ඕනෑම රටක දේශපාලන පරිවර්තනයක් සිදුවන්නේ පැරණි සහ දූෂිත මූලධර්ම බැහැර කරමින් නව සදාචාරාත්මක පදනමක් මත ගොඩනැගෙන චින්තනයක් තුළිනි. එහෙත් ලංකාවේ ප්‍රාදේශීය මට්ටමේ සිට මුල් බැසගත් දූෂිත දේශපාලන ක්‍රමය කෙතරම් දරුණු ද යන්න වටහා ගැනීමට නිකවැරටිය රස්නායකපුර පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම කදිම උදාහරණයකි.

නීතිය අතට ගත් මැරයන් විසින් ඔහුට පහර දී ඔහුගේ ඇසක් අන්ධ කර දත් එකොළහක් කඩා දැමුවේ ඔහු තම වගකීම ඉටු කිරීමට ගිය නිසාය. දේශපාලන රැකවරණය ලබමින් දැදුරු ඔයේ අනීතිකව වැලි ගොඩදැමූ රාජපක්ෂවාදී ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ හිතවතුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම ඔහු කළ "වරද" විය. රුපියල් ලක්ෂ එකසිය විසිපහක වන්දියක් අධිකරණය මගින් ඔහුට නියම කළ ද, එමගින් පෙන්නුම් කරන්නේ දේශපාලන අධිකාරිය විසින් සිවිල් පරිපාලනය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙතරම් දුරට පාගා දමා තිබුණේ ද යන්නයි.
මෙම විනාශකාරී දේශපාලන සංස්කෘතියේ මූලාරම්භය පවතින්නේ ග්‍රාමීය සංවර්ධනය මුවාවෙන් ක්‍රියාත්මක වූ "බැසිලියානු" සංවර්ධන ආකෘතිය තුළය. මෙම ආකෘතියේ මූලික අරමුණ වූයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලැබෙන විමධ්‍යගත අයවැය අරමුදල් ජනතාවගේ සැබෑ අවශ්‍යතා වෙනුවෙන් වැය කරනවා වෙනුවට, ආණ්ඩු පක්ෂයේ දේශපාලන හිතවතුන්ට සහ මැර කල්ලිවලට ගසාකෑමට ඉඩ ප්‍රස්ථා සලසා දීමයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා විහිදුණු දේශපාලන ජුන්ටාවක් නිර්මාණය වූයේ මෙම ක්‍රමය හරහාය. මොවුන් ප්‍රදේශයේ ස්වාභාවික සම්පත් කොල්ලකෑමේ නිරත වූ අතර කැලෑ කැපීම, වැලි ජාවාරම සහ පස් කැපීම වැනි පරිසර විනාශයන් සිදු කළේ නීතියේ රැහැනට හසු නොවන පරිදිය. රස්නායකපුර ස්ථානාධිපතිවරයාට පහර දීම සිදු වූයේ ද එවකට එම ප්‍රදේශයේ බලවත් දේශපාලන නායිකාවකගේ සහෝදරයෙකුට අයත් වැලි මංකඩක් වැටලීමට ගිය අවස්ථාවේදීමය.
මෙවැනි සිදුවීම් හරහා පෙනී යන්නේ ප්‍රාදේශීය දේශපාලකයා යනු නීතියට ඉහළින් වැජඹෙන කුඩා රජෙකු බවට පත්ව සිටි බවයි.

මෙම බැසිලියානු ආකෘතිය තුළ පාරවල්, බෝක්කු සහ ගොඩනැගිලි ඉදිවන බව ඇත්තකි. එහෙත් එම සංවර්ධනය පිටුපස ඇත්තේ දැවැන්ත මූල්‍ය වංචාවකි. කිසිදු ප්‍රමිතියකින් තොරව ඉදිවන මෙම ව්‍යාපෘති හරහා කොල්ලකන මහජන ධනය දේශපාලකයන්ගේ පැවැත්ම උදෙසා යොදා ගැනේ. දේශපාලනඥයන් තම පෞද්ගලික මන්දිර ඉදි කරන්නේත්, සුඛෝපභෝගී වාහන මිලදී ගන්නේත්, සිය බැංකු ගිණුම් තර කරගන්නේත් සාමාන්‍ය ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් වෙන් කළ මුදලිනි.
එපමණක් නොව, ජාතික මට්ටමේ නායකයන් ගමට එන විට පවත්වන උත්සව සඳහා වියදම් කරන්නේත්, දේශපාලන රැස්වීම් සඳහා ගම්වලින් කොළඹට මිනිසුන් ප්‍රවාහනය කරන්නේත් මේ ආකාරයට සොරකම් කරන ලද මුදලිනි. මෙය සැබෑ සංවර්ධනයක් නොව, රටේ සම්පත් සූරාකෑම මගින් පවත්වාගෙන ගිය "පාදඩ දේශපාලනයක" නිරුවතයි. ටියුෂන් පන්ති, මත්පැන් හල් සහ පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් කප්පම් ගැනීම දක්වා මෙම දේශපාලන බලහත්කාරය ව්‍යාප්ත වී තිබුණි.
වර්තමාන දේශපාලන තත්ත්වය තුළ ආණ්ඩුවට එරෙහිව විරුද්ධ දේශපාලනයක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතාවකි. එහෙත් එම විරුද්ධ දේශපාලනය පදනම් විය යුත්තේ පසුගිය මැතිවරණවලදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ දූෂිත සංස්කෘතිය මත නොවේ. අද වන විට බොහෝ විපාක්ෂික කණ්ඩායම් ආණ්ඩුව විවේචනය කරමින් දේශපාලන වේදිකාවට පැමිණෙන්නේ ඔවුන් එදා පරාජය වූ තැන සිටය. ඔවුන් තවමත් උත්සාහ කරන්නේ පැරණි උපක්‍රම, පැරණි මුහුණු සහ පැරණි දූෂිත ක්‍රමවේදයන්ම යොදා ගනිමින් නැවත බලය අත්පත් කර ගැනීමටය. මෙය සැබවින්ම හතර විහිළුවකි. මන්ද, පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව ලබා දුන් තීන්දුව හුදෙක් පාලන බලය මාරු කිරීමක් පමණක් නොව, දශක ගණනාවක් තිස්සේ පැවති අශිෂ්ට දේශපාලන සංස්කෘතිය අහෝසි කිරීමේ ආරම්භයකි. ජනතාව අපේක්ෂා කළේ හොරකම, මැරකම සහ දේශපාලන පවුල් පාලනයෙන් තොර වූ නැවුම් දේශපාලන සම්ප්‍රදායකි.

අද වන විට පවතින ආණ්ඩුවට පවා ඇතැම් විට මෙම ජනමතයේ බැරෑරුම්කම අමතක වී තිබිය හැකිය. එහෙත් මෙම අලුත් දේශපාලන සංස්කෘතිය නොසලකා හරිමින් කිසිදු බලවේගයකට සාර්ථක විය නොහැක. ආණ්ඩුවට එරෙහිව මොනතරම් හතර වන්නම දැමුවත්, විපක්ෂයේ දේශපාලනය ආරම්භයේදීම අසාර්ථක වන්නේ ඔවුන් තවමත් පැරණි "ජුන්ටා" මානසිකත්වයෙන් මිදී නොමැති බැවිනි. දේශපාලනය යනු හුදෙක් සටන් පාඨ කීම හෝ පාලකයා විවේචනය කිරීම පමණක් නොව, තමන්ට බලය තිබූ සමයේ කළ වැරදි පිළිබඳ ස්වයං විවේචනයක යෙදීමයි. රස්නායකපුර වැනි සිදුවීම් පිටුපස සිටි දේශපාලන බලවේගයන්ට අලුත් දේශපාලනයක් ගැන කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත. ඔවුන් තවමත් උත්සාහ කරන්නේ ජනතාව මුලාවට පත් කරමින් නැවත වරක් සිය මංකොල්ලකාරී පාලනය ස්ථාපිත කිරීමටය.
සැබෑ දේශපාලන වෙනසක් සඳහා අවශ්‍ය වන්නේ පුද්ගල මාරුවක් නොව චින්තනමය මාරුවකි. පරාජිත දේශපාලනඥයන් සිය පැරණි කෝළම්වලින් මිදී, ජනතාවගේ සැබෑ අපේක්ෂාවන් හඳුනාගත යුතුය. දේශපාලනය සතු වගකීම වන්නේ නීතිය සුරැකීම මිස නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ දත් කඩා ඇස් අන්ධ කිරීම නොවේ. එමෙන්ම සංවර්ධනය යනු තමන්ගේ සාක්කුව පුරවා ගැනීම නොව, රටේ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමයි. මෙම සත්‍යය වටහා නොගන්නා තාක් කල්, කවර දේශපාලන බලවේගයක් ඉදිරියට පැමිණිය ද ඔවුන් ජනතාව ඉදිරියේ යළි යළිත් පරාජය වනු ඇත.

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ පරාජිත අතීතයක නටබුන් මත ගොඩනැගෙන දේශපාලනයක් නොව, අනාගතවාදී සහ පිරිසිදු දේශපාලන දර්ශනයකි. එම මාවත විවෘත වන්නේ දූෂිත බැසිලියානු ආකෘතීන් සහ පාදඩ දේශපාලන සංස්කෘතීන් මුළුමනින්ම ඉතිහාසයේ කුණු කූඩයට දැමීමෙන් පසුව පමණි.
(සටහන | පිලිප් ශාන්ත)
විමුක්ති හඬ
shan.info1978@gmail.com




