ආරධනා කර තිබූ අතර අජිත් පෙරේරා හැර අනිත් දෙදෙනා ඊට සහභාගී විය.
මෙහිදී දයාසිරි මෙන්ම සංවාදය සදහා එක්වූ චරිත හේරත්ද සිය සංවාදයේදී එක් කරුණක් පිළිබඳව දැක්වූ අදහසක් ඉතා වැදගත් ය. ඔවුන්ගේ අදහස සරලව ප්‍රකාශ කරන්නේ නම් මෙසේය. "ලාංකිකයන්ගේ ආර්ථිකය සම්බන්ධිත අදහස මතවාදී තලයේදී වමට ආශක්තය. එනම් පොදු ජන විඥානය (කොමන් සෙන්ස්-මේ වචන චරිත හේරත්ගේය) වම ය. දක්ෂිණාංශික ප්‍රතිසංස්කරණ පිළිබඳව යෝජනා කිරීම මෙවැනි සමාජයකදී කරන්නේ නම් ඒ සදහා මේ වමට බර මතවාදය ඛන්ඩනය කරන්නේ කෙසේද ?"
බැලූ බැල්මට මේ ප්‍රශ්නයේ මූලය සමකාලීන ලංකාවේ විපක්ෂ භූමිකාව තුළ පැල්මක් ඇතිකරන බව පැහැදිලිය. නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස වැනි අනාගත ජනාධිපති සිහින දකින්නන්ද මේ ගැටලුව තුළ සිරවී ඇති බවත් පැහැදිලිය. අපි මේ ගැටලුව ලෙහා ගනිමු.
වම, යනු කුමක්ද ?
ලෝක ඉතිහාසය තුළ වම(left) යන අදහස මතුවෙන්නේ ප්‍රංශය ආශ්‍රිත 1789 පූර්ව විප්ලව යුගයේය. 16 වෙනි ලුවී රජු විසින් "එස්ටේට්ස් ජෙනරාල්" නැමති ප්‍රංශ පාර්ලිමේන්තුව කැදවනු ලැබූ අතර රදලවරු, පූජකයින් හා පීඩිත ජනයා නැමැති පංතීන් තුන එහිදී නියෝජනය විය. මේ පාර්ලිමේන්තුව තුළදී පීඩිතයින් අසුන් ගත්තේ එහි වම්පස වූ අතර "වම" යන අදහස පීඩිතයින් වෙනුවෙන් පෙනී සිටියි යන අදහස ඇති වන්නේ එහිදීය. මෙහි මූලික අවස්ථාවේදී වම පිළිබඳව මේ අදහස මාක්ස්වාදය හා ගැටගැසෙන්නේ නැත.
කාල් මාක්ස් උපන්නේ 1818 වනවිට එය ප්‍රංශ විප්ලවයෙන් පසු යුගයයි. මාක්ස් විසින් ඉතිහාසය යනු පංති අතර සටන් වල ඉතිහාසය ලෙස අර්ථ දක්වා කම්කරු පංතිය (සිය ශ්‍රමය හැර වෙන කිසිවක් විකිණීමට නොමැති මනුෂ්‍යයා) පිළිබඳව අලුත් තිසීසයක් නිපදවන විට ඒ හා බැදුනු දේශපාලන ව්‍යාපාර (සම සමාජ, කොමියුනිස්ට්) වම හෝ වමාංශික වීමේ මූලය ඇත්තේ ඒවා පීඩිතයින් වෙනුවෙන් පෙනී සිටීමේ අර්ථයෙන් ප්‍රංශයේ පූර්වාදර්ශය අනුව සිටගැනීමෙනි. ඒ අනුව වම හෝ වාමාංශික යන අර්ථයේ මූලික නිරුක්තිය ප්‍රංශයේදී නිපදවෙන අතර එය මාක්ස්වාදී ව්‍යාපාර විසින් අත්පත් කරගැනීම ඓතිහාසිකය.
ලංකාවේදී "වම" යනු කුමක්ද ?
ලංකාවේදී වම යන අර්ථය ජනනය වන්නේ සම සමාජ පක්ෂය හරහා වනවිට පලමු ලෝක යුද්ධයෙන් පසුව(1914-1918) ඇතිවූ "පොපි මල්" ව්‍යාපාරයට එරෙහිව ඇරඹි "සූරිය මල් "ව්‍යාපාරය ත්, 1934-1935 දී ඇති වූ මැලේරියා වසංගත තත්වයේදී මැලේරියා මර්ධන ව්‍යාපාරය හරහා ඇතිවූ තත්වයේදී මේ මාක්ස්වාදී තරුණ කොටස් වල පෙනී සිටීමත් නිසාම (එස්.ඒ.වික්‍රමසිංහ, ඇන්.ඇම්.පෙරේරා වැනි..) ලංකාවේදී වම යන අර්ථය ඔවුහූ විසින් පහසුවෙන් අත්පත් කරගත්හ. ඒ අනුව මැලේරියාවෙන් දුර්මුඛ වූ ග්‍රාමීය ජනයා අතර එන්.එම්.පෙරේරා "පරිප්පු මහත්තයා" වෙන්නේ (දුප්පත් ජනයාට පරිප්පු බෙදා දුන් නිසා)ඒ නිසාය.
ලංකාවේදී වම යන අර්ථය සුභ සාධනය හා ගැටගැසීම උන්මූල දෝෂයකි. එය දේශපාලන බලය ලබාගැනීමේ මූලික උපක්‍රමය වෙත එලැබුනේම සුබ සාධනය හරහා වන විට කම්කරු පංතිය සංවිධානය කිරීම වෘත්තීය සටන් හරහා මතුවෙද්දී (වරාය වැනි ස්ථාන වල) ඒවා වැටුප්, සේවක අයිතිවාසිකම් වැනි කාරනා හරහා දියවී යාම නිරීක්ෂනය කල හැකිය.1980 වැඩ වර්ජනයේදී ජේ.ආර්. විසින් පොඩිපට්ටම් කරන්නේ මේ වෘත්තීය සමිති හරහා මුල් බැසගෙන තිබූ සුබ සාධනය පිළිබඳ දෘෂ්ටිවාදයේ අවසානයයි. සරලව කිවහොත් සම්ප්‍රදායික ට්‍රොස්කිවාදී දේශපාලනයට ලංකාව වැනි පසුගාමී චින්තනයක් සහිත රටකට යා හැකි දුරයි.
ජ.වි.පෙ. "වම".
ජ.වි.පෙ.මූලික ලෙසම සම්ප්‍රදායික ලාංකීය වමෙන් කැඩෙන්නේ රෝහන විජේවීරගේ පංතිමය මූලයන් හා ඇන්.ඇම්., කොල්වින් වැනි වාමාංශිකයන්ගේ පංති මූලයන් අතර වෙනස්කම නිසාම නොවේ. ආර්ථික වශයෙන් පීඩිතව උපන් නමුත් අධ්‍යාපනය හරහා ඉහලට නැගගත් එහෙත් සමාජය තුළ සිය ස්ථානය තහවුරු කරගත නොහැකි සුලු ධනේෂ්වර ග්‍රාමීය තරුණ කොටස් විජේවීර සංවිධානය කලේය. එය කම්කරු පංතිය සංවිධානය කල ව්‍යාපාරයක් නොවනවාක් මෙන්ම පීඩිත සාමාන්‍ය ජනයා සංවිධානය කල ව්‍යාපාරයක්ද නොවීය.
ලාංකීය සමාජයේ අර්ථයෙන් ඔවූහූ නිපදවූ සංස්කෘතික වෙනස තිබුනේ රැවුල්, කොන්ඩ හා ඇදුම් පැලදුම් ආදී බාහිර අලංකරණය තුළ පමණි. මතවාදීව ඔවූහූ ජාතිකත්වය තුළත් ඉන්පසු දශක වලදී ජාතිවාදය තුළටත් ගමන් ඇරඹූ අතර එහි පොදුජන ආකෘතිය වූවේ ග්‍රාමීය විඥානය විනා ඊට එහා ගිය දියුණු කාඩර්වරයෙකු නිපදවිය හැකි බුද්ධිමය ව්‍යායාමයක් ලෙස නොවේ. සරලවම කිවහොත් ජ.වි.පෙ. ලෙනින්ගේ වෙලුම් වලින් එහාට කිසිම යුගයක ගමන් නොකල අතර සිය දේශපාලන අභිලාෂන් වෙනුවෙන් ලෙනින්ව පවා නිර්ලජ්ජිත ලෙස පාවා දුන්නහ. ජ.වි.පෙ.බලය ලබාගැනීමේ පූර්ව යුගයට එන විට මේ අධ්‍යාපන ඉනිමගේ ඉහලට නැගගත් පංතිය කෙරෙහි කොපමණ "බලයක් " රැදවූවාද කිවහොත් එය නැති ආචාර්‍ය උපාධි ඇති බවටත් සිය නම්වලට ඉදිරියෙන් දොස්තර, නීතිඥ, ඉංජිනේරු, මහාචාර්‍ය වැනි පට්ටම් දමා ගැනීමේ උමතුවකිනුත් පෙලුනි. පීඩිතයින් වෙනුවෙන් පෙනී සිටින බව කියන දේශපාලන ව්‍යාපාරයක් සිය වෘත්තීයන් පිළිබඳව පෙලෙන මේ දැඩි අනුරාගය හරහා මතුවන්නේ තමන් සුවිශේෂී පිරිසක් ය යන අදහසේ පංතිමය මානයයි. සමාජීයව තමන්ගේ වෙනස වෘත්තීන් හරහා මතුකිරීම සුලු ධනේෂ්වර රෝගයක් වනවා පමණක් නොව එය සිවිල් බලය සහිත මුද්‍රාවක් තමන් මත පිහිටුවා ගැනීමකි.
වාමාංශික අර්ථයෙන් ජ.වි.පෙ.යනු "වම" (ප්‍රංශ අර්ථය සිහියට ගන්න) නියෝජනය කරනවා යැයි අදහස් කිරීමම ඛන්ඩනය කල යුතුය. එය ඉදිරියේදී ඔප්පු කිරීම සමකාලීන ලංකාව තුළ දේශපාලනයේ වෙනස් කිරීමටද සමපාතය. මේ ගැටලුව ලඟ අපි නිර්භයව සිටින්නේත් අපි ඉදිරිපිටදී ජ.වි.පෙ. ඇතුලු සියලු දෙනා හොරගල් අහුලන්නේත් ඒ නිසාය.
සමකාලීන යුගයේ "වම" යනු කුමක්ද ?
මේ සදහා දිය හැකි පැහැදිලි පිලිතුරනම් විධිමත් ආර්ථිකය තුළ බහා ඇති සුරක්ෂිත ජනයා වෙනුවට(රාජ්‍ය සේවය හා ස්ථිර පුද්ගලික ක්ෂේත්‍රය) අවිධිමත් ආර්ථිකය වෙත විසිකර ඇති ජනයා වෙනුවෙන් පෙනී සිටිය යුතු බවයි. රාජ්‍ය සේවයේ ලක්ෂ 15 ත් පුද්ගලික ක්ෂ්‍රේත්‍රයේ ලක්ෂ 05 ක පමන පිරිසකුත්(ලක්ෂ 20)හැර අන් සියලුම දෙනා ඇත්තේ සුරක්ෂිත නොකරන ලද වගනොකියන පොරපිටියකය.
මත්ද්‍රව්‍ය සිට හිඟාකෑම දක්වා පුලුල් පරාසයක විහිදී ඇති මේ අවිධිමත් ආර්ථිකය තුළ පොරකෑම හැර අන් යමක් ඉතිරි වී නැත. විශ්‍රාම වැටුප්, ETF, EPF, සෞඛ්‍ය රක්ෂන,නිවාස ණය, බැංකු ණය, සම අධ්‍යාපන අවස්ථා, සියල්ල මේ පීඩිතයින් වෙත අහිමිය. සමකාලීන වම යනු මෙන්න මේ පීඩිතයින් වෙනුවෙන් පෙනී සිටින බුද්ධිමය ව්‍යායාමයක් විනා වසන්ත මුදලිගේ පන්නයේ වදුරු නැටුම් නොවේ.
අපි "වම"නම් දිනන දකුණේ කරන්නේ මොන මගුලක්ද ?
ලාංකීය ශ්‍රමය විනයගත කිරීමෙහි රාජ්‍ය මූලෝපාය අසාර්ථක බව අපිට ඇස්පනාපිට ඔප්පු වී තිබේ. සියලු ආයතන බිඳවැටී ඇත්තේ එහි පාදමෙන්මය. ලංකාවේ වම ශ්‍රමය පැත්තේ සිටගත්තාට අපි ප්‍රාග්ධනය පැත්තේ හිට ගන්නේ මේ මංසන්ධියේදීය. ලාංකීය ජනයා වෙත බුද්ධිමය හා ඥානමය සන්ධර්භයේදී දියුණු න්‍යායික භාෂාවකුත් ආර්ථික තලයේදී ප්‍රාග්ධනය ගලායාමකුත් අපේ බලාපොරොත්තුවයි. අපි දිනන දකුණ තුළ කරමින් ඉන්නේ ඒ සදහා වන අලුත් විපක්ෂයක් නිපදවීමයි. ඒ සඳහා කරන සංවාද යනු නිදිවැදීමක් ද නොවේ. බොහෝ තක්කඩියන් සහ මෝඩයන් චම්පික හෝ දයාසිරිව දුටුවිට කලබල වන්නේත් ඔවුන්ව දීප්ති හා පෝරුවට නග්ගන්නේත් ඇයිද යන්න අපි නොදන්නවා නොවේ. විජේවීරවාදය විසින් දශක ගනනාවක් පුරා මතුරන ලද සංවාද භාෂාව තුළ පස-මිතුරුතාවය තුළ සතුරුබාවය පමණක් උත්කර්ශවත් කර ඇත. ඊට එරෙහිව අපි යෝජනා කරන්නේ පස-මිතුරුතාවය තුළම ගිලී ඇති මිතුරුබාවයද පිළිගන්නා ලෙසයි. ටිල්වින් සිල්වාව අපි පිළිගන්නේ සතුරුබාවය අත් හැර අපිට සම්මුඛ වන මොහොතේ විනා පැලවත්තට වී ගේම් ප්ලේ කරන මොහොතේ නොවේ.
චරිත හේරත්ගේ සිට දයාසිරි ජයසේකර දක්වාත් නාමල්ගේ සිට සජිත් දක්වාත් දේශපාලනිකව බියවන කලාපය අපේ වඩාත්ම නිර්භීත හා ආශාකරනම කලාපය වීම නිසා අපිව මගහැරීම ලාංකීය මනුෂ්‍යයාගේ දෛනික පුරුද්දකි. මහ අනෙකා විශ්වාස කරමින් ඉන්නා කෙනෙකුට සමාජය සදහා නව ප්‍රවාද යෝජනා කල නොහැකිය.
අපි වෙත එන සදාචාර විනිශ්චයන් වලට ප්‍රතිචාර දැක්විය හැක්කේ එහි ඇති අවිඥානික කලාපයට පහර දීමෙනි. විනෝදයෙන් ආතුරව ඉන්නා සමාජයකට අපි යෝජනා කරන නූතනත්වයේ වැඩසටහන "ඇසිඩ්" වීම පිළිබඳව කරන්නට දෙයක් නැත. රෝගියාට ප්‍රතිකාර කිරීමටනම් රෝග ලක්ෂණ කියවාගත යුතුය. ප්‍රතිකාර ඇරඹිය හැක්කේ ඉන් පසුවය. වඩා නිවැරදි කරගත යුත්තේ ආණ්ඩුව නොවේ, බලය ලබාගැනීමට සිහින දකින විපක්ෂය වීම අපි ඉදිරියේ ඇති අභියෝගයයි.
(උපුටා ගැනීම - Samabima Party ෆේස්බුක් පිටුවෙන්..)




