ජාතිකවාදය අනුරූප වෙන්නේ රාජ්‍යයෙන් පිට සතුරෙකු පිළිබඳව වන අදහසක් රාජ්‍යයේ දෘෂ්ටිවාදය ලෙස පොලා පනින විටය. උදාහරණයකට පැරණි අධිරාජ්‍යවාදී යුගයේදී ලතින් ඇමෙරිකානු කලාපය පුරා හමාගිය වාමාංශික අරගලයන්හි මුඛ්‍ය අදහස වූයේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදයයි. එය යථාර්ථය හා සමපාත වූවාක් පමණක් නොව ඒ අරගලයන්හි සුජාත බාවයද ඒ සමඟ බැඳී තිබුණි.
නමුත් ජාතිවාදයේ මූලික ස්වරූපය වන්නේම රාජ්‍යයේ අභ්‍යන්තරයේම සිටින සතුරෙකු පිළිබඳව මවන ෆැන්ටසි කතාන්දරයයි. ඒ අර්ථයෙන් අපි මීට කවුලුවක් විවෘත කරගතහොත් ලංකාවේ පැරණි සම්ප්‍රදායික වාමාංශිකයන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සිය බාහිර සතුරාගේ ස්ථානයේ තබාගෙන ජනතාව සංවිධානය කල අතර ජ.වි.පෙ.කලේ ඉන්දියානු අධිරාජ්‍යවාදය පිළිබඳව ඇති අදහස බාහිර සතුරාගේ ස්ථානයෙන් විතැන් කොට දෙමළ ජනතාවගේ අරගලය අභ්‍යන්තරය සතුරෙකු දක්වා විස්ථාපනය කිරීමයි. පශ්චාත්-විජේවීරවාදය යනු අමු ජාතිවාදී දෘෂ්ටිවාදයක් වන විට රාජපක්ෂලා සහ ඒ පවුල ආදරයෙන් වැලඳ ගන්නේ ඒ දෘෂ්ටිවාදයයි.

දැන් අපි ත්‍රිකුණාමලේ සිද්ධිය පිළිබඳ කියවීමකට අඩුම-කුඩුම එක්රැස් කොට ඇත. විධායක ජනාධිපති තනතුරත් පාර්ලිමේන්තුවේ 3/2 බලයකුත් සහිත මේ මාලිමා ආණ්ඩුවක් මෙවැනි උමතු ගැටලුවක් මෙපමණ උඩු දුවන්නට දෙන්නේ ඇයි? යන ගැටලුවට පිළිතුරු හොයමු.
දෙමළ ජනයාගේ දීර්ඝ කාලීන දේශපාලන ගැටලුව සදහා ලැබුණු දේශපාලනික පිළිතුර වූ පළාත් සභා ක්‍රමය මේ වනවිට පවතින්නේ අක්‍රිය තත්වයේය. එය පූර්ණ වශයෙන් දෙමළ ජනයාගේ දේශපාලනික ගැටලුව සදහා පිළිතුර නොවූවද සමනය නොවන පස-මිතුරුතාවය තුළ (සිංහල-දෙමළ) එය කළමනාකරනය කිරීමට එය සමත් වී තිබේ.

ආණ්ඩුවේ සූදානම වන්නේ උතුරු-නැහෙනහිර පළාත් සභා මැතිවරණය මුලින් පවත්වා ඉන් පසු දකුණ කලමනාකරනය කිරීමයි. උතුරේ ඉඩම් නිදහස් කිරීමත්, මන්නාරම සුලං බලාගාර හකුලා ගැනීමත්, ත්‍රිකුණාමල සිද්ධියත්, වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමත් හරහා ආණ්ඩුව උතුරට දෙන පණිවුඩයනම්, තමන් දෙමල ජනයා වෙනුවෙන් හා ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින "වීරයන්" බවයි.
පූර්ණ වශයෙන් 80' දශකයේ සිට ජාතිවාදය මත පදනම්ව දකුණේ සමාජය සංවිධානය කල ජ.වි.පෙ. දකුණ වෙත පිටුපස හරවා උතුරේ ජනතාව වෙනුවෙන් පෙරමුණ ගැනීම පිළිබඳව ඇසෙන අඳෝනා හා දුක්ගැනවිලි පිළිබඳ අපිට ඇත්තේ චාලි චැප්ලින් වර්ගයේ හාස්‍ය පිළිබඳව අදහසකි. ජාතිවාදය හරණය කිරීම යනු දීර්ඝකාලීන ක්‍රියාවලියක් විනා මැතිවරණ ඉලක්කයක් නොවේ. එය භයානක සෙල්ලමකි. නාමල්ලාට පවා භයානක ක්‍රීඩාවකි.
අරගලය මෙහොතේ ගෝඨාභයව මුලින්ම අතහැරියේ සිංහල බෞද්ධකම පපුවේ කොටා ගත් දිලිත් බව නාමල් අමතක නොකල යුතුය. සරලව කියන්නේ නම් එය මූලික අධ්‍යාපනයේ සිටම කරන ගොඩනැංවීමක් විනා අහසින් අතාරින සරල පිළිතුරක් නොවන බැව් අවබෝධ විය යුතුය. දෙවන ලෝක යුද්ධයට පසු ජර්මනියේ නාසිහරණය නමින් හැඳින් වුයේද මෙම ක්‍රියාවලියයි.

බලන්ගොඩ කාශ්‍යප වැනි ජාතිවාදය උඩුදුවා ඇති උමතු සිවුරු රඳවන ශරීරයකට එල්ලවූ ශාරීරික පීඩාව සතුටක් ලෙස දෙමළ ජනතාවගේ සලකුණු කිරීම මැතිවරණයකට ප්‍රමාණවත් වුවද පිළිකාවන් වර්ධනය වෙන්නේ සලකුණු ඇතිව නොවේ. ජ.වි.පෙ. මේ බාල වර්ගයේ උපක්‍රම තේරීම් නිසා ගලා ගිය ලේ ගංගාවන් පිළිබඳව අපිනම් සංවේදීය. "බලය" භෞතික නැත. එය පාර-භෞතිකය.
මේ සිද්ධීන් හරහා ලග-චූන් වී ඇති දිලිත් ජයවීර, රෙනෝ සිල්වා, දයාසිරි ජයසේකර, විමල් වීරවංශ හෝ නාමල් රාජපක්ෂ දක්වා අරගලයේදී විහිලුකරුවන් වු කලාපය ගැන ද යමක් ලිවිය යුතුය. ජේ.ආර්.ගේ ව්‍යාපෘතිය මුලින්ම උතුර ගිනි තබන විට ලඟ චූන් වූ දකුනට 80' දශකයේ මැද වන විට ටයර් සෑයවල් හන්දියක්, හන්දියක් ගානේ දකින්නට ලැබුනේය. උතුර වෙනුවෙන් ජ.වි.පෙ. උපක්‍රමික තේරීමෙන් කලමනාකරනය වෙන්නේ උතුර වෙනවිට දකුණට ලැබෙන විකල්පය පිළිබඳ දවල් හීන දකිමින් සිටීම ඓතිහාසික වැරැද්දකි.
ජනාධිපති සිහිනයේ ගිලී ඇති දිලිත් ජයවීර වැනි ලුම්පන්-බුර්ෂුවා මාධ්‍ය හිමිකරුවන් නොදන්නේ මේ යුගයේදී තමන්ම රැවටෙන්නේ තමන් විසින්ම ගොඩනගන බොරුවකට බවයි. එය යථාර්ථයට සමපාත නැත. එය තමන්ට අනාගතයේ අසම්පාත වන බව ඔවුන් නොදනියි . මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න වෙනුවට මාධ්‍ය හරහා මවන "කසානා යථාර්ථය " කුඩු කිරීම අපහසු නොවේ. අපි ජ.වි.පෙට උපදෙස් දෙන්නේ නැත. සමහර තෝරාගැනීම් ඔවුන් සමහරවිට දැනටමත් තෝරාගෙන තිබෙන්නට පුලුවන.

ජාතිවාදය දෙපැත්ත කැපෙන පිහියකි. එය භාවිතා කරන්නාටද ඉන් හානි විය හැකි වීම ඓතිහාසික සංසිද්ධියකි. ජ.වි.පෙ.පිහිය වනමින් තිබේ. ලග-චූන් දකුණට එහි මුවහත පිළිබඳ අදහසක් නොමැති බව පැහැදිලිය. දයාසිරී ජයසේකර වැනි බිත්තර පාන් වීරයන් අපට උගන්වමින් සිටින්නේ සිංහල බෞද්ධයා තරම් නරුමයකු මිහිපිට තවත් තැනක සිටීද යන්නය. පපුවට ගසා ගන්තා දිලිත් ජයවීරගේ ට්‍රන්ක පෙට්ටිය අයිති ධම්මික පෙරේරාට සහ ඉෂාර නනායක්කාරට බව ජෝකරයන් දැන ගත යුතුය .
(සමබිම පක්ෂය)
උපුටා ගැනීම - Samabima Party ෆේස්බුක් පිටුවෙන්...
November 18




