ලංකාව නිදහසින් පසු පාලනය වූවේ දෘෂ්ටිවාද දෙකකිනි.
1. බුද්ධාගම
2. මාක්ස්වාදය

ප්‍රංශ දාර්ශනික ජින් ප්‍රංශුවා ලියෝතාද් ඉදිරිපත් කල සුවිශේෂී සංකල්ප දෙකක් අතර "මහා අඛ්‍යාන (meta-narretives) බිදවැටීම" සාකච්ජා කරයි. මින් ඔහු අදහස් කරන්නේ ලෝකය පාලනය කල මහා සත්‍යයන් පිළිබඳව මනුෂ්‍යයන්ගේ ඇති විශ්වාසය බිඳ වැටී ඒවායෙහි ඇති සමාජයේ දිශානතිය තීරණය කිරීමේ බලය දියවී යාමයි. සිදුවන්නේ ඒවායේ ඇති සත්‍ය පිළිබඳව අදහස වියැකී යාම නොව ඒවා මත තිබූ හර පද්ධතීන් හා විශ්වාසයන් ඉරිතලා යාමයි.
ඉහත පරිදි ලංකාව පාලනය කල දෘෂ්ටිවාද අතරින් මාක්ස්වාදය වියැකී යාම ආරම්භ වෙන්නේ උතුරේ අරගලය හා සාපේක්ෂවය. උතුරේ ජනයාගේ විමුක්ති අරගලය ජාතිවාදය හා ගැටගසා එය විනාශ කල යුතුයැයි යන ස්ථාවරයට ජ.වි.පෙ. වැනි මාක්ස්වාදී පක්ෂයක් ඇතුල් වූ පසු මාක්ස්වාදය තුළ ඇති ප්‍රධාන පසමිතුරුතාවය වන පංති අරගලය, ජාතීන් අතර අරගලයක් කරා සීරු-මාරු වෙයි. මෙහි සරල අදහසනම් පීඩිතයා හෝ කම්කරුවා සිය විමුක්තිය වෙනුවෙන් පංතිය අත් හැර ජාතිය තෝරාගන්නා බවයි. වෙනත් වචන වලින් කියන්නේ නම් පංතියෙන් ලැබූ අනන්‍යතාවය අත හැර ජාතියෙන් (සිංහල) අනන්‍යතාවයක් ලබාගන්නා බවයි.
පංති අරගලයේ කේන්ද්‍රය ජාතිය වෙත මාරු කල පසු එය මාක්ස්වාදය හා සම්බන්ධිත නැත. ඒ අනුව විජේවීරගේ සිට ටිල්වින් හා කුමාර් දක්වා පදාසය සැබෑ මාක්ස්වාදීන් නොව මාක්ස්වාදී වෙස් මුහුණු පලදාගෙන ඇති ජාතිවාදී තක්කඩියන් ය. 1989 බර්ලින් තාප්පයේ බිඳ වැටීමත් ගොර්බචොප්ගේ ප්‍රතිසංස්කරණත්, සෝවියට් සමූහාණ්ඩුව විසිරී යාමත් හරහා ලෝක මට්ටමෙන්ද ඒ ව්‍යාපෘතිය අවසන් විය.
චීනය රාජ්‍ය-ධනවාදය දෙසට පියවර එසැවූ අතර ලතින් ඇමෙරිකානු කලාපයේ විප්ලවීය ජීව ගුණය ධනවාදය හරහාම අවසන් විය. ලංකාවේදී නම් මාක්ස්වාදයේ අවසානය ජ.වි.පෙට. බලය ලැබීමත් සමඟ අවසන් වූ අතර ඔවුන් නිර්-ප්‍රභූ ලෙස වැදලදගත් මිත්‍යාව උන්නතිකාමී වෘත්තිකයන් පංතියක් විසින් විහිලුවක් බවට පත් කරමින් සිටී. රාජ්‍යය ව්‍යුහාත්මකව පංතිය වෙනුවෙන් වෙනස් කිරීමට ඇති නොහැකියාව යට ඇත්තේ "විජේවීරවාදයේ" සැබෑව වන පහල මැද පංතිය සංවිධානය කිරීමේ ඛේදවාචකයයි. සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ දෛනික ජීවිතය වෙනස් නොකර කරන රාජ්‍ය පාලනය පංතිමය අර්ථයකින් වාමාංශික නොවේ.

ක්‍රිස්තියානිය ධනවාදය හා බැදී පැවතීම එහි කේන්ද්‍රයේ රටවල් වන ඇමෙරි-යුරෝ තත්වයේම ඓතිහාසික දිගුවකි. පල්ලිය ධනවාදය ඉදිරියේ යටත් වී ඒ හා සන්ධාන ගත වෙන්නේ ඒ නිසාය. ඉස්ලාමය ධනවාදය කෙරෙහි දක්වන විරුද්ධාභාෂය දිගටම නඩත්තු කරන අතර එය හිංසනීය පැසේජ් එකක් වෙත ඇතුල් වීම එහි අනිවාර්‍ය ඵලයකි.
බුද්ධාගම ලංකාව තුළ ව්‍යාප්ත වීමටත් එය මුල් බැසගැනීමටත් ප්‍රධාන හේතුවක් වූවේ එය රාජ්‍යය හා මුල සිටම සම්බන්ධ වීමයි. නැතහොත් රාජ්‍යයේ පූර්ණ අනුග්‍රහය ඊට හිමිවීමයි. බ්‍රිතාන්‍යයින් පවා ලංකාව පාලනය කිරීමේදී මේ ආගමික සංස්ථාපිතයට නිදහසේ වැඩෙන්නට ඉඩ දුන් අතර ඊට අනුග්‍රහයද දැක්වීය. ධනවාදය තුළ ඇති වන පංතීන් වල ගැටුම "කර්මය" ලෙසින් මිනිසුන්ගේ හිත් හි වගා කරන ආගමකට ධනවාදී පාලකයන් කැමති වීම ඊට සමානුපාතය.
බුද්ධාගම දෘෂ්ටිවාදයක් ලෙස ග්‍රාමීයව ක්‍රියාකරන්නේ එහි මූලයන් ග්‍රාමීය ජනයාගේ ජීවන පුරුදු හා බද්ධ වී ඇති නිසාය. මහ-සමාජයෙන් වෙනස්ව ප්‍රජාව සංවිධානය කිරීමෙහිලා පන්සල කරනු ලබන කාර්‍ය ඉතා විශාලය. එය වෙසක් නාට්‍ය, බැති ගී,පිරිත් පිංකම්, වස් පිංකම්, දන්සැල්, දහම් පාසැල් ආදී වශයෙන් පුලුල්ව පැතිරී ගිය සංවිධාන රටාවකි. ඒ තුළම සංඝයා වහන්සේලාට සිවිල් බලයක් ආදේශ වන අතරම ඒ ඒ ප්‍රජාවන් පාලනය කිරීමේ බලයද හිමිවේ. පැරණි යුගයේද පන්සල් ආශ්‍රිතව තිබූ අශ්ලීල දේවල් පිළිබඳ කතාන්දර තිබූ නමුත් ඒවා ඒ ඒ ප්‍රජාවන් තුළම දියවී ගියේය. නැතහොත් ඒවා මහ-සමාජය වෙත වෛරල් වන යුගයක් හෝ මාධ්‍යයක් එකල තිබුනේද නැත.

ධනවාදයේ සීඝ්‍ර වර්ධනයත් සමග මනුෂ්‍යයින්ගේ ආශාව නිපදවන වැඩබිම වෙලදපොල බවට පරිවර්තනය වෙයි. එය සිය ලාභය වෙනුවෙන් නිෂ්පාදිත භාණ්ඩ හා සේවා වෙනුවෙන් මනුෂ්‍යයින්ගේ අශ්ලීල වූ ආශාවන්ද මතුපිටට ගෙනෙයි. මනුෂ්‍යා සිය වරදකාරීභාවයෙන් ගැලවීම පිනිස පන්සල් ලස්සන කිරීම හා සංඝයා වහන්සේලාට "සැප දීම" ආරම්භ වෙන්නේ මේ මංසන්ධියෙන් පසුවය. සෑම පන්සලක් වටාම ඇති දායක සභාවන් යනු පැරණි අර්ථයේ දායක සභාවන් නොව පන්සල් කානිවල්කරනය කරන නව-දායක සභාවන් ය. ඔවූහූ මේ සංඝයා වෙත BMW සිට ස්ත්‍රීන් දක්වා සපයා දෙන දායකයින් ය. සිය ඇත්ත ජීවිතයේ ඇති කුනුවී ගිය ආත්මය සුවපත් කිරීමට පන්සල් වලට සැප දෙන මේ ප්‍රජාව ඇතිවීමත් සමඟ බුද්ධාගමේ අවසානය ආරම්භ විය.

දේශපාලනිකව බැලුවහොත් උතුරේ අරගලය නිසා ලංකාවේ මාක්ස්වාදීන් ජාතිවාදීන් වන අතරම බෞද්ධාගමිකයන් මෛත්‍රිය වෙනුවට වෛරය තෝරාගන්නන් බවට පත්වේ. ප්‍රභාකරන් විසින් දකුණේ ජනතාව වෙත දුන් තෑග්ග රාජපක්ෂ රෙජීමය බව දීප්ති කියන විට එහි සංකීර්ණ අදහස කිසිවෙකු වටහා ගත්තේ නැත. කුෂ් මත්‍ද්‍රව්‍ය සමඟ සංඝයා ගුවන්තොටුපොලේදී හසුවීමත් අටමස්ථානයේ නායක හිමි නමකට ස්ත්‍රී-දූෂන චෝදනා එල්ල වීමත් හරහා කියා පාන්නේ ධනවාදය මේ ආගමික සංස්ථාපිතය පාදමෙන්ම පුපුරවා හැර ඇති බවයි. නැතහොත් මේ ආගමික සංස්ථාපිතයේ ආශාව බුද්ධාගම විසින් පාලනය කරනවා නොව එය වෙලදපොල විසින් නිර්මාණය කරන බව හා ඊට යටත් වී ඇති බවයි.
ලියෝතාද් විසින් ගෙනා ප්‍රවාදය ලංකාවේදී යථාර්තය හා බද්ධ වන්නේත් එම ප්‍රවාදය ඔප්පු කරන්නේත් සමකාලීනව වීම දේශපාලනිකය.ලියෝතාද්ව ලංකාවට හදුන්වා දුන් දීප්ති අද මැයි දින පනිවිඩය හරහා නැවතත් සැබෑ පසමිතුරුතාවයක් ලාංකීය සමාජයට යෝජනා කරයි.

මහා ආඛ්‍යාන අහිමි වීම ඔබ අදුරේ සිටීමට සමානය. පැරණි ආලෝකය වෙනුවට අපි සවිකරන්නේ LED ලාම්පු වීම අසාමාන්‍ය නැත. දිලිත් ජයවීරගේ සිංහල-බෞද්ධ ජනයා යනු කානිවල්කරණය වූ ටින්-ජනතාවක් වන විට රෙනෝ සිල්වාගේ හාමුදුරුවන් යනු සසර-චූන් මයික් ටයිසන්ලාය.
අපේ දේශපාලනික සංඝායනාවට දැන් බුද්ධාගමත් එකතු කල යුතුය. බෞද්ධාගමික සංස්ථාපිතයද නව-සංඝායනාවකින් පිරිසිදු කල යුතුය. පැරණි ලෝකය මියයමින් සිටින විට නව-ලෝකයක් බිහි විය යුතුය. අපි වින්නඹු කාර්‍යය කරමින් සිටින්නේ දැනුවත්වමය. අපිරිසිදු ලේ-කුණු අපේ අත් වල තැවරීම පිළිබඳව අපිට ලැජ්ජාවක් හෝ කනගාටුවක් ද නැත.
| Samabima Party
උපුටා ගැනීම - Samabima Party ෆේස්බුක් පිටුවෙන්...




