තු කාරක සභාව නාඩගම් මඩුවක් කර ගත් 'සෙල්පි' මහත්වරු !

T

The Leader Desk

July 30, 2019 • 8:52 AM

පාර්මේන්තු කාරක සභාව නාඩගම් මඩුවක් කර ගත් 'සෙල්පි' මහත්වරු !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'රාජ්‍ය ධූත සේවය සහ සැඟවුණු මෙහෙයුම් ( කවර්ට් ඔපරේෂන්) එකක් නොව එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් වූ ක්‍රියාවලීන් දෙකකි' ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් සහා ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ හෙන්රි කිසින්ජර් වරක් සඳහන් කළේය.
  • කෞශල්යයෙන් පිරි සහ රාජ්‍යයේ කෙටිකාලීන සහ දිගු කාලීන අරමුණු ගැන අවබෝධයක් ඇති පිරිස ඒ සඳහා භාවිතා කරති.   එසේම බොහෝ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකරන විමර්ෂණ ඉතාම ප්‍රවේශමෙන් සිදුකිරීමට එකී රටවල් පරිස්සම් වෙති.
  •  මෙම පාර්ලිමේන්තු කමිටුව විසින් රාජ්‍යයට බරපතළ  හානියක් සිදුකොට ඇත.
  • නමුත් මෙම කමිටුව සිටින සිදුකරන කටයුත්ත, තවත් කාලයක් මෙම මහපොළවේ ජීවත් වීමට අයිතිය ඇති උපන් සහ නූපන් පරම්පරා වෙනුවෙන් සිදුකරන හානියකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බොහෝ බටහිර රටවල් පමණක් නොව චීනය සහ ඉන්දියාව ඇතුළු පෙරදිග රටවල්, ඔවුහුගේ හයිය තබා ගත්තේ විශාල ධනයක් වැයකොට නඩත්තු කරනු ලැබූ බුද්ධි අංශ විසිනි. එම ආයතන වල යම් කිසි වරදක් සිදු වූ විට ඒවා විසඳා ගැනීම සඳහා සංවෘත විභාග කිරීම් සිදු කරනු ලැබීය. එම කටයුතු ප්‍රසිද්ධ වේදිකාවට රැගෙනවිත්, හත්පොලේ ගාගත්තේ නැත.  

කිසියම් කාරණයකදී (විශේෂයෙන් සැප්තැම්බර් 11 ප්‍රහාරය, වෝටර් ගෙඩ්  සිදුවීම, රජිව් ගාන්ධි ඝාතනය ගැන සෙවීම සඳහා පත්කළ  ජේන් කොමිසම ආදී සිදුවීම්) බලයේ සිටින ආණ්ඩුවට ප්‍රසිද්ධ විභාගකිරීමක් කිරීමට අවශ්‍ය වුවහොත් එය සිදු කරනු ලබන්නේ උසස් විනයකිනි. කෞශල්යයෙන් පිරි සහ රාජ්‍යයේ කෙටිකාලීන සහ දිගු කාලීන අරමුණු ගැන අවබෝධයක් ඇති පිරිස ඒ සඳහා භාවිතා කරති. 

 එසේම බොහෝ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකරන විමර්ෂණ ඉතාම ප්‍රවේශමෙන් සිදුකිරීමට එකී රටවල් පරිස්සම් වෙති. මන්ද, එය නොනිවෙන සහ නොමැකෙන තර්ජනයක් හේතුවෙනි. එසේම ත්‍රස්තවාදියා සෑම විටම  රාජ්‍යයේ හිඩැස් මනාව කියවන්නෙකි. 
salfe text 2019.07.30
ප්‍රභාකරාන් මරා ඔහුගේ මිණිය පෙන්වා මගුල් කෑමට මෙරට අයවලුන් කටයුතු කළද බින් ලාඩන්ගේ මෙහෙයුම තබා ඔහුගේ මළකඳවත් ප්‍රසිද්ධ කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කළේ නැත. ඒ සතුරාගේ, තර්ජනය ගැන අවබෝධයක් තිබෙන හෙයිනි. නමුත්, මෙරට සිදුවූයේ සහ සිදුවෙමින් පවතින්නේ මෙහි අනෙක් පැත්තය. නියාලු සහ බාල ප්‍රසිද්ධියක් වෙනුවෙන් ඕනෑම රහසක් එළිපිට හෙළිදරව් කිරීමට අපේ රටේ පාලකයින් උපන් හපනුන්ය. 

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක, පාස්කු  ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන සොයා බැලීමට අගමැති වික්‍රමසිංහගේ අනුහස ඇතිව කතානායක වරයා විසින් පත්කොට ඇති විශේෂ කමිටුවේ සභාපතිවරයා වේ.  මෙම පාර්ලිමේන්තු කමිටුව විසින් රාජ්‍යයට බරපතළ  හානියක් සිදුකොට ඇත. තමන්ට පිළිතුරු සෙවීමට නොහැකි කාරණයක් පටලවාගෙන එම වැරැද්ද වසා ගැනීම සඳහා කුමන හෝ පාර්ශවයක් මත පැටවීමේ උත්සහකරන ආකාරය ඔවුහුගේ කටයුතු සහ හැසිරීම්වලින් විද්‍යාමාන වේ. 

මෙම කමිටුවේ සාමාජිකයින්ගේ හැසිරීම් විලාසය සහ එම කමිටුව ඉදිරියට කැඳවන "සාක්ෂිකරුවන්ගෙන්" කමිටු සාමාජිකයින් ප්‍රශ්ණ අසන ස්වභාවය අනුව පෙනී යන කාරණය වන්නේ මෙය අමූලික ප්‍රහසනයක් සහ රාජ්‍යයට අගතියක් පමණක් බවය. වඩාත් සරල බසින් කිවහොත් මෙම කමිටුව, තම නෛතික බලය අවභාවිතය කරමින්, ඇදගෙන නාගනිමින් සිටින්නේය. 

salfe Article text2
මෙවැනි එළිමහන් කමිටුවක් පත්කොට සජීවීව ප්‍රශ්න ඇසීමට ඇති කාරණා සහ සිදුවීම්  රාශියක් තිබියදී, රාජ්‍යය  ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් බවට පත්වෙමින් ඇති අවස්ථාවක මේ ආකාරයේ විගඩමක් නැටීම මෙම කමිටුවේ සිටින තම දිවියේ අවසානභාගය ගෙවා දමන අයවලුන්ට ගැටලුවක් නැත. නමුත් මෙම කමිටුව සිටින සිදුකරන කටයුත්ත, තවත් කාලයක් මෙම මහපොළවේ ජීවත් වීමට අයිතිය ඇති උපන් සහ නූපන් පරම්පරා වෙනුවෙන් සිදුකරන හානියකි. මෙම අශීලාචාර කටයුත්ත වහාම නවතා දැමිය යුත්තේ මේ නිසාය.  

මහදවල් මහා ජනතාවගේ මුදල් මංකොල්ල කෑ හොරුන් වෙනුවෙන් මෙවැනි ප්‍රසිද්ධ කමිටු පැවැත්විය යුතුය. තම හයිය පෙන්වීම සඳහා මෙරටට පැමිණෙන සංචාරකයින්ට අතවර කරන කාමාතුරයින්ට එරෙහිව මෙවැනි ප්‍රසිද්ධ කමිටු පැවැත්විය යුතුය. එවැනි වැඩපිළිවෙලක් ඇතිකිරීම මෙම කමිටුව නියෝජනය කරන හෝ නොකරන අයෙකුට පිට කොන්දක් තිබේ නම් එය ජනතාවගේ පැසසුමට ලක් වනු ඇත. නමුත් මේ නටන අලුත්ම සන්නිය විසින් රාජ්‍යයට සහ එහි ජනතාවට සිදුකොට ඇති හානිය මෙපණ යැයි මැනිය නොහැකිය. මෙය ජනතාවගේ පැසසුමට නොව පිළිකුලට භාජනය වී හමාරය. 

මෙම කමිටුව මීට දින කිහිපයකට පෙර, රාජ්‍ය ආරක්ෂක අංශ වල සිටින ප්‍රධාන නිලධාරීන් බොහෝමයක් තමන් ඉදිරියට ගෙන්වනු ලැබීය. ඔවුහු ගෙන්වා, සාක්ෂි විමසීම වෙනුවට, කමිටුවේ සාමාජිකයින් තම තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට එය අවස්ථාවක් සලසා ගත්තෝය. සාක්ෂි විමසීමක් යනු මතවාදය ඇසීමක් හෝ තමන්ගේ මතය ප්‍රකාශ කිරීමක් නොවේ. නමුත් අදාළ කමිටුව බොහෝ අවස්ථාවලදී අසනු ලැබුවේ, " ඔබ හිටියනම් කරන්නේ කුමක්ද?" "මොනවද තියෙන අඩුපාඩු", "මොනවාද ත්‍රස්තවාදීන භාවිතා කරන ඇප්", ආදී ප්‍රශ්ණය. 

salfe Article text 3
මේ අතර, රටේ ඉහළම ආරක්ෂක තනතුර හොබවන ෆීල්ඩ් මාෂල්, තොත්තබබෙකු සේ, බුද්ධි අංශය ගැන කතා  කළේය. " ඔය බුද්ධි අංශේ කියන මිනිහා හැම වෙලේම මූණ වහගෙන ඉන්න ඕන නෑ නේද?", ඔහු කියන්නේය. එසේම කමිටුවේ බොහෝ දෙනෙකු, බුද්ධි අංශයක ඇති මූලික ව්‍යුහිය හැඩය ගැන හෝ අවබෝධයක් නැතිව කතා  කිරීම එහිදී දැකීමට සිදුවීම අපුල දනවන සුළුය. " මට ඔබේ මුහුණේ ඉරියව්වෙන් පේනවා ඔබතුමාත් මම කියන දේට එකඟ බව," ෆීල්ඩ් මාර්ෂල් කියන්නේය. මෙවැනි හාස්‍යය ජනක හැසිරීම් රාශියක් පසුගිය දින කිහිපය පුරාම මෙම කමිටු සාමාජිකයින් විසින් පෙන්වනු ලැබූහ. 

යමෙකුගෙන් සාක්ෂි විමසීම සඳහා එම සාක්ෂි විමසන්නාට එම විෂය ගැන යම්කිසි පරිමාණික දැනුමක් තිබිය යුතුය. අදාළ කමිටුවේ බොහෝ දෙනෙකුට බුද්ධි අංශ ගැන නොව රටේ නීතිය ගැන අවබෝධයක් ඇති බව මුලදී පෙන්නුවද, නීතිපති දප්පුලද ලිවේරා ඉදිරියේ ඔවුහු සියලු දෙනාගේම හැව ගැලවුණි.  

නීතිපති තම මූලික නෛතික කාරණය ඉදිරිපත් කළ කාරණය, සේවයේ යෙදී සිටින ඉහල පෙළේ ආරක්ෂක අංශ නිලධාරීන්ටද බලපාන්නේය. ඔවුහු විශ්‍රාම ගිය පසු ඕනෑම ප්‍රසිද්ධ වේදිකාවට කැඳවා, ඕනෑම විමසීමක් කළ හැකිය. නමුත් සේවයේ යෙදී සිටියදී ඔවුහුගෙන් එළිමහනේ සාක්ෂි විමසීම ඉතාම ප්‍රවේශමෙන් කළ යුතුය. කුමන හෝ දේශපාලන අවශ්‍යතාවයක් පිරිමසා ගැනීම සඳහා මෙම කමිටුව එළිපිට සියල්ල හෙළිකිරීමට සේවා කටයුතු සිදුකරණ නිලධාරීන් පොළඹවති. 

එහි මූලික උදාහරණයක් වූයේ, ලතීෆ්, වරුණ ජයසුන්දර, රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර වැනි නිලධාරීන් පිළිතුරු ලබා දුන් ආකාරය සහ ඔවුහු තමන්ගේ මතයට නතුකර ගැනීමට කමිටු සාමාජිකයින් දරු විලිලජ්ජා සහගත උත්සාහයන් අතිශය අප්‍රසන්නය. 

එසේම, ඊට සහභාගී වූ ඇතැම් නිලධාරීන්ද තමන්ගේ පෞද්ගලික වීරකම මිස තම ආයතනය වෙනුවෙන් කතානොකිරීම අවාසනාවකි. එක්තරා නියෝජ්‍ය පොලිස්පතිවරයකු, තමන්ට තොරතුරු ලැබුනේ නම් සිද්ධිය නියුට්රලයිස් කරන බව කිව්වේය. එසේම, ත්‍රස්තවාදීන් භාවිතා කරන ඇප්ස් අතුරුවැරීමට ( ඉන්ටර්සේප්ට් කිරීමට) හැකියවාක් නොමැති බව කිව්වේය. මෙවැනි අඩුපාඩු ප්‍රසිද්ධියේ කියූ විට ත්‍රස්තවාදියෙකුට නොව ඕනෑම අයෙකුට නීතියේ රැහැනෙන් ගැලවී අපරාධ කිරීමට අවස්ථාව ලැබෙන බව ඒ නිලධාරියාට තේරෙන්නේ නැත. 

මොන දේශපාලන මතය දැරුවද, ආයතන වල සමගිය සහ අමාරු අවස්ථාවලදී ප්‍රතිපත්ති මූලික කරගෙන එකතුවීම ඉතාම අත්‍යාවශ්‍ය වේ. එසේම සිද්දියක් සිදුවූ පසු ඕනෑම අයෙකුට එම සිද්ධිය ගැන දාර්ශනිකයෙකු විය හැකිය. 

psc
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාගෙන් ප්‍රශ්න කිරීමට යන කමිටු සාමාජිකයින් 

මේ අතර, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට මුහුණ දීමට සිදු වූ තත්වය ගැන ප්‍රසිද්ධ වී නැතත් ඒ ගැන ඇතැම් පුවත්පත් වාර්තා පළවිය. ජයවර්ධන කිසිවෙකුට ඇඟිල්ල දිගු නොකොට තම රාජකාරී සීමාව තුළ සිටිමින් පිළිතුරු ලබාදීම සහ ඔහුගෙන්, ජනාධිපති සිරිසේනට එරෙහිව කිසිඳු අදහසක් ගැනීමට නොහැකි වීම හේතුවෙන් කමිටුව අවුල්වී ඇති ආකාරයක් දක්නට ලැබෙන බව ඊට අදාළ පුවත් වාර්තා සනාථ කරනු ලබයි. 

මේ නිසා කමිටු සාමාජිකයින්ට හිතවත් මාධ්‍යය කිහිපයක් බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු පාර්ශව කිහිපයක් ඉලක්ක කරගනිමින් විවිධාකාර පුවත්පත් පලකරනු ලැබීය. ඔහු යළිත්, කමිටුව ඉදිරියට කැඳවීමට අවශ්‍ය බව සඳහන් පුවත් වාර්තා පලවී ඇත. පැය පහක් පුරා සිදුකරනු ලැබූ ප්‍රශ්න කිරීම ප්‍රමාණවත් නොවී ඇති බව මින් පෙනේ. 

මේ අතර ආචාර්යය අංශු මාරසිංහ, මාරම සේයාරූ කිහිපයක් තම සමාජ ජාලයට මුහු කළේය. ඔහු ඇතුළු පිරිස,  රටේ බුද්ධි අංශ ප්‍රධානියාගෙන් සාක්ෂි විමසීමට යන බව එහි සඳහන් කොට එම සේයාරූ ප්‍රසිද්ධ කළේය. අදාළ ප්‍රසිද්ධ කිරීමේ සැබෑ පරමාර්ථය අපැහැදිළිය. 

රටේ වෙසෙන බොහෝ දෙනෙකුගේ හැසිරීම් දෙස බැලීමේදී පෙනී යන්නේ,  ඕනෑම දෙයකට ප්‍රසිද්ධිය අපේක්ෂා කරන පටු පරමාර්ථයක් හැරෙන්නට එවැනි දෙයක ඇති වැදගත්කම සහ සංවේදීකම කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබේදැයි ගැටලුවකි. විශේෂයෙන් ජපානය වැනි රටක අත්දැකීම් බහුල දැනුමැත්තෙකු මේ ආකාරයෙන් හැසිරීම සහ මේ දින වල යුටියුබ් අනෙකුත් සමාජ ජලා වලට එකතු වී ඩිජිටල් වීරයින් වී සිටින අය අතර කිසිඳු වෙනසක් ඇතැයි නොපෙනේ. 

salfe article 4

ආචාර්යය අංශු අඩුතරමින් ජපානයේ බුද්ධි අංශය සහ එහි ප්‍රධානියා ගැන හෝ යම් කිසි සරල හැදෑරීමක්  කළ යුතුව ඇත. ඉචිගයා හී පිහිටි ජපාන ආරක්ෂක අමාත්යංශයට අනුබද්ධ සී-වන්  නමින් හඳුන්වන ගොඩනැගිල්ල සහ එහි කටයුතු ගැන හෝ සරල කියවීමක් ඔහුට තිබිය යුතුය. එවිට මොවුහුට මෙම රට තුළ  සිදුකරමින් සිටින මෙම නිරුවත් නාඩගමේ ඇති බරපතලකම ගැන යම් කිසි අවබෝධයක් ලැබෙනු ඇත. 

පාස්කු දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන කියවෙන බුද්ධි අංශ තොරතුරු සහ ඒවා හුවමාරු වූ අකාරය ගැන ඕනෑම සාමාන්‍ය මිනිසකුට තේරෙන සත්‍යය කුමක්ද? එනම් රාජ්‍යය බුද්ධි සේවය තමන්ට ව්‍යවස්ථානූකූලව පැවරී ඇති රාජකාරිය සිදුකොට අදාළ ප්‍රහාරය ගැන අනතුරු ඇඟවීම් සිදුකොට ඇති බවයි.

 ඊට ඉහළින් පිහිටි බලධාරීන් ලිඛීතව දැනුවත් කොට ඇතිබවයි.  එවැනි තත්වයක් යටතේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාව එකිනෙකාගේ දේශපලන මනදොල පිනවීම සඳහා භාවිතා කිරීම යුක්ති සහගත වන්නේ කෙසේද? මෙය එක් නිලධාරියෙකු පිළිබඳ ගැටලුවක් නොවේ. මෙය සමස්ත රට පිළිබඳ කාරණයකි. 

(බෙන්තොට උන්නාන්සේ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...