වසර ගණනාවක් තිස්සේ ඇදෙමින් පවතින නඩුවලට සාපේක්ෂව, විද්‍යාත්මක සාක්ෂි සහ වින්දිතයන්ගේ මානුෂීය අයිතිවාසිකම් පෙරදැරි කරගනිමින් ලබා දුන් මෙම තීන්දුව යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ නව හැරවුම් ලක්ෂයකි. එහෙත්, මෙම නඩු තීන්දුවත් සමඟම මතුවන ප්‍රබලතම තර්කය වන්නේ ශ්‍රී ලංකාව දැනට අනුගමනය කරන 'විවාදාත්මක' (Adversarial) ක්‍රමයෙන් බැහැරව 'විමර්ශනාත්මක' (Inquisitorial) ක්‍රමවේදයකට අවතීර්ණ විය යුතු කාලය එළඹ ඇති බවයි.

ශ්‍රී ලංකාව දැනට අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායෙන් උරුම වූ ක්‍රමයයි. මෙහිදී විනිසුරුවරයා ක්‍රියා කරන්නේ තරගයක විනිශ්චයකරුවෙකු ලෙසය. දෙපාර්ශවයේ නීතිඥයන් කරුණු ඉදිරිපත් කරන අතර, ජයග්‍රහණය තීරණය වන්නේ කවුරුන් දක්ෂ ලෙස තර්ක කරන්නේද යන්න මතය. මෙම ක්‍රමය තුළ බොහෝ විට සත්‍යය යටපත් වී තාක්ෂණික දෝෂ හෝ නීතිමය සිදුරු මගින් වැරදිකරුවන් නිදහස් වීමට ඉඩකඩ පවතී. විශේෂයෙන්ම පේරාදෙණිය සිද්ධිය වැනි සංකීර්ණ සමාජීය මෙන්ම මානසික බලපෑම් සහිත නඩුවලදී, සාම්ප්‍රදායික සාක්ෂි විමසීමේ ක්‍රමය වින්දිතයා තවදුරටත් පීඩාවට පත් කරයි. පේරාදෙණිය නඩු තීන්දුවේදී අධිකරණය විසින් පෙන්වා දුන් සුවිශේෂී කරුණක් වූයේ අපචාරයට ලක්වූවන්ගේ ප්‍රකාශ සහ වෛද්‍ය සාක්ෂි ඉතා සියුම්ව විශ්ලේෂණය කළ යුතු බවයි. විත්තිකරුවන්ගේ නීතිඥයන් විසින් එල්ල කරන ලද දැඩි හරස් ප්‍රශ්න හමුවේ වින්දිතයන්ගේ මානසිකත්වය ආරක්ෂා කරමින් සත්‍යය කරා යාමට මෙහිදී ගත් උත්සාහය පැසසිය යුතුය.
ප්‍රංශය සහ ජර්මනිය වැනි යුරෝපීය රටවල ක්‍රියාත්මක වන 'Inquisitorial' හෙවත් විමර්ශනාත්මක ක්‍රමය තුළදී විනිසුරුවරයා ක්‍රියාකාරී විමර්ශකයෙකි. ඔහු හුදෙක් නීතිඥයන් පවසන දේ අසා සිටින්නේ නැත. සත්‍යය සෙවීම සඳහා සෘජුවම මැදිහත් වීමට, අදාළ සාක්ෂිකරුවන් කැඳවීමට සහ අවශ්‍ය වුවහොත් ස්වාධීන පරීක්ෂණ මෙහෙයවීමට විනිසුරුවරයාට බලය ඇත. මෙම ක්‍රමයේ පරමාර්ථය නඩුවක් දිනීම හෝ පැරදීම නොව, සත්‍යය කුමක්දැයි සොයා ගැනීමයි.
නීතිඥයන්ගේ අනුකම්පා විරහිත හරස් ප්‍රශ්න කිරීම් වෙනුවට විනිසුරුවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රශ්න කිරීම් සිදුවන බැවින් වින්දිතයා නැවත අපචාරයට ලක්වීම වැළකෙන අතර නීතිඥයන් විසින් කරනු ලබන අනවශ්‍ය තර්ක සහ නඩු ප්‍රමාද කිරීම් මෙහිදී අවම වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවූ ලිංගික අපචාරය වැනි නඩුවලදී වින්දිතයන් බොහෝ විට දුප්පත් හෝ සමාජීය වශයෙන් අසරණ අය වෙති. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින ප්‍රබල නීතිඥයන්ගේ තර්ක හමුවේ වින්දිතයාගේ හඬ යටපත් වීම අපේ පද්ධතියේ ඇති ලොකුම දුර්වලතාවයයි. විමර්ශනාත්මක ක්‍රමයක් තුළදී, වින්දිතයාට නීතිඥයෙකු සිටියත් නැතත්, සත්‍යය සෙවීමේ වගකීම රජය සහ විනිසුරුවරයා සතු වේ. විශේෂයෙන්ම කාන්තා සහ ළමා අපචාර නඩුවලදී ශ්‍රී ලංකාවේ නඩු තීන්දු ප්‍රමාද වීම බරපතල ගැටලුවකි. වසර 10-15ක් නඩු ඇදෙන විට සාක්ෂි මැකී යන අතර සාක්ෂිකරුවන් බිය ගැන්වීමට විත්තිකරුවන්ට අවස්ථාව ලැබේ. නමුත් විමර්ශනාත්මක ක්‍රමයකදී අධිකරණයට සෘජුවම මැදිහත් වී සාක්ෂි ආරක්ෂා කර ගැනීමටත්, කඩිනමින් තීන්දු ලබා දීමටත් හැකියාව ලැබේ.
පේරාදෙණිය නඩු තීන්දුව අපට පෙන්වා දෙන්නේ නීතිය යන්න අකුරු වලට පමණක් සීමා නොවී, සමාජ සාධාරණත්වය ඉටු කරන සක්‍රීය මෙවලමක් විය යුතු බවයි. එහෙත් වර්තමාන 'Adversarial' ක්‍රමය තුළ විනිසුරුවරයාට පවතින සීමිත බලතල නිසා සෑම විනිසුරුවරයෙකුටම මෙවැනි සාධාරණයක් ඉටු කිරීමට අවස්ථාව නොලැබෙන්නට පුළුවන. ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය මුළුමනින්ම වෙනස් කිරීම අපහසු වුවද, අපචාර සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධ නඩුවලදී හෝ 'විමර්ශනාත්මක' ලක්ෂණ ඇතුළත් කරමින් නීති සංශෝධනය කිරීම අත්‍යවශ්‍යය. උදාහරණයක් ලෙස, ඇතැම් අවස්ථාවලදී විනිසුරුවරයාට සෘජුවම ප්‍රශ්න කිරීමට ඇති බලතල වැඩි කිරීම සහ සාක්ෂි විමසීමේදී වින්දිතයාට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම දැක්විය හැකිය.

යුක්තිය ඉටු වීම පමණක් ප්‍රමාණවත් නැත; එය ඉටු වන බව පෙනෙන්නට ද තිබිය යුතුය. පේරාදෙණිය නඩු තීන්දුව මගින් අපට ලබා දී ඇති බලාපොරොත්තුව ඉදිරියට ගෙන යා හැක්කේ වත්මන් යල් පැන ගිය නඩු අසන ක්‍රමය විප්ලවීය වෙනසකට ලක් කිරීමෙන් පමණි. යුරෝපීය රටවල් සාර්ථකව අත්හදා බලා ඇති විමර්ශනාත්මක ක්‍රමයේ හොඳම අංග ලාංකීය නීතියට මුසු කරන්නේ නම්, තවත් වින්දිතයෙකුට යුක්තිය පතා දශක ගණනාවක් අධිකරණ ලැගුම් ගැනීමට සිදු නොවනු ඇත. පේරාදෙණිය නඩු තීන්දුව හුදෙක් තීන්දුවක් පමණක් නොව, එය ලාංකීය නීති පද්ධතියට එල්ල කළ මහා ප්‍රදීපාගාරයකි. දැන් අප කළ යුත්තේ එම ආලෝකයෙන් අපේ අඳුරු නීති ගළවල් ආලෝකමත් කර ගැනීමයි.
(සටහන | පිලිප් ශාන්ත)
විමුක්ති හඬ
shan.info1978@gmail.com
සබැඳි පුවත් :
පේරාදෙණිය සරසවියට අධිකරණ නියෝගයක් - මහාචාර්ය තිලකරත්නට වැඩවරදී !




