එය දිගු කාලයක් පුරා වර්ධනය වූ, ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රගතිශීලී බුද්ධිමය කොටස්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ දේශපාලන ප්‍රතිසංස්කරණවාදී බලවේග අතර ඇතිවූ උපායික සන්ධානයකි. එය සමාජ ශෝධනය, දූෂණ විරෝධය, සහ ප්‍රජාතන්ත්‍රවාදී පුනර්ජීවනය වැනි විශාල අරමුණු රැගෙන ඉදිරියට පැමිණියේය.
නමුත්, එය ආණ්ඩු බලය වෙත ළඟා වූ වේගය හා ආකාරය අති සුවිශේෂී වෙයි. එය තීරණය කළ ප්‍රධාන තත්වයන් කිහිපයකි: ආර්ථික බංකොලොත්භාවය, ජන අරගලය, සහ ප්‍රභූ දේශපාලනයට එරෙහි මතවාදී කැරැල්ල ප්‍රධාන වෙයි.
අද, “මාළිමාව ඇස්බැන්දුමක් ද?” යන ප්‍රශ්නය ජනගතවීම අහම්බයක් නොවේ. එය දේශපාලනික බලය අහිමි වූ බලවේග සහ පැරණි දූෂිත පන්තිය ප්‍රධානව ගොඩනැගූ කතිකාවකි. එහෙත්, එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම වෙනුවට, විවේචනාත්මකව විමසා බැලිය යුතු මොහොතක්ද වේ.
1. මාළිමාව යනු ජන නියෝජනයේ නව ආකෘතියක නිරූපණයකි.
මාළිමා ආණ්ඩුව මෙරට ඉතිහාසයේ වඩාත්ම පොදු ජන නියෝජිත ආණ්ඩුවක් ලෙස සැලකිය හැක. එය, ස්වභාෂා නිදහස් අධ්‍යාපනයෙන් ඉහළ ගිය පන්තිය සහ මධ්‍යම හා පහළ පන්තියේ දේශපාලන උත්සාහයන් සමග නව දේශපාලන සංස්කෘතියක් සඳහා වූ අරමුණක් සහිත ව්‍යාපාරයක් වීය. නමුත්, “මාළිමාව” යනුම දිශාව පෙන්වන උපකරණයක්, දේශපාලන ප්‍රමිතියක් වීම නිසා, ජනතාව එය වෙත තැබූ බලාපොරොත්තු ඉතා ඉහළය.
2. මාළිමාවේ අභියෝගය වන්නේ ප්‍රයෝජ්‍යතාවාදයෙන් ඔබ්බට යාමයි.
බලයට පැමිණීම ප්‍රතිසංස්කරණය නොවේ.
ප්‍රතිසංස්කරණය යනු: ආයතනික බලය වෙනස් කිරීම, දේශපාලන සංස්කෘතිය පරිවර්තනය, සහ සමාජ අසාධාරණය නිවැරදි කිරීමයි. එය අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි. එයට විශාල බුද්ධිමය දැක්මක් හා ප්‍රායෝගික ක්‍රියාකාරී අධිෂ්ඨානයක් අවශ්‍යවෙයි.
ඒ අනුව මාළිමාව ප්‍රයෝජ්‍යතාවාදී (pragmatic) දේශපාලනයෙන් ඔබ්බට ගොස් දාර්ශනික, දෘෂ්ටිමය ප්‍රතිසංස්කරණයක් කරා ගමන් කරන්නේද? යන පැනය කතිකාවට ගතයුතුය.
3. මාළිමා ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධාන අභ්‍යන්තර අවදානම් අවදානම් කිහිපයක් තිබේ.
* පළමුව අභ්‍යන්තර රාජ්‍ය බලය පැරණි නිළධාරීවාදී ව්‍යුහයකින් යුක්තවීම ප්‍රධාන ගැටලූවක් ලෙස පවතී.
* දෙවනුව, ව්‍යාපාරික බලවේගයන් විසින් ආර්ථික ප්‍රතිපත්ති මත බලපෑම් ඇතිකිරීම දැඩි විය හැක.
* තෙවනුව, මිලිටරි සහ ආරක්ෂක ව්‍යුහය රාජ්‍ය බලය මත ඇතිකරන බලපෑමේ තීව්‍රතාව අවබෝධ කරගතයුතුය. එසේම ආගමික සංස්ථාව සහ බලවේග විසින් ජන මතය පාලනය කිරීමට කරන බලපෑම් නොසළකා හල නොහැක.
* අවසන් වශයෙන් නමුත් ප්‍රබලම අභියෝගයක් කලාපීය බලපෑම් හරහා විශේෂයෙන් දකුණු ආසියානු භූ-දේශපාලනය තුළින් ඇතිවෙයි.
4. නායකත්වය සහ නෛතික සදාචාරාය ද ප්‍රමුඛව සාකච්ඡා කළ යුතු තත්ත්වයක් වෙයි.

ජනාධිපතිවරයා විසින් නිල නිවස අත්හැරීම වැනි ක්‍රියා සංකේතාත්මකව වැදගත් වුවත්, ඒවා පමණක් ප්‍රමාණවත් නොවේ. නමුත් අද ප්‍රශ්නය වන්නේ: දේපළ, ආදායම්, ජීවන රටා පිළිබඳ පාරදෘශ්‍යතාව, දූෂණයට සම්බන්ධ චෝදනා, සහ ජන නියෝජිතයන්ගේ සදාචාරය සම්බන්ධ ප්‍රශ්නවලදී සෘජුව ක්‍රියාත්මක වීමයි. ජනතාව අසන ප්‍රශ්නය වන්නේ, මාළිමාවේ නායකත්වය විසින් ප්‍රචාරය කළ නීතිමය හා සමාජීය අගයන් සැබෑ ජීවිතයේදීද ක්‍රියාත්මක කරනවාද? යන්නය.
5. මාළිමාව නැවත ගොඩනැගීම (reconstructing): යෝජනා මාලාව
(1) පූර්ණ පාරදෘශ්‍ය දේපළ ප්‍රකාශන ක්‍රමයක් ඇතිකිරීම.
සියලුම දේශපාලකයන් අනිවාර්ය, මහජන ප්‍රවේශයට විවෘත, ස්වයංක්‍රීය පරීක්ෂණ පද්ධතියක් සඳහා අවනත කළ යුතුය.

(2) අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම
පක්ෂය විසින් තීරණ ගන්නා ක්‍රියාවලිය ජනතාවට, මාධ්‍යයට විවෘත කිරීම, හා පහළ මට්ටමේ සාමාජිකයින්ට බලය ලබාදීම.
(3) ප්‍රතිපත්තිමය පැහැදිලිතාව
ආර්ථික මාර්ගය- රාජ්‍ය vs වෙළඳපොළ සම්බන්ධය - සමාජ ආරක්ෂණය, සංවර්ධන ආකෘතිය හා පරිසර තුල්‍යතාව ආදී ගැටළු ගැඹුරින් සාකච්ඡා කළයුතුය.
(4) බල විභජනය සහ ආයතනික ප්‍රතිසංස්කරණ
විධායක බලය සීමා කිරීම, ස්වාධීන කොමිෂන් ශක්තිමත් කිරීම, සහ නීති පාලනය තහවුරු කිරීමට පියවර ගතයුතුය.
(5) තරුණ පරපුර සහ බුද්ධිමය කොටස් අතර සම්බන්ධතාවය
විවෘත දේශපාලන සංවාද, විශ්වවිද්‍යාල, සිවිල් සමාජ සමඟ සම්බන්ධතාවය පෘථුල කළයුතුය.
(6) කලාපීය සහ ගෝලීය ප්‍රතිපත්ති යළි සකස් කිරීම
අධීන, නමුත් ජාතික අභිලාෂය ප්‍රළුල්ව අර්ථ දක්වන, මහජන මතය පිළිඹිඹුවන හා ඒමත ක්‍රියා කරන විදේශ ප්‍රතිපත්තියක්, හා කලාපීය බලවේග අතර සමතුලිතතාව ඇතිකරගැනීම.
6. මාලිමාවේ දිශාව නැවත සොයාගැනීම

මාළිමාව යනු බලය සදහා පමණක් බලයට පැමිණි ව්‍යාපාරයක් නොවේ.
එය, ජනතා අපේක්ෂාවන්ගේ එකතුවක්, ප්‍රතිසංස්කරණීය දේශපාලනයක් සඳහා වූ අවස්ථාවක්,පැරණි පද්ධතිය අභියෝගයට ලක් කරන ඉතිහාසික මොහොතක් ද වෙයි.
නමුත්, දිශාව පෙන්වන උපකරණයක් ලෙස, එයටම අනන්‍ය වූ පරමාසර්ශීය දිශාව නැති කරගත්තොත්, එය සමාජයට වඩාත් විනාශකාරී විය හැක. ඒ නිසා “Reconstructing මාළිමාව” යනු විපක්ෂයක ලාබ බල ව්‍යාපෘතියක් නොව,
ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ සහ ගැඹුරින් පුළුල් කිරීම සඳහා අත්‍යවශ්‍ය දේශපාලන කර්තව්‍යයක් වේ.
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
smasa@ou.ac.lk
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)




