මෙවර නිදහස් දිනයේදී ජනාධිපතිවරයා සිදුකරන ලද කතාව අතීතයේදී ඔහු විසින් සිදු කරන ලද කතා වලට නොදෙවනිව ප්‍රතිපත්තිමය වශයෙන් අභිලාෂකාමී වු බවක් පෙන්නට තිබුනේය.
ජනාධිපතිවරයාගේ අභිලාෂකාමීත්වය වුයේ ශ්‍රී ලංකික දේශපාලනය "අනන්‍යතා දේශපාලනයේ" සිට "සංවර්ධන දේශපාලනය" කරා යොමු කිරීමේ වැදගත් කම එමගින් අවධාරනය කොට තිබීමය.
එය පැසසුමට ලක්විය යුත්තකි.
කෙසේ වෙතත්, එම අභිලාෂකාමීත්වයේ යථාර්තය රඳා පවතින්නේ ඔහු විසින් මේවන විටත් ගෙන යන පාලනය තුලය.
පසුගිය වසරක ජනාධිපති පාලනය හෝ ඉදිරියට දිග හැරෙන ඔහුගේ පාලනය තුල එවැනි අභිලාෂකාමීත්වයක් අන්තර්ගතවන එකදු හෝ පාලන ලක්ෂනයක් දක්නට නොලැබීම කතාව දෝලාවෙන් නමුත් ගමන පයින් යන කියමන අපට නැවත නැවතත් ඒත්තු ගන්වන්නේය.
සංකේතවාදයේ සිට ප්‍රායෝගිකවාදයට මාරුවීම...
සංකේතවාදයේ සිට ප්‍රායෝගිකවාදයට මාරුවීම පිලිබදව ජනාධිපතිවරයා දක්වන අදහස අගය කල හැකිය. නමුත් ප්‍රායෝගිකත්වය තුල තවමත් ජනාධිපතිවරයාගේ පාලනය තිබෙන්නේ සංකේතවාදය තුල පමනකි.
එම නිසා මුතුන් මිත්තන්ගේ ලේ සහ දහඩිය" අනුස්මරණය කිරීමේ සිට 2026 සිට ආර්ථික සමෘදිය දක්වා සිදුවන සංක්‍රාන්තිය පිලිබදව දක්වන අදහසේ පවතින්නේ හිඩැසකි.
මේ වන විට රටේ බහුතරයක් වන දුක්විදින ජනතාවගේ පොදු අත්දැකීම් සහ වේදනාවන් බෙදාගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවක් තම අදහස් දැක්වීමේදී පෙන්නුම් කර තිබුනේ නැත.
ජනාධිපති වරයා සිය දේශනය අවසානයට භාවිතා කළ "ඔබට වේගයෙන් යාමට අවශ්‍ය නම් තනිවම යන්න, නමුත් ඔබට වැඩි දුරක් යාමට අවශ්‍ය නම් එකට යන්න" යන අප්‍රිකානු උපමාව මගින් ජනාධිපතිවරයා කියන්නේ ජනදුක නැති කිරීම තම පාලනයට පමණක් මෙය තනිවම කළ නොහැකි බවය.
ජනතාව සිතන්නේ වේගයෙන් තමන් අත්විදින දුක් කම්කටොලු වලට තිත තබා ගැනීමට අවැසි පාලනයක් ගැනය. තමන් අත්විදින දුකින් මිදීමට තමන්ටම විසදාගැනීමට නොහැකි බව ජනතාව හොදින් දන්නේය. නමුත් ජනාධිපති වරයා ජනතාවට ආරාධනය කරන්නේ දුකින් මිදීමට සෙමින් දිගු ගමනක් යන්නටය.
එවැනි පසුබිමක වේගවත් සංවර්ධනයක් සදහා අවැසි නායකත්ව භුමිකාවක් ලබා දීමේ වගකීම ජනාධිපතිවරයා විසින්ම අතහැර දමා ඇති බවක් පෙනෙන්ට තිබේ. එම නිසා ජාතික උත්සවයකදී බලාපොරොත්තු වන ජනතාව සමග ගොඩ නගා ගත යුතු ආවේගාත්මක බැඳීම (Emotional resonance) ජනාධිපතිවරයාගේ කතාව තුල අන්තර්ගත වන්නේ නැත.
තම අදහස් දැක්වීමේදී මානව සම්පත" පිළිබඳ තර්කය ඉදිරියට ගෙන ඒම මගින් භෞතික සම්පත්වලට වඩා "මානව සම්පත" ඉහළින් තැබීමට ජනාධිපතිවරයා කරුනු දැක්වුයේය. නමුත් එය ඉටු කරන්නේ "කෙසේද" යන්න පිළිබඳව සිය කතාව තුල දක්නට ලැබුනේ අපැහැදිලි ස්වභාවයකි.
අධ්‍යාපනයේ "පරිවර්තනීය යුගයක්" ගැන සඳහන් කළද, ඒ සඳහා වන නිශ්චිත ප්‍රතිපත්තිමය පදනම් ඉදිරිපත් නොකිරීම නිසා, මෙය ප්‍රායෝගික වැඩපිළිවෙලකට වඩා හුදු අපේක්ෂාවක් පමණක් ලෙස පෙනෙන්නට තිබුනේය.
එම ලක්ෂනය ජනාධිපතිවරයාගේ දේශපාලන කතාවල සැමදා දක්නට ලැබෙන අනන්‍ය ස්වරුපයයි. එය මෙවරද එලෙසම පෙන්නුම් කර තිබේ.
නිර්භීත ප්‍රකාශයක් ..
"ජාතිවාදය සහ අන්තවාදය" ශබ්දකෝෂයේ ඇති "අවලස්සනම වචන" ලෙස සෘජුවම හෙළා දැකීම නිර්භීත ප්‍රකාශයක් ලෙස හදුන්වාදිය හැකිව තිබේ.
නමුත් ගැඹුරු වාර්ගික ධ්‍රැවීකරණයක් සහිත රටක, මෙම ප්‍රශ්නය හුදෙක් "අවලස්සන වචන" ලෙස හැඳින්වීම ප්‍රශ්නය සරල කිරීමකි.
සංක්‍රාන්ති යුක්තිය ඉටු කිරීම වැනි දුෂ්කර කාර්යයන් මඟහරිමින් "අපි ඉදිරියට යමු" යන හැඟීම පමණක් ගැන කතා කිරීම හාස්‍යයට කරුනකි.
ආර්ථිකය සහ පරිසරය අතර ඇති "අභ්‍යන්තර සබඳතාව" ජනාධිපතිවරයා අවධාරණය කොට තිබීම වැදගත්ය. එය පාරිසරික සහ සදාචාරාත්මක ආර්ථිකයක් පිලිබද ජනාධිපතිවරයාගේ දැක්ම එමගින් පිලිඹිබු කෙරෙති.
නමුත් ඉහළ ආර්ථික වර්ධනය" සහ "පරිසර සංරක්ෂණය" යන අරමුණු දෙක අතර සහජ ගැටුමක් පවතින බව අමතක කරමින් කාර්මිකකරනයේ ව්‍යාප්තිය පාරිසරික ආරක්ෂාව සමඟ ගැටෙන අවස්ථාවලදී රජය එය විසඳන්නේ කෙසේද යන්න පිළිබඳව යමක් කීමට ජනාධිපතිවරයාට නොහැකිවීම ඔහුගේ දැක්ම හා මෙහෙවර අතර පවතින ඛන්ඩනය පෙන්නුම් කරයි.
ජනාධිපතිවරයකුට වඩා කොටස්කරුවන්ට වාර්තා කරන ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස..
2025 වසරේ ආර්ථික සාර්ථකත්වයන් (අඩු අයවැය හිඟය සහ ඉහළ බදු ආදායම) ගැන කතා කරන ජනාධිපතිවරයා වාර්තාගත බදු ආදායම" සහ "පොදු ජනතාව මත ඇති බර" අතර පවතින ගැටුම පිලිබදව කතා කිරීම මෙහිදී සම්පූර්ණයෙන්ම අමතක කොට තිබේ. සංඛ්‍යාලේඛන පමණක් ප්‍රමාණවත් නොවන බව" පිළිගනිමින් සාර්ව ආර්ථික දත්ත සඳහා වැඩි කාලයක් වෙන් කිරීම නිසා ජනාධිපතිවරයා කරන ලද කතාව පෙන්නුම් කරන්නේ ජාතිය ඇමතු ජනාධිපතිවරයකුට වඩා කොටස්කරුවන්ට වාර්තා කරන ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) ලෙසටය.
දේශපාලන සමාජ විද්‍යාව කියන්නේ සාර්ථක දේශනයක් තුල logos, Ethos සහ Pathos යන අංග ලක්ෂන 3 ක් ඇතුලත් විය යුතු බවයි.
එලෙසට ගත් කල කවදත් අනුර කුමාර දිසානායක නමැති දේශපාලකයා විසින් පෙන්නුම් කර තිබෙන කතාවේ තර්කනය (logos) මෙවරත් ඉහලින්ම මෙවරත් පෙන්නුම් කොට තිබුනේය.
නමුත් රටේ පාලකයා ලෙස ජනතාව වෙත පෙන්නුම් කලයුතුව තිබෙන විශ්වාසනීයත්වය (Ethos) හා ජනතාවගේ හැඟීම් සමඟ සම්බන්ධවීම සදහා පෙන්නුම් කරන ආවේගය ( Pathos) ජනාධිපතිවරයාගේ කතාවෙන් ගිලිහී ගොස් තිබුනේය. ඒ අන් කිසිවක් නිසා නොව අනුරවාදයේ ශබ්දමය චමත්කාරය හා ප්‍රායෝගිකත්වයේ හිදැස දිගින් දිගටම තම පාලනය තුලින් තහවුරු කරමින් සිටින නිසාය.

(සටහන | නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
slakthilaka@gmail.com
@ Shiral Lakthilaka ෆේස්බුක් පිටුවෙන්...
2026 පෙබ. 06




