ඒත් 71 සිට මේ දක්වා ලංකාවේ විශ්ව විද්‍යාලයක් විජේවීර සහ ඔහු විසින් ලංකා සමාජයට කරන ලද බලපෑම මනෝ විද්‍යාත්මකව, සමාජ විද්‍යාත්මකව දේශපාලනිකව හදාරලා නෑ. අධ්‍යනයන් කරලා නෑ. ප්‍රභාකරන් ලංකා සමාජයට විශාල බලපෑමක් කලා. ඔහු භාවිතා කලේ ද්‍රවිඩ ජාතිවාදය. ඒක ලේසියි. 1956, 77, 83 වගේ ජාතිවාදී කෝලහල නිසා පීඩනයට පත්වූ ද්‍රවිඩ ජනතාවගේ ක්‍රෝධය ඔහු ඉන්ධන ලෙස භාවිතා කලා. ඔහුට විදේශ වලින් සහාය ලැබුනා. නමුත් විජේවීරට ඒවගේ සම්පත් තිබුනේ නෑ. ඔහු කලේ කුල පීඩිතයන්ට ආමන්ත්‍රණය කරන එක. පන්ති පරතරය නිසා අගතියට පත් වූ ජනයා පෙල ගස්වන එක.
මේ ගමනේදී විජේවීර මිස්ටේක් කලා අතාර්කික අවිචාර කතා කිව්වා. නමුත් ඔහුගේ බැතිමතුන් ඔහුව වන්දනා කලා. ඔහු වෙනුවෙන් ඝාතන පවා කරන්න ඉදිරිපත් උනා. මේ සංසිද්ධිය කිසිම දේශපාලන විශ්ලේශකයෙක් තේරුම කරලා දීලා නෑ. උදාහරණක් ලෙස විජේවීර ඇල්ල වැල්ලවාය පාර පළල් කරන්නේ ඇමරිකන් ප්ලේන් බාන්න, බෙන්තොට තානායම ඇමරිකන් බේස් එකක් වශයෙන් බොහෝ අතාර්කික කතා කීවේය. එසේම යූ ටියුබයේ තිබෙන ඔහුගේ අතීත කතා වර්තමාන ඉන්ටනෙට් දැණුමැති පරපුර අසන්නේ හාස්‍ය රස මතු කරමින්. ඒත් විජේවීර වන්දනීය නායකයෙකු ලෙස විශාල පිරිසක් දකිනවා.

මා දන්නා එක් මනෝ වෛද්‍යවරයෙකු ඉන්නවා ඔහු රෝහණ විජේවීර(Rohan Wijeweera) ගේ හිටපු වෛද්‍යවරයෙක් එසේම පසු කාලයක සරණාගතයෙකු ලෙස එක්සත් රාජධානියට යනවා. බුද්ධිමතෙකු වශයෙන් ඔහු අනිවාර්‍යෙන්ම විජේවීර ගේ කතා වල අතාර්කිකත්වය අත් දැකලා ඇති. නමුත් ඔහු විජේවීරට සලකන්නේ දේවත්වයෙන්. ඒ වගේම මා දන්නා උගත් කොටස් ඉන්නවා විජේවීර විවේචනය කරන විට ආවේගශීලී වන. විජේවීරව විවේචනය කරන කොට ඔවුන් දැඩි ලෙස ප්‍රකෝප වෙනවා. පහර දීමට පවා එනවා. මේ හේතුව හොඳට සොයා බලන විට පෙනී යන්නේ විජේවීර කුල පීඩිතයන්ට දුන්න ගරුත්වය සහ ඔවුන්ට ගෙන දුන් අභිමානය. මා අර කී වෛද්‍යවරයාත් කුල පීඩිතයෙක්. ඒ නිසා ඔහුට විජේවීර වන්දනාත්මක චරිතයක්.
විජේවීර ගේ හිටපු ලේකම් කල්‍යාන කරුණාරත්න පොතක් ලියනවා. ඒ පොතේ ඔහු සඳහන් කරනවා රොනී ද මෙල් වගේ ධනවාදී ක්‍රමය උත්කර්ශයට පත් කල පුද්ගලයෝ පවා විජේවීර කුල වීරයෙක් ලෙස සැලකූ බව සහ ඔහු ඒ සඳහා සාධක පෙන්වා දෙනවා. මේ අනුව විජේවීර කියන්නේ එක්තරා ආකාරයක ශ්‍රී ලාංකික අම්බෙඩ්කාර් කෙනෙක්. මේ පිලිබඳව කිසිවෙකු හදාරලා නෑ.
රෝහණ විජේවීර යනු කවුද?
රෝහණ විජේවීරව(Rohan Wijeweera) විවේචනය කරන්නෝ බොහෝ වෙති. සමහරක් රෝහණ විජේවීරව ඉතා නිර්දය ලෙස විවේචනය කරති. ඔවුන් තුල විජේවීර කෙරෙහි මහත් පිළිකුලක් මෙන්ම වෛරයක් තිබේ. ඔවුන්ට අනුව විජේවීර ප්‍රභාකරන් මෙන් ලංකාවට අති විශාල විනාශයක් සිදු කලේය. එහෙත් මෙම බැතිමත් පාර්ශවය මෙන්ම විජේවීරව නිර්දය ලෙස විවේචනය කරන පාර්ශවයද විජේවීර පිලිබඳ තුලනාත්මක අධ්‍යනයක් කර නොමැත.
විජේවීර දේශපාලණ නායකයෙකුට වඩා බලගතු කල්ට් නායකයෙකි.
රෝහණ විජේවීර(Rohan Wijeweera) යනු ලංකා ඉතිහාසයේ මග හැරිය නොහැකි සාධකයකි. එසේම විජේවීර විසින් ලංකාවේ දේශපාලන ප්‍රවාහය යම් තාක් දුරකට පාලනය කල බව නොරහසකි. විජේවීර මිය ගියද ඔහු තවමත් ලංකාවේ දේශපාලන තත්වයට බලපෑම් ඇති කරයි. එක්තරා ආකාරයකට විජේවීර දේශපාලන නායකයෙකුට වඩා බලගතු වූ කල්ට් නායකයෙකි. ඔහුගේ අනුගාමිකයෝ විජේවීර පරමාදර්ශයක් බවට පත් කිරීමට තැත් කරති. ඔහුව සුරුවමක් මෙන් අදහන සහ ඔහු වෙනුවෙන් ජීවිතය පුද කිරීමටද සූදානම් වූ කොටසක් ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය තුල තවමත් සිටිති.
කථන හැකියාව
රෝහණ විජේවීර(Rohan Wijeweera) දක්‍ෂ කථිකයෙකි. ඔහු කථන හැකියාව තුලින් පුද්ගලයන් බොහෝ දෙනෙකු දිනා ගත්තේය. ඒ පුද්ගලයන් අතර ඔක්ස්ෆර්ඩ් අධ්‍යාපනලාභී සුසිල් සිරිවර්ධන, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය ගාමිනී කීරවැල්ල, මහාචාර්ය ගාමිනී සමරනායක, ආචාර්ය විජිත නානයක්කාර, අනගාරික ධර්මසේකර, මහින්ද විජේසේකර, වික්ටර් අයිවන්, වැනි පුද්ගලයන් සිටියෝය. එසේම උදේනි බන්ධුල, කුමානායක, වසන්ත දිසානායක, වැනි පුද්ගලයෝ විජේවීර දර්ශණයට වශීව තමන් අධ්‍යනය කරමින් සිටි උපාධි පාඨමාලා අත හැර පූර්ණකාලිකයන් බවට පත් වූහ. සමහරු තම නිවෙස්, ඥාතීන් හැරපියා විජේවීර වටා එක්වූහ.

සොත්ති උපාලි, ගෝනවල සුනිල්, බැද්දගානේ සංජීව, ජුලම් පිටිය අමරේ වැනි පුද්ගලයෝ තම දේශපාලන නායකයන් වෙනුවෙන් ඝාතන කලහ. එහෙත් එම ඝාතන කලේ පුද්ගලික වරදාන බලාපොරොත්තුවෙනි. එහෙත් විජේවීර වෙනුවෙන් ඝාතන කල ආගිරිස් කොස්තා, ලයනල් රණසිංහ වැනි පුද්ගලයෝ කිසිදු වරදාන බලාපොරොත්තු නොවී ඔහු වෙනුවෙන් ඝාතන කලහ. මෙය අධ්‍යනය කල යුතු දෙයකි. කුලවාදය භාවිතා කිරීම කුලවාදය සූක්‍ෂම ලෙස අවශ්‍ය ස්ථානයේදී යොදා ගැනීමට විජේවීර උපක්‍රමික විය.
කුල සාධකය
ප්‍රභාකරන් උතුරේ කුල පීඩිතයන්ට තුවක්කුව අතට දී ඔවුන්ට සමාජයේ සැලකිල්ල -අවධානය බලහත්කාරයෙන් ලබා දුන්නා සේ විජෙවීර දකුනේ කුල පීඩනයට ලක්ව සිටි තරුණයන්ට අනන්‍යතාවක් ලබා දීම මගින් ඔවුන්ව තම ව්‍යාපාරයේ භක්තිමත් සාමාජිකයින් බවට පත් කලේය. මේ සඳහා ඔහු සාමාජිකයින් ඇමතීමේදී සහෝදරයා යන වචනය වෙනුවට භාවිතා කලේ මහත්තයා යන වචනයයි. මේ මහත්තයා යන වචනය මගින් ඔහු දකුනේ කුල පීඩනයට ලක්ව සිටි තරුණයන් ආකර්‍ෂණය කර ගත්තේය.

71 කුල පීඩනයට එරෙහි කැරැලක් බව අයිවන් පවසයි. කෑගලු පොලිසිය 71 කැරැල්ල හැඳින්වූයේ පදු කැරැල්ලක් කියාය . 71 / 88 ආයුධ ගත්ත තරුණයෝ බොහෝ දෙනෙක් කුල පීඩනය නිසා ජවිපෙට බැඳුනු පිරිස් වීම විශේෂත්වයකි. විජේවීර සැඟවී සිටි කාලයේ ගත්ත නම් ( දොස්තර තිස්ස, අලවත්තාගොඩ මහත්තයා, අත්තනායක) බොහොමයක් ගොවිගම නම් වීම වෙනම අධ්‍යනය කල යුතු කරුණක්. ඔහුගේ අනුගාමිකයන් කුල පීඩනයට ලක් වූවන්. මහ රදාගේ ජේම්ස් – සෙනෙවිරත්න කියලා 71 දී නමක් ගන්නවා. පසුව එය උයන්ගොඩ බවට පත් වෙනවා.
විජේවීරගේ ළමාකාලය
රෝහණ විජේවීර(Rohan Wijeweera), පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නමින් උපත ලබන්නේ 1943 දීය. ඔහුගේ ළමා කාලය දරිද්‍රතාව , කුළ පීඩනය, සමාජ කොන්වීම් යන සාධක නිසා නීරස වූයේය. එසේම විජේවීර වයස හතරක කුඩා ළමයෙකුව සිටියදී ක්‍ෂිතිමය අත්දැකීමකට මුහුණ දුන්නේය. එනම් 1947 මැතිවරණයේදී මැරයන් ගේ පහරදීමට ලක්වී ඔහුගේ පියා වන දොන් අන්දිරිස් විජේවීර සදාකාලික අබ්බගාතයෙකු විය. මේ නිසා පවුලේ තත්වය තවත් අසරණ වූයේය. මේ පහරදීම් නිසා දීර්ඝ කාලීනව ඔත්පළ වූ විජේවීරගේ පියා 1965 වසරේදී මිය ගියේය.
පියාට අතිශයින්ම ඇළුම් කල විජේවීර ගේ ළමා ලෝකය කඩා වැටුනේ මෙම ප්‍රචණ්ඩ සිද්ධිය මගිනි. මේ ක්‍ෂිතිමය සිද්ධිය විජේවීරගේ මරණය තෙක් ඔහුට බලපෑවේය. එසේම ඔහුගේ අනාගත පෞරුෂය ගොඩ නැගෙන්නේ මේ ඛේදාන්ත සිද්ධිය ඇසුරු කර ගෙනය. මේ ඛේදාන්තයට ලාංකික සමාජයට ඉහළ මිලක් ගෙවන්නට සිදු විය. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මැතිවරණයේදී තමන් ගේ පියා සදාකාලිකව ඔත්පළ ආබාධිතයෙකු කල දේශපාලන ක්‍රමයෙන් විජේවීර අවිඥාණිකව පළි ගන්නේ තරුණ පරම්පරා දෙකක් මරු තුරුලට යැවීමෙනි. 1971 , 1988-89 කැරලි නිසා පුද්ගලයෝ 80,000 ආසන්න සංඛාවක් මරු දුටුහ.
මැරයන් ගේ පහරදීම් නිසා සදාකාලිකව ආබාධිතයෙකු වූ තම පියාට මව වූ නැසිනෝනා වික්‍රම කළුතොට නිසි ආකාරව උවටැන් නොකර බව විජේවීරගේ අදහස වූයේය. මේ නිසා නොයෙක් වර තම අප්‍රසාදය ඔහු තම මව වෙත දක්වන ලදි. විජේවීර තුල තම මව කෙරෙහි අවිඥාණික ගැටුම් (unresolved mental conflicts ) තිබුණු බව පෙනී යයි. වරක් අනුගාමිකයන් ඉදිරිපිට දී (71 කැරැල්ලට ස්වල්ප කාලයකට පෙර) ඔහු තම මව තමාට සැතිරියක් බව පවසයි. මව කෙරෙහි වූ අවිඥාණික වෛරයද විජේවීර ගේ පෞරුෂය කෙරෙහි බලපෑවේය. මෙම තත්වය විජේවීරව වඩාත් නිර්දය සහ අඩු සහකම්පනීය චරිතයක් බවට පත් කලේය.
උසස් අධ්‍යාපනය කඩාකප්පල් වීම
සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබීමෙන් පසු රෝහණ විජේවීර(Rohan Wijeweera) 1960 දී ශිෂ්‍යත්වයක් ලබා වෛද්‍ය උපාධිය හැදෑරීමට සෝවියට් දේශයට ගියේය. මේ කාලය තුලදී රුසියානු තරුණියන් සමග සබඳතා පැවැත්වූ ලාංකික තරුණයන්ට දොස් පැවරීමට ඔහු පුරුදුව සිටියේය. තවද ඔහු ගත කලේ එකලා (isolated) ජීවිතයකි. තෙවන වසරේදී ඔහු ජීව රසායණ විද්‍යාව (Bio Chemistry) විෂය අසමත් විය. මේ සමය තුලදී විජේවීර තුල ක්ලමථ තත්වයන් නිසා සමායෝගී ආබාධ (Adjustment Disorder) තත්වයක් වර්ධනය වූ බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ.
ලංකාවට පැමිණි පසු චීන පිළ සමග සබඳතා පැවැත්වීම නිසාද කොමියුනිස්ට් පක්‍ෂයේ කේ. පී. සිල්වාව විවේචනය කිරීම නිසාද කේ පී සිල්වා විසින් රුසියානු තානාපති කාර්‍යාලයට දන්වා විජේවීර ගේ විසා අත් හිටුවීම නිසා ඔහුගේ ශිෂ්‍යත්වය අවලංගු විය. මෙය ඉතා පහත් අන්දමේ පළි ගැනීමකි. එහෙත් මේ නිර්දය ක්‍රියාවට ලාංකික සිසු පරපුරට විශාල වශයෙන් වන්දි ගෙවීමට සිදු විය. තම උසස් අධ්‍යාපනය කඩාකප්පල් කිරීම පිළිබඳ ප්‍රතික්‍රියාව විජේවීර අවිඥානිකව කරන ලද්දේ ලංකාවේ විශ්ව විද්‍යාල වල අර්බුධ ඇති කිරීම මගින් ද යන ප්‍රශ්නය මතුවේ. මේ දක්වා විජේවීරවාදීන් විසින් නවක වදය ,වර්ජන වැනි ක්‍රියා මගින් ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කර තිබීම අවධානයට ලක් විය යුතුය.
රෝහණ විජේවීරගේ උසස් අධ්‍යපන සිහිනය කඩාකප්පල් වන්නේ තම පියාගේ මරණයට ලංකාවට පැමිණි විට ඔහුට යළි සෝවියට් දේශයට යාමට වීසා නොදෙන්නැයි කේ.පී. සිල්වා ඇතුළු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සමහර නායකයන් විසින් සෝවියට් තානාපති කාර්‍යාලයට කරන ලද බලපෑම් නිසාය. තවද ඒ වන විට ඔහු බයෝ කෙමිස්ට්‍රි(Bio Chemistry)විෂය අසමත්ව සිටියේය. උසස් අධ්‍යපන සිහිනය කඩාකප්පල් වීමෙන් පසු විජේවීර ලංකාවේ විප්ලවයක් කිරීම සඳහා මූලික වශයෙන් පාසල් සහ විශ්ව විද්‍යාල සිසු සිසුවියන් තෝරාගෙන ඔවුනට පන්ති පැවැත්වීය.
71 කැරැල්ලෙන් පසු විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන පූර්ණකාලීනයෙකු වීම පිලිබඳ තමන් පසුතැවුන බවත් පසුව අසීරුවෙන් ඉගෙන ගෙන නීතීඥයෙකු වූ බවත් උදේනි බන්ධුල පැවසීය. එහෙත් පොඩි දිසා මෙන්ම බෝල සමරේ වැන්නවුන්ට තම විශ්ව විද්‍යාල අධ්‍යාපනය යළි කරගෙන යාමට ඉඩක් ලැබුනේ නැත. 1988/89 කැරැල්ල විජේවීර ඇරඹුවේ “පළමුව මව්බිම-දෙවනුව ඉගෙනුම” යන පාඨය ඉදිරිපත් කිරීමෙනි.
මාක්ස්වාදී දැනුම් :

විජේවීර ලෙනින් කෙරහි ආශක්ත විය. ඔහුගේ ලෝකයේ වීරයා වූයේ ලෙනින් ය. ඔහු ඇවිදින විට පියවර තැබුවේ ලෙනින් ලෙසටය. එහෙත් ඔහු ලෙනින් ගේ කෘතීන් විශ්ලේෂණාත්මකව කියවා තිබුනේ නැත. ලෙනින් කෙරෙහි ප්‍රසාදයක් දැක්වූවද අනුගමනය කලේ ස්ටාලින්වාදී ප්‍රතිපත්තිය. ඔහුගේ සමහර න්‍යායන් ඉතා ලාමක විය. උදාහරණයක් ලෙස ලංකාවේ පොලිස් ස්ථානයන් යටත් කිරීමට ජාපාල න්‍යාය ගැන ඔහු කීවේය. ඔහු විස්තර කර පරිදි සෑම පොලිස් ස්ථානයකම කෑම ඉවීම සඳහා කොළුවෙකු සිටියි.
ගරිල්ලා භටයෙකු නොවූ ගරිල්ලා භටයා

ගරිල්ලා ව්‍යාපාරයක් පිළිබඳව දේශනා කලද ගරිල්ල භටයෙකු ගේ ජීවිතය පිළිබඳව විජේවීරට ප්‍රායෝගික අවබෝධයක් නොවූ බව ගරිල්ලා භටයෙකු ලෙස 71 කැරැල්ල සමය තුලදී කැලෑ වල දීර්ඝ කාලයක් ගත කල බුලට් මහින්ද මෙන්ම ගරුසිංහ පවසති. මේ හැර ආයුධ පිලිබඳව විජේවීරට 1971 කාලයේ දැණුමක් නොතිබූ බව විරාජ් ප්‍රනාන්දු පෙන්වා දෙයි. මේ හැර විජේවීරට පිහිනීමට පවා නොහැකි වූ බව ඔහු ලඟින් ඇසුරු කල අනුගාමිකයෝ පවසති.
විජේවීර සැකය කේන්ද්‍ර කොට ගත් චරිතයක් බව ඔහු සමග ඉතා කිට්ටුවෙන් ඇසුරු කල කෙලී සේනානායක පවසයි. එසේම අධි තක්සේරුව සහ පැරනොයිඩ ස්වභාවයන් විජේවීර කෙරෙන් දිස් විය. ඔහු ඉන්දුනීසියාවේ මෙන් බරපතල වාමාංශික මර්ධනයක් 1970 දී සිදු වන බව තදින් විශ්වාස කලේය. එසේම 7 වන ඇමරිකානු නාවික බල ඇණිය ලංකාව ආක්‍රමණය කරනු ඇති බවට ඔහු බිය විය. මේ සඳහා ඇමරිකාව විසින් ජේ ආර් ව 1970 මැතිවරණයේදී බලයට පත් කරනු ලබන බවට ඔහු අණාවැකි කීවේය.
විජේවීර තුල අනාරක්‍ෂිත හැඟීම් ( feelings of insecurity ) තිබූ අතර මේ නිසා ධර්මසේකර, නිහාල් ඩයස්, සරත් විජේසිංහ සනත් බොරළුකැටිය යනාදීන් කෙරෙහි ඉරිසියාවක් මෙන්ම ඔවුන්ව කපා දමා ක්‍රියා කරන තත්වයක් තිබුණි. මේ නිසා පක්‍ෂයේ අභ්‍යන්තරය දුර්වල විය. මේ හැර විජේවීර තුල ක්සෙනෆෝබියා (Xenophobia) හෙවත් විදේශිකයන් කෙරෙහි ඇති බියද පෙනී යයි. මේ ක්සෙනෆෝබියා තත්වය තවමත් ඔහුගේ අනුගාමිකයන් අතර දක්නට තිබේ.
හීනතාමාන සංකීර්ණය

උපතින්ම විජේවීර ගේ දත් බොල්ලෑ විය. මේ නිසා කුඩා කාලයේ සිටම ඔහු තුල හීනතාමාන සංකීර්ණය ගොඩනැගුනි. 1971 කැරැල්ල නඩු විභාගයට පෙරද පසුද විජේවීර තම ඉදිරියට නෙරා ඇති දත් අතින් පස්සට තෙරපනු අනුගාමිකයන් බොහෝ දෙනෙකු දැක තිබුණි. තමන් අවලක්‍ෂණ බවත් විරුද්ධ ලිංගිකයන් ගේ අවධානයට ලක් නොවන බවත් ඔහු විශ්වාස කලේය. ඔහු ශරීර ස්වථාවය කෙරෙහි උනන්දු නොවීය. නොනෑම සහ කිලිටි ඇඳුම් ඇඳීම ඔහු කලේය. ඔහුගේ අනුගාමිකයෝද මේ අනුව යමින් ශරීර ස්වථාවය අත් හැර දැමූහ.
පෙනී යන පරිදි රෝහණ විජේවීර(Rohan Wijeweera) තුල දත් බොල්ලෑව නිසා Body dysmorphic disorder තත්වය තිබූ බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ. බොහෝ අවස්ථාවලදී ඔහු තම දත් බොල්ලෑව පිළිබඳව චින්තාපර විය. 71 කැරැල්ල ආසන්නයේදී පවා පේරාදෙනිය දන්ත පීඨයෙන් තම ඉදිරියට නෙරා ඇති දත් ශල්‍යකර්මයක් මගින් සාමාන්‍යකරණය කර ගත යුතු බව ඔහු සෝමසිරි කුමානායකට කීවේය.
කාන්තාවන් කෙරෙහි දැක්ම
තම ව්‍යාපාරය ආරම්භ කල කාලයේදී කාන්තාවන් ඉදිරියේදී ඔහු අක්‍රිය විය. පන්ති පහ පවත්වන විට කාන්තාවන් ඉදිරියේදී විජේවීර බිම බලාගෙන දේශන කල බව ඩී. ඒ ගුණසේකර සහ චන්ද්‍රක්කා හෙවත් චන්ද්‍රා ජයන්ති පෙරේරා පවසති. නමුත් යසෝමා සහ මලී යන යුවතියන් සමග හාද වීමෙන් පසු ඔහුගේ සබකෝලය ක්‍රමක් ක්‍රමයෙන් අඩු විය. පසුකාලීනව එනම් 1988 – 89 අතර කාලය වන විට විජේවීර කාන්තාවන් කිහිප දෙනෙකු සමග සබඳතා පැවැත්වූ බව කෑගල්ලේ පීරිස් හෙවත් විල්ෆ්‍රඩ් රංජිත් පීරිස් පවසයි.
(ජවිපෙට විනාශකාරී අර්බුධ ඇති කලේ කාන්තාවෝ. මුලින්ම ටී.ඩී සිල්වගේ දුව මලී සහ සිසිල් චන්ද්‍ර ගේ නැගෙනිය යසෝමා විජේවීර සමග සබඳතාවන් තිබුනා කියලා ජවිපෙ පොලිට් බියුරෝ එක දෙකඩ වෙනවා. විජේවීරට MKR කියලා නමක් සුනන්දලා ගේ පාර්ශවය පට බඳිනවා. පියසිරි කුලරත්නට අනුව මේක ඒ කාලේ ජවිපෙ තුල තිබූ සංස්කෘතික පසුගාමිත්වය නිසා ගෑණු හුටපට පොලිට් බියුරෝව(Polib Bureau) දක්වා ගෙන ගිය අර්බුධයකි.
බර්ටි රංජිත්ගේ අත්දැකීම
එහෙත් රෝහණ විජේවීර(Rohan Wijeweera) එම අදහස් ප්‍රතික්ෂේප කලා පමණක් නොව අප කට්ටිවාදින් යන චෝදනාවද එල්ල කලේය. මින් ඇරඹෙන මතභේදය තුළින් අපිව ද්‍රෝහින් ලෙසට ලේබල් කරණු ලැබීය. මින් පසුව දිනක් යාපනය බන්ධනාගරයේදි මමත් විජේවීරත් මුහුණට මුහුණ මුණ ගැසුනෙමු. එහිදි ඔහු අහක බලාගත් අතර අඩුම තරමේ මගේ මුහුණවත් නොබැලීය. ඔහුව ගෙන යමින් සිට ජේලර් හා මා ගෙන යමින් සිටි ජේලර් විජේවීරගේ මේ ප්‍රතික්‍රියාවෙන් පුදුමයට පත් වූහ. මාව ගෙන ගියේ අමෝන් නම් ජේලර්වරයා මගෙන් මෙසේ ඇසීය.
” බර්ටි ඔය තමුසේ බේරගන්න ගිය නායකයා නේද? එයා වගේ මනුස්සකමක් නැති නායකයෙක් වෙනුවෙන්ද තමුසෙලා ජීවිත දීලා සටන් කළේ?
පෝරියල් හමුදාව
බොහෝ විජේවීර පාක්‍ෂිකයෝ මතවාදී දැනුමේ ඌනතාවය නිසා ප්‍රචණ්ඩත්වය උපයෝගී කර ගත්හ. පෝරියල් හමුදාව ලෙස හැඳින්වූ මොවුන් විරුද්ධ මතයක් දැරීම පමණක් නොව අනුමත නොකල පොතක් කියවූවන්ට පවා නිර්දය ලෙස පහර දුන්හ. පෝරියල් හමුදාව මෙහෙයවූවන් අතර මොරවක භද්දිය ( භද්දිය යනු 1971 කාලයේ විජේවීර පාක්‍ෂිකයෙකු වූ චිවරධාරියෙකි. ඔහු කැරැල්ල නිසා හැමන් හිල් සිරකඳවුරේ සිටියේය.
හැමන් හිල් සිර කඳවුරේ සිටි 71 කැරලිකරුවන් ගෙන් සමහරක් එහි කොමියුනිස්ට් සමාජයක් නිර්මානය කර ගත් හ(89 අරගලයෙන් පසු බූස්ස රඳවුම් කඳවුරේද තත්වය මීට බොහෝ සමානය) එහි සිරකරුවන් ගේ සියළු දේපළ සෙරෙප්පු සහ ටූත් බ්‍රෂ් පවා පොදු දේපළ විය. එහි කොමියුනිස්ට් සමාජයට අනුගත නොවූවන්ට පහර දීම සඳහා පෝරියල් හමුදාව නම් පොලු වලින් පහර දෙන හමුදාවක් ද විය. මෙම පෝරියල් හමුදාවෙන් බේරීම සඳහා විජේවීර ගලවා ගැනීමට යාපනය ප්‍රහාරයට නායකත්වය දුන් බර්ටි රංජිත්ට කරාටේ ප්‍රගුණ. කිරිමට සිදු විය. සමහර දැඩි මතධාරීන් ගේ න්‍යායත්මක දැනුමේ ඌනතාවය කොතෙක් ද යත් කාල් මාර්ක්ස් සහ ෆ්‍රෙඩ්‍රික් එන්ගල්ස් යනු එක් පුද්ගලයෙකු ලෙස සිතා සිටියෝය.
ඝාතන නියෝග

විජේවීර විසින් පුද්ගලිකව කිසිදු මිනිසෙකු මරා දමා නොමැත. එහෙත් ඔහු විසින් මිනිසුන් බොහෝ දෙනෙකු මරා දැමීම සඳහා නියෝග දුන්නේය. තමන් විශ්වාස කරන දේශපාලන න්‍යාය අනුව මිනිසුන් ඝාතනය කිරීමට විජේවීර පෙළඹුනේ මන්ද ? උත්ප්‍රාසය නම් ඔහු පොල් පොට් මෙන් අසංවේදී මිනිසෙකු නොවීමයි. රෝහණ විජේවීර තම පවුලේ සාමාජිකයන්ට සහ මිතුරන්ට සංවේදී පුද්ගලයෙකු විය. එහෙත් සමහර අවස්ථාවලදී තමන් ගේ හිටපු අනුගාමිකයන් පවා ඝාතනය කිරීමට නියෝග දීමට ඔහු පෙළඹුනු අයුරු පෙනී යයි.
සෝමපාල කරුණාසේන විජේවීර සමග ලුමුම්බාවට ගිය සිසුවෙකි. ඔහු අසනීප තත්වයෙන් විජේවීර බැලීමට ඔහු නැවතී සිටි සැනටෝරියමට ගියේය. විජේවීර සිටියේ කෝපයෙනි. ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් විවේචනය කල විජේවීර තමන් ලංකාවට ගොස් විප්ලවයක් කරන බවත් ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන්ව ඝාතනය කරන බවත් කීවේය. මිනිස් ඝාතන පිලිබඳව විජේවීර ප්‍රසිද්ධියේ කතා කල මුල් අවස්ථාව එය වන්නට ඇත. කෙසේ නමුත් විජේවීර සිටි වික්‍ෂිප්ත තත්වය නිසා සෝමපාල කරුණාසේන වැඩි වේලාවක් නොසිට එන්නට ආවේය.
1971 කැරැල්ල ආසන්නයේදී විජේවීර අනුගාමිකයෙකු වූ ප්‍රේමපාල හේවාබටගේ හට රෝහණ විජේවීර(Rohan Wijeweera) විසින් සකස් කරන ලද නම් එකසිය විස්සකින් පමණ යුතු ඝාතන ලැයිස්තුවක් හමු විය. ප්‍රේමපාල විසින් එම ලැයිස්තුව විනාශ කරන ලද අතර ඒ පිලිබඳව රෝහණ විජේවීර ඔහුට දොස් පැවරීය. මෙම ඝාතන සිදු කරන විට ශිෂ්‍ය අංශයට වළවල් කපා තබන ලෙස විජේවීර කල් තබා නියෝග දී තිබූ බව ප්‍රේමපාල පසුව දැනගත්තේය. නමුත් 1971 කැරැල්ල වූ අවස්ථාවේදී ඔහුගේ බොහෝ අනුගාමිකයෝ ප්‍රති විප්ලවවාදීන් ලෙස නම් කරන ලද පිරිස් ඝාතනය කිරීම ප්‍රතික්ශේප කලෝය. මේ හැර ධම්මිකා ද සිල්වා වැනි සාමාජිකාවන් මෙම ඝාතන කෙරෙහි විරෝධය විජේවීර වෙත කෙලින්ම දැක්වූහ. මේ නිසා 1971 කැරැල්ල අවස්ථාවේදී විජේවීර ගේ නියෝග මත ප්‍රති විප්ලවවාදීන් ලෙස ඝාතනය කරන ලද්දේ සුළු ප්‍රමාණයකි.
යම් ලෙසකින් 1971 කැරැල්ල සාර්ථක වූයේ නම් බොහෝ වාමාංශික දේශපාලකයන් ඝාතනය කිරීමට විජේවීර ඉටාගෙන සිටියේය. මේ හැර ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද ඔහුගේ ඝාතන ලැයිස්තුවේ සිටියෝය. මේ හැර විප්ලවය සාර්ථක වූයේ නම් විජේවීර විසින් ලොකු අතුල, සනත් බොරළුකැටිය, මහින්ද විජේසේකර, සරත් විජේසිංහ, කඩවත මිල්ටන් යනාදී තමන් ගේම දෙවන පෙළ නායකයන් ඝාතනය කිරීමේ සම්භාවිතාවක් තිබුණි. 71 කැරැල්ල ආරම්භයටත් පෙර ලොකු අතුලව සහ කඩවත මිල්ටන්ව ඉවත් කරන බව විජේවීර පවසා තිබූ අතර වරක් එය පියතිලක විසින් මාබෝලේ රෙක්සිට පවසා තිබුණි. 1971 කැරැල්ල සාර්ථක වූයේ නම් ඝාතන වැලක් සිදු වීමට නියමිත තිබුණු බව විජේවීරව ලඟින්ම ඇසුරු කල කෙලී සේනානායක සහ නවරත්න බණ්ඩා ප්‍රකාශ කරති.
1971 කැරැල්ල අසාර්ථක වී සිර දඞුවම් විඳ යලිත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් වෙත ආ විජේවීර තුලින් ඝාතන මානසිකත්වය සෑහෙන දුරකට ඉවත් වන්නට ඇත. නමුත් ජේ. ආර් විසින් ජවිපෙ තහනම් කිරීම නිසා විජේවීර යටිබිම්ගත විය. යටිබිම්ගත නොවී අනෙකුත් වාමාංශික නායකයන් මෙන් ඉදිරියට ඒමට ලයනල් බෝපගේ විජේවීරට උපදෙස් දුන්නද ඔහු තුල තිබූ පැරනොයිඩ අදහස්, අධි තක්සේරුව මත ඔහු දිගටම සැඟවී සිටියේය. ඒ අතර විජේවීර ජ.වි.පෙ දෙවන කැරැල්ලට සූදානම් විය.
ජ.වි.පෙ දෙවන කැරැල්ල සමයේදී වාමාංශික නායකයන් මෙන්ම ද්‍රෝහියන් ලෙස හඳුන්වන ලද තමන් ගේ හිටපු අනුගාමිකයන් ඝාතනය කරන ලෙසට විජේවීර උපදෙස් දුන්නේය. මේ නිසා බොහෝ පිරිසක් ඝාතනයට ලක්වූ අතර ධර්මසේකර, කෙලී සේනානායක, ප්‍රේමපාල, නිමල් මහරගේ, රොබට් ජයසේකර වැන්නවුන් සැඟවී ජීවිත බේරාගත්හ. ලොකු අතුල, සෝමසිරි කුමානායක, ගාමිනී බාස් යන හිටපු අනුගාමිකයන්ද 71 කැරැල්ලේදී තමන්ගෙන් ප්‍රශ්න කල උපාලි සෙනෙවිරත්න, ඇන්ටන් ජෙගනාදන් යන පොලිස් නිලධාරීන්ද ඔහුගේ ඝාතන ලයිස්තුවේ මුලින්ම සිටි පුද්ගලයෝ වෙති. විජේවීර විසින් නියෝග දී මරා දැමුණු නන්දන මාරසිංහ විජේවීර වෙනුවෙන් ලේ කඳුළු හෙලූ අපරිමිත කාර්‍යභාරයක් කල පුද්ගලයෙකි. නන්දන මාරසිංහ ඝාතනය කිරීම මගින් විජේවීර තුල තිබූ හීනවූ සහකම්පනීය අවබෝධය (lack of empathy) පෙනී යයි.
ද්‍රෝහියන් කායික වශයෙන් විනාශ කල යුතු බව විජේවීර ඇදැහූ අතර ඝාතනය කල පුද්ගලයන් පිලිබඳව ඔහුට කිසිම පශ්චාත්තාපයක් නොවීය. වරක් ජවිපෙ හිටපු සාමාජිකයෙකු වූ ප්‍රේමලාල් රණවීරගේ 1975 කාම්බෝජයේ බලය අල්ලාගත් පොල්පොට් පාලනය ගැන ලියූ ලිපියක් විජේවීර අතට පත් කලේය. එම ලිපියේ පොල්පොට් විසින් කරන ලද ජන ඝාතන ගැන සඳහන් විය. එහෙත් එම ලිපිය කියවූ විජේවීර පොල්පොට් විසින් කරන ලද ජන ඝාතන පිළිබඳ ප්‍රවෘත්තිය බොරුවක් බවත් මෙය සෝවියට් ඔත්තු සේවය ගෙන යන බොරු ප්‍රචාරයක් බවත් කියන ලදි. ඔහු පොල්පොට්ව සාධාරණීකරනය කලේය.

ළමා සොල්දාදුවන්
ලංකාවේ ළමා සොල්දාදුවන් මුලින්ම ඇති කලේ රෝහණ විජේවීර විසිනි. 1971 දී ළමා සොල්දාදුවන් හඳුන්වන ලද්දේ රතු ගැටවු ලෙසටය. ප්‍රභාකරන්ටත් පෙර ඔහු රතු ගැටවු නමින් ළමා සොල්දාදුවන් තම ව්‍යාපාරය තුල ඇති කලේය. 71 කැරැල්ලේදී සමහර රතු ගැටවු නොහොත් ළමා සොල්දාදුවන් මිනිස් ඝාතන පවා කරන ලදි.
මෙවැනි රතු ගැටයෙකු වූ තෝලංගමුව ම.ම විද්‍යාලයේ 16 හැවිරිදි පාසල් සිසු කෑගල්ලේ ජයතිලක 1971 කැරැල්ල සමයේදී උදැල්ලකින් පහර දී පබිලිස් නම් පොලිස් ඔත්තුකාරයෙකු මරා දමන ලදි . එසේම එවැනිම රතු ගැටයෙකු වූ ජයතිස්ස කුමාර 71 දී කඩුගන්නාව පොලිසියට පහර දී නිලධාරියෙකු මරා දැමුයේය. 1988 / 1989 ජවිපෙ දෙවන කැරැල්ලේදීද ළමා සොල්දාදුවන් මගින් මිනී මැරවීම, බස් , රජයේ ගොඩනැගිලි ගිනි තැබ්බවීම කරවන ලදි. 88/89 භීෂණ සමයේදී ලංකා ගුරු සංගමයේ ජොර්ජ් රත්නායකට පිහියෙන් ඇන මරා දමන ලද්දේ පාසල් සිසුවෙකු වූ (ළමා සොල්දාදුවෙකු) සමන් කුමාර මේරුසිංහය. එසේම මහනුවර ඇඳිරිනීතිය දිනක කඩේ වෙළදාම් කිරීම නිසා 1989 දී එම කඩයට අත් බෝම්බයක් ගැසීමට යාමෙන් බෝම්බය අතේ පත්තුවී අත වැලමිට ලඟින් වෙන්වූයේද පාසැල් සිසුවකුගේය.
1971 කැරැළ්ලේ උරුමය
1971 කැරැල්ලේ විජේවීර ගේ දායකත්වයද විවාදාත්මක වෙයි. කැරැල්ලක් ආරම්භ කිරීම සඳහා ඔහු උපස්තරය සැකසුවේය. එහෙත් 1971 කැරැල්ල සිදු වන අවස්ථාවේදී ඔහු සිටියේ බන්ධනාගාරයේය. 71 ප්‍රහාරය සඳහා සංඝාරාමයේදී ගත් තීරණයට ඔහුගේ දායකත්වයක් නොතිබුණි.
71 කැරැල්ලේදී අවි සමග කෙලින්ම ආරක්‍ෂක අංශ සමග ගැටුණු නායකයන් වූයේ ලොකු අතුල ( සටන් පැවති අවස්ථාවේදී ලොකු අතුලගේ ධෛර්‍යය හීනවී ඔහු දෙවන පෙළ සාමාජිකයෙකු මට්ටමට වැටී බෝල සමරේ, කාගම උපසේන වැනි උප නායකයන් ඉදිරියට ආවෝය), සරත් විජේසිංහ (කැරැල්ලේදී අත් වැරදීමකින් වැදුනු වෙඩිල්ලක් වැදී මිය ගියේය) , මිල්ටන් (කඩවත පොලිසියට එල්ල කල ප්‍රහාරයේදී මිය ගියේය) , සනත් බොරළුකැටිය ( කැරැල්ල පසු බසින විට උඩුගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මරා දමන ලදි) , බර්ටි රංජිත් (විජේවීර බේරා ගැනීම සඳහා යාපනය සිර ගෙදරට කල පහර දීමේදී අත් අඩංගුවට පත් විය) වැන්නවුන් ය.
ප්‍රතික්‍රියා මනස
විජේවීර තුල ප්‍රතික්‍රියා මනසක් තිබූ බව පියසිරි කුලරත්න පෙන්වා දෙයි. එය හැම්ලට් චරිතය මෙන් ඉවසීම තීක්‍ෂණය අවශ්‍ය ස්ථාන වල ආවේගයෙන් ඉක්මන් තීරණ ගැනීමද ක්‍ෂණික දැඩි තීරණ අවශ්‍ය වූ ස්ථාන වලදී අක්‍රියව සිටි බවටද පියසිරි කුලරත්න පෙන්වා දෙයි. උදාහරණයක් ලෙස 71 පහරදීමේ තීරණයේදී විජේවීර ව්‍යාකූළ විය. ඔහු ලාල් සෝමසිරි අත එක් පණිවිඩයක්ද ( පහර දෙන්නේ නම් 500 ක පිරිසක් සමග යාපනය බන්ධනාගාරයෙන් ඔහුව මුදවා ගන්නා ලෙසද ) ඔස්මන් ගේ මව වන සීලවතී අත ( පසුබසින්න) වෙනත් පණිවිඩයක්ද එවයි.
එසේම තමන්ට වාසිදායක බාහිර යථාර්ථය මිස අහිතකර තථ්‍යතාවන් නොසලකා හැරිය බව පියසිරි කුලරත්න වැඩි දුරටත් පවසයි. එක් අවස්ථාවකදී විරාජ් ප්‍රනාන්දු 1971 විප්ලවය සිදු විය යුතු ආකාරය ගැන රෝහණ විජේවීර සමග තර්ක කලේය.

1988-89 භීෂණ සමයේ යම් ලෙසකින් තමා අත් අඩංගුවට පත් වුවහොත් ජනාධිපති ප්‍රේමදාස ඔහුට සමාව දී ආණ්ඩුවේ කොටස් කාරයෙකු කර ගනු ඇතැයි ඔහු සදොස් ලෙස විශ්වාස කලේය. තම තත්වය අධි තක්සේරු කල විජේවීර තම සතුරන් අව තක්සේරුවකට ලක් කරන ලදි.
විඳදරාගැනීමේ අවම භාවය
1970 දී හම්බන්තොට දී විජේවීරව ප්‍රථම වතාවට පොලිස් අත්ඩංගුවට පත් වූ විටදී ඔහුව ප්‍රශ්න කරන ලද්දේ රහස් පොලිසියේ නිලධාරියෙකු වූ ෂර්නි විජේසූරිය මහතාය. ෂර්නි විජේසූරිය මහතා පවසන අන්දමට විජේවීර උද්ධච්ච චරිතයකි. එහෙත් ශාරීරිකව දුර්වල නිසා ඔහු බියසුළු සහ තර්ජනය හා වධයන් හමුවේ දරා සිටීමේ හැකියාව ( endurance ) නැති පුද්ගලයෙකි. බියට පත්වූ විට විජේවීර කළබල වන බවත් පීඩාකාරී තත්වය මඟ හරවා ගැනීම සඳහා ඔහු ඇසූ ප්‍රශ්න වලට පිලිතුරු දුන් බවත් ෂර්නි විජේසූරිය මහතා කියයි. වරක් මැලේරියා ජීප් රථයට බියවූ විජේවීර පැන දිව් අතර, දරා ගැනීම අතින් ශක්තිමත් වූ නන්දන මාරසිංහ වැන්නවුන් සමග සංසංදනය කිරීමේදී විජේවීර සිටියේ බොහෝ පසුපසිනි.
භෞතිකවාදියෙකු නොවූ භෞතිකවාදියා
විජේවීර අධ්‍යාත්මික වශයෙන් අවදි නොවූ චරිතයකි. ආගම් සම්බන්ධයෙන් විජේවීරට තිබුනේ උදාසීන පිළිවෙතකි. භෞතිකවාදියෙකු ලෙස පෙනී සිටියද විජේවීරගේ අභ්‍යන්තරය සියයට සියයක් භෞතිකවාදී නොවීය. 71 කැරැල්ල ආසන්නයේදී ඩී.ඩී සිල්වාගේ බිරිඳ අංජනමක් බලා විප්ලවයෙන් පසු නායකයා වන්නේ විජේවීර නොවන බව කී විට ඔහු එය බැරෑරුම්ව ගත්තේය.
කම්පන අත්දැකීම්

1975 සිරගතව සිටියදී ද 1982 ජනාධිපතිවරණ පරාජයෙන් පසුවද රෝහණ විජේවීර තුල විශාදයේ ලක්‍ෂණ පහළ විය. පොලිස් අත් අඩංගුවේදී විජේවීර කායික මානසික වද බන්ධයන්ට ලක් විය. විජේවීර නිතරම පොලිසිය සහ පොලිස් ස්ථානයන් බියෙන් මඟ හැරි බව ලයනල් බෝපගේ මහතා පවසයි. ඔහු තුල පශ්චාත් ව්‍යසන ක්ලමථ තත්වයන් නිසා මතුවූ පරිවර්ජනය (Avoidance) තිබුනේද යන්න මේ අනුව සිතා බැලිය යුතුය.
මාගේ අදහස අනුව විජේවීර තුල Posttraumatic embitterment disorder (PTED) තත්වය තිබූ බවට සිතීමේ සාධක තිබේ. මෙම Posttraumatic embitterment disorder (PTED) තත්වය PTSD (Posttraumatic stress disorder ) නොහොත් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ආදර්ශයට ගෙන ජර්මානු මනෝ විද්‍යවරයෙකු වන මහාචාර්ය මයිකල් ලින්ඩෙන් විසින් ඉදිරිපත් කරන ලද්දකි.මෙම Posttraumatic embitterment disorder (PTED) තත්වයෙන් පෙලෙන්නන් තුල අවිඥානික වෛරය, ක්‍රම විරෝධී බව, ලෝකය අයහපත් අසාධාරණ ස්ථානයක් බවත් එම ලෝකය කෙරෙහි එදිරිය, සමාජය හා නීති පද්ධතීන් කෙරෙහි අප්‍රසන්න තිත්ත භාවය, අපිළිසරණ හැඟීම්, පළි ගැනීමේ ආශාව, සහකම්පනීය හැඟීම් අඩු බව, දුක්මුසු මනෝ භාවයන්, තිබෙන බව මහාචාර්ය මයිකල් ලින්ඩෙන් පෙන්වා දෙයි.




| Dr. Ruwan M Jayatunge