එනම්, ඔහු ප්‍රවීණත්වය දරනවාය යි ඔහු ම සිතන වෘත්තීය ක්ෂේත්‍රයට/ක්ෂේත්‍රවලට පිටස්තර වෘත්තීය ක්ෂේත්‍රවලත්, ඒ ඒ ක්ෂේත්‍රය ගැන යම් වෘත්තීය දැනුමක් තියෙන අය ඉන්නවාය යන්න ශිරාල් නොපිළිගැනීම හා ඔහුගේ සර්වඥතා දැක්මෙන් ඒ සියලු දැනුම් පද්ධතීන්වලත් සර්වබලධාරී දැනමුත්තා විදියට විනිශ්චයන් දෙන්න ඔහුට පුළුවන්ය යි විශ්වාස කරමින් ක්‍රියාකිරීම යි.
ඔහු ඊට පිළිතුරු දුන්නේ හෝ ඉන් පසුව මගේ පළකිරීම්වලට ප්‍රතිචාර දැක්වුවේ නැත. ඒ වෙනුවට ශිරාල් දෙවතාවක දී මගේ නම ද විවේචනාත්මකව සඳහන් කරමින් නීතිපතිවරයා සම්බන්ධයෙන් පළකිරීම් දෙකක් සිදුකර තිබිණි. (ඒවායේ දී අර මගේ විවේචනයට තුඩුදුන් තත්ත්වය ටිකක් සමනය කරගන්නට ඔහු හිතට ගෙන තිබුණු බව ද පෙනිණි.) ඒ කිසිවකට ප්‍රතිචාර දක්වන්නට මා උනන්දු නොවුණේ, ඒවායේ ප්‍රතිචාර දැක්වීමට තරම් වැදගැම්මක් මා නොදුටු බැවිනි.

එහෙත් දැන් ශිරාල් නැවතත් සමන් ඒකනායකට සම්බන්ධ මා ලියූ //“සමන් ඒකනායක හොඳ මහත්මයෙක්!” ඒත් මෙන්න මේ උපදෙස් ටිකත් පිළිපැද්දා නම්...!! // ලිපියට පිළිතුරක් ලියා ඇත. එය ද තර්කානුකූලව එතරම් වැඩකට ඇති එකක් හෝ වැඩි අවධානයක් ඇදගත් ලිපියක් නොවුණත්, තමන් ප්‍රවීණත්වය දරන්නේය යි සිතන ක්ෂේත්‍රයේ පවා පඹගාල්වල පැටලී තර්ක මංමුලා කරගන්නා හැටි කදිමට පෙන්වනවාට වැඩි දෙයක් එහි ද නොවුණත්, ඊට ප්‍රතිචාරයක් දැක්වීමට මම හිත හදාගතිමි. මේ එහි ප්‍රතිපලය යි.
17 වසරකට පෙර නොසිටි ‘මහතෙක්!’
ශිරාල් ඒ ලිපියේ මා ගැන සඳහන් කරන්නේ ‘සනත් බාලසූරිය මහතා’ කියා ය. මෙයින් 17 වසරකට පෙර ඉතිහාසයේ ශිරාල්ට මා ‘මහතා’ නොව ‘සනත්’ පමණක් වූ අතර, මට ද ශිරාල් ‘මහතෙක්’ නොව ‘ශිරාල්’ විය. සර්ව නාම පදයක් ලෙස අප අතර යෙදුණේ ‘මචං’ යන්න යි. වසර 17කට පසු, අදටත් මා ‘මහතෙක්’ වී නැති අතර, මගේ පර්යායට අනුව ශිරාල් ද මේ 17 වසර තුළ කිසිසේත් ම ‘මහතෙක්’ වී නැත. එබැවින් ශිරාල්ගේ ‘තදාත්මීය විඝඨන’ උප්පරවැට්ටිය පසෙක ලා මම මෙහි ඔහු ‘ශිරාල්’ ලෙස ම අමතමි.
ශිරාල්ගේ ලිපියේ ‘අරමුණ’ මගේ 'තර්කයේ පවතින නොගැඹුර සමාජයට පෙන්වාදීම' ලෙස ශිරාල් ම කීවත්, ලිපිය බඹ දෙකක් ගැඹුරු නම්, සිය අරමුණට ශිරාල් වෙන් කරන්නේ බඹ කාලක් හමාරක් විතර ය. ඉන් හෙළිවන්නේ මගේ තර්කවල නොගැඹුර නොව සිය ලියමනේ ‘අරමුණ’ කියන දේටවත් ඇලී ඉන්නට ශිරාල්ට ඇති නොහැකියාව යි.
දැන් ඒ බඹ කාලේ ඇති දේට මගේ ප්‍රතිචාරය දක්වමි.
ශිරාල්මය පෙරකදෝරු තර්ක
1. මා මගේ ලිපියෙන් සමන් ඒකනායක හොඳ පරිපාලකයෙකු සහ හොඳ මහතෙකු ලෙස බුකියේ කරුණු දැක්වූවන් සෝපාහාසයට ලක් කළ බව ශිරාල් පවසයි.
නැත, වචන 2400කට ආසන්න ඒ දීර්ඝ ලිපියෙන් මා ඒ සඳහා වෙන්කළේ වචන 155ක් පමණකි. ඇත්තට ම, ශිරාල් කියන ඒවා ලියූ ඇතැමුන්ගේ තර්ක 'කෙසෙල් ගසක බිඩලු ගලවන්නාක් සේ' ගලවා, සෝපහාසයට නොව සදය උපහාසයට ලක්කිරීම ඉතාම පහසු ය. කිසියම් ප්‍රශ්නයකට මැදිවූ පුද්ගලයකු ඉන් නිදහස් කරගැනීමට පතන කිසිවකුත්, ඒ පුද්ගලයා සම්බන්ධයෙන් නොකියා සිටිය යුත්තේ මොනවාදැ'යි ඒ ඇතැම් ලිපි ඇසුරින් කදිමට පෙන්වාදිය හැකි ය. ලියන්නාට සහ ලිවීමට විෂයය වන්නාට ද එක සේ හානි පැමිණෙන ලියැවිලි ලියන්නේ කොහොමද යන්නත් ඒවා ඇසුරෙන් කදිමට පෙන්වා දිය හැකි ය.
ඒ සඳහා කාලය කාදැමීමට මුලින් නොසිතුනත්, ශිරාල්ගේ ලිපිය ඊට ද මගේ ලාලසාව දල්වන බැවින් ඉදිරියේ දී එය ද කරන්නට සිතේ.

2. ''සමන් ඒකනායකගේ අතීත යහපත් ක්‍රියාකාරකම් මේ නඩුකරයේ දී ඔහුගේ නිර්දොෂී භාවය ඔප්පු කරන්නට විත්ති වාචක ලෙස අදාල නොවනු ඇතැයි මා කියා ඇති දේ සැබෑවකි'' යි ශිරාල් ලියයි. ඔහු එහිදී මගේ “නොගැඹුරු තර්කය” හා එකඟ වේ. ඔන්න නීතීඥ තර්ක වින්‍යාසයේ පටන්ගැන්ම!
3. ඊළඟට ඔහු අව්‍යක්ත ලෙස ලියන්නේ ''නමුත් ප්‍රශ්නය වන්නේ නිර්දෝශී මිනිසකු වරදකරු කිරීම දෝශී මිනිසුන් සියයක් වරදෙන් නිදොස් වීමට වඩා බරපත තත්වයක් බව යුක්තිය පසදලීමේදී බරපතල බව මෙම නඩුවේදී සලකා නොබැලීමයි.'' කියා ය.
(සැ.යු: - ශිරාල්ගේ සියලු උපුටාදැක්වීම්වල වාක්‍ය වින්‍යාස හා අක්ෂර වින්‍යාස ගැටලු ශිරාල්ගේ ය!)
4. ''බාලසුරිය මහතා උදාහරන ගනිමින් කියන්නේ සමන් ඒකනායක මහතා පරිපාලකයකු වශයෙන් වැරදි කොට ඇති බවය.'' ශිරාල් තමන්ගේ ම තීන්දුවක් ලියයි. අවාසනාවට එය කිසිම පදනමක් නැති තීන්දුවකි.
මගේ ලිපියේ පස්වැනි වාක්‍යය මෙය යි.
''මේ නඩුකරයේ දී එල්ලවන චෝදනාවලට සමන් ඒකනායක වැරැදිකරුද නිවැරැදිකරුද යන්නත් මුළුමනින් ම රැඳී ඇත්තේ අධිකරණ තීන්දුව මත ය.''
ශිරාල්ගේ ඉහත තර්කය මගේ පස්වැනි වාක්‍යයෙන් ම බිඳවැටෙන අතර, ශිරාල්ට යමක් කියවා තේරුම්ගැනීමේ නොහැකියාවක් ඇතිද යන ගැටලුව නැවත වතාවක් ම’තුළ ඇතිවේ.

5. ''ඒ අනුව බාලසුරිය මහතා අර අදින්නේ සමන් ඒකනායක මහතා කෙරෙහි පුර්වදෝශීත්වයක් (prejudice) සමාජය තුග වපුරන්නටය. සමන් ඒකනායකට දඩුවම් පැමිනවීම සාධාරන බව සමාජයට ඒත්තු ගන්වන්නටය.''
මෙය කිසිදු කරුණු දැක්වීමකින් තොරව ශිරාල් නගන හුදු පදනම් විරහිත චෝදනාවක් පමණකි. ඊට පිටුබල දෙන මාගේ ලිපියේ අන්තර්ගත එකදු කරුණක් හෝ උපුටා දක්වමින් ඔහු සිය චෝදනාව ඔප්පු කරන්නේ නැත. මේවා නීතීඥ කබායක් ඇඳගෙන විලිලැජ්ජාවක් ඇතිව උසාවියක් ඉදිරියේදී නම් දැමිය හැකි තර්ක නොවේ.
6. ''...k. H. j. විජේදාස අද ජීවත්ව සිටියා නම් සහ මාලිමා ආන්ඩුව ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ රාජ්‍ය මුදල් පිලිබදව විමර්ශනයක් ආරම්බ කලා නම් විජයදාස මහතාද, සමන් ඒකනායක මෙන්ම දඩුකදේ ගැසිය යුතු බවට බාලසුරිය මහතාට මාලිමා ආන්ඩුවේ සහායට තර්ක කරනනට සිදුවනු ඇති බව මෙහිලා කිව යුතුව තිබේ.''
මෙයින් ද පෙනෙන්නේ, යමක් කියවා වටහාගැනීමට ශිරාල්ට ඇති නොහැකියාව යි. මා නොව විජේදාස ම ඉහත උපුටනයේ කියන්නේ, තමන් ප්‍රධාන ලිපිගොනුවේ ඒ ගැන පැහැදිළි විස්තරාත්මක සටහනක් තැබුවේ ''..මගේ ආරක්ෂාව සඳහා සහ අනාගත විගණන අධිභාරයකින් බේරීම සඳහා ය.'' කියා ය. එහෙම ලියා තැබූ විජේදාස දඬුකඳේ ගසන්නට මොන ආණ්ඩුවක් යටතේ හෝ සහායට තර්ක නඟන්නට මට නොව කාට හෝ සිදුවන්නේ ඇයි? ඔහු ‘දඬුකඳේ ගසන්නට’ අපහසු වන හේතුව ඉහත විජේදාසගේ පමණක් නොව විනිසුරු කෝදාගොඩගේ උපුටනයෙන් පවා පැහැදිළි වේ. නීතීඥයකු පමණක් නොව ‘මත නිශ්පාදනය කරන බුද්ධිමතකු’ ලෙස ද සමාජය ඉදිරියේ පෙනීසිටින්නට කැමැති ශිරාල්ට පේළි අතර කෙසේවෙතත්, පේළි මතුපිටවත් කියවන්නට බැරි අසනීපයක් තිබේද?
මේ නඩුකටයුත්ත සම්බන්ධයෙන් අපේ උනන්දුව දැල්වෙන්නේ කුමන කරුණු අරබයාද යන්න මගේ ලිපියේ අවසානයේ පැහැදිළිව කියා ඇත. එය නිශේධනය කර මට ''මාලිමා ආණ්ඩුවේ සහායට තර්ක කරන්නට සිදුවන බව'' කියන්නේ නම්, මගේ ප්‍රකාශිත අභිලාශය මගේ ම ලිපිය ඇසුරින් තර්කානුකූලව ඛණ්ඩනය කර, ශිරාල් සිය ශක්තිමත්ව චෝදනාව ස්ථාපිත කළ යුතු ය. (සැබෑ නීතීඥයන් වාද කරන්නේ එලෙසින් නොවේද?) එසේ නොවන තාක්කල් ශිරාල්ගේ මේ ප්‍රකාශය ‘දුෂ්ට අරමුණක්’ පමණක් පෙරදැරිව සිදුකරන ලද පදනම් විරහිත අපවාද කීමක් ලෙස බැහැරලන්නට සිදුවේ.

7. ''...බාලසුරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුතුමන් උපුටා දක්වමින් කියන්නේ බලාතිකරන රීතියට (ultra vires) අනුවද සමන් ඒකනායක මහතා නීතිය උල්ලංඝනය කොට ඇති බවයි.''
ශිරාල්, මා එසේ ''කියන්නේ'' කොතැනද? හැකිනම් මගේ වචනවලින්ම එය උපුටා දක්වන්න! මා කර ඇති එකම දෙය විනිසුරුවරයාගේ ප්‍රකාශය උපුටා දැක්වීම පමණක් බව ඔබට නොපෙනෙන්නේ ‘අකුරු අන්ධතාව’ නම් අද්භූත රෝගයකට ඔබ ගොදුරුවී ඇති බැවින්ද? ඒ අනුව මා විනිසුරුවරයා උපුටා දක්වා කිසිදු තර්කයක් ඉදිරිපත් කර නොමැති බැවින්, මින් අනතුරුව ශිරාල් ලියන වාක්‍යයට ද කිසිදු තර්කානුකූල පදනමක් නැත.
හිටපු ලේකම්වරයාගේ හා විනිසුරුවරයාගේ අදහස් උපුටා දක්වන්නට පෙර මා පැහැදිළිව කියා ඇත්තේ, ''(සමන් ඒකනායක)… මේ නඩුකරයට නිමිත්ත වන අවස්ථාවේ ක්‍රියාකර ඇත්තේ කෙසේද යන්න මේ විශේෂඥ මත ඇසුරෙන් කෙනෙකුට සලකා බලන්නට පිළිවන.'' කියා ය.

විජේදාස ලේකම්වරයාගේ උපුටාගැනීම අවසන මා ලියා ඇත්තේ මෙය යි. ''රනිල්ගේ ගමන පෞද්ගලික සංචාරයක් ලෙස තීන්දු වුවහොත්, සමන් අසමත් වී ඇත්තේ මෙන්න මේ පියවර ගැනීමට බව හෙළිවන්නට ඉඩ ඇත.'' මෙය තනිකර ම අධිකරණයේ ස්වාධීන තීන්දුව මත පමණක් රඳාපවත්නා උපකල්පනයක් මිස ‘තීන්දුව ප්‍රකාශ කිරීමක්’ නොවන බව සිහිබුද්ධියෙන් කියවන්නකුට හැඟෙනු ඇත.
සමන්ගේ නීතීඥ මඬුල්ලටත් මඟහැරුණු ශිරාලියානු තර්ක
එහෙත් ලිපියේ ‘අරමුණ’ මා බව කලින් ම කියා ඇති බැවින්, මට අදාළ නොවන ඒ කොටසේ තිබෙන ‘ශිරාල්මය පෙරකදෝරු තර්ක’ කිහිපයක් ගැන ද මගේ නිරීක්ෂණ ලියන්නට කැමැත්තෙමි.
කිසිදු එල්ලයක් නැතිව ශිරාල් ඔහේ දමාගසන ‘අරුම පුදුම නීති තර්ක’ අතුරින් අමාරුවෙන් වෙන්කරගත් පහත කරුණු තුන සලකා බලමු.
1- පරිපාලන රීති උල්ලංඝනයක් අපරාධ නීතිය යටතේ වරදක් ලෙස හුවා දක්වමින් නඩු පැවරීම
2- ඔහුට එරෙහිව පරීක්ෂණ පවත්වා, අදාළ මුදල නැවත අයකර ගැනීම (Surcharge) වැනි විනයානුකූල පියවර ගැනීම වෙනුවට පොදු දේපළ පනත යටතේ නඩු පැවරීම
3- ආ.ක්‍ර.ව්‍ය. 13 වගන්තිය යටතේ අතීතයට බලපාන ලෙස අපරාධමය වගකීම් පුද්ගලයකුට ආරෝපනය නොකල යුතුය යන මුලික මානව හිමිකම් සිද්දාන්තයට පටහැනිව කටයුතු කිරීම (මේක නම් පුදුම තර්කයකි. ශිරාල් නඩු නිමිත්තවත් දන්නේදැයි මෙහි දී සැක ඇතිවෙයි.)
මේ කිසිදු තර්කයක් සමන් ඒකනායක වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ප්‍රමුඛ නීතීඥ මඬුල්ල වෙතින් අධිකරණයේ දී මෙතෙක් නැඟුණු බවක් අප දැක නැත. ඇයි ඒ? ඔවුන් ශිරාල් තරම් නීතිය නොදන්නා නිසාද? තර්ක නඟන්නට බය නිසාද?

එසේනම් ශිරාල් කළ යුත්තේ ‘බුකියේ’ වැළපෙමින් සිටීම වෙනුවට සිය අගනා නීති තර්ක රැගෙන විත්, ඉන්ද්‍රතිස්සලා පලවා හැර සමන්ගේ නීතීඥයා වී අධිකරණයට ගොස් දිවිහිමියෙන් සමන් ගලවාගැනීමේ සැබෑ මෙහෙයුමට බැසීම ය.
හැබැයි එහෙම වුවහොත් සමන් ඒකනායකට කවදා එළියට එන්න ලැබේදැයි අපි නම් දන්නේ නැත!
සමන් ඒකනායක පසුගිය 30 වැනිදා බන්ධනාගාරයේ දී ලබාදුන් කටඋත්තරයෙන් කියාසිටින්නේ තමන් දැනසිටි ආකාරයට රනිල්ගේ ලන්ඩන් ගමන තනිකරම ට්‍රාන්සිට් එකක් පමණක් බවත්, එය නිල සංචාරයක් ය යන්න තමන් කිසි විටෙකත් දැන නොසිටි බවත් ය. රනිල්ට ආ ආරාධනයක් ගැන ද සමන් කිසිවක් දැන සිට නැත. රනිල්ගේ ‘නිල සංචාරයක්’ ගැන වැල්වටාරම් කියා සමන් වෙනුවෙනුත් කිඹුල් කඳුළුත් හෙළන ශිරාල් සමන්ගේ කටඋත්තරයේ ඇති දේ අදටවත් දන්නවාද? දන්නේ නැතිනම් ඒ කටඋත්තරයේ කතාව අප ම, වෙනම පැහැදිළි කර දෙන්නට වුවමනාද?
ශිරාල් මඟහරින රෝයල් පාක් මිනීමැරුමේ ජනාධිපති සමාව
මේ සියල්ල අතර, ශිරාල් මඟහැර යන අතිශයින් ම තීරණාත්මක පුද්ගලයකුගේ අදහස් දැක්වීමක් මගේ ලිපියේ තිබේ. හිටපු ලේකම් විජේදාස හා විනිසුරු කෝදාගොඩ උපුටනවලට ආමන්ත්‍රණය කරන ශිරාල් මේ මූලාශ්‍රය හා එහි එන අදහස ගැන කටක් අරිනනේ නැත. ශිරාල් එසේ මගහැර යන්නේ සිරිසේන ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ලෙස 2018 ජූලි මාසයේ සිට කටයුතු කළ උදය ආර් සෙනෙවිරත්නගේ කතාව යි.
එහි විස්තර වන්නේ ආන්දෝලනාත්මක රෝයල් පාක් මිනීමැරුම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට ලක්ව සිටි පුද්ගලයාට ලබාදුන් ජනාධිපති සමාව ගැන ය. ශිරාල් මේ කතාව මඟහැර යන්නේ හිතාමතාම ය. දැනුවත්ව ය. අපට අනුව තක්කඩිකමට ය.
මේ කියන ජනාධිපති සමාව ලබාදෙන විට ශිරාල් හිටියේ කොහේද? ඒ ගැන ශිරාල්ට කීමට ඇත්තේ මොනවාද?

2015 ජනවාරි 21 සිට ජනාධිපති සිරිසේනගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් පත්වීම් ලැබ සිටි ශිරාල් 2018 සැප්තැම්බර් 20වැනිදා ජනාධිපති උපදේශකයකු ලෙස පත්වීම් ලබයි. සිරිසේන ජනාධිපතිවරයා ඉහත කියන අතිශය අපකීර්තිමත් ජනාධිපති සමාව ලබාදෙන්නේ ශිරාල් නම් නීතීඥයා ඔහුගේ උපදේශකයකු ලෙස කටයුතු කරද්දී ය. අවසානයේ මේ ජනාධිපති සමාව නීති විරෝධී බව, මා මෙහි උපුටා දක්වන විනිසුරු කෝදාගොඩ ද සාමාජිකත්වය දැරූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලකින් තීන්දු කැරුණු අතර, නීතීඥ ශිරාල්ගෙන් උපදෙස් ගත් ජනාධිපති සිරිසේනට රුපියල් මිලියනයක වන්දියක් ද ගෙවන්නට සිදුවිය. අන්තිමට ඒ අමනෝඥ හා නීති විරෝධී ජනාධිපති සමාව නිසා නීතියෙන් ගැලවී ගිය මිනීමරුවා අදටත් ආ ගිය අතක් නැත! ඔන්න ශිරාල්ගෙන් උපදෙස් ගත් ජනාධිපතිගේ කෙරුවාව!
මීට අදාළව දැන් අප හමුවේ නැඟෙන ප්‍රශ්න වැල මේ ආකාර ය.
මේ ජනාධිපති සමාව සම්බන්ධයෙන් ඔබ ජනාධිපතිවරයාට ලබාදුන් උපදෙස් මොනවාද? ඒවාට ජනාධිපතිගේ ප්‍රතිචාරය කුමක් වීද? ඒ ප්‍රතිචාර සම්බන්ධයෙන් ඔබ ගත් ක්‍රියාමාර්ග මොනවාද?
නැතිනම් ඔබ ඊට කිසිදු උපදෙසක් නොදුන්නේ ද? එසේනම් ඒ ඇයි? නීතීඥයකු වශයෙන් ඔබ එවැනි තනතුරක සිටියදී, නියමිත නීත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය නොකර මෙවැනි ජනාධිපති සමාවක් ඔස්සේ මරණීය දණ්ඩනයට ලක්වූවකු නිකම්ම නිදහස් කර හැරීම ගැන ඔබට කිසිදු වගකීමක් නැද්ද? ජනාධිපති සමාවට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම විභාගවන අවස්ථාවේ දී යසන්ත කෝදාගොඩ විනිසුරුවරයා අධිකරණය හමුවේ කියාසිටියේ “මේ ජනාධිපති සමාව දීමේ ක්‍රියාවලිය අදහාගත නොහැකි” එකක් බව ය. දැන් එවැනි විනිසුරුවරයකුටත් අදහාගත නොහැකි, අපකීර්තිමත් ජනාධිපති සමාවක් තීන්දුවක් දෙනවිට ජනාධිපති උපදේශකයා වූ ඔබේ පංගුව කෝ?
ඔබට මේ ප්‍රශ්නවලින් පලායාමට කිසිදු අයිතියක් නැත. ඉහත තනතුර සඳහා වැටුප් හා අනෙකුත් පහසුකම් ලබාදීමට සිය බදු මුදලින් දායක වූ රටේ පුරවැසියාට මේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබ බැඳීසිටින්නේ නොවේද? ඒසේ බැඳීමක් නැතිනම් ඔබ එතැන කළේ වැටුප් නොලබන පින් තකා කරන ගරු සේවයක්ද? නැතිනම් ඔබ හිටියේ ‘නමට උපදේශක’ හැටියටද?
රෝයල් පාක් ඝාතන සිද්ධියේ මරණ දඬුවම නියම වූ පුද්ගලයාට ලබාදුන් ජනාධිපති සමාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල 2024.06.06 දින ප්‍රකාශයට පත්කළ පිටු 306කින් යුතු SC/FR/446/2019 නඩු තීන්දුව තාමත් දුටුවේ නැත්නම් දැන්වත් කියවා බලන මෙන් යෝජනා කරමි.
දින 52 ‘ව්‍යවස්ථා කුමන්ත්‍රණ ආණ්ඩුවේ’ ශිරාල්ගේ කොටහ?
තවත් අතිශය බැරෑරුම් නෛතික කටයුත්තක් ඔබේ ජනාධිපති උපදේශක කාලය හා බැඳේ. ඔබ ඊට පත්වන්නේ 2018 සැප්තැම්බර් 20වැනිදා ය. එවකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එම ධූරයෙන් නෙරපා, මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත්කර සිරිසේන ජනාධිපතිවරයා දින 52 ව්‍යවස්ථා කුමන්ත්‍රණය නමින් ප්‍රකට අපකීර්තිමත් ක්‍රියාදාමය කරළියට ගෙනඑන්නේ 2018 ඔක්තෝබර් 26 වැනිදා ය. මෙහි ‘ක්‍රියාන්විතයේ කුමන්ත්‍රණ කාලය’ අවම මාසයක් පමණය යි සාධාරණව අනුමාන කළහොත්, ඔබේ පත්වීම හා මේ දින වකවානු අසිරිමත් ලෙස සමපාත වන හැටි බලන්න! ශිරාල් ඔබ කොහිද?

ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපය ද රෝයල් පාක් සමාව මෙන් ම අධිකරණය හමුවේ මුළුමනින් බල රහිත විය. මේ අපකීර්තිමත් ‘ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ’ ශිරාල් ලක්තිලකගේ කාර්යභාරය කුමක්ද? ජනාධිපති උපදේශක පමණක් නොව නීතීඥයකු ද වශයෙන් ඔබ මේ ක්‍රියාවලිට දැක්වූ දායකත්වය කුමක්ද? ලබාදුන් උපදෙස් මොනවාද? මේ නීති විරෝධී ආණ්ඩු හැදිල්ලේ ඔබ සිටියේ ඊට මෛත්‍රිපාලට අනුබල දෙන පැත්තේද? විරුද්ධ පැත්තේද? (අපට නම් මේවා රහස් නොවේ!) මහජන බදු මුදලින් වැටුප් ලැබූවකු වශයෙන් ඔබ මේවා ජනතාවට හෙළිකළ යුතුවා නොවේද?
ශිරාල්ගේ උපදේශකත්වය යටතේ මිලියන සියයක් ගෙවූ ජනාධිපති!
පාස්කුදින ප්‍රහාරය වන විට ද ඔබ ජනාධිපති උපදේශකයෙකි. සිය වගකීම් පැහැර හැරීම හේතුවෙන් මෛත්‍රිපාල සිරිසේනට ඒ සිද්ධියේදී ද රුපියල් මිලියන සියයක් වන්දි ගෙවන්නට සිදුවිය. ඔබේ උපදේශක සමයේ දී පවා සිරිසේන ආරක්ෂක මණ්ඩලය හෝ නිවැරැදිව රැස්කළේ නැත. අගමැති හා පොලිස්පති එහි වැද්දගත්තේ නැත. ඒ දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයට අදාළ ජනාධිපතිවරයාගේ මෙවැනි වගකීම් විරහිත ක්‍රියාකලාපවල දී ඔබ විසින් ලබාදෙන ලද උපදෙස් මොනවාද? ඒ උපදෙස් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය කුමක් වීද? උපදෙස් නොදුන්නේ නම් ඒ ඇයි? මේවා ද ඔබ ජනතාවට හෙළිදරව් කළ යුතු ය. ඔබ ජනතා බදු මුදලින් නඩත්තු වූ ජනාධිපති උපදේශකයෙකි.

එසේ නැතිනම් ඔබ මේ සියල්ල කළේ වැටුප් නොලබල ගරු තනතුරක හිඳිමින්ද? (එයින් ද ඔබේ වගකීම අවසන් නොවන බව ඔබ ම දන්නේ ය. නැතිනම් ඉතාම ලස්සනට අපට ඒවා කියා දෙන්නට පුළුවන.)
ඔබ එකල හිටි, ඔය පඳුරකට ගැහුවත් හත අටක් විසිවෙන නිකම්ම ජනාධිපති උපදේශකයන් මෙන් නොව, ඒ කාලයේත්, ඉන් අනතුරුවත්, අදටත් සමාජය ඉදිරියට පැමිණ දේශපාලන මත නිශ්පාදකයකු, බුද්ධිමතකු, විචාරකයකු, විවේචකයකු ලෙස පෙනීසිටින්නට හදන්නෙකි. කොටින්ම බුද්ධිමය තලයේ දේශපාලන භූමිකාවක් රඟදක්වන බව පෙන්වන්නෙකි. එවැන්නකුට අර ඉහත කී අතිශය අපකීර්තිමත් කළු පැල්ලම් ගහන ඉතිහාසය ගැන වචනයක් නොකියා තවදුරටත් දේශපාලනය කරන්නට ලැබෙන වලංගු භාවය කුමක්ද?
සැකකාර ජනාධිපති ලේකම් වෙනුවෙන් පෙරට ආ අසමත් ජනාධිපති උපදේශක
මේ සියල්ලෙන් පෙනේන්නේ ඔබ දැරූ ජනාධිපති උපදේශක පදවියේ වගකීම් ඔබ නිසි පරිදි ඉටුකර නැති බව ය. ඒ භූමිකාවේ දී ඔබ බරපතල ලෙස අසමත් පමණක් නොව සෝදා ඉවත් කළ නොහැකි කුණු කන්දරාවක් මතු නොව ලේ ද යහමින් තවරාගෙන ඇති බව ය. ඔබේ උපදේශක යුගයේ ජනාධිපතිවරයාට අධිකරණය හමුවේ දැවැන්ත වන්දි මුදල්වලට යටත්වන්නටත්, ඔහුගේ තීරණ බල රහිත කරගන්නටත් සිදුවිය. උපදේශකයා වශයෙන් ඔබ අන්තිම අසාර්ථක ය. ඔබට සතුටුයිද දැන්?
සිය තනතුරේ වගකීම් ඒ ආකාරයෙන් හරිහැටි ඉටු නොකළ ශිරාල් දැන් සිය තනතුරේ වගකීම් ඉටුකිරීමේ දී කිසියම් වරදක් කර ඇතැයි සැකකරුවකු බවට පත්වී රිමාඩ් වී සිටින සමන් ඒකනායක වෙනුවෙන් පෙනීසිටී. තමන්ගේ ජනාධිපතිට හරියට නීති උපදෙසක් දීගන්නට බැරිව, ගත් ප්‍රධාන තීරණ කිහිපයක්ම රිවස් කර, කෝටි ගණන් වන්දි ගෙවන තුරු බලාසිටි ශිරාල් දැන් සමන් ඒකනායක බේරාගන්නට කෙස් පැලෙන තර්ක උසාවියේ නොව බුකියේ කොටමින් විලාප නඟයි.
ශිරාල්ගෙන් උපදෙස් ගත්තොත් සමන්ටත් අත්වනු ඇත්තේ සිරිසේනට අත්වූ ඉරණමමද?
'යහපාලන' ආණ්ඩුවේ ශිරාලියානු පංගුව
2015 යහපාලන ආණ්ඩුව යනු එතෙක් පැවැති රාජපක්ෂ පාලන දශකයේ පමණක් නොව සැලකිය යුතු මෑත ඉතිහාසයක රාජ්‍ය අපරාධ ඇතුළු මනුෂ්‍යත්වයට එරෙහි සැලකිය යුතු සංවිධිත අපරාධ ගොන්නකටත්, රාජ්‍ය දූෂණ වංචාවලටත් යුක්තිය සාධාරණත්වය ඉටුකිරීමට අවශ්‍ය පූර්ණ ජනවරමක් මත පිහිටවූ ආණ්ඩුවකි. රාජ්‍ය ප්‍රචණ්ඩත්වය හා වංචාව දූෂණය තීරණාත්මක ලෙස පරාජය කරන්නටත්, යුක්තිය සාධාරණත්වය හා නීතියේ ආධිපත්‍යය යළි පිහිටුවන්නටත් ලද ස්වර්ණමය අවස්ථාවකි. එය යතාර්ථයක් වූවා නම් 2019දී ගෝඨාභය බලයට එන්නේවත්, යහපාලනය අත්හැර දැමූ දේවල් ම කරවාගන්නට ඡන්ද දායකයාට 2024 දී අනුර කුමාරයෙක් හෝ ජාජබයක් හොයන්නට වෙන්නේත් නැත.

ඇත්තටම ඒ ස්වර්ණමය අවස්ථාව විනාශ කිරීම සම්බන්ධයෙන් ලංකාවේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් අතින් පුළුල් ගවේෂණයක් සිදුවිය යුතුය යන්න අපගේ අදහස යි. එහි දී නිසැකව ම ශිරාල්ගේ මඟහැර යා නොහැකි පංගුව ද හමුවනවා ඇත!
මේ ආකාරයෙන් බොහෝ අම්බළං පාළු කළ පුණ්‍ය වෘශභ රාජයකු වන් ශිරාල් දැන් දිනන දකුණේ ය! දිනන දකුණට, අනේ වාසනාවන්!!
ඉතින් ශිරාල්,
ඔබ වැනි නීතීඥයකු ලද මව්බිම වාසනාවන්ත නොවේද?
ඔබ වැනි ජනාධිපති උපදේශකයකු ලද සිරිසේන - කෝටි ගණන් දඩ කෑවත් - ගත් තීරණ අධිකරණ නියෝගයෙන් රිවස් කරගෙන කුජීත වුවත් - නිවී සැනහුනේ නොවේද?
අර Free Lawyersලා නම් කට්ටියට සිංහල නමක් නොතිබූ බැවින් මම ඔවුන්ට ‘නිකං ලෝයර්ස්ලා’ යන නම යෝජනා කළෙමි.
ඔවුන්ට මා යෝජනා කළ කෙටි නම ‘නිකම්මු’ යන්න යි.
තාමත් ඔබ ඒ කල්ලියට බැඳී නැතිනම්, වහාම ඊට සම්බන්ධ වීමට සිතාබලන මෙන් අවසන් වශයෙන් යෝජනා කරමි. ඒ සඳහා ඔබට ඕනෑවටත් වඩා සුදුසුකම් තිබේ!

(සටහන | සනත් බාලසුරිය)
මාධ්‍යවේදී
sanathbalas@gmail.com
උපුටා ගැනීම -
Sanath Balasooriya ගේ FB පිටුවෙන්...
සබැඳි ලිපි :
සමන් ඒකනායකගේ සිරබත් කෑම සාධාරනද? | Shiral Lakthilaka
'සමන් ඒකනායක හොඳ මහත්මයෙක්!' ; ඒත් මෙන්න මේ උපදෙස් ටිකත් පිළිපැද්දා නම්... | Sanath Balasooriya




