The Leader News
BREAKING
Top Ad
Opinion

'සමන් ඒකනායක හොඳ මහත්මයෙක්!' ; ඒත් මෙන්න මේ උපදෙස් ටිකත් පිළිපැද්දා නම්... | Sanath Balasooriya

T

The Leader Desk

February 11, 2026 • 11:09 AM

'සමන් ඒකනායක හොඳ මහත්මයෙක්!' ; ඒත් මෙන්න මේ උපදෙස් ටිකත් පිළිපැද්දා නම්... | Sanath Balasooriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මේ වනවිට ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ ය. ඒ රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවරා ඇති නඩුකරයේ දෙවැනි සැකකරුවා වශයෙනි.
  • මේ නඩුකරයේ දී එල්ලවන චෝදනාවලට සමන් ඒකනායක වැරැදිකරුද නිවැරැදිකරුද යන්නත් මුළුමනින් ම රැඳී ඇත්තේ අධිකරණ තීන්දුව මත ය‍.
  •   ඉහත ලියන කියන දේවල් ගැන අපට කෙටියෙන් ම කියන්නට ඇත්තේ, අවාසනාවකට ඔහුගේ අතීත ගුණයහපත්කම්, අවංක, ඍජු හා දක්ෂ භාවිතයන් මේ නඩුකරයේ දී ඔහුගේ නිර්දොෂී භාවය ඔප්පු කරන්නට විත්ති වාචක ලෙස ඉදිරියට එන්නට නියමිත නැති බව ය.
  • මේ නඩුවේ දී සලකා බැලෙනු ඇත්තේ ඊට ම සුවිශේෂී වූ චෝදනා හා ඒවා සම්බන්ධයෙන් ඉදිරිපත් වන සාක්ෂිත්, තර්ක හා ප්‍රතිතර්කත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):


සමන් ඒකනායක යනු ඉතාම ගුණ යහපත් මනුෂ්‍යයකු බවත්, දක්ෂ සහ අවංක රාජ්‍ය නිලධාරියකු බවත් ගෙනහැර පාමින් ද, ඔහුගේ අතීත ක්‍රියාකාරකම්වල ඇති සුපිළිපන්න භාවය විදහා දක්වමින් ද බොහෝ දෑ ලියැවී තිබෙනු දුටිමි.

මේවායේ ගෙනහැර දක්වන ඔහුගේ ගුණ යහපත් කම්, අවංක කම් හිතවත්කම් ආදිය ගැන ප්‍රශ්න කිරීම අපේ අභිලාශය නොවේ. මේ නඩුකරයේ දී එල්ලවන චෝදනාවලට සමන් ඒකනායක වැරැදිකරුද නිවැරැදිකරුද යන්නත් මුළුමනින් ම රැඳී ඇත්තේ අධිකරණ තීන්දුව මත ය‍.

 

ඉහත ලියන කියන දේවල් ගැන අපට කෙටියෙන් ම කියන්නට ඇත්තේ, අවාසනාවකට ඔහුගේ අතීත ගුණයහපත්කම්, අවංක, ඍජු හා දක්ෂ භාවිතයන් මේ නඩුකරයේ දී ඔහුගේ නිර්දොෂී භාවය ඔප්පු කරන්නට විත්ති වාචක ලෙස ඉදිරියට එන්නට නියමිත නැති බව ය. මේ නඩුවේ දී සලකා බැලෙනු ඇත්තේ ඊට ම සුවිශේෂී වූ චෝදනා හා ඒවා සම්බන්ධයෙන් ඉදිරිපත් වන සාක්ෂිත්, තර්ක හා ප්‍රතිතර්කත් ය.

ඉහතින් කී සමන් ඒකනායක සම්බන්ධ අනුකම්පක හා ගුණවැයුම් සටහන් හේතුපාදක වනු ඇත්තේ සමන් ඒකනායක හා ඔහුට අත්වී ඇති ඉරණම සම්බන්ධයෙන් දෙ ආකාර වූ මනෝභාවයන් දෙකක් මිනිස් සන්තානයේ ගොඩනඟන්නට ය යන්න අපේ අදහස යි. ඉන් පළමුවැන්න වන්නේ, සමන් නම් පුද්ගලයා පිළිබඳ බලවත් අනුකම්පා සහගත මනෝභාවයකි‍.

අනෙක් මනෝභාවය කුමක්දැ’යි යන්න දැන් නොව, මේ ලියැවිල්ලේ අවසාන භාගයේ දී සටහන් කරමි.

උදාහරණ දෙකක්


සමන් ඒකනායක ගැන කරන ගුණගතන හා වර්ණනාවලට වෙනස්ව අප මෙහි දී ඉදිරිපත් කරන්නට සැරසෙන්නේ වෙනත් විශේෂඥ අදහස් දෙකක් සහ ඒ ඇසුරින් මතුවන ගැටලු කිහිපයකි. ජනාධිපතිවරයාගේත්, ඔහුගේ කාර්ය මණ්ඩලයේ හා කාර්යාලයේත් වියදම් වෙනුවෙන් අයවැය ලේඛනයෙන් වාර්ෂිකව වෙන්කැරෙන, මූල්‍ය ප්‍රතිපාදනවලට අදාළ ගණන්දීමේ නිලධාරියා වශයෙන් ජනාධිපති ලේකම්වරයා මේ නඩුකරයට නිමිත්ත වන අවස්ථාවේ ක්‍රියාකර ඇත්තේ කෙසේද යන්න මේ විශේෂඥ මත ඇසුරෙන් කෙනෙකුට සලකා බලන්නට පිළිවන.

මෙයින් පළමු විශේෂඥ මතය අපට හමුවන්නේ ලංකා සිවිල් සේවයේ ඉතාම ප්‍රචලිත රාජ්‍ය නිලධාරියකු සහ වසර 11ක් වැනි දීර්ඝ කාලයක් අග්‍රාමාත්‍ය ලේකම් හා ජනාධිපති ලේකම් ධුරය දැරූ කේ.එච්.ජේ. විජයදාස විසින් සිය වෘත්තීය අත්දැකීම් අලළා ලියන ලද 'පහන් සංවේගය' නම් ස්වයං ලිඛිත චරිතාපදාන කෘතියෙනි. පහත කොටස උපුටාගන්නේ එහි 230 - 231 පිටුවලිනි.

කේ.එච්.ජේ. විජයදාස උදාහරණය

- උපුටාගැනීම;

pahan san“ආර්. ප්‍රේමදාස මහතා සහ මා අතර ගැටුමක් ඇතිවන්නට ආසන්න වූ සිද්ධියක් මට මතක ය. එම සිද්ධිය ඇතිවුණේ 1984දී මා අග්‍රාමාත්‍ය ලේකම් පදවියට පත්වූ මුල් වකවානුවේදීම ය. මා අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් වැඩභාරගන්නා විට අරලියගහ මන්දිරයේ සහ සුචරිතයේ ආහාර පාන ඇතුළු සියලු ගෘහස්ත වියදම් සඳහා බිල්පත් පියවූයේ රජයේ අරමුදල්වලිනි. පවුලේ අයගේත්, සේවකයන්ගේත්, අමුත්තන්ගේත් කෑම බීම සහ සංග්‍රහ වියදම් සියල්ල මෙයට ඇතුළත් විය. අගමැතිවරයා නිර්මාංශ ආහාර අනුභව කරන බව මම දැන සිටියෙමි. එහෙත් මෙම බිල්පත් මස්, මාළු, එළවළු, පළතුරු, ධාන්‍ය, කුළුබඩු, කිරි, බිත්තර, බටර් ආදී සියලු ගෘහස්ථ අවශ්‍යතා සැපයීම සඳහා විය.

ඒ සඳහා රජයේ මුදල් වැයකරන බව මා දැනගත්තේ ඊට අදාළ බිල්පත් ගණනාවක් ගෙවීම සඳහා මගේ අනුමැතියට ඉදිරිපත් වූ අවස්ථාවේදී ය. ඒ වනවිට රාජ්‍ය සේවයේ ඉහළම තනතුරුවල අවුරුදු 25කට ආසන්න පලපුරුද්දක් තිබූ මට මෙය අලුත් දෙයක් විය. එමෙන්ම රජයේ පරිපාලන රෙගුලාසි, මුදල් රෙගුලාසි සහ භාණ්ඩාගාර මුදල් චක්‍රලේඛන පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් මට තිබුණු නිසා මෙය ගෙවීමට ඉඩක් නැති බව දැනුණි. මම ගෙවීම් අනුමත නොකළෙමි. ගෙවීම් ප්‍රමාද වීම හේතුවෙන් අධික මිලට එකී ආහාර හා සේවා සැපයූ කොන්ත්‍රාත්කරුවන් මට විරුද්ධව ප්‍රේමදාස මහතාට පැමිණිලි කර තිබිණි. දිනක් ප්‍රේමදාස මහතා මට කතාකොට එම ගෙවීම් ප්‍රමාද වීමට හේතුව විමසී ය.

එහිදී මා පැවසුවේ පෞද්ගලික පරිහරණය සඳහා ගෙවීම් කිරීමට මුදල් රෙගුලාසි සහ අදාළ භාණ්ඩාගාර චක්‍රලේඛන අනුව ඉඩ නොමැති බව යි. එමෙන් ම, මම දන්නා තරමින් ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක, විලියම් ගොපල්ලව සහ ජේ ආර් ජයවර්ධන යන රාජ්‍ය නායකයින්ගේ ආහාර පාන සඳහා රජයේ මුදල් වැය කළ බවට පූර්වාදර්ශයක් තිබුණේ නැති බව ද කීවෙමි.

 

image d783146730කේ.එච්.ජේ. විජයදාස
එවිට ඔහු පැවසුවේ චීනය වැනි රටවල රාජ්‍ය නායකයාගේ සහ ඉහළ පෙළේ මැති ඇමැතිවරුන්ගේ සියලු වියදම් රජයෙන් දරන බව යි. එහෙත් මා පැවසුවේ එවැනි ක්‍රමයක් සඳහා නිකුත්කළ භාණ්ඩාගාරයේ උපදෙස් සහිත චක්‍රලේඛනයක් හෝ සොයාගැනීමට නොහැකි වූ බව යි (… …) මා දැරූ ස්ථාවරය පිළිබඳව හොඳින් තේරුම්ගත් ජනාධිපති ප්‍රේමදාස මහතා චීන තානාපතිවරයා සමඟ සාකච්ඡා කොට එරට ඉහළ පෙළේ රාජ්‍ය නායකයන්ගේ ආහාර පාන ආදිය සඳහා ගෙවීම් කරන ආකාරයට සියලු ගෙවීම් කරන ලෙස මට උපදෙස් දුන්නේ ය.

ඒ අනුව මම ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාගෙන් ඒ පිළිබඳව විමසුවෙමි. ඔහු පැවසුවේ ඉහළ තලයේ රාජ්‍ය නායකයන්ගේ සියලු වියහියදම් චීන රජය මඟින් දරන බව යි. ඉන් අනතුරුව ප්‍රධාන ලිපිගොනුවේ ඒ ගැන පැහැදිළි විස්තරාත්මක සටහනක් තැබුවෙමි. එසේ කළේ මගේ ආරක්ෂාව සඳහා සහ අනාගත විගණන අධිභාරයකින් බේරීම සඳහා ය. මා සටහන් කර තැබුවේ ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි චීන තානාපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත්, චීන රජය ගෙවීම් කරන ආකාරයට සියලු ගෙවීම් කරන ලෙසත් ය.”

(උපුටාගැනීම අවසන්)

අග්‍රාමාත්‍යවරයාගේ සියලු මූල්‍ය කටයුතුවල ගණන් තැබීමේ නිලධාරියා වශයෙන් සිටි අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් තමන්ට රජයේ මුදල් හා පරිපාලන  රෙගුලාසි චක්‍රලේඛවලින් ඉඩක් නොලැබෙන නමුත් දේශපාලන බලයට යටත්ව කරන්නට සිදුවන ගෙවීම්වල දී තමන්ගේ ආරක්ෂාව සඳහා සලසාගත් පියවරකි එහි කදිමට විස්තර වන්නේ.

Ambassadors 1200px 24 08 21 1000x600 1
රනිල්ගේ ගමන පෞද්ගලික සංචාරයක් ලෙස තීන්දු වුවහොත්, සමන් අසමත් වී ඇත්තේ මෙන්න මේ පියවර ගැනීමට බව හෙළිවන්නට ඉඩ ඇත.

විනිසුරු කෝදාගොඩ උදාහරණය
‍
අනෙක් උදාහරණය ඉතාම මෑත කාලයෙනි. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්තිගේ “පරිපාලන නීතිය හා රාජ්‍ය සේවය” නම් කෘතිය පසුගිය වසරේ ජුලි 15 වැනිදා එළිදැක්වූ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ කළ අදහස් දැක්වීමෙන් එය උපුටාගැනෙයි. (උපුටාගැනීම් සිදුකර ඇත්තේ සමස්තයක් ලෙස නොව අපගේ ප්‍රස්තුතයට ගැලපෙන තැන්වලිනි.)

- උපුටාගැනීම;

1579231770 Yasantha Kodagoda Lයසන්ත කෝදාගොඩ
'' පරිපාලන නීතියේ තියෙන මුඛ්‍ය මූලධර්මයක් තමයි, (තමන් ගන්නා කිසියම්) තීරණයක් සටහන් කරනවාට වැඩිමනත්ව තීරණයට හේතූන් තත්කාලීනව සටහන් කර තැබිය යුතුයි කියන එක.

මේක මෙහි සිටින ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරීන් දන්නා දෙයක්. ඇතැම් විට කණිෂ්ඨ නිලධාරීන්ට ඒ පිළිබඳව තියෙන අවබෝධය ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ලිඛිත නීතියේ අන්තර්ගත වෙන්නේ ඔබගේ වගකීම හා ඒ වගකීම ඉෂ්ඨ කරන්න පාර්ලිමේන්තුවෙන් ඔබට දී තිබෙන බලතල යි. බොහෝ දෙනෙක් කතාව පටන්ගන්නේ බලතලවලින්. ඒත් කතාව පටන්ගත යුත්තේ බලතලවලින් නොවේ. මහජන යහපත උදෙසා පාර්ලිමේන්තුවෙන් ඔබට යම් යම් වගකීම් පවරල තියෙනවා. ඒ වගකීම් ඉෂ්ටකිරීමට අනුරූප බලතල ඒ නීතියේම සඳහන් කරල තියෙනවා. ඒ ටික ලිඛිත නීතියේ අන්තර්ගත වෙනවා. ඒත් ඒ බලතල ක්‍රියාත්මක කළ යුතු ආකාරය - ස්වභාවික යුක්තිධර්මයේ මූලධර්මවලට අවනතව, සද්භාවයෙන්, විචක්ෂණ ආකාරයටයි (ඒ බලතල) භාවිත කළ යුත්තේ. අපේ රටේ ඒ කොටස අන්තර්ගත වන්නේ ලිඛිත නීතියේ නොවේ. (එදා මෙදා තුර ලබාදුන්) නඩු තීන්දු විශාල සංඛ්‍යාවක.

පරිපාලන නීතිය යනු විනිශ්චයකාරවරුන් විසින් විකාශනය කරනු ලබන, වර්ධනය කරනු ලබන නීති පද්ධතියක්.

කාලාන්තරයක් තුළ විනිශ්චයකාරවරු විසින් (නඩු තීන්දු) ප්‍රකාශයට පත්කරලා, මේ නීතිය පුළුල් කරලා තියෙනවා, එකම එක හේතුවක් සදහා. ඒ හේතුව -රාජ්‍ය නිලධාරීන් - දේශපාලන විධායකය වේවා, පරිපාලන විධායකය වේවා - පොදුවේ රාජ්‍ය නිලධාරීන් ඔවුන්ට පාර්ලිමේන්තුවෙන් ලබාදී ඇති බලතල භාවිත කරන්නේ මහජන සුබසිද්ධිය සදහා වන බවට වගබලාගන්න යි. මහජන සුබසාධනය සදහා මේ බලතල පාර්ලිමේන්තුව විසින් අපේක්ෂා කළ පරමාර්ථයට (අනුව) භාවිත කිරීමට වගබලාගැනීම තමයි ඔබේ තීරණ අප විසින් අධිකරණයේ සමාලෝචනයට ලක්කිරීමේ පරමාර්ථය වන්නේ. එසේ නැතිව ඇමතිවරයෙක් සතු බලය, එතුමා ගත් තීරණයත් එක්ක අපි එකඟ වෙනවාද නැද්ද කියන එක (සලකා බැලීම) නෙවෙයි අපේ කර්තව්‍යය. අමාත්‍යාං‍ශ ලේකම්වරයෙක්, කොමසාරිස්වරයෙක් ගත් තීරණයක් සමඟ අප එකඟ වෙනවාද, නැද්ද යන්න (සලකා බැලීම) නෙවෙයි අපේ පරමාර්ථය. අපේ පරමාර්ථය ඔබට පාර්ලිමේන්තුවෙන් පැවරූ බලය ඔබ නීත්‍යානුකූල ආකාරයට මහජන සුබසිද්ධිය සදහා සද්භාවයෙන් විචක්ෂණව භාවිත කරලා තියෙනවද, නැද්ද කියන එක සොයාබැලීම තමයි පරිපාලන නීතිය ක්‍රියාත්මක කරන අධිකරණය හැටියට අපේ වගකීම හා කර්තව්‍යය වන්නේ.

ජනාධිපතිවරයෙක් ජනාධිපති සමාවක් දුන්නාම අපි බලන්නේ ඒ පුද්ගලයාට සමාව දිය යුතුද නැද්ද කියලා නෙවෙයි. අමාත්‍යවරයෙක් ප්‍රතිපත්ති තීරණයක් ගත්තාම අපි බලන්නේ ඒ ප්‍රතිපත්ති තීරණය නිවැරැදිද නැද්ද කියලා නෙවෙයි. ඔබ යමෙකුට බලපත්‍රයක් දීමට හෝ නොදීමට තීරණය කළොත් අපි බලන්නේ අපි ඔබනම් අපි ඒ බලපත්‍රය දෙනවාද නැද්ද කියන එක නෙවෙයි. අපි බලන්නේ ඔබ නෛතික මූලධර්මවලට අනුව නිවැරැදිව ඒ බලය ක්‍රියාත්මක කර තිබෙනවද නැද්ද කියලා විතරයි. අපි ඔබේ ආසනයට යාමක් නොවෙයි කරන්නේ. අපි ඒ සම්පූර්ණ කර්තව්‍යය සද්භාවයෙන් හා අපි හිතන පරිදි හැකි තරම් නිවැරැදි ආකාරයට (සිදුකර ඇතිදැයි කියන එක තමයි විමසා බලන්නේ) අපි එය කරන්නේ එකම එක පරමාර්ථයක් සඳහා පමණයි. ඒ තමයි මහජන සුබසිද්ධිය උදෙසා.

අප සියල්ලන් දන්නා සත්‍යයක් තමයි මේ යුගයේ අල්ලස හා දූෂණයට එරෙහි අපරාධ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයට නව මුහුණුවරක් හා දැක්මක් ලැබීතිබෙන බව. ඒ නිසා රාජ්‍ය පරිපාලන නිලධාරීන් හැටියට විශේෂ අවධානයකින් සිටිය යුතුයි කෙසේද අල්ලස් හෝ දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් වගකීමකට ලක්වන්නේ හා නොවී සිටිය හැක්කේ කියා.
…

ඉතාම කෙටියෙන් අපරාධ වගකීමට ලක් නොවී සිටිය හැකි ආකාරය මං කියන්නම්. (ඊට මඟ වන්නේ) සද්භාවයෙන්, අවංක චේතනාවෙන්, සුපරීක්ෂාකාරීව සිය රාජකාරිය ඉෂ්ට කිරීම යි. ඒ මූලධර්මවලට යටත්ව ඔබ රාජකාරිය ඉෂ්ට කළොත් මා කවර ආකාරයකටවත් දකින්නෙ නෑ දැන් හෝ අනාගතයේ කවර විටකවත් ඔබ අපරාධ වගකීමකට කිසිදා ලක්වෙයි කියලා.‍ අල්ලසට හා දූෂණයට එරෙහි නීතිය තදින් හා කාර්යක්ෂමව ඉටුවීමට ඔබේ ප්‍රතිචාරය විය යුත්තේ ‘මා දැන් බොහොම ප්‍රාවේශමෙන් හෙමින් පිටුව පිටුව පෙරලා බලා කල්පනාකාරීව තීරණ ගන්නවා’ කියන ඒක නෙවෙයි. එයින් රාජ්‍ය සේවයේ, මහජන සේවයේ කාර්යක්ෂමතාව අඩාල වෙනවා. අවංකව, සද්භාවයෙන්, සුපරීක්ෂාකාරීව රාජකාරිය ඉෂ්ට කිරීමයි කළයුත්තේ.

ආපසු මුලට ගියොත්, තමන් කරන දේ, ගත් තීරණය කවර තත්ත්වයනන් යටතේද ගත්තේ කියන එක හා තීරණයට හේතුවූ දේ ඒ නිල ලේඛනයේ තත්කාලීනව සටහන් කර තැබීම (තමයි වැදගත් වෙන්නේ.)

(උපුටාගැනීම අවසන්)

හිටපු ජනාධිපති ලේකම්වරයකුගේ අත්දැකීමක්...

udara rඋදය ආර් සෙනෙවිරත්න
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ලේකම්රයකු වශයෙන් කටයුතු කළ උදය ආර් සෙනෙවිරත්න ද මේ පොත් එළිදැක්වීමේදී ම අදහස් දැක්වීමක් කළේ ය.

ජනාධිපතිවරයා මේ ජනාධිපති ලේකම් සෙනෙවිරත්න සමඟ කිසිදා සාකච්ඡා නොකළ ජනාධිපති සමාවක් සම්බන්ධ කාරණාවක් තිබී ඇත. ඒ ජනාධිපති සමාව ගැන කතාකරගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරෙක ලේකම් - නීති තනතුර දැරූ නිලධාරිනියට ජනාධිපතිවරයාගෙන් කැඳවීමක් ලැබී තිබිණි. නිලධාරිනියගේ බලවත් ඇවිටිල්ල හේතුවෙන් තමන්ට කැඳවීමක් නොතිබූ මේ සාකච්ඡාවට ජනාධිපතිවරයා හමුවට යන්නට සෙනෙවිරත්න ලේකම්වරයාට ද සිදුවිය‍.

“මොකද මේ ගැන කියන්නේ?” ජනාධිපතිවරයා අතිරේක ලේකම්වරියගෙන් විමසා සිටියේ ය. ඇය කාරණා බොහෝ ගණනක් ඉදිරිපත් කළා ය.

“ඒ කියන්නේ, නොකර ඉන්න නේ ඔය කියන්නේ!” ජනාධිපතිවරයා සැරෙන් විමසුවේ ය.

ජනාධිපති ලේකම්වරයා අතිරේක ලේකම්වරිය‌ අත තිබූ ලිපිගොනුව ගෙන ජනාධිපතිවරයාට දී, “ඔබතුමාගේ නියෝගය දෙන්නැ”යි කීවේ ය.

ජනාධිපතිවරයා ලොකු අකුරෙන් සටහනක් තබා සිය නියෝගය දුන්නේ ය.

ලේකම්වරයා ඒ මේසය මත ම ලිපිගොනුව තබාගෙන එහි අනෙක් අතට සටහනක් ලීවේ ය.

“අතිරේක ලේකම් නීති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැලසී ඇති විධිවිධාන සහ අනෙකුත් පරිපාලන නීතිරීතිවලට අනුකූලව අතිගරු ජනාධිපතිතුමාගේ ඉහත නියෝගය ක්‍රියාත්මක කිරීම මැනැවි.”

මේ ජනාධිපති සමාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් ගොනුවී, වසර තුනක පමණ කාලයක් තිස්සේ එය විභාග වී, අවසන පිටු තුන්සිය ගණනකින් යුතු නඩු තීන්දුවේ අවසන් සාරාංශය ගත් විට, එම ජනාධිපති සමාව බලරහිත කරමින් ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුතීන්දුවේ ඇත්තේත් තමන් යෙදූ සටහනට සමාන දෙයක් බව ලේකම්වරයා කියාසිටියේ ය.

මේ කියන නඩු කටයුත්තේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් මේ පොත් දොරට වැඩීමේ උළෙලේ ම දේශනයක් පැවැත්වූ විනිසුරු යසන්ත කෝදාගොඩ ද කටයුතු කර තිබිණි.

දෙවැනි මනෝභාවය


අර මා කලින් කී සමන් ඒකනායක ගැන ලියැවී ඇති ගුණ වැනුම්වලින් උත්පාද වියහැකි දෙවැනි මනෝභාවය කියන්නට දැන් වේලාව හරිය යි මම සිතමි. මගේ අදහසට අනුව ඒ මනෝභාවය විය හැක්කේ, ඉහත ලියවිලිවලින් පෙනෙන ආකාරයට මෙතරම් ගුණ යහපත්, නීතිගරුක, පරිපාලන හා මුදල් රෙගුලාසි නොකඩන, අල්පේච්ඡ ජීවිතයක් ගතකරන මහත්මයෙකුට හිරේ විලංගුවේ වැටෙන්නට වැඩ සැලැස්සුවේ කවුරුන්ද යන කෝප සහගත ආවේගය යි. නිසැකව ම ඒ සමන්ගේ ප්‍රධානියා වූ එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යි.

සමන් වෙනුවෙන් ලියැවුණු ලියුම් කියුම්වලට අනුව මෙච්චර මුදල් හා පරිපාලන රෙගුලාසි දැනසිටි, කිසිදා සිය තනතුර හෝ එහි පහසුකම් අවභාවිත කර නැති, මේ තරම් අල්පේච්ඡ මිනිහාටත් නඩු හබවල පැටලෙන්නටත්, රක්ෂිත බන්ධනාගාර ගතවන්නටත් වැඩ සිද්දකෙරුවේ රනිල් ය. ඒ මනෝභාවයේ දී අනුකම්පාව සමන් වෙත ම රැඳෙනු ඇති අතර, සමන්ට මේ ඉරණම අත්කර දුන් රනිල් කෙරේ කෝප සහගත මනෝභාවයක් හා ප්‍රතිචාරයක් ඇතිවීම අපේක්ෂා කළ හැකි ය.

එනම්, සමන් ඒකනායක හොඳමිනිහෙක් බව කියන්නට ලියූ ලියමන්වල ඒකායන ප්‍රතිපලය වන්නේ, ඒ තරම් හොඳ මනුස්සයෙක් අමාරුවේ දැමූ රනිල් කෙරේ අප්‍රසාදයක් ඇතිවීම යි. නඩුවේ තීන්දුව කුමක් වුවත්, රනිල් දවසක්වත් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියේ නැත. එහෙත් අද වන විට සමන් ඒකනායකට සති දෙකක් තිස්සේ ඒ රිමාන්ඩ් ජීවිතය ගතකරන්නට සිදුවී අවසන් ය.

අනුකම්පක සටහන් ලියූ මිත්‍රයෝ

image f030409393
සමන් ගැන සහනුකම්පක සටහන් ලියා තිබූ අප මිත්‍රයකුට අනුව සමන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ටී එක කපා කොච්චරදෝ මුදලක් ඉතිරිකර තිබිණි‍‍. (ලියූ මිතුරාටත් ගාණ මතක නැත!)

ටී එකත් කපා මුදල් ඉතිරිකළ සමන්ට නඩු පටලවාගන්නටත්, රක්ෂිත බන්ධනාගාර ගතවන්නටත්, සිදුවන්නේ ටී එකක් කපා අවුරුදු ගණනාවකින්වත් ඉතිරි කළ නොහැකි මහ ධනයක් ජනාධිපතිවරයාගේ එක දවසකට අනුමත කළා ය යන චෝදනාවට වීම අර සහානුභූතික සටහන ලියන, තමන්මත් කලෙක රාජ්‍ය නිලධාරියකු වූ අප මිතුරාට නොපෙනීම සමස්ත රාජ්‍ය සේවයේ ආකල්ප සම්බන්ධ අතිශය අභාග්‍ය සම්පන්න සලකුණක් නොවන්නේද?

තවත් මිතුරෙකුගේ අනුකම්පක සටහනක කියා තිබුණේ සමන් නිරන්තරයෙන් පොත් කියවූ බව හා දැනට කියවන පොත කුමක්දැයි ඔහු නිරන්තරයෙන් අන් අයගෙන් ද විමසූ බව ය.

කොතරම් පොත් කියෙව්වත්, අනෙකුන්ට කොතරම් පොත් කියවන්නැයි ඔවදන් දුන්නත්, අපට පෙනෙන්නේ තමන් කියවා තිබිය යුතු ම පොතක් දෙකක් සමන්ට මඟහැරී ඇති බව ය. සමන් ඔහුගේ පෙර ගමන්කාර සුප්‍රකට සිවිල් සේවකයකු වූ කේ එච් ජේ විජේදාසගේ අර කෘතියේ ඉහතින් උපුටා දක්වා ඇති පිටු දෙකවත් කියවා සිටියානම්!

සමන්ට ඒ පිටු දෙක ‘මිස් වීම’ ඉරණම් සහගත ඛේදවාචකයක් නොවන්නේද?

සමන්ගේ තීරණයට අනුමාන හේතු දෙකක්

 

1754387294 saman ekanayake 600
සමන් ඒකනායකට මේ තීරණය ගන්නට බලපෑ හේතු දෙකක් අපට උපකල්පනය කරන්නට පිළිවන.

පළමුවැන්න වන්නේ විධායක ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ දැඩි අධිකාරී ස්වරූපයකින් ‘මේ මුදල අනුමත කළ යුතුම ය’ යි සමන්ට බලකර කියාසිටි හෙයින් ඔහුට වෙනත් විකල්පයක් නොමැති වීම යි.

ඒ දැඩි බලකිරීමට හෝ ‘ආඥාවට’ නැමෙන්නට සිදුවන සමන්ට, කෝදාගොඩ විනිසුරුවරයා හෝ විජේදාස පරිපාලන නිලධාරියා කියන විදියේ තත්කාලීන සටහනක් යොදන්නට පවා අවස්ථාවක් ලැබෙන්නේ නැත.

තතු එසේනම්, ජේආර්ගේ සිට රනිල් දක්වා පැමිණි ජනාධිපතිවරුන් අටදෙනකු ගේ දශක හතර හමාරක ඒ දරදඬු බලපෑමේ වියගසට අදාළව කිසියම් ම හෝ නෛතික නිර්වචනයක් ලබාගැනීමේ දුර්ලභ අවස්ථාව දැන් පැමිණ ඇතිවා නොවන්නේද? ඒ අධිකරණ නිර්වචනය විසින් අනාගත විධායක ජනාධිපතිවරුන්ගේ අධිකාරී බලය ද සීමා කරනු හෝ නොකරනු නැතිද?

ඒ මානයෙන් ගත්තද, මෙය මෙරට විධායක ජනාධිපතිවරයා හා ඔහුට ආසන්නතම පරිපාලන නිලධාරියා අතර සහසම්බන්ධය පැත්තෙන් පවා වැදගත් නඩුකරයක් වනු ඇත.

සමන්ට බලපෑ අනෙක් හේතුව විය හැක්කේ, මෙවැනි ‘එක් දවසක සිල්ලර මූල්‍ය කටයුත්තක්’ හේතුවෙන් තමන්ගේ ජීවිත කාලයේ දී දණ්ඩනයට යටත්වන්නට තමන්ට සිදුනොවන්නේ ය යන දෘඩතර විශ්වාසය විය හැකි ය. එනම් තමන්ට නිසැකව ම දණ්ඩ මුක්තියක් හිමිවනු ඇතිය යන බලවත් විශ්වාසය යි.

රනිල්ගේ ජනාධිපති පදවි ප්‍රාප්තිය දක්වා රටේ බලය ලබාගත හැකි එකිනෙකාට ප්‍රතිපක්ෂ දේශපාලන කඳවුරු දෙකක් තිබුණත්, රනිල් නම් මල්වට්ටියට ඒ කඳවුරු දෙකම පාර්ලිමේන්තු දෙවොලේ දී සමෝ සමේ අතගසා සිටීම හේතුවෙන්, එතෙක් නිම් වළලල්ලේ හෝ පෙනෙන්නට තිබූ ඒ දේශපාලන ප්‍රතිවිරෝධයත් වියැකී ගිය පසු තවත් කාගෙන් දණ්ඩනයක් ලබන්නදැ’යි සමන්ට හිතුණා වන්නටත් පිළිවන‍. එසේ නොමැතිනම්, අච්චර නීතිගරුක සමන්ට ‘තත්කාලීන සටහනක්වත්’ යොදන්නට නොසිතෙන්නේ මන්ද?

එසේනම් දැන් සිදුව ඇත්තේ ඒ නිම්වළල්ලේවත් නොපෙනුණු දේශපාලන කඳවුරු බෙදීම ඒ පරණ විදියෙන් නොව අලුත් මාදිලියකින් මහපොළොවේ යථාර්ථයක් වී තිබීම යි‍.

සමන් ඒකනායක යනු අනපේක්ෂිත නිමේෂයක දණ්ඩ මුක්තිය බිඳවැටීම නම් නව දේශපාලන ව්‍යූහගතවීමේ බියකරු සිහිනය අබියස අධිකරණ තීරණයක් බලා සිටිනා ඉහළ ම පරිපාලන නිලධාරියා වී සිටිනවා නොවේද?

මීට ඉහතින් ද කියා ඇති පරිදි, රනිල් හෝ සමන් වැරදිකරුවන් වෙනවාද නැද්ද යන්න හෝ, ඔවුන් හිරේ විළංගුවේ වැටෙනවාද නැද්ද යන්න ගැන විශාල උනන්දුවක් අප තුළ නැත.

ඒ වෙනුවට අපේ උනන්දුව දල්වන්නේ, සියල්ලන් ම නීතිය ඉදිරියේ සමාන වීමේ මූලධර්මය මහපොළොවේ යථාර්ථයක් ලෙසින් දැන්වත් ක්‍රියාවට නැ‌ඟෙනවාද යන්න හා විධායක ජනාධිපති ක්‍රමයේ ඇති එක්තරා අන්ධකාර පදාසයකට කෙබඳු නෛතික නිර්වචන ආලෝක දහරාවක් මේ නඩුකරය හරහා එල්ලවේද යන මහජන සුබසිද්ධියට අදාළ කාරණා යි.


sanath bala(සටහන | සනත් බාලසුරිය)
මාධ්‍යවේදී
sanathbalas@gmail.com

උපුටා ගැනීම -
Sanath Balasooriya ගේ FB පිටුවෙන්...
2026 පෙබරවාරි 11

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'සමන් ඒකනායක හොඳ මහත්මයෙක්!' ; ඒත් මෙන්න මේ උපදෙස් ටිකත් පිළිපැද්දා නම්... | Sanath Balasooriya | The Leader