පසුගිය ඉරිදා (22) සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක ‘පැළකරන ලද’ පුවතක් කර තියාගෙන දුවන සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය නඩුකාරයන් පිරිසක්, එතැන් පටන් රනිල්ගේ නඩුවේ තීන්දුව දී අවසන් කර තිබිණි. ඊට අනුව රනිල් නඩුවෙන් දිනුම් ය. පැමිණිල්ල මෙහෙයවූ වූ නීතිපති දෙපාර්තමේන්තුවේ හා විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හම ගලවා අවසන් ය.
සුපුරුදු පරිදි පුවත ‘පැළකර’ තිබුණේ රනිල් වික්‍රමසිංහගේ මවගේ සහෝදරයාට අයත් The Sunday Times පුවත්පතේ ය.
එහෙත් ඇත්තම කතාව නම් සන්ඩේ ටයිම්ස් නැවත වතාවක් මේ නඩුකරය ගැන පුවත් ‘පැළකරන්නට’ ගොස් වෘත්තීය භාවය පිරිහෙලාගෙන, රෙදිත් ගලවාගෙන ඇත යන්න යි.
ඒ වාර්තාකරණයට ප්‍රතිපක්ෂව, වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලය තොරතුරු දැනගැනීමේ නිදහස (FOI) යටතේ සීඅයිඩීයට යවා, මේ වනවිටත් නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදී ඇති පිළිතුරේ සත්‍ය තත්ත්වය ඇති සැටියෙන්, එහෙත් ස්වාධීන අධිකරණ ක්‍රියාවලියට බාධාවක් නොවන දුරකට වාර්තා කිරීම මෙහි අරමුණයි.
පිළිතුරේ වැදගත්ම කරුණුවල සංක්ෂිප්තයක්
සියලු ඇමුණුම් සහිතව පිටු 10ක් පුරා දිවයන මේ පිළිතුරු ලිපියේ අඩංගු වැදගත් ම කරුණු සංක්ෂිප්තව කිවහොත් ඒ මෙසේ ය.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ ගෞරව උපාධිලාභිනී, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ජනාධිපති ආර්යාවට එම උපාධි ප්‍රදානෝත්සවයට පෙර පැවැත්වෙන දිවා භෝජන සංග්‍රහයට සහභාගී වන මෙන් එවන ලද, දැනට ප්‍රසිද්ධියට පත්ව ඇති ආරාධනා පත්‍රය වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලය විසින් එවන ලද්දකි.
ආරාධනා ලිපියේ යොමුකිරීමේ ලිපිනයෙහි සඳහන් වන්නේ, එය ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය භාරයේ එවන බව ය. (එහෙත් එය එම කාර්යාලයට ලැබී නොමැති බව මෙහි මතුවට කරුණු සහිතව හෙළිකරමු.)
රනිල් වික්‍රමසිංහගේ පැමිණිම ගැන එක්සත් රාජධානියේ ආණ්ඩුවට කල්තියා හෝ නිල වශයෙන් දැනුම්දීමක් සිදුකළ බවටවත්, එරට ආණඩුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්, රාජ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීමක් හෝ ආණ්ඩුවෙන් උපදෙස් ලබාගැනීමක්, කිසියම් හෝ සහායක්, සම්බන්ධීකරණයක් හෝ පහසුකම් සැපයීමක් ඉල්ලා සිටීමක් හෝ සිදුවූ බවට කිසිදු ලිපිහුවමාරුවක් විශ්වවිද්‍යාලය සතුව නොමැත.
එහි සරල තේරුම නම් මෙය හුදෙක් විශ්වවිද්‍යාලය විසින් යවන ලද ආරාධනයක් මිස ඊට එරට රජයේ කිසිදු අයුරක සම්බන්ධයක් තිබී නොමැති බව ය.
විශ්වවිද්‍යාලයේ උත්සවයට අදාළ කිසියම් ම හෝ නිල වාර්තාවක්, ලිපි හුවමාරුවක්, ආරාධනා වැඩසටහනක් හෝ වාර්තාමය ද්‍රව්‍ය කිසිවක් ද විශ්වවිද්‍යාලය සතුව නොමැති බව එහි කියා ඇත. ඔවුන් සතුව ඇති එකම ලියවිල්ල මේ කියන ආරාධනය යි.
එහි තේරුම නම්, සිය බිරියගේ උපාධි ප්‍රධානෝත්සවයට සැමියා ලෙස සහභාගී වීම හැරුණු විට කිසිදු වාර්තාගතවන නිල රාජකාරි කටයුත්තකට රනිල් එම ගමනේ දී සහභාගී වී නොමැති බව ය.
දැන් අපි මේ ඊමේල් පණිවුඩයේ වැඩිදුර කාරණාවලට යොමුවෙමු...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) යොමුකළ ප්‍රශ්න මාලාවෙන් මුලින් ම විමසා ඇත්තේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලය මහජන අරමුදල්වලින් නඩත්තු වනන්නක්ද (Public funded university), රාජ්‍ය විශ්වවිද්‍යාලයක්ද (State university), නැතිනම් මුළුමනින් ම පෞද්ගලික විශ්වවිද්‍යාලයක්ද (exclusively a private university) යන්න යි.
කෙටි පිළිතුර, එය Public university එකක් යන්න යි.
විශ්වවිද්‍යාලය Public university එකක් වීම විසින් රනිල්ට නඩුකරයේ දී කිසියම්ම හෝ නෛතික වාසියක් අත්කර දෙනු ඇතිය යන්න බෙහෙවින් සැකසහිත ය.
මේ නඩුකරයට අදාළව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් භාරයේ සිටිය දී පසුගිය ජනවාරි 30වැනිදා ලබාදුන් කටඋත්තරයේදී ද ඔහු කියන්නේ, එක්සත් රාජධානියේ රජයට අයත් විශ්වවිද්‍යාල යනුවෙන් වර්ගයක් නොමැති බව ය. ඇත්තේ, ලාභය සඳහා නොවන විශ්වවිද්‍යාල බවත්, ඒවාට රජයෙන් වසරකට කිසියම් ප්‍රතිපාදනයක් ලබාදෙන බවත්, ඊට අමතරව ඒවා එම ආයතනවලින් ම ලැබෙන ආදායමෙන් පවත්වාගෙන යා යුතු බවත් ය.
රනිල්ගේ ‘සැනසිල්ලට’ ඇති එකම කාරණය
මෙම ආරාධනය ඍජුව ම යවන ලද්දක්ද, නොඑසේ නම් රාජ්‍ය තාන්ත්‍රික, රාජ්‍යමය හෝ ආයතනික මාර්ගයක් ඔස්සේ යවන ලද්දක්දැ’යි සීඅයිඩීය කර ඇති විමසීමට දී ඇති පිළිතුර වන්නේ, ඉහතින් ද කියා ඇති පරිදි එය ලන්ඩනයේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය භාරයේ රනිල්-මෛත්‍රී දෙපළ වෙත යවා ඇති බව යි.

අපේ අවබෝධයේ හැටියට මේ FOI පිළිතුරේ වික්‍රමසිංහ පාර්ශ්වයේ කිසියම් සැනසීමකට ඇති එකම සඳහන වන්නේ මෙය යි. ඊට අනුව මෙය රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයක් ඔස්සේ එවන ලද්දකැ’යි තර්ක කළ හැකි බවක් බැලූ බැල්මට පෙනේ.
එහෙත් ගැටලුව වන්නේ, විශ්වවිද්‍යාලය මේ ලිපිය මේ ආකාරයෙන් මහකොමසාරිස් කාර්යාලය භාරයේ එවන බවට ලිපියේ ම සඳහන් කර ඇතත්, මහකොමසාරිස් කාර්යාල ලිපිනය මෙහි පෙනෙන්නට තියෙනවා හැරෙන්නට මෙය කිසිදු අයුරකින් මහකොමසාරිස් කාර්යාලය ඔස්සේ සිදුවූ ලිපි ගනුදෙනුවක් නොවන බව දැනට ඇති සාක්ෂිවලින් තහවුරු වීම යි.
ඒ අනුව මේ ආරාධනා ලිපිය මහකොමසාරිස් කාර්යාලයට මෙන් ම ජනාධිපති ලේකම් කාර්යාලයට ද අභිරහස් එකක් වී ඇති බව ය අපේ නිරීක්ෂණය වන්නේ!
අප එසේ කියන්නේ ඇයි?
ආරාධනා ලිපිය ‘අබිරහසක්’
මේ ආරාධනාව මහකොමසාරිස් කාර්යාලය භාරයේ එවන බව ලිපියේ සඳහන් වුවත්, එය කිසිම අවස්ථාවක මහකොමසාරිස් කාර්යාලයට පැමිණි බවට සාක්ෂි නැත.
කිසියම් නිල ලියමනක් ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලය භාරයේ නිල වශයෙන් පැමිණෙන්නේ නම් එය පළමුව මහකොමසාරිස් කාර්යාලයට ලැබිය යුතු ය. ඉන් අනතුරුව එය එතැනින් අදාළ පුද්ගලයා වෙත යොමුකරනු ලබන්නේ ය. ඒ සමඟ ම ලියුමට අනුව ගතයුතු රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාදාමය එම කාර්යාලය විසින් ඇරැඹිය යුත්තේ ය.
එහෙත් එවැන්නක් මෙහිදී සිදුවී ඇතැයි අනාවරණය වී නැත.

අනෙකුත් ඕනෑම රජයේ හෝ පෞද්ගලික ආයතනයක මෙන්, ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලය වෙත තැපැල් මගින් හෝ ඊමේල් මගින් හෝ වෙනත් ඕනෑම ක්‍රමයකින් ලැබෙන හැම ලිපියක් ම පළමුව ලියාපදිංචි වන ක්‍රමවේදයක් පවතී. තැපැල් මඟින් ලැබුණා නම්, ලැබුණු දිනය සහිත මුද්‍රාවක් එම ලිපියේ තිබිය යුතු ය. (රනිල් පෙන්වන ආරාධනයේ මහකොමසාරිස් කාරියාලය තැබූ එවැනි නිල මුද්‍රාවක් නැත.) එසේම, ලැබුණු ලිපි පිළිබඳ සටහන් ලේඛනයේ එය ලද බව සටහන් වී තිබිය යුතු ය. ඒ ලියමන නැවත වික්‍රමසිංහ යුවල වෙත තැපැල්කර හැරියේ නම්, යවන ලද ලිපි සම්බන්ධයෙන් වන වාර්තාවේ ඒ බව සටහන් විය යුතු ය.
ඉතාම අභිරහස් ලෙස මේ ආරාධනාව සම්බන්ධයෙන් එය ලැබුණු බවට හෝ නැවත අදාළ පුද්ගලයන්ට යවන ලද බවට හෝ කිසිදු සටහනක් මහකොමසාරිස් කාර්යාලයේ අදාළ ලේඛනවල නැත.
මහකොමසාරිස් කාර්යාලයට ආරාධනය ලැබී නෑ!
එය ඊමේල් මඟින් ලැබිණි නම් ඒ බව නිල ඊමේල් ගිණුමේ පැමිණි මේල්වල (inbox) තිබිය යුතු ය. එය අදාළ පුද්ගලයන්ට නැවත යොමු කළේ නම් ඒ බව ඊමේල් ගිනුමේ යවන ලද ඊමේල් අතර සටහන් වී තිබිය යුතු ය. ඊට අමතරව, ලැබෙන ඊමේල්වලට අදාළ වාර්තාවක් ද මෘදු පිටපතක් (soft copy) හා දෘඩ පිටපතක් (hard copy) ලෙස එම කාර්යාලය පවත්වාගෙන යන නමුත්, ඒ කිසිදු ලේඛනයක ද මේ ලිපිය ඊමේල් මඟින් හෝ ලැබුණු බවට කිසිදු සඳහනක් නැත.
ෆැක්ස් හෝ වෙනත් කිසිදු මාර්ගයකින් මේ ආරාධනය පැමිණි බවක් පිළිබඳ කිසිදු සටහනක් ද එහි දෘඩ වාර්තාවල හෝ මෘදු වාර්තාවල නොමැත.

එපමණක් නොවේ, මේ කාලය වන විට මහකොමසාරිස් ලෙස කටයුතු කළ සරෝජා සිරිසේන හෝ මේ සිද්ධිය සම්බන්ධයෙන් සීඅයිඩී විමර්ශනයේ දී ප්‍රකාශ ලබාදී ඇති ලිපිලේඛන කටයුතු සිදුකරන මහකොමසාරිස් කාර්යාල සේවක මණ්ඩල සාමාජිකයන් අතරින් කිසිවකුත් මේ කියන ආරාධනය සිය කාර්යාලයට පැමිණි බවක් හෝ එතැනින් වික්‍රමසිංහ යුවල වෙත නැවත යැවූ බවක් දැක හෝ දන්නේ නැත.
එය මහකොමසාරිස් කාර්යාලයට නොපැමිණ කෙළින්ම විශ්ව විද්‍යාලය මඟින් වික්‍රමසිංහ දෙපළ වෙත යැවීනම්, එය නියමිත නිල රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයට යොමුකිරීම උදෙසා එම දෙපළ- විශේෂයෙන් ජනාධිපති රනිල්- ඒ පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට දැනුම් දී, ලිපිය ඒ වෙත යොමුකරවා නියමිත ප්‍රොටෝකෝලයට අනුගත කරනමෙන් දන්වා සිටිය යුතුව තිබිණි. මේ ආරාධනය සම්බන්ධයෙන් එවැන්නක් ද සිදුවී ඇති බවට මෙතෙක් සාක්ෂි හමුවී නොමැත.
ඒ අනුව මෙය මහකොමසාරිස් කාර්යාලයට තනිකරම අබිරහස් ආරාධානා ලිපියකි.
ජනාධිපති ලේකම්ටත් ‘අබිරහසක්’ වූ ආරාධනාවක්
එපමණක් නොවේ. මෙය ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධානතම නිලධාරියා වන එවකකට ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ද අබිරහසක් වූ ආරාධනයකි. උසාවියට ඉදිරිපත් කරන තුරු ඔහු ද මේ ලියුම ඇහැට දැකලා නැත.

මේ සිද්ධියට අදාළව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් භාරයේ සිටිය දී පසුගිය ජනවාරි 30වැනිදා ලබාදුන් කටඋත්තරයේදී, රනිල් පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති ආරාධනා ලිපිය පෙන්වා, එම ලේඛනය දැක තිබේදැ’යි විමර්ශන නිලධාරියා විමසන ප්‍රශ්නයට සමන් ඒකනායක පිළිතුරු දෙන්නේ මෙසේ ය.
“හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කොටුව ගරු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ දී මාධ්‍ය හරහා තමයි මේ ලිපිය දැක්කේ. මීට පෙර මා මෙම ලිපිය දැකලා නැහැ.”
විශ්වවිද්‍යාලය මහකොමසාරිස් කාර්යාලය භාරයේ වික්‍රමසිංහ යුවල වෙත එවන ලදැයි කියන මේ ආරාධනා ලිපිය මහකොමසාරිස් කාර්යාලට පමණක් නොව ජනාධිපති ලේකම් කාර්යාලයටත් අබිරහසක් වන්නේ මෙසේ ය.
උපකල්පනය කළ හැක්කේ කුමක්ද?
මේ ආරාධනය මෙබඳු ‘අබිරහසක්’ විය හැක්කේ කෙසේද යන්න ගැන අපේ උපකල්පනය මෙය යි.
කිසියම් පුද්ගලයකුට කිසියම් පිළිගත් ආයතනයකින් ගෞරව උපාධියක්, සම්මානයක්, අගැයීමක් වැනි දෙයක් පිරිනමන විට, පළමුව ඒ තීරණය අදාළ පුද්ගලයාට පෞද්ගලිකව දැනුම්දෙනු ලබයි. බොහෝවිට එය දුරකතන මාර්ගයෙන් සිදුවන බව ජාත්‍යන්තර අත්දැකීම්වලින් පවා පැහැදිළි වෙයි.
ඒ ආකාරයෙන් ම මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට ද මේ සතුටුදායක ආරංචිය පෞද්ගලිකව (දුරකතනයෙන්, ඊමේල් මඟින් හෝ වෙනත් සන්නිවේදන මාර්ගයකින්) පළමුව දැන්වූවා වියහැකි ය. ඇය වෙනුවෙන් උත්සව අවස්ථාවට සහභාගී වන්නට යෝජනා කරන්නේ කවුරුන්ද, අදාළ ආරාධනය එවිය යුත්තේ කුමන ලිපිනයකට කුමන ආකාරයෙන්ද ආදී කාරණා ද ඒ සමඟම හෝ පසු අවස්ථාවක ඔවුන් අතර සන්නිවේදනය වන්නට ඇත. ඒ අනුව ලියමන මහකොමසාරිස් කාර්යාලය භාරයේ එවන්නැ’යි මෛත්‍රී වික්‍රමසිංහ පාර්ශ්වයෙන් දැනුම් දෙන්නට ඇත.
එහෙත් ආරාධනය මහකොමසාරිස් කාර්යාලයට ලැබී නැත. ඒ ඇයි? අපගේ උපකල්පනය නම්, ‘මහකොමසාරිස් කාර්යාලය භාරයේ’ යනුවෙන් ආමන්ත්‍රණය කරන ලෙස ඉල්ලා සිටියත්, එය මහකොමසාරිස් කාර්යාලය වෙත යැවීම අවශ්‍ය නැති බවත්, ඍජුව ම තමන් වෙත එවන ලෙසත් ලබන්නන්ගේ පාර්ශ්වය ඉල්ලා සිටින්නට ඇත.
“අපට විරුද්ධව කවුරු නඩු දාන්ඩද?”
රාජ්‍ය තාන්ත්‍රික භාවය හා ප්‍රොටෝකෝල ගැන විශාරදයකුය යි කියන රනිල් එවැනි තීරණයක් ගන්නට ඇත්තේ ඇයි? මෙවැනි ‘සිල්ලර කාරණාවලට’ තබා මොන ජාතියේ වරදකටවත් තමන්ට එරෙහිව කිසිදා නීතිය ක්‍රියාත්මක වන්නට නියමිත බව සිහිනෙනුදු සිතන්නට රනිල්ලාට හේතුවක් නොතිබූ බැවිනි. තට්ටු මාරු ක්‍රමයට රටේ දේශපාලන බලය අල්ලාගන්නා කොයි පාර්ශ්වයක් වුවත් එවැනි පියවරක් නොගන්නා බව සහතිකව දැන සිටි බැවිනි.

මාරාන්තික ප්‍රතිවිර්ද්ධකාරයන් ලෙස පෙනීසිටි රාජපක්ෂලාගේ ම පාර්ලිමේන්තු කණ්ඩායමේ ඡන්දයෙන් ජනාධිපති වී, ඒ නාමිකව හෝ පැවැති ප්‍රතිවිරුද්ධතාවේ හිඩැස ද මකාගත්තාට පසු, කවුරුන් නම් මෙවැනි ‘සිල්ලර දේවල්වලට’ නීතිය ක්‍රියාත්මක කරන්නද? රනිල් සිතන්නට ඇත්තේ එලෙසිනි.
ඔහුගේ අවාසනාවට, කිසිදා රටේ පාලන බලය නොදරනු ඇතැයි ඔහු පමණක් නොව ඔහුගේ පෙළැන්තියමත්, ඔවුන්ගේ ආවතේවකාරයන්, දාසයන් හා වහලුනුත් බලාපොරොත්තු නොවූ පෙළැන්තියක් අතට මහජන ඡන්දයකින් ම බලය හුවමාරු වූවාට පසු, සිදුවෙමින් පවතින්නේ ඔවුන් සිහිනෙන්වත් නොසිතූ දෙයකි.
ඉතිරි පිළිතුරු සියල්ල පරහට හිටින ලකුණු!
FOI ඔස්සේ සීඅයිඩීයට ලැබී තිබෙන ප්‍රතිචාරයේ, ප්‍රශ්නගත ආරාධනාව මහකොමසාරිස් කාර්යාලට භාරයේ කියා ලිපිනය ලියා ඇතැයි සඳහන් කිරීම හැරෙන්නට, අන් සියලු පිළිතුරුවලින් සනාථ වන්නේ මෙය නිල රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවක් නොවේ ය යන්න අපේ අවබෝධය යි. එය හුදෙක් ගෞරව උපාධිලාභිනී මෛත්‍රී වික්‍රමසිංහ මහාචාර්යවරියගේ ස්වාමියා වශයෙන් උත්සවයට හා පූර්ව දිවා භෝජනයට සහභාගී වීමට රනිල් විශ්වවිද්‍යාලයෙන් ලද ‘විශ්වවිද්‍යාලය පැත්තෙන් ගත් කල නිල ඇරයුමක්’ පමණක් බව පැහැදිළිව පෙනීයයි.

රාජ්‍ය වේවා, පොදු වේවා, මොනම විශ්වවිද්‍යාලයකවත් ‘නිල ඇරැයුමක්’, ‘රාජ්‍ය තාන්ත්‍රික නිල ඇරැයුමක්’ බවට පත්වන්නේ නැත. එසේ පත්කරගැනීමට අවශ්‍ය නම්, ඊට අනුගමනය කළ යුතු වෙනත් රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ග ද, එය පැමිණිය යුතු නිල රාජ්‍ය තාන්ත්‍රික ගමන් මාර්ගයක් ද තිබේ. නිදසුනකට, රනිල්ගේ මිතුරකු බවට වගාඩම්බරයෙන් පවසන එවකට සිටි කුලපති ස්වරාජ් පෝල් සාමිවරයා සමඟ මේ කියන උත්සව අවස්ථාවට සමගාමීව නිල සාකච්ඡාවක් යොදාගත්තේ නම්, ඒ සාකච්ඡාවේ නිල ඡායාරූපයක් ගත්තේ නම්, සාකච්ඡා කළ දේ ගැන නිල සටහන් තබන්නට කටයුතු කළේ නම්, එය ‘නිල රාජ්‍ය තාන්ත්‍රික ගමනක්’ බවට පත්කරගන්නට ඉඩක් විවර වන්නට තිබිණි. අනෙක් අතට ආරාධනාව නිල රාජ්‍ය තාන්ත්‍රික මාර්ගවලින් ම ගෙන්වා ගත්තානම් එය ද නිල රාජ්‍ය තාන්ත්‍රිකත්වයකට ප්‍රයෝජනවත් වන්නට තිබිණි.
ඒ කිසිවක් අනුගමනය කරන්නේ නැතිව, මහකොමසාරිස් කාර්යාලය භාරයේ එවන බව කියා ලියුමක් ලියවාගත්තාට එය රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවක් බවට පත්කරගත නොහැකි බව ය අපේ අවබෝධය.
බ්‍රිතාන්‍ය ආණ්ඩුවට දැනුම්දීලා නෑ!

ඉහත උත්සවයට අදාළව රනිල්ගේ පැමිණීම ගැන එක්සත් රාජධානියේ ආණ්ඩුවට කල්තියා දැනුම් දුන්නාදැයි සීඅයිඩීය අසන ප්‍රශ්නයට මේ පිළිතුරු ලිපියෙන් කියන්නේ, ආණ්ඩුව සමඟ කිසිදු පණිවුඩ හුවමාරුවකට අදාළ වාර්තාවක්විශ්ව විද්‍යාලය සතුව නොමැති බව ය.
එහි තේරුම නම්, විශ්වවිද්‍යාලය එරට ආණ්ඩුවට මේ ගැන කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව ය.
කිසිදු විශේෂ රාජ්‍ය ආරක්ෂාවක් නෑ!
රනිල්ගේ පැමිණීම අතරතුර එක්සත් රාජධානියේ බලධාරීන් විසින් කිසියම් හෝ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හෝ රාජ්‍ය ආරක්ෂක විධිවිධාන සලසා තිබුණේදැ’යි අසන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර වන්නේ, මේ පැමිණීම සඳහා කිසිදු විශේෂ හෝ රාජ්‍ය ආරක්ෂක විධිවිධානයක් සලසා තිබූ බවට කිසිදු පණිවුඩ හුවමාරුවකට අදාළ වාර්තාවක් විශ්වවිද්‍යාලය සතුව නොමැති බව ය.
එහි තේරුම නම්, රනිල්ගේ සංචාරයට කිසිදු විශේෂ හෝ රාජ්‍ය ආරක්ෂාවක් සපයා නොමැති බව ය.
බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් කිසිදු උපදෙසක්, සහායක්, සම්බන්ධීකරණයක් සිදුවී නෑ!
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ හා ආර්යාවගේ පැමිණීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය එක්සත් රාජධානියේ ආණ්ඩුවට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකළාද, නැතිනම් ආණ්ඩුවෙන් උපදෙස් ලබාගැනීමක් සිදුකළාද, එසේත් නැතිනම් ආණ්ඩුවෙන් කිසියම්ම හෝ සහායක්, සම්බන්ධීකරණයක් හෝ පහසුකම් සැපයීමක් ඉල්ලා සිටියේදැ’යි නඟන ප්‍රශ්නයට පිළිතුරු දී ඇත්තේ ද, මේ සංචාරය සම්බන්ධයෙන් එරට ආණ්ඩුව දැනුවත් කළ බවට හෝ උපදෙස් පැතූ බවට හෝ කිසිදු සහායක්, සම්බන්ධීකරණයක්, පහසුකමක් ඉල්ලා සිටි බවට කිසිදු පණිවුඩ හුවමාරුවකට අදාළ වාර්තාවක් විශ්වවිද්‍යාලය සතුව නොමැති බව කියමිනි.
ඒ කියන්නේ මේ සංචාරයට අදාළව එවැනි කිසිදු කටයුත්තක් සිදුවෙලාත් නැත.
‘නිල වාර්තා මොකුත් නෑ. තියෙන්නේ ඔය ලියුම විතරයි!’
උක්ත අවස්ථාවට හෝ උත්සවයට අදාළ කිසියම් ම හෝ නිල වාර්තාවක්, ලිපි හුවමාරුවක්, ආරාධනා වැඩසටහනක් හෝ වාර්තාමය ද්‍රව්‍ය විශ්වවිද්‍යාලය සතුව තිබේද, එසේනම් ඒවායේ සහතික කළ පිටපත් ලබාදිය හැකිද යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර වන්නේ, මේ ඉල්ලීමට අදාළව ඉදිරිපත් කිරීමට විශ්වවිද්‍යාලය සතුව ඇත්තේ මෙහි අමුණා ඇති ආරාධනා ලිපිය පමණක් බව යි.
මේ පිළිතුරු සියල්ලෙන් හෙළිදරව් වන්නේ කුමක්ද? ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා එවන බවට මේ ආරාධනා ලිපියේ සඳහන් වීම හැර වෙනත් කිසිදු නිල රාජ්‍ය තාන්ත්‍රික භාවයක් මේ ආරාධනාවේ නොමැති බව ය. ඒ වූකලී, උපාධි ප්‍රදානෝත්සවයක දී කිසියම් උපාධි ලාභිනියකට/ලාභියකුට ලැබෙන්නට සලස්වන ඉතාම සාමාන්‍ය ආරාධනා ලිපියකි. උපාධි ප්‍රදානෝත්සවයේ කටයුතු සැලසුම්වෙද්දී, එම අවස්ථාවට සහභාගී වීමට ඒ ඒ උපාධි ලාභිනියගේ/ලාභියාගේ මව පියා වැනි සමීපතමයකුට (හෝ ඉඩ පහසුකම් මත එක් අයකුට වැඩි පිරිසකට) සහභාගී වීමට අවස්ථාව බොහෝවිට ලැබෙන අතර, එසේ සහභාගීවන අය නම්කිරීමේ අවස්ථාව ලැබෙන්නේ උපාධි ලාභිනියට/ලාභියාට ය. අදාළ ආරාධනා පත්‍රය ලැබිය යුතු ලිපිනය තීරණය කිරීමේ හැකියාව ද බොහෝවිට එය ලබන්නාට හිමි වේ.

නිදසුනකට කිසියම් උපාධි ලාභිනියක් සිය මව සමඟ සහභාගී වන්නේ නම්, ඒ ආරාධනාව නිවෙසට ගෙන්වාගන්නවාද, මවගේ කාර්යාලයට ගෙන්වාගන්නවාද, උපාධිය පැවැත්වෙන රටේ කිසියම් ලිපිනයකට ගෙන්වාගන්නවාද යන්න තීරණය කිරීමේ හැකියාව උපාධි ලාභිනියට ලැබේ. අවශ්‍ය වීසා අවසරපත්, රැකියාවක් කරන්නේ නම් නිවාඩු අනුමත කිරීම් වැනි දේට එසේ ලැබෙන ‘නිල ආරාධනයක්’ වැදගත් වන බැවිනි.
එහෙත් මෛත්‍රී වික්‍රමසිංහට ලැබෙන්නේ අධ්‍යයන කාලයක් සම්පූර්ණ කළ සාමාන්‍ය උපාධි අපේක්ෂිකාවකට ලැබෙන උපාධියක් නොව, ගෞරව උපාධියකි. විශ්වවිද්‍යාලය කර ඇත්තේ මේ කියන ආරාධනා ලිපිය තමන් එවූවක් බව ස්ථිර කිරීම පමණකි. ඉන් බිඳවැටෙන්නේ, මේ ආරාධනා ලිපිය ව්‍යාජ එකක්ය යි කිසියම් පාර්ශ්වයක් විශ්වාස කළානම් ඒ විශ්වාසය පමණකි. මේ කියන ලිපිය තමන් එවූ එකක් බව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පිළිගනී.
එහෙත් සාමාන්‍ය උපාධිලාභියකුගේ සමීපතමයකුට ලබාදෙන ආරාධනාවට වැඩි කිසිදු විශේෂත්වයක් මෙහි අපට නම් පෙනෙන්නේ නැත.
“ලන්ඩන් ගමන transit එකක්.” - සමන් ඒකනායක
දැන් අපට නැවතත් මේ සිද්ධියට අදාළව රිමාන්ඩ් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පසුගිය ජනවාරි 30වැනිදා ලබාදුන් කටඋත්තරය කරා යා හැකි ය.
ඉහතින් ද කී පරිදි මේ කියන ආරාධනා ලිපිය ඔහු පළමු වරට දැක ඇත්තේ රනිල් උසාවියට ඉදිරිපත් කළ දිනයේ ජනමාධ්‍යවලිනි. එම සංචාරයට මුදල් අනුමත කිරීම ඇතුළු නිල කටයුතු සිදුකරන කාලවකවානුව තුළ ඔහු එවැන්නක් දැක නැත.
මෙම සංචාරයට අදාළ ඊමේල් රටාව අනුව private යන්න පසුකාලීනව ඉවත් වී visit යන්න ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් උක්ත ප්‍රකාශය සටහන් කරගැනීමේ දී විමසන ප්‍රශ්නයට ඒකනායකගේ ඍජු පිළිතුර වන්නේ “මෙම එක්සත් රාජධානි ගමන transit එකක්.” යන්න යි. මෙය නිල රාජ්‍ය තාන්ත්‍රික ගමනක් තබා සිය බිරියගේ උපාධි ප්‍රධානෝත්සවයට ආ ආරාධනා ලිපියකට අනුව යන ගමනක් කියාවත් රනිල්ගේ ජනාධිපති ලේකම්වරයා දැනසිට නැත. එය ඔහුට නිකම් ම නිකම් transit එකකි.

අපගේ අවබෝධයට අනුව, බ්‍රිතාන්‍යයේ ‘තොරතුරු දැනගැනීමේ අයිතිය’ යටතේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවා ඇති පිළිතුරු ලිපියෙන් පැහැදිළි වන්නේ රනිල්ට ලැබුණු ආරාධනය කිසිසේත්ම එරට රාජ්‍යය මැදිහත් වී සිදුකළ රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවක් නොවන්නේ ය යන්න යි. එය හුදෙක් ඔහුගේ බිරියට ගෞරව උපාධියක් පිරිනැමුණු අවස්ථාවට ලැබුණු විශ්වවිද්‍යාලයීය ආරාධනයකි. ඕනෑම උපාධි ප්‍රධානයක දී ඕනෑම උපාධි ලාභියකුගේ සමීපතමයකු වශයෙන් ඒ අවස්ථාවට සහභාගී වීමට ලැබෙන සාමාන්‍ය ආරාධනයකි. ආරාධනය ලබන්නා රටක ජනාධිපති වන බැවින්, විය යුතු පරිදි ම ඒ තනතුර හා ඊට අදාළ ගරු ආමන්ත්‍රණය ආරාධනා ලිපියේ ලියැවී ඇත. ලබන්නාගේ ඉල්ලීම මත හෝ වෙනයම් කාරණයක් නිසා එය එරට පිහිටි ලංකාවේ මහකොමසාරිස් කාර්යාලය භාරයේ එවන බව ලිපියේ සඳහන් වී ඇතත්, දැනට හෙළිදරව් වී ඇති සියලු සාක්ෂිවලට අනුව එය එම කාර්යාලයට ලැබිලාත් නැත.
මේ පිළිතුරු ලිපිය ඇතුළු එහි ඇමිණුම් දෙස අපට පෙනෙනවාට වඩා වෙනස් විදියකට ගරු අධිකරණය දකින්නේ නම් හෝ පැමිණිල්ලේ හා විත්තියේ නීතීඥයන් විසින් මේ තර්ක බිඳදමන්නේනම් හෝ මේවා නිශ්ප්‍රභ කරන සාක්ෂි ගෙනහැර පාන්නේනම් හෝ හැරෙන්නට මේ ආරාධනාව රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට කැරුණු ආරාධනාවක් ලෙස අර්ථ දැක්වෙන්නට හේතුවක් සාමාන්‍ය පුද්ගලයන් වන අපට නොපෙනේ.
කරුණු එසේ වුවහොත්, මෙය හුදෙක් විධායක ජනාධිපතිවරයකු ධූරය දරන කාලයේ දී සිදුකරන ඕනෑම කටයුත්තක් නිල කර්තව්‍යයන්ගේ වපසරියට වැටෙනවාද නැද්ද යන්න පිළිබඳ අධිකරණමය අර්ථ දැක්වීමක් බවට පත්වීමට ඉඩ තිබේ.
එහෙත් ෆේස්බුක් හෝ ජනමාධ්‍ය යනු නඩු අසන තැන් නොවන බැවින්, මෙහි ඉදිරි කටයුතු අධිකරණ ක්‍රියාවලියට භාර කොට බලාසිටිමු.
ශ්‍රේරේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගෙන් උදෘතයක්
එවකට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම්, වත්මන් ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්තිගේ “පරිපාලන නීතිය හා රාජ්‍ය සේවය” නම් කෘතිය පසුගිය වසරේ ජුලි 15 වැනිදා එළිදැක්වූ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රේරේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ කළ අදහස් දැක්වීමෙන් කොටසක් මේ නඩුකටයුත්ත සම්බන්ධයෙන් ම අප විසින් කරන ලද පළකිරීමකදී මීට ඉහත උපුටා දැක්වීමු. ඉන් එක් කුඩා කොටසක් පමණක් යළිත් පහතින් උපුටා දක්වමු.

“කාලාන්තරයක් තුළ විනිශ්චයකාරවරු විසින් (නඩු තීන්දු) ප්‍රකාශයට පත්කරලා, මේ (පරිපාලන) නීතිය පුළුල් කරලා තියෙනවා, එකම එක හේතුවක් සඳහා. මොකද්ද ඒ හේතුව? දේශපාලන විධායකය වේවා, පරිපාලන විධායකය වේවා, පොදුවේ ගත්තොත් රාජ්‍ය නිලධාරීන් ඔවුන්ට පාර්ලිමේන්තුවෙන් ලබාදී ඇති බලතල භාවිත කරන්නේ මහජන සුබසිද්ධිය සඳහා වන බවට වගබලාගන්න යි. මහජන සුබසාධනය සඳහා මේ බලතල පාර්ලිමේන්තුව විසින් අපේක්ෂා කළ පරමාර්ථයට (අනුව) භාවිත කිරීමට වගබලාගැනීම තමයි ඔබේ තීරණ අප විසින් අධිකරණයේ සමාලෝචනයට ලක්කිරීමේ පරමාර්ථය වන්නේ.”
එදා අප මෙය උපුටා දැක්වූයේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක අරබයා ය. එහෙත් එය රනිල් වික්‍රමසිංහගේ මේ පැය ගණනක ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් ද එක සේ අදාළ බව අපේ වැටහීම යි.
දේශපාලන විධායක ද තමන්ට පාර්ලිමේන්තුවෙන් ලබාදී ඇති බලතල භාවිත කළයුත්තේ මහජන සුබසිද්ධිය සඳහා ය. මහජන සුබසාධනය සඳහා පාර්ලිමේන්තුව අපේක්ෂා කළ පරමාර්ථයට අනුව ඒ බලතල භාවිත කිරීමට පැය ගණනකට රුපියල් මිලියන 16.6ක් වැයකළ රනිල් වික්‍රමසිංහ මේ සංචාරයේ දී කටයුතු කර තිබේද?
මේ සියල්ලෙහි අවසන් තීරණය අධිකරණය සතු ය.
(සටහන | සනත් බාලසුරිය)
මාධ්‍යවේදී
sanathbalas@gmail.com
උපුටා ගැනීම - Sanath Balasooriya ගේ FB පිටුවෙන්...




