*විමර්ශනයක් වෙනුවෙන් නීතිපති MLA ලියන සම්ප්‍රදායයක් මෙතෙක් තිබී නැහැ!
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් (University of Wolverhampton) කරන ලදැයි කියන ආරාධනාවේ සත්‍ය අසත්‍යතාව නිල වශයෙන් දැනගැනීම සඳහා නිසි ක්‍රමවේදය අනුගමනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලිඛිතව ඉල්ලා තිබියදීත්, එවැනිම අන්‍යෝන්‍ය නීති සහයෝගීතාව (Mutual Legal Assistance – MLA) යටතේ කරන ඉල්ලීමක් ලියා යැවීමට නීතිපතිවරයා ද මේ වනවිට කටයුතු කරමින් සිටින බව අපට ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

මේ බව නීතිපතිවරයාගෙන් ප්‍රකාශ වී ඇත්තේ නඩුකරය සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සොලිසිටර් ජනරාල්වරයාගේ කාමරයේ සිදුවූ සාකච්ඡාවකදී ය.
සීඅයිඩීය දැනටමත් ඊමේල් හා දුරකතන (වට්ස්ඇප්) ඔස්සේත්, කේබල් පණිවිඩයක් වශයෙනුත් මේ ඉල්ලීම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී වෙත යවා ඇති අතර, එය ම විධිමත් MLA ඉල්ලීමක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නියමිත ක්‍රියාපටිපාටිය ඔස්සේ ද යැවීමට අවශ්‍ය කටයුතු සීඅයිඩීය පැත්තෙන් අවසන් කර අදාළ අංශ වෙත භාරදෙනු ලැබ තිබේ.
ඒ බව හොඳාකාරව ම දැන දැනත් නීතිපතිවරයා ඒ කාරණයට ම තමන්ගේ මැදිහත්වීමෙන් නැවත වතාවක් MLA ඉල්ලීමක් සකස්කරන්නට යන්නේ කුමක් සඳහාද යන්න පිළිබඳ දැඩි අවිශ්වාසයක් අදාළ ක්ෂේත්‍ර අතර පැතිර පවතින බව අපට දැනගන්නට ලැබී ඇත.
MLA ඉල්ලීම නීතිපතිගේ වැඩක් නොවේ

සාමාන්‍ය ක්‍රියාදාමයට අනුව අපරාධ සිදුවීම්වලට අදාළව අපරාධ වැරදි සම්බන්ධ අන්‍යෝන්‍ය සහයෝගීතා පනත (Mutual Assistance in Criminal Matters Act) යටතේ ප්‍රතිපාදන සපයා ඇති අන්‍යෝන්‍ය නීති සහයෝගීතාවක් (Mutual Legal Assistance – MLA) ඉල්ලාසිටීම නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරියක් නොව අදාළ නඩුකටයුත්ත සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන විමර්ශන ආයතනවලට අදාළ කර්තව්‍යයකි. විමර්ශන නිලධාරීන් විසින් සකස් කරනු ලබන අදාළ MLA ලියැවිල්ල සිය ප්‍රධානීන් මාර්ගයෙන් පොලිස්පතිවරයා වෙත යැවෙන අතර, පොලිස්පතිවරයා එය අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමුකරයි. එතැනින් එය විදේශ අමාත්‍යාංශය කරා ගොස්, නිල රාජ්‍ය තාන්ත්‍රික ගමන් මාර්ගය (තානාපති/මහ කොමසාරිස් කාර්යාල) ඔස්සේ අදාළ රටේ අදාළ ආයතනය වෙත ලැබෙන්නට සැලැස්වේ.
කිසියම් රාජ්‍ය විමර්ශන ආයතනයක් නිල ලිඛිත MLA ඉල්ලීමක් සිදුකළ යුතු රාජ්‍ය තාන්ත්‍රික ආකාරය වන්නේ එය යි.
MLA ඉල්ලීමක් සකස්කිරීමේ දී අවශ්‍ය වෙතොත් නීතිපති දෙපාර්තමේන්තුවේ අදාළ විමර්ශනයේ අධීක්ෂණ නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගැනීමට විමර්ශන නිලධාරීන්ට අවස්ථාව ඇති නමුත්, නීතිපතිවරයාම මැදිහත්ව MLA ලියන සම්ප්‍රදායයක් මෙතෙක් තිබී නැතැයි ද, දන්නා ඉතිහාසයේ කිසිම දිනෙක විමර්ශන ආයතනයක් වෙනුවෙන් නීතිපතිවරයා MLA එකක් සකස්කර යවා නැතැයි ද අපේ තොරතුරු මාර්ග කියාසිටී.
සීඅයිඩීය සැකසූ MLA ඉල්ලීමේ දීර්ඝ ප්‍රශ්නාවලියක්

අපගේ ආරංචි මාර්ගවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකසා ඇති MLA ඉල්ලුම සිය විමර්ශන කාර්යයට ඇවැසි සියලු තොරතුරු පාහේ ආවරණය වන පරිදි ප්‍රශ්න ඇතුළත් කරමින් ඉතාම පැහැදිළිව සකස් කරන ලද්දකි. මාර්ගගත ක්‍රමයට හා කේබල් ඔස්සේ ද යවා ඇත්තේ මේ ඉල්ලීමම ය. කරුණු එසේ තිබියදීත් නීතිපතිවරයා මෙතෙක් කිසිදා භාවිතයේ නොතිබුණු ක්‍රියාදාමයකට මුලපුරමින් තමන් ම තවත් MLA ඉල්ලීමක් ලියන්නට හදන්නේ කුමන අරමුණකින්ද යන්න බෙහෙවින් සැකසහිත ය.
සාමාන්‍යයෙන් මේ කියන MLA හෙවත් අන්‍යෝන්‍ය නීති සහයෝගීතා ඉල්ලීමක් යවා පිළිතුරක් ලබාගැනීම ඇතැම් විට මාස ගණනක සිට වසර ගණනාවක් දක්වා කල් ගතවන ක්‍රියාවලියකි. සීඅයිඩී විමර්ශන නිලධාරීන් මෙරටදී මෙන් ම ලන්ඩනයේදී ද සිය විමර්ශන කටයුතු මෙතෙක් සිදුකර ඇත්තේ මේ ගැන පූර්ණ අවබෝධයකින් බව ද අපට දැනගන්නට ඇත.
නිල ආරාධනයක් පැමිණිය යුතු මාර්ගය ඔස්සේ රනිල්ට කිසිදු ආරාධනයක් පැමිණ නෑ!

මේ නඩුව වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පෙනීසිටින නීතීඥ කණ්ඩායමේ මතය වී ඇත්තේ, අදාළ ආරාධනය ගැන විශ්වවිද්‍යාලයෙන් ලැබෙන පිළිතුර කුමක් වුවත්, මේ දක්වා විමර්ශනවලින් හෙළිවී ඇති කරුණුවලින් පෙනෙන්නේ එය නිල ආරාධනයක් බවට පත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කිසිවක් මෙරට රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය තුළ සිදුවී නැති බව ය.
මේ බව මේ දක්වා විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශ ලබාදී ඇති ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ හිටපු හා දැනට ඉන්නා නිලධාරීන්ගේ, මෙරට විදේශ අමාත්‍යාංශ නිලධාරීන්ගේ පමණක් නොව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ කටඋත්තරයෙන් ද පැහැදිළි වන බව ඔවුන්ගේ නිගමනය යි.
රනිල් උසාවියට දැමූ ආරාධනාව සමන් ඒකනායකටවත් පෙන්නලා නෑ!

නිදසුනකට සමන් ඒකනායක පසුගිය ජනවාරි 30වැනිදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී ලබාදී ඇති ප්‍රකාශයෙන් ද කියන්නේ රනිල්ගේ ලන්ඩන් ගමන හුදෙක් Transit එකක් (සංක්‍රාන්ති නැවතුමක්) පමණක් බව යි. රනිල් වෙත එවන ලද විශ්වවිද්‍යාල ආරාධනය ලෙස දැක්වෙන ලිපිය තමන් ද මුල් වරට දුටුවේ රනිල් වික්‍රමසිංහ කොටුව අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ දී මාධ්‍ය ඔස්සේ පමණක් බව ඒකනායක කියා තිබේ.
නීතිපතිගේ උප්පරවැට්ටිය
නීතිපතිවරයාගේ මේ සාමාන්‍ය භාවිතයට පටහැනි ක්‍රියාමාර්ගයේ අනුමාන කළ හැකි අරමුණු දෙකක් අපගේ නිරීක්ෂණයට ලක්වේ.
පළමුවැන්න වන්නේ, සීඅයිඩීය සකස්කර ඇති MLA ලියැවිල්ලෙන් විමසා ඇති සියලු කරුණු ආවරණය වන ප්‍රශ්නාවලිය ඉවත ලා හුදෙක් අදාළ විශ්වවිද්‍යාලය රනිල් වික්‍රමසිංහට ආරාධනයක් සිදුකළාද යන්න පමණක් විමසා, ඊට විවිධ පෞද්ගලික සබඳතා යොදාගනිමින් කඩිනම් පිළිතුරක් ලබාගැනීම විය හැකි ය. ඒ ආකාරයෙන් සීඅයිඩී ඉල්ලීම නියම රාජ්‍ය තාන්ත්‍රික පාරෙන් ගොස් පිළිතුරක් සපයාගන්නට පෙර තමන්ට පිළිතුරක් ලබාගන්නටත්, එය අධිකරණයට ඉදිරිපත් කරන්නටත් හැකිවනු ඇතැයි ඔවුන් සිතනවා විය හැකි ය.
ඒ ආකාර මැදිහත්වීමක් සහිත විමසීමකින් ලැබෙනු ඇත්තේ හුදෙක් ආරාධනයක් සිදුකළා හෝ නැත යන පිළිතුර පමණක් වියහැකි අතර, එය අදාළ විශ්වවිද්‍යාලයේ උසස් උපාධියක් ලබන ඕනෑම සිසුවකු/සිසුවියකගේ පාර්ශවයෙන් සමීපතමයකුට හෝ දෙදෙනකුට (මව,පියා - බිරිය, සැමියා වැනි) සහභාගී වන්නට අවස්ථාව ලබාදෙමින් එවන ආරාධනයකට වෙනස් එකක් නොවන්නට හොඳට ම ඉඩ තිබේ.

එවැනි ආරාධනයක් රාජ්‍ය නායකයකුට නිල වශයෙන් ලැබුණු එකක් බවට තර්ක කරන්නට හැකිද යන්න ගැටලුවක් බව සැබෑ ය. එහෙත් අදාළ විශ්වවිද්‍යාලයෙන් ඒ ගැන විමසා බලන්නැයි මහේස්ත්‍රාත් නියෝගයක් ද පවතින බැවින්, නීතිපතිවරයා මැදිහත් වී ගෙන්වාගන්නා මේ ‘බාග සහතිකය’ අධිකරණය හමුවේ රනිල්ගේ පැත්තට ක්‍රියාත්මක වන වැදගත් සාක්ෂියක් බවට පත්කරගත හැකි ය යන ගණන් බැලීම ඒ පසුපස තිබෙන බව අනුමාන කළ හැකි ය.
අධිචෝදනා ගොනුකිරීම කල්දැමීමේ උප්පරවැට්ටියක්?
සැකකළ හැකි දෙවැනි අරමුණ වන්නේ, මෙය රනිල්ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීම හැකි තරම් කාලයක් පමාකිරීමේ උපක්‍රමයක් වන්නට ද පිළිවන් ය යන්න යි. ඊළඟ නඩු වාරය යෙදී ඇත්තේ අප්‍රේල් 29වැනිදාට වන අතර, නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකරන්නේ නම් ඊට පෙර ඒ කටයුත්ත අවසන් කිරීම සුදුසු බව මහේස්ත්‍රාත්වරයා පසුගිය 18වැනිදා සමන් ඒකනායකට ඇප ලබාදුන් අවස්ථාවේ කියාසිටියේ ය.
මේ අනුව, විශ්වවිද්‍යාලයේ පිළිතුර නොමැති බැවින් සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉල්ලා සිටීමට හෝ අධිචෝදනා ගොනුකිරීමට හැකියාවක් නැතැයි කල්ගැනීම මේ කාර්යය සැලසුම් කරන්නන්ගේ වුවමනාව වී තිබෙන්නටත් පිළිවන. එසේ වුවහොත් අධිචෝදනා භාරදීම වසරක් හෝ ඊටත් වඩා කල් ඇදෙන්නට පවා බැරිකමක් නැති බව පෙනෙන්නට තිබේ.
කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් සිදු නොවන පරිදි නීතිපතිවරයා විමර්ශන ආයතනය වෙනුවෙන් MLA එකක් ඉල්ලන්නට යාම යට ඇත්තේ, රනිල්ගේ නඩුව දියාරු කරන හෝ කල් අදින කිසියම් කූට උපායක් බව ඉතාම සාධාරණ ලෙස සැක කළ හැකි බව අපේ ආරංචි මාර්ග කියාසිටී.(සටහන | සනත් බාලසුරිය)
මාධ්‍යවේදී
sanathbalas@gmail.com
උපුටා ගැනීම -
Sanath Balasooriya ගේ FB පිටුවෙන්...
සබැඳි ලිපියක් :
රනිල්ගේ නඩුව : එංගලන්තයෙන් සාක්ෂි ලබාගැනීමේදී නීතිපතිවරයා අනුගමනය කරන ක්‍රියාපටිපාටිය ප්‍රශ්න කිරීමකට




