The Leader News
BREAKING
Top Ad
Opinion

නලින්ද ජයතිස්සට මංගල සමරවීර විය හැකිද..? | Ranjana Senanayake.

T

The Leader Desk

January 9, 2025 • 3:28 PM

නලින්ද ජයතිස්සට මංගල සමරවීර විය හැකිද..? | Ranjana Senanayake.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධ්‍යක්ශක වරයෙකු වන ලකා ධර්මරත්න ඔහුගේ පසුගියදා පලකල ලිපියකින් පෙන්වාදීමට උත්සාහ කොට ඇත.
  • ඇත්තටම ජවිපෙ ප්‍රමුඛ පෙලේ ක්‍රියාකාරිකයෙකු වන නලින්ද ජයතිස්සට මංගල සමරවීර කෙනෙකු වීමට යම් ගථිකයක් තිබේද සහ එසේ නොවීමට හෝ වීමට ඔහුට අභිමුඛවන කොන්දේසි මොනවාදැයි පරීක්ෂාකර බැලීමට මේ ලිපියෙන් අදහස් කරමි.
  • දැන් මතුවෙන තවත් කාරණයක් නම් මංගල ලිබරල් චරිතයක් බවට පත්වූවාසේ වෙනත් අයටත් විශේෂයෙන් නලින්ද ජයතිස්ස වැනි අයටත් ලිබරල් චරිත විය හැකිද යන්නයි.
  • සත්‍යලෙස නම් ලිබරල් චරිතයකට පණපෙවීමට කාටහෝ හිතුනු හිතුනු විටෙක චිත්‍රපටියක වේශ නිරූපණයක් කරනවාසේ කලනොහැකි දෙයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

අධ්‍යක්ශක වරයෙකු වන ලකා ධර්මරත්න ඔහුගේ පසුගියදා පලකල ලිපියකින් පෙන්වාදීමට උත්සාහ කොට ඇත.

ඇත්තටම ජවිපෙ ප්‍රමුඛ පෙලේ ක්‍රියාකාරිකයෙකු වන නලින්ද ජයතිස්සට මංගල සමරවීර කෙනෙකු වීමට යම් ගථිකයක් තිබේද සහ එසේ නොවීමට හෝ වීමට ඔහුට අභිමුඛවන කොන්දේසි මොනවාදැයි පරීක්ෂාකර බැලීමට මේ ලිපියෙන් අදහස් කරමි.

මුලින්ම මංගල සමරවීර ලාංකීයදේශපාලණ භූමිය තුල නොමැකෙන චරිතයක් වූයේ ඇයි? ඒ අන් කිසි හේතුවක් නිසා නොව ඔහු ලිබරල් දේශපාලන චරිතයකට කා වැදුනු නිසාත්, ඔහු තුලවූ ලිබරල් චරිතය ඉස්මතු කරගත් නිසාත්‍ වේ.

දැන් මතුවෙන තවත් කාරණයක් නම් මංගල ලිබරල් චරිතයක් බවට පත්වූවාසේ වෙනත් අයටත් විශේෂයෙන් නලින්ද ජයතිස්ස වැනි අයටත් ලිබරල් චරිත විය හැකිද යන්නයි.

සත්‍යලෙස නම් ලිබරල් චරිතයකට පණපෙවීමට කාටහෝ හිතුනු හිතුනු විටෙක චිත්‍රපටියක වේශ නිරූපණයක් කරනවාසේ කලනොහැකි දෙයකි. ලිබරල් තත්වය යනු කිසියම් කොන්දේසි මාලාවක් තුලදී අත්පත් කරගන්නා මෙන්ම වැඩිදියුනු කරගතයුතු දෙයක් මිස අවශ්‍ය වූ වේලාවට එම චරිතයට චිත්‍රපටිවල මෙන් ගොඩවිය හැකි දෙයක් නම් නොවේ.

මංගල සමරවීර ගැන බැලුවද ඔහුගේ පවුල් පසුබිම, විදේශ අධ්‍යාපනය, ඉංග්‍රීසි භාෂාවේ නිපුනත්වය මෙන්ම ඔවුන්ගේ ආර්ථික පසුබිම යන කාරණා මේ පුද්ගලයෙකුගේ ලිබරල් තත්වයට එසවීමට අනිවාර්‍යය කොන්දේසි  වියහැකි නමුදු ඒවා ප්‍රමාණවත් ඒවානම් නොවේ. ඒවා ප්‍රමාණවත් ඒවා වූවානම් අදවන විට ඉහත දැක්වූ කොන්දේසි සපිරූ ඕනෑතරම් චන්ද්‍රිකා ආන්ඩුවේ මෙන්ම රාජපක්ශ ආන්ඩුවලද දේශපාලණ නායකයින් සිටින ලදී.

එහෙත් ඔවුනටත් ලිබරල් නායකයින් වීමට නොහැකි වූයේ ඇයි ?


ftye546
වැඳගත්ම සහ සුවිශේෂම කාරණය නම්, මංගලට රනිල් හමුවීමයි. ඇත්ත වශයෙන්ම මංගල සමරවීර මහතාගේ දේශපාලණ ජීවිතයේ කැපී පේනම කාලය උනේද රනිල් සහ මංගල එක්ව දේශපාලනය කල වකවාණුවයි. මංගල ඇත්ත වශයෙන්ම දියුණු ලිබරල් චරිතයක් වූයේ එවිටය.


අනිත් අතට මංගලගේ තිබූ “බලය” සමග ගැටීමේ පෞරුෂයද ඊට මනාසේ ගැලපිණි. ලිබරල් චරිත වනාහී බලය ඉදිරියේ ගැටෙන චරිත මිස බලයට හීලෑවන චරිත නම් නොවේ. මංගල මහින්ද සමග ගැටුනේ මහින්ද රාජපක්ශ ගේ බලය ඉතාම ඉහලින් වැජබී සිට් සමයකදීය. මංගල මහින්දගේ බලපරාක්‍රමයෙන් අභිනිෂ්ක්‍රමණය කරන්නේ රාජපක්ෂලාගේ අධිපති මතවාදය මුළු රටේම රජයන විටදීය.

දැන් නලින්ද ජයතිස්ස වෙත එමු. මම හොඳින්ම දන්නා පරිදි නලින්ද ජයතිස්ස යනු ජවිපෙ විසින් අමාත්‍ය ධූර හොබවන සමයේ, ධීවර ආමාත්‍යශයට අනුයුක්තව සිටි ජවිපෙ නායකයෙකි. එවක පෙනුමෙන් ධීවර ඇමති ලෙස ජවිපෙ නම්කර තිබුනේ චන්ද්‍රසේන විජේසිංහ වූ අතර හරයෙන් එම ධීවර අමාත්‍යාංශයේ අධීක්ෂණ කටයුතු කලේ සහ භාරව සිටියේ එවක ජවිපෙ ඇතුල් කමිටුවල නායකත්වය හෙබවූ කුමාර් ගුණරත්නම් විසිනි.

එදා පටන් නලින්ද ජයතිස්ස යනු ජවිපෙ ඉහල නායකත්වයට අවනතවූ යටහත් ක්‍රියාධරයෙක් වී සිටියා මිස නලින්ද ජයතිස්සට ඔහුගේම වූ මතයක් කිසිවිටෙක නොවීය.

නමුත් මේ වනවිට නලින්ද ජයතිස්ස යනු, ජාතික ජනබලවේග රජය තුල ක්‍රියාකරනු ලබන ප්‍රධාන පුද්ගලයින් දෙතුන් දෙනාගෙන් කෙනෙකි. එය සත්‍යයකි. එහෙත් නලින්ද ජයතිස්සට මංගල සමරවීර පෙන්වූ  පෞරුශය ජාතික ජනබලවේගය තුල පෙන්විය හැකිද?  නොඑසේනම් ජාතික ජනබල වේගය තුලට නලින්ද ජයතිස්සගේම වූ මතයක් රැගෙන ආ හැකිද? මෙන්න මෙතනදී නලින්ද සහ මංගල සපුරා වෙනස්වේ.

mangala
චීවරයක් ඇදගත් පමණින් යම් කෙනෙකු භික්ෂුවක් වෙන්නේ නැතිබව මංගල ඉතාම නොබියව පැවසුවේ ගලබොඩ අත්තේ ඥාණසාරලා ආගම හයිජැක් කරගෙන යකා නටන සමයේදීය. තවද පාර්ලිමේන්‍තුවේ ඔහුට විරුද්ධව සමරිසි කථාවක් විරුද්ධවාදියෙකු කලවිගස, මංගල පැවසුවේ, ඔව් මම එහෙම වෙන්න පුලුවන් නමුත් හොරෙක් නම් නෙවේ යනුවෙනි. ඒ මංගල සිය ලිබරල් චරිතය තුල ගොඩනගාගත් පෞරුශයයි.


පත්වූ මැති ඇමතිවරු සියළු දෙනා රාජපක්ෂලාගේ දෙපා ලෙවකමින් ඔවුන් පසුපස ඇදෙන විට එය පිලිකුල් කොට රාජපක්ෂලා අභිනිෂ්ක්‍රමණය කිරීමට එවන් කාලයකදී හැකියාවක් තිබුනේ මංගලගේ ලිබරල් පෞරුෂයටයි. එය ඉහල මට්ටමේ ගතිකයක් බවකිව යුතුය.

දැන් නලින්ද ජයතිස්ස වෙත හැරෙමු. ජවිපෙ වනාහී මහා වෘක්ෂයකි. එහි විශාල අතු ඈතට විහිදී ඇති හෙයින් විශාල හෙවනක් ගසයට පවතී. මෙය “වදලකි”. වදලක් යට වෙනත් විශාල ගස් වැඩෙන්නට හැකියාවක් නොමැත. ඉඩ ඇත්තේම ඒ මහා ගසේ උදව්වෙන් හැදෙන කුඩා කුඩා පැළහැටි වලට පමණි. ලොකු ගසක් හැදෙන්නටනම් කලින් කී මහගසේ වදලේ සීමාවෙන් ඔබ්බට යායුතුය.

fy56
නලින්ද ජයතිස්සද ජවිපෙ මහා වෘක්ෂයේ සෙවනේ, එහි උදව්වෙන් ගොඩනැගෙන කුඩා පැළෑටියකි. ඔහුට මහ ගසක් වීමටනම් ජවිපෙ නැමැති මහා ගස එක්කෝ අභිනිෂ්ක්‍රමණය කලයුතුය, නැතහොත් අතික්‍රමණය කලයුතුය. මේ කාරණා දෙකම ඉටුනොවී නලින්ද ජයතිස්ස කෙනෙකු මංගල සමරවීර වැනි අති දැවැන්ත ගසක් වීමට ඉඩක් නොමැත.

නලින්ද ජයතිස්ස වැනි කෙනෙකු මංගල සමරවීර කෙනෙකු වන්නේනම් මමද ඉතා සතුටුවෙමි. එහෙත් ඒ සඳහා අවශ්‍ය කොන්දේසි සැපිරීමට සමත් පුද්ගලයින් ලේසියෙන් ගොඩනැගෙන්නේද නැත. කොටින්ම කියනවානම් මංගල සමරවීර වැන්නවුන් ආප්ප දානවා මෙන් ගොඩනැගෙන්නේද නැත. ඊට අවශ්‍ය පසුබිමද, ඔවුන් මෙහෙයවන බලවේගද ලංකාව වැනි පසුගාමී සමාජයන් වල හැදෙන්නේද ඉතාමත් කලාතුරකිණි.

තවත් විශේෂයක්නම්, මංගල වැනි අය දේශපාලනයෙන් පවා සමුගෙන යනවිට තුවාල  ඉතුරුකර යන්නේද නැත. නමුත් හෙවනැල්ලක් ලෙසින් දේශපාලණ භූමියේ ඔවුන් සැමදා ඉන්නා බව සත්‍යයකි. බොහෝ නායකයින්, දැවැන්තයින් පිටවී යන්නේ විශාල තුවාල කැළල් දේශපාලණ භූමියේ මගදමාය. ඒ තුවාල කැළල් බොහෝ කාලයක්, පවතින සමාජවලට කරදරයක් වී ඇතිබවත්  සැබෑය.

වසර දෙදහසකට පමණ පෙර “යුද්ධයේ කළාව” ( The Art of War) ලියාතැබූ ශ්‍රේෂ්ඨ යුධ විශේසඥ්ඥයෙකු වූත්, දාර්ශණිකයෙකුවූත් “ට්සුඋන් ට්සු” (Sun Tzu) ලියූ පරිදි, හොඳ නිමැයුම් කරුවෙකු කිසිදු කැළලක් ඉතිරි නොකරයි” ( A good craftsman leaves no traces-page xviii). මෙය මංගල සමරවීර වැන්නවුන්ටද එකසේ සත්‍යවේ. ඔවුන් කැළැල් ඉතිරිකලේ නැත. ඊට හේතුවනම් ඔවුන් දේශපාලණය තුල රැකගෙන සිටි එතික්ස් (ethics) එසේ මෙසේ ඒවා නොවීමය.

විශේෂයෙන් මතක්කර දීමට කැමති කාරණයක් නම්, නලින්ද ජයතිස්ස වැන්නෙකුට මංගල සමරවීර කෙනෙකු වීමට කිසිසේත් ඉඩකඩ නොමැති බවක් මේ ලිපියෙන් අදහස් නොවේ. නමුත් එසේ වීමට ඔවුන් තුල තිබිය යුතු ගතිකය අවශ්‍ය පරිදි තිබේද සහ ඒ වෙනුවෙන් ඔවුන් තුල ගොඩනගා ගැනීමට සිදුවන පෞරුශය ඒසේ ගොඩනගා ගත හැකිද සහ ඒවායේ කොන්දේසි අතික්‍රමණය කිරීමට ඔවුන් සමත්ද යන්න මත එය රඳා පවතී.

එසේ නොමැතිව, නාට්‍යයකට හෝ චිත්‍රපටියකට හඬ කැවීම් සහ වේශ නිරූපණය කරන පරිද්දෙන් මංගල සමරවීර වැනි දැවැන්ත චරිත වලට හිතෙන හිතෙන අයුරින් පවත්නා සන්දර්භයන්වල දේශපාල්කයින් වේශ ගැන්විය නොහැකි බව දැනුම් දීමට කැමැත්තෙමි.

Ranjana Senanayaka(සටහන | රන්ජන සේනානායක)
සමාජ හා දේශපාලන විශ්ලේශක
(අද්‍යයන කවය) "89-සහෝදරත්වය"

kaya4842@gmail.com


සබැඳි ලිපිය :

නලින්ද තාම 'The මංගල' වෙලා නෑ... වෙන ගමන් ඉන්නේ.... | Laka Darmarathna

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...