The Leader News
BREAKING
Top Ad
Opinion

කපටි ආරක්ෂකයින් කළ යුත්තේ කුමක් ද? | පිලිප් ශාන්ත

T

The Leader Desk

April 21, 2026 • 10:18 AM

කපටි ආරක්ෂකයින් කළ යුත්තේ කුමක් ද? | පිලිප් ශාන්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය ජනාධිපතිවරණය ලාංකික දේශපාලනයේ තැන්මාරුවක් කළ දේශපාලන අවස්ථාවක් බව ඇත්ත.
  • ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් හා පාවෙන අදහස් ඇති ජනකොටසක් ජයග්‍රහණයට දායක වුව ද ඔවුන් මෙන්ම ඉච්ඡාභංගත්වයට පත්වූ රාජපක්ෂවාදීන් ද සමාජයේ ව්‍යුහාත්මක වෙනසක අවශ්‍යතාව තේරුම් අරන් හිටියෙ නැහැ.
  • දීපචෙල්වම් පිරදීපන්ගෙ පොත් රේගුවෙන් රඳවා ගත්තෙ ආණ්ඩුවේ අවශ්‍යතාවකට නොවන බව ඇත්ත.
  • රේගුව එහෙම කළේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී රාජ්‍යයේ අවශ්‍යතාව මත බව රහසක් මෙවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒත් ඒකට දායක වුනේ සමාජයේ ව්‍යුහාත්මක මත වෙනසක උරුමකරුවන් නෙවෙයි. ජයග්‍රහණයේ කාරක බලවේගය වුනේ ඉච්ඡාභංගත්වයට පත්වූ රාජපක්ෂවාදීන් පිරිසක්. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් හා පාවෙන අදහස් ඇති ජනකොටසක් ජයග්‍රහණයට දායක වුව ද ඔවුන් මෙන්ම ඉච්ඡාභංගත්වයට පත්වූ රාජපක්ෂවාදීන් ද සමාජයේ ව්‍යුහාත්මක වෙනසක අවශ්‍යතාව තේරුම් අරන් හිටියෙ නැහැ. එහි ප්‍රතිඵලය වුනේ රාජ්‍ය බලය ලබා ගත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව සමාජ ප්‍රතිසංස්කරණ සිදුනොකරන විට අර කාරක බලවේගයට එය සංවේදී නොවීමයි.

දීපචෙල්වම් පිරදීපන්ගෙ පොත් රේගුවෙන් රඳවා ගත්තෙ ආණ්ඩුවේ අවශ්‍යතාවකට නොවන බව ඇත්ත. රේගුව එහෙම කළේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී රාජ්‍යයේ අවශ්‍යතාව මත බව රහසක් මෙවෙයි. නමුත් රාජ්‍යයේ මතවාදයට ආණ්ඩුව තවදුරටත් එකඟ නැත්නම් ආණ්ඩුව ඒක කට ඇරල කියන්න ඕන. ඒක නොකියන්නෙම රාජ්‍යයේ ස්ථාවරය ආණ්ඩුව ආශාවෙන් ඉවසන නිසයි. රේගු නිලධාරීන්ගෙ  ක්‍රියාව ගැන ආණ්ඩුව කිසිම නිල ප්‍රකාශයක් කරල නැහැ. ඒ නිසා රේගුවේ වැඩවලට ආණ්ඩුව මොනව කරන්න ද වගේ නිවට කතා කියල තේරුමක් නැහැ.

theepa 260421

ජනාධිපතිවරණයෙ දි ලාංකික දේශපාලන අවකාශයේ සිදු කළ තැන්මාරුව ස්ථාවර හා සංස්කෘතික දෙයක් නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ රේගුවේ කාර්‍ය ඔවුන්ට කරන්න ඉඩ දී සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගෙ දේශපාලන මතය ප්‍රකාශ කිරීමයි. තීපචෙල්වම්ගෙ පොත් ටික ඉක්මනින් භෞතිකව නිදහස් කර ගැනීමේ අවශ්‍යතාවක් කාටවත් තිබුණෙ නැහැ. කවුරුත් ප්‍රශ්න කළේ පොත් රඳවා ගැනීම නිසා නැවත ශක්තිමත් වූ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය ගැනයි. "පොත් රඳවා ගැනීම ගැන කණගාටුවෙනව. ඒව ඉක්මනින් නිදහස් කරන්න අපි පියවර ගන්නව. නමුත් යමෙකුගේ සිතීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ආණ්ඩුව ස්ථිරව පෙනී ඉන්නව කියල කිව්ව නම් මේ ප්‍රශ්නය පැන නගින්නෙ නැහැ. ආණ්ඩුව මුකුත් නොකිය නිහඬව රාජ්‍යයේ අවශ්‍යතාව කරගෙන යන්න ඉඩ දුන්න. ආණ්ඩුව වෙනුවෙන් එළියට පැනල ස්වෝත්තමවාදය වෙන ක්‍රමයකට ආරක්ෂා කරන්නෙ ආණ්ඩු හිතවාදී ලේඛකයන් පිරිසක්.


ඊයේ මේ සම්බන්ධයෙන් මා සමග ෆේස්බුක් සංවාදයකට ආ වංගීස සුමනසේකර  මට කියනව ""ආණ්ඩුව රැක ගැනීමේ අවශ්‍යතාවක් ඔයාට වඩා මට තියෙනව"" කියල. මට තියෙන ප්‍රශ්නය මේ නිසා ආණ්ඩුව කඩා වැටෙන්නෙ කොහොම ද කියන එකයි. ආණ්ඩුවට අගතියක් වෙනව නම් වෙන්නෙ වංගීස පෙනී ඉන්න අන්දමට තීපචෙල්වම්ගෙ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා කළොත් විතරයි. දැනටමත් මේ ආණ්ඩුවේ පැවැත්ම පිළිගන්න බොහෝ අය තීපචෙල්වම්ට ආණ්ඩුව කරන හිරිහැරයට විරුද්ධයි. මිනිස්සුන්ගෙ අදහස් ප්‍රකාශ කිරීම වළක්වන කොට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරයක් ස්ථාවර වෙන්නෙ නැහැ.

මිනිස්සුන්ගෙ අදහස් කියන්නෙ අදහස්මයි. විවිධ හේතු ඉදිරිපත් කරමින් අදහස් ඉදිරිපත් කිරීම වළක්වන්න බැහැ. එතකොට වෙන්නෙ අගතියක්. විවිධ නීති ඉදිරිපත් කරමින් වුනත් අදහස් මර්දනය කිරීම රටකට දීර්ඝකාලීනව පාඩුවක්. එදා පැවැති නීතිය අනුව තමයි ලෝකය ගෝලාකාරය කියන මතය මර්දනය කළේ. නමුත් ඒ නීතියට වඩා ඒ මතය වැදගත් බව ලෝකයා පසුව තේරුම් ගත්ත. නීතියට එකඟව සිටියා නම් පෘතුවිය සම්බන්ධ විශිෂ්ඨ මතයක් අපෙන් ගිලිහෙනව.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මූලික නීතිය අනුව අපි හැමෝම ඒකීය රාජ්‍ය පිළිගන්න ඕන. නමුත් සමාජය ඉදිරියට සංවර්ධනය වන්න නම් වෙනත් රාජ්‍ය ක්‍රමයන් ගැනත් අපි සංවාද කරන්න ඕන. ඒකීය රාජ්‍ය පිළිගන්නා නීතියට තදින් බැඳී සිටියහොත් අපට වෙනත් රාජ්‍යය ක්‍රම හදාරන්න හා සංවාද කරන්න බැරිව යනව. ඒ කියන්නෙ සමාජය සංවර්ධනය වෙන්නෙ නැතිව එකතැන පල් වෙනව. නමුත් මේ නීතිය තිබියදීත් ඒකීය නොවන රාජ්‍ය ක්‍රම ගැන සංවාද කරල ඒකීය නොවන රාජ්‍යය නිර්මාණය කර ගන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනත් ගෙනාව. මේ වැඩෙත් ඒ වගේමයි.

 

P 01

දීපචෙල්වම්ගේ බෙදුම්වාදී අදහස්වලට ඉඩ දෙන්න බැහැය කියන  අදහසත් සලකා බලන්න ඕන මේ සංදර්භය තුළම තමයි. මේ පොත්වලින් දීපචෙල්වම් බෙදුම්වාදය වර නඟනව ද කියල පැහැදිලි නැහැ. එහෙම කරනවාමය කියල පැහැදිලි වුනත් ඒ අදහස් සමාජය තුළ සාකච්ඡා වෙන්න ඉඩ දෙනව මිසක් ඒව සමාජ කතිකාවෙන් බැහැරව තියන එක සමාජ සංවර්ධනයට ගැලපෙන්නෙ නැහැ. යමෙක් පොතක් ලියල බෙදුම්වාදය ප්‍රවර්ධනය කළත් මිනිස්සු තමන්ගෙ එදිනෙදා වැඩ පැත්තකින් තියල රට දෙකඩ කරන්න ඒ ලියවිල්ලට අනුව මූලික වේවි කියල මම පිළිගන්නෙ නැහැ. එහෙමනම් මේ රටේ සිංහල දෙමළ අන්තවාදීන් බෙදුම්වාදය ගැන ලියල තියෙන තරමට මේ රට මෙහෙම ඉතුරු වෙන්න බැහැ.

මේ වනවිට සිල්ලර මතවාදයක් බවට පත්ව ඇති බෙදුම්වාදයට ආණ්ඩුවේ කපටි ආරක්ෂකයන් මෙච්චර භය වෙන්නෙ ඔවුන් තවමත් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී අදහස්වලින් බැහැරට ගොස් නැති නිසා වෙන්නෝන බව මගේ තර්කයයි. පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ලාංකික දේශපාලන සංස්කෘතිය ව්‍යුහාත්මක වෙනසකට ප්‍රවේශ වුවද ඒ ගැන කිසිම අවබෝධයක් මේ කපටි ආරක්ෂකයන්ට නැහැ. ඔවුන් තවමත් හිතන්නෙ පොතක් ලිව්ව පමණින් බෙදුම්වාදය ඇවිස්සෙනවා කියල.


පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සෙ එතෙක් පැවැති සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී හෙජමොනික මතවාදය දුර්වල වුනා නම් ඊට සාපේක්ෂව බෙදුම්වාදය සම්බන්ධයෙන් වූ තමන්ගෙ බිය සිංහල සමාජය විසින් තුරල් කර ගන්න ඕන. එහෙම බැහැ කියන්නෙ ඔවුන් දන්නව තාම සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය රාජ්‍යය විසින් අත ඇරල නැහැය කියල.  ඒ නිසයි සිංහල දෙමළ සංහිදියාවේ තුවාල සුවපත් කරන කතන්දර කියන්නෙ.

 

tamil people war

දෙමළ ජනතාවගේ විමුක්ති අභිලාශය නිහ‍ඬ කළේ  රාජ්‍යයේ ප්‍රතිසංස්කරණ වලින් නෙවෙයි. ඒක කළේ යුදමය මිලේඡ අශ්ලීල ක්‍රමයකින්. ඒක කරල වසර දාහතක් ගෙවෙන මේ මොහොතෙ සිංහල දෙමළ සංහිදියාවක් ගැන කතා කිරීම නන්දෙඩවිල්ලක් පමණයි. දෙමළ ජනතාවගේ දේශපාලන පීඩනය තේරුම් ගත්ත  අයට ජාතීන් අතර සංහිදියාව පදනම් වෙන්නෙ රාජ්‍යයේ ප්‍රතිසංස්කරණයක් තුළ පමණක් බව අමුතුවෙන් කියල දෙන්න ඕන නැහැ.

මේක තමන්ගෙ මව්බිම ලෙස දීපචෙල්වම්ට දැනෙන්නෙ නැත්නම් ඒ නොදැනීමට සංවේදීවීම තමයි සිංහල බුද්ධිමතුන්ගෙ සමාජ වගකීම. ඒ අනුව මේක තමන්ගෙ රට කියල දැනෙන ලෙස රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීමයි කරන්න ඕන. එහෙම නැතිව සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය හා එහි රාජ්‍යය යාන්ත්‍රණය අබ මල් රේණුවකින් වෙනස් නොකර ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ගත් සැනෙන්  "" දැන් හරි. උබල අපි හිතන විදියට වැඩ කරපල්ල. එතකොට මර්දනයක් නැහැ"" කියල හිතනව නම් ඒ තරම් තවත් විහිළුවක් නැහැ.

pilip shantha
(සටහන | පිලිප් ශාන්ත)
විමුක්ති හඬ
shan.info1978@gmail.com



 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපටි ආරක්ෂකයින් කළ යුත්තේ කුමක් ද? | පිලිප් ශාන්ත | The Leader