හිටපු අධිකරණ ඇමතිවරයෙකුත් වන සම්මානිත මහාචාර්යවරයා ආණ්ඩුවේ මේ උත්සාහය හඳුන්වන්නේ අධිකරණයේ ගෞරවයට සහ ස්වාධීනත්වයට දැඩි පහරක් වන තීරණයක් කියල.
ස්වාධීන අධිකරණයක් පැවතීම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අනිවාර්ය ලක්ෂණයක් වන අතර අධිකරණයේ ගෞරවයට සහ ස්වාධීනත්වයට දැඩි පහරක් වන තීරණයක් ගැනීමට වර්තමාන ආණ්ඩුව සූදානම් වන බව පවසන මහාචාර්යවරයා ආණ්ඩුවේ මේ සූදානම විග්‍රහ කරන්නේ "විනිසුරුවන්ගේ ගෞරවය කෙළසීමේ" උත්සහයක් හැටියට.
ඔබට මතක ඇති මේ ගැන මමත් මීට කලින් සටහනක් තැබුවා. එදා මම මතු කළෙත් මහාචාර්යවරයා සඳහන් කරන දේට සමාන කරුණු. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ පමණක් විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීම මගින් සමස්ත රාජ්‍ය සේවයේම දැවැන්ත ගැටලුවක් නිර්මාණය වන බව මගේ ලිපියෙත් සඳහන් කළා මතකයි.
නමුත් මට තියන ප්‍රශ්නය, විශේෂයෙන්ම දේශපාලනයට අවතීර්ණ වෙන තුරු ලංකාවේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර ක්ෂේත්‍රයේත් දැවැන්ත නමක් තියාගෙන හිටපු ජී එල් පීරිස් වගේ අයගේ දිව හැරෙන හැරෙන පැත්තට නැමෙන හැටි.
මට මතක විදියට හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක කියන්නේ මහාචාර්ය ජී එල් පීරිස් ගේ සමීප හිතවතියක්. අධිකරණයේ කිසිම පළපුරුද්දක් නොතිබුණත් ඇය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් විදියට පත්කරන්න ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ට නිර්දේශ කළේ ඔහු කියලත් වාර්තාවල දැක්වුණා. චන්ද්‍රිකා ගේ කාලේ ඒ විදියට හිටපු ජී එල් පීරිස්, රාජපක්ෂල ඇයට විරුද්ධ වෙන කොට අංශක 180ක් ආපසු හැරුණ. ඒ වෙලාවේ ඔහු පෙනී හිටියේ මහින්ද රාජපක්ෂ යටතේ දියත් කරපු, නීතියේ මූලික සිද්ධාන්ත පවා උල්ලංඝනය කරපු ඒ කුප්‍රකට දෝෂාභියෝගයට පක්ෂව.
"ස්වාධීන අධිකරණයක් පැවතීම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අනිවාර්ය ලක්ෂණයක්," කියල මහාචාර්ය ජී එල් පීරිස් එදා තමන්ගේ නායකයා, මහින්ද රාජපක්ෂ ට කියනවා අපි කාටවත් ඇහුණේ නැහැ. "අධිකරණයේ ගෞරවය සහ ස්වාධීනත්වය" ගැන එදා ඔහු කතා කරනවත් අපි දැක්කේ නැහැ.

දේශපාලනයට ආවට අපස්සේ මහාචාර්ය ජී එල් පීරිස් මේ විදියට බොහොම නිර්ලජ්ජිතව දිගින් දිගටම නීතිය නවනවා සහ යූ ටර්න් ගහනවා මම දැකල තියෙනව.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ පමණක් විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීම ගැන මහාචාර්ය ජී එල් පීරිස් මතුකරන තර්කය ඉතාමත් කාලෝචිතයි සහ නිවැරදියි. නමුත් කිසියම් විදියකින් මේ උත්සාහය දරුවෙ ඔහුත් කැබිනට් මණ්ඩලයේ හිටපු ආණ්ඩුවකින් නම් ඔහුත් මේ වගේ සංශෝධනයකට පක්ෂව අත උස්සන බවට කිසිම සැකයක් නැහැ.
අපේ සමාජයේ ඛේදවාචකය ඒකයි.(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 අප්‍රේල් 02




