ඔවු.
අනිවාර්යයෙන්ම.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයකු විශ්‍රාම වැටුපට හිමිකම ලැබීමට රාජ්‍ය සේවයේ අඛණ්ඩව වසර 10ක් සේවය කළ යුතුය. නමුත් එම සේවා කාලය තුළ රාජ්‍ය සේවකයා දවස පුරා නිදා ගත්තද , ඉතාමත් ඉහල කාර්ය සාධනයක් තිබුනද ඔවුන්ව ඔවුන්ගේ සේවා දායකයා වන මහජනතාව විසින් වසර පහකට වරක් ඡන්දයකින් පරීක්ෂණයට ලක්වන්නේ නැත. මහජන ඡන්දයෙන් වෙනත් රාජ්‍ය සේවකයන්ව දේශපාලකයන්ව මෙන් හරවා යවන්නේ ද නැත . සමහර රාජ්‍ය සේවකයන් රැකියාවේ ඉඳීමට එකම හේතුව එසේ ඔවුන්ව චක්‍රීය ව වසර කිහිපයකට වරක් කාර්ය සාධනයේ සැබෑ ලිට්මස් පරික්ෂාවට ලක් නොවීමය.
නමුත් දේශපාලකයා සෑම වසර පහකටම වරක් එම පරික්ෂාවට ලක්වෙයි. ඇතැම් අය එම පරීක්ෂණයෙන් සමත්ව නැවත පාර්ලිමේන්තුවට තේරී පත්වෙති. අන් සමහරෙක් පැරදී පසුව නැවත ඡන්දයකිනි පත් වී එති.
එසේ නම් මෙවැනි "අසාමාන්‍ය " පරික්ෂාවකට ලක් වන මහජන සේවකයන් ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම නොව අන් රාජ්‍ය සේවකයන් මෙන් අඛණ්ඩ හෝ එකතුකළ විට (cumulative ) ලෙස වසර 10ක් සම්පුර්ණ කල විට ප්‍රමිතිගත සමීකරණයකට අනුව ගණනය කල විශ්‍රාම වැටුපක් ඔවුන්ට හිමි විය යුතුය. එක පාර්ලිමේන්තු චක්‍රයක් (වසර 5ක) නිමා කල පමණින් ඔවුන්ට විශ්‍රාම වැටුප හිමි නොවිය යුතුය ( අන් රාජ්‍ය සේවකයන් මෙන් වසර 10ක් - අඛණ්ඩව හෝ එකතුවක් ( cumulative) ලෙස සේවය කල විට ) ඔවුන්ට විශ්‍රාම වැටුපක් හිමි විය යුතුය. නමුත් ඔවුන්ට සාධාරණ තත්ත්ව යටතේ එම අයිතිය ලැබිය යුතුය. මේ සියලු දෙනාට තමා කල අවසන් රැකියාවට අදාල විශ්‍රාම වැටුප් එකක් පමණක් හිමි වියයුතුය.
තවද විශ්‍රාම ගිය මන්ත්‍රිවරයකුගේ බිරිද ස්වාමියා හට යම් රැකවරණයක් තිබිය යුතුය. දේශපාලකයන් සොරැන් නිසා සොරාගත් ධනයෙන් ඔවුන්ගේ බිරිද ස්වාමියා ජීවත් විය යුතු යයි සිතන තාක් කල් දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් නොවනු ඇත. එය වෛරී අගතිගාමි සිතුවිල්ලකි. මක් නිසාද යත් වැටුප්/ විශ්‍රාම වැටුප් නැත්නම් දූෂනයෙන් / ඥාති සංග්‍රහයෙන්/ අවභාවිතයෙන් /දේශපාලන අනුග්‍රාහකයින්ගෙන් යමක් ගෙන පවුල වෙනුවෙන් ඉතිරි කරන්නට / වියදම් කරන්කට සිදුවන බැවිනි. නැති නම් ඉදිරියටද නිර්මාණය වන්නේ කලු සල්ලි, දේශපාලනික අල්ලස් , දේශපාලකයන්ට දෙන අනුග්‍රහ මතින් ගොඩනැගෙන පාර රාජ්‍යයමය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන පර්මිට් එකක් ලැබිය යුතුද? මා සිතන්නේ ලැබිය යුතුය. නමුත් එය පාර්ලිමේන්තුවට අඩිය තැබූ දවසේ පළමුවෙන්ම පුරවන form එක ලෙස පුරවා දෙවන දවසේ එය ඔවුන්ට ලැබිය යුතු නැත. අන් රජය සේවකයන්ට මෙන් වසර 6ක් (එනම් වසර 5 ක එක් පාර්ලිමේන්තු චක්‍රයක් සහ නැවත තේරී පත් වී ඊළඟ පාර්ලිමේන්තු චක්‍රයේ වසර 1ක් සම්පුර්ණ කළ තැන ) ඔවුන්ට විධායක ශ්‍රේණියේ ඉහලම තලයේ රාජ්‍ය සේවකයකුට ලැබෙන ආකාරයේ වාහන බලපත්‍රයක් හිමි විය යුතුය. නමුත් එහි සිමාව අසාමාන්‍ය ලෙස ඉක්මවා ගිය වටිනාකමෙන් යුක්ත වුවක් නොවිය යුතුය. එය ලබා දිය යුත්තේ එම අවස්ථාවේ රටේ ආර්ථිකයට දැරිය හැකි නම් පමණි.

ඇමතිවරුන්, ජනාධිපති නිල නිවසක් භාවිතා කළ යුතුද? අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතුය. රාජ්‍යය පවත්වාගෙන යාමේ මෙහෙයුම සමාජවාදය , ධනවාදය නොහඳුනයි. ජනාධිපතිගේ මිනිස් පැයක් ලිපිකරුගේ මිනිස් පැයට සමාන නැත. ජනාධිපති ලේකම් ගේ මිනිස් පැය කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ගේ මිනිස් පැයට සමාන නැත. මෙය සමානාත්මතාවය පිලිබඳ අපේ වටිනාකම් විනිශ්චය (value judgment ) පිලිබඳ ප්‍රශ්නයක් නොව රාජ්‍යකරණයේ යථාර්තය පිලිබඳ ප්‍රශ්නයකි.
වැටුපක් නැතිව, විශ්‍රාම වැටුපක ආරක්ෂණය නැතිව, නිල නිවසක් නැතිව, කාලයෙහි මිල සහ කාලයෙහි වටිනාකම යනු දේවල් දෙකක් බව නොදැන ආණ්ඩු පවත්වා ගෙන යා හැක . නමුත් රාජ්‍යය එසේ පවත්වාගෙන යා නොහැක. ආණ්ඩු බිඳෙන සුළුය. බහුතර ආණ්ඩු ද බිඳෙන සුළුය. රාජ්‍යය එසේ ලෙහෙසියෙන් නොබිඳේ . රාජ්‍යය ලෙහෙසියෙන් නොබිඳිය යුතු නිසා රාජ්‍යකරණය ගැන බැරෑරුම් බව තේරුම් ගත අය නිර්මාණය කල පද්ධතියක කොටස් ය- වැටුප්, විශ්‍රාම වැටුප්, වරප්‍රසාද ආදිය. ඒවා පිලිබදව අප සිතිය යුත්තේ ඒවා ලැබෙන අය ගැන ඊර්ෂ්‍යාවෙන් හෝ අවඥාවෙන් නොවේ. ඒවා සාධාරණ පදනමකින් සිදු කරන සේවයට සාපේක්ෂව ලැබේද යයි සිතා පමණි.
ලංකාවේ පොදු ජනතාවගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හෝ ඇමති කෙනෙකුට වැටුපක් ලැබිය යුතුද ඇසුවොත් බහුතරයක් දෙනා 'ඔවුන් වැටුපක් හෝ වරප්‍රසාද නැතිව දේශපාලනය පුණ්‍යකර්මයක් (charity ) ලෙස කල යුතු බව කියනු ඇත. නමුත් වැටුපක් නැතිව කරන සේවයේ වග වීමක් නැත. අපි රෝහල් වාට්ටුවක ස්වෙච්ඡාවෙන් වැඩ කරන වෛද්‍යවරයකුට රෝගියකු ගේ ශල්‍ය කාර්මයක් කරන්නට නොදෙමු. එයට හේතුවක් නම් ඔහු අතින් රෝගියා මිය ගියොත් එහි වගකීම හෝ වගවීම නැති බැවිනි.අපේ රාජකාරිය කෙරෙහි වගකීම සහ වගවීම කෙරෙහි අප බැඳ තබන ප්‍රධාන රැහැනක් නම් අප ලබන වැටුපයි. අපේ කාලය රාජ්‍යය විසින් මිලදී ගෙන තිබීමයි. මෙය ජනතාව අතර බහුතරය නොසිතති.
වැටුපක් හෝ වරප්‍රසාද නොමැතිව රැකියා කරන්නට එන බහුතරය (හැම දෙනා නොව )වෙන රැකියාව සොයා ගත නොහැකි අයයි. එම නිසා ඔවුන් 'උගතුන් ' වුවද, නොවුවද ඔවුන් පිලිබඳව දෙවරක් සිතිය යුතුය. තම වැටුපක් නොලබන බව කියන බොහෝ පක්ෂ වල බොහෝ මන්ත්‍රී, ඇමති, විපක්ෂ නායක වරු, හිටපු ජනාධිපති වරු ආදීන් සිටිති. ඔවුන් වෙනත් රැකියාවක් කර ද නැත. ඔවුන් බොහෝ දෙනා විශාල පාරම්පරික ධනයක් තිබු අයද නොවෙයි. වැටුපක් නැතිව ජිවත් වන්නේ කොහොමද?
වැටුප යනු මුදල් පමණක් නොව එය වැඩිහිටි පුදගලයකුගේ ;අභිමානයයි. ශ්‍රමයට වැටුපක් ලබා සාධාරණව උපයාගත් දෙයින් ජීවත් වූ කෙනා එහි අභිමානය දනී. එය අවඥාවට ලක් කළා කියා සාධාරණව උපයා ගත් ධනයෙහි අභිමානය නැති වන්නේ නැත. විශේෂයෙන්ම කාන්තාවන් සමාන වැටුපක් සඳහා සියවස් ගණනාවක් ලෝකය පුරා සටන් කර ඇත. වැටුපක් එපා කියන්නේ , ඉතිහාසයේ අප වෙනුවෙන් සටන් කල අපේ පුර්වජයන් ගේ සටන ආපසු හරවිමකි. අපේ පුද්ගල සහ සමාජීය නිදහසක් අත හැරීමකි. පෞද්ගලිකව මම නම් වැටුපක් නැතිව වැඩ නොකරමි.එසේ කළොත් ජිවත් වන්නට වන්නේ පවුලේ කෙනෙකුට , මිතුරන්ට, ඥාතීන්ට, අනුග්‍රහකයන්ට අත පෑමෙනි. Sponsored life එකකි. එවිට අපව නඩත්තු කරන අය කෙරෙහි අපට ලබැඳියවන්හි ගැටුමක් ඇත (conflict of interest ). එසේ අත නොපා මහජන සේවය කළ හැක්කේ විශාල පාරම්පරික ධනයක් හිමි අයට පමණි. එසේනම් වැටුපක් / විශ්‍රාම වැටුපක් නොගැනීම යනු අව -වරප්‍රසාදිත පුද්ගලයන් මහජන සේවයට පැමිණීම වැළකීමට සාදා ඇති ඊනියා සදාචාර බාධකයකි (so called moral barrier).
දුෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට කළ යුත්තේ දේශපාලකයන් වැටුප් නොගන්නා charity ස්වෙච්ඡා සේවකයෙක් කිරිමෙන් කිරීම නොවේ. "දේශපාලකයන්ට පඩියක් මොකටද " යන කිවුම තුලම ඔවුන්ට වැටුපක් නැති වුනාට සල්ලි හම්බ වෙන විදිහක් තිබෙනවා යන්න ධ්වනිත වෙයි. එසේ නම් එය වෘත්තියක් ලෙස තමාගේ වෘත්තීය දුෂිත භාවය තම විසින්ම පිළිගැනීමකි. එසේ නැතහොත් "සල්ලි නැත්තන් දේශපාලනය එන්න එපා " කීමකි. මෙසේ කල විට පාරම්පරික ධනයක් නැති අවංක පුද්ගලයන් දේශපාලනයට එන්නේ කොහොමද?
විශේෂයෙන්ම කාන්තාව. වැටුපක් හෝ විශ්‍රාම වැටුපක් නැතිව දේශපාලනයට එන කාන්තාවකට අනුග්‍රහය දැක්විය හැකි සමාජයේ බහුතරය පුරුශයින්ය. එසේ පිරිමි අනුග්‍රහකයකුගෙන් නඩත්තු වන කාන්තාවගේ සුරක්ෂිතතාවය කුමක්ද? සමාජය ඇයට දෙන නම කුමක්ද?

අවසාන කරුණ නම් මෙහි ඇති දේශපාලන සංකේතතාවයයි (political semiotics). ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් 1981දී තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්වූ විට ඔහුව බේරාගත් ආරක්ෂකයා දරුණු තුවාල ලබා වසර ගණනවක් රෝහල් ගතව සිටියේය. ඔහු ජිවත් වන තුරුම ඔහුව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යය විසින් අධික වියදමක් දරා අඛණ්ඩව රැක බලා ගත්තේය. ඔවුට රක්ෂණාවරණය තිබෙන්නට ඇත. නමුත් එක්සත් ජනපද රාජ්‍යය (කොන්සර්වටිව් ආණ්ඩුව නොව , ඇමරිකානු රාජ්‍යය) තම රට වැසියාටත්, අන්තර්ජාතික ත්‍රස්තවාදීන් ටයවූ පණිවුඩය නම් "අපගේ ජනාධිපතිගේ ජිවිතයට අප නියම කළ මිලක් නැත. අපේ රාජ්‍යයේ ප්‍රධානියාගේ ජීවිතය බේරා ගන්නා ගේ ජීවිතය කෙරෙහි ද අපට ඇති වගකිමටද අප නියම කල මිලක් නැත. අපේ රාජ්‍යයේ සංඛේතය වන ජනාධිපතිවරයා වෙනුවෙන් රාජ්‍යය වගකියයි. වග වෙයි."
ප්‍රබල රාජ්‍යයන් තමා ගැන එසේ සිතයි.
බලවත් රාජ්‍යයන් රාජ්‍යය පවත්වා ගනු ලබන්නේ ආණ්ඩුවෙන් නොවේ. තමාගේ ජාතිය පිළිබඳව ඔවුන්තුල සංකල්පීය එකඟතාවයක් ඇත. ඔවුන් රාජ්‍යයේ පැවැත්ම පිළිබඳව සදාචාරාත්මක එකඟතාවයකට පැමිණ තිබේ. ශ්‍රී ලංකික ජාතිය බලවත් ජාතියක් වීමට නම් තමා තමා ගැනම සිතන විදිහ ගැන නැවත සිතිය යුතුය. වැටුපක් ගෙන සේවය කරන්නා දෙස අවඥාවෙන් නොබැලීම එහි පළමු පියවරකි.
(සටහන | Santhushya Fernando)
Santhushya Fernando ගේ ෆේස්බුක් පිටුවෙන්...
සබැඳි ලිපියක් :
ලඟ එන පනතින් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි



