ඒ වගේම ඔබට මතක ඇති විශ්‍රාමික මේජර් ජනරාල් කිත්සිරි ඒකනායකට අයත් ඉඩමක් බලෙන් අත්පත් කරගන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ගේ අනුදැනුම ඇතුව "කන්‍යාවක් බිළි දීල නිධන් හැරීමක්" ගැන පොලිසිය නටපු නාඩගම.
කිත්සිරි ජයලත් කොහොම හරි ඒ නාඩගමට ජනාධිපති අනුර කුමාර දිසානායකත් සම්බන්ධ කරගෙන තිබුණ.
ඒ ගැන හෙළිදරව් කළාට පස්සේ ජයලත් ඇතුළු මේ කල්ලියේ අපරාධ ගැන මට දිගින් දිගටම තොරතුරු ලැබෙමින් තියෙනව.
මේ ඒ වගේ තවත් කතාවක්.
තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව බුද්ධි අංශයේ සේවය කරන පොලිස් සැරයන් ජානක සම්පත් (41717) අවුරුදු 25කට වැඩි සේවා ඉතිහාසයක් තියෙන පොලිස් නිලධාරියෙක්. ප්‍රදේශවාසීන් කියන්නේ පොලිස් සැරයන් ජානක සම්පත්, පළාතේ අපරාධ මැඩලන්න ඉතාමත් හොඳින් වැඩකරමින් හිටිය කියල. ඒ නිසාම ඔහු අපරාධකරුවන්ගේ වෛරයට ලක්වෙලා හිටියේ.

විශේෂයෙන්ම මනුෂ්‍ය ඝාතන සහ හරක් හොරකම් වගේ අපරාධවලට සම්බන්ධ, ඒ ගැන දැනටමත් නඩු ගණනාවක් තියන බඳගිරියේ හයේ කණුවේ සුද්දා සහ ගව රාජා කියන අපරාධකරුවන් දෙන්නට විරුද්ධව සැරයන් ජානක සම්පත් දැඩිව නීතිය ක්‍රියාත්මක කළා කියලත් මට දැනගන්න ලැබුණ. මේ අපරාධකරුවන් රාජපක්ෂ වරුන්ගේ සමීප ආධාරකරුවන්. එක්කෙනෙක් හම්බන්තොට හිටපු කුප්‍රකට "සෙල්ලම් පිස්තෝල" නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ දකුණු අත.

ඒත් හදිසියේම සැරයන් ජානක සම්පත් ට තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ ඉඳල මාතර, පිටබැද්දර පොලිසියට ස්ථාන මාරුවක් ලැබිල. මාරුවට හේතුව විදියට නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහ සඳහන් කරලා තියෙන්නේ සැරයන් ජානක සම්පත්ට "වෘත්තීය සංවර්ධනය දක්ෂතා ප්‍රවර්ධනයට හා පුළුල් ක්ෂේත්‍රයක අත්දැකීම් ලබාගැනීමට අවස්තාවක් සලසා දීම සඳහා පැමිණිලි සටහන් කිරීම, සාක්ෂි සටහන් කිරීම හා නිරීක්ෂණ සටහන් කිරීම සඳහා විවිධ පැමිණිලි අංශයට අනුයුක්ත කළ යුතු," බව.
බැලූ බැල්මට පේන්නේ මේක මේ නිලධාරියාගේ යහපත වෙනුවෙන් දීපු ස්ථාන මාරුවක් කියල.
ඒත් ප්‍රදේශවාසීන් කියන්නේ මේ මාරුවේ ඇත්ත හේතුව හරක් හොරුන් සහ අපරාධකරුවන් ආරක්ෂා කිරීම කියල. පැමිණිලි හෝ සාක්ෂි සටහන් කිරීම ගැන පොලිස් නිලධාරියෙකුට පුහුණුවක් දෙන්නේ අවුරුදු 25ක් පොලිසියේ සේවය කළා ට පස්සේ ද කියල ඔවුන් අහනවා.

මොකද නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහ කියන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ගේ සමීපම අනුගාමිකයෙක්. කිත්සිරි ජයලත් ගැන මම දැනටමත් ඇති තරම් විස්තර ලියල තියෙනව. පොලිසිය සහ ආරක්ෂක අංශ ගැන හොඳ අවබෝධයක් තියෙන මාධ්‍යවේදී කීර්ති ලොකුලියන කියන විදියට නම් කිත්සිරි ජයලත් මේ වෙනකොට ඉන්න ඕන පොලිස් ලොකු පුටුවක නෙවෙයි, හිරගෙදර.
රාජපක්ෂ පාලනයේ කාටල් ගැන තවමත් කතාකරමින් මාලිමාව පාලනය යටතේ ඉන්න කාටල් ගැන වගේ වගක් නැතුව ඉන්න අනුර කුමාර ඇතුළු මාලිමාවේ බලධාරීන් මේ අපරාධ කල්ලි ගැන පියවර ගන්න තුරු පොලිස් මාෆියාවක් දකුණේ කරමින් ඉන්න අපරාධ ගැන හෙළිදරවු කරන්න මම සූදානම්. ඒ වගේම පොලිස්පති, පොලිස් ප්‍රකාශකවරයා හෝ වෙනත් බලධාරියෙක් මේ චෝදනාවලට පිළිතුරු දෙනවා නම් ඕනෑම වෙලාවක ඒ සාකච්ඡාවට සංදේශය සූදානම්.
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 මාර්තු 24





