The Leader News
BREAKING
Top Ad
Opinion

අමරකීර්ති නඩුවේ තීන්දුවට අදාලව ජවිපෙට ස්ථාවරයක් ගත නොහැක්කේ ඇයි? | Shiral Lakthilaka

T

The Leader Desk

February 13, 2026 • 4:47 PM

අමරකීර්ති නඩුවේ තීන්දුවට අදාලව ජවිපෙට ස්ථාවරයක් ගත නොහැක්කේ ඇයි? | Shiral Lakthilaka

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමර්කීර්ති නඩුවේ තින්දුව සමාජය ඉදිරියේ බරපතල දාර්ශනික ගැටළුවක් මතු කොට තිබේ.
  • එම ප්‍රකාශයට ලැබුනු අපහාසාත්මක ප්‍රකාශ බහුතරයක් අතර මා සිත්ගත් ප්‍රතිචාරය වුයේ මාතර ප්‍රදේශයෙන් බිහිවු ජවිපෙ ආධාරකරුවකු විසින් ඒ සම්බන්දයෙන් ලබාදී තිබු ප්‍රතිචාරයයි.
  • ( චැතම් හවුස් මුලධර්මයට අනුව ඔහු අදහස මිස නම සදහන් නොකරමි) ඒ අනුව ඔහු මට අවලාද නගන්නේ මෙලෙසටය: ''අයියා හරියට නීති විභාගෙ ලියල සහතිකය ගත් ප්‍රසිද්ධ, උගත්  නීතිඥයෙක් නේද?
  • සැබැවින්ම අධිකරනය ඉදිරියේ ලබා දුන් නෛතික තීන්දුව නිසා ඇති වන සමාජමය බලපෑම පිලිබදව දේශපාලන පක්ෂයකට තම මතය ප්‍රකාශ කිරීම වරදක් හෝ අධිකරණයට එරෙහිව සිදු කරන අපහාසයක් වන්නේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


අමරකීර්ති නඩුවේ තීන්දුව හරහා මතුවුන දාර්ශනික ගැටළුව සම්බන්දයෙන් මා විසින් මුහුනු පොතේ අසා තිබුනේ එම නඩුවේ තීන්දුව ගැන ජවිපෙ ස්ථාවරය කුමක්ද යන්නය.

එම ප්‍රකාශයට ලැබුනු අපහාසාත්මක ප්‍රකාශ බහුතරයක් අතර මා සිත්ගත් ප්‍රතිචාරය වුයේ මාතර ප්‍රදේශයෙන් බිහිවු ජවිපෙ ආධාරකරුවකු විසින් ඒ සම්බන්දයෙන් ලබාදී තිබු ප්‍රතිචාරයයි. ( චැතම් හවුස් මුලධර්මයට අනුව ඔහු අදහස මිස නම සදහන් නොකරමි)

ඒ අනුව ඔහු මට අවලාද නගන්නේ මෙලෙසටය:

''අයියා හරියට නීති විභාගෙ ලියල සහතිකය ගත් ප්‍රසිද්ධ, උගත්  නීතිඥයෙක් නේද? අධිකරණ තීන්දුවක් ගැන මතය පක්ෂයකට කියන්න පුළුවන් කියල නීතියේ ප්‍රථිපාදන තියනවද අයියේ.. 

රාහුලේ උගත් අයිය කෙනෙක් එහෙම අහන එකත් ලජ්ජාවක් කියල රහුලේ අපිට නම් හිතෙන්නෙ.

සැබැවින්ම අධිකරනය ඉදිරියේ ලබා දුන් නෛතික තීන්දුව නිසා ඇති වන සමාජමය බලපෑම පිලිබදව දේශපාලන පක්ෂයකට තම මතය ප්‍රකාශ කිරීම වරදක් හෝ අධිකරණයට එරෙහිව සිදු කරන අපහාසයක් වන්නේ නැත.

මා විසින් එම ප්‍රශ්නය මතු කරන ලද්දේ ජවිපෙ විසින් සමාජය තුල මේවන විට පවත්වාගෙන යන දේශපාලන අවංක භාවයේ වාග් අලංකාරය සමාජ පරීක්ෂනයකට භාජනය කිරීමටය.

ජවිපෙට අයිනේ සිට සහයෝගය දක්වන්නන් විනා ජවිපෙ ප්‍රභලයෙක් තවමත් මේ සම්බන්දයෙන් තම ස්ථාවරය ඉදිරිපත් නොකරන පසුබිමක ඔවුන්ගේ නිහැඩියාව පිටුපස ඇති අඩමානය පිලිබදව යම් අදහසක් අපට ඉදිරිපත් කල හැකිව තිබේ.

කෙසේ නමුත් මේ වන විටත් මා විසින් මතුකල මුලික ප්‍රශ්න එනම් ඒ සම්බන්දයෙන් ජවිපෙ ස්ථාවරය හා අදාල දන්ඩනයට ලක්වුවන්ට ජනාධිපති සමාවක් ලැබිය යුතුද යන ප්‍රශ්නය සමාජය ඉදිරියේ ගැඹුරු සාකච්ඡාවක් මතුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් නිර්මාල් සහ පසුගිය අරගලයේ සාමාජිකයන් ලෙස නීතිඤ බෝපගේ, තරිදු  උඩුවරගෙදර සහ ජීවන්ත පියතුමා මාධ්‍ය සාකච්ඡාවක් තබමින් තමන්ගේ ස්ථාවරය සමාජයට ඉදිරිපත් කොට තිබේ.

එනයින් පෙන්වන්නේ මෙම කරුන පිලිබද සමාජය තුල පවතින ගැඹුරු අවධානයයි.

එසේම එවැන්නක් පිලිබදව යථාවාදී ස්ථාවරයක් අද දේශපාලනයට අවශ්‍යව තිබේ.

මක්නිසාද යත් අදාල විශය සමග බැදෙන නීතිමය, දේශපාලනික හා සදාචාරමය මායිම් ලාංකීය වර්ථමාන දේශපාලනයේ ප්‍රගමනයට අතිශය වැදගත් වන සාධක වන නිසාය.

එසේම ඒ පිලිබදව ස්ථාවරයක් දැරීම හා ඒ බව ප්‍රකාෂ කිරීම පවතින්නේ යයි කියන බුද්ධිමය හා සදාචාරාත්මක ආධිපත්‍යක් සහිත අනුර තන්ත්‍රයේ හා එම තන්ත්‍රය පිටුපස සිටින ජවිපෙ දේශපාලනයේ බුද්ධිමය  වගකීමක් ද වන්නේය.

එම නිසා මෙම සංවාදයට පාදකවිය හැකි දාර්ශනික කරුනු කීපයක් අප විසින් සංවාදයට අදාලව මෙසේ ගෙන හැර දැක්වන්නෙමි.

මම උත්සාහ කරන්කේ මෙම සංවාදය පිටු ඇති නීති විද්‍යාත්මක (Jurisprudence  ) සහ දේශපාලන දාර්ශනික පදනම් ප්‍රධාන මූලධර්ම කිහිපයක් ඔස්සේ විග්‍රහ කිරීමටය.

සාමාන්‍ය පාඨකයාට මෙය කටෝර කියවීමක් වුවද දර්ශනය හා දේශපාලනය ගනිකාකරනයට ලක්වන මෙවැනි යුගයක් අඩුම තරමින් මෙවැන්නක් ලියා තැබීම හෝ ප්‍රමානවත් වන නිසා එය මෙසේ ලියා තබමි.

අමරකීර්ති නඩුවේ මරනීය දන්ඩනයට නියම වුවන් පෙනී සිටීම හෝ පෙනී නොසිටීම අතර පවතින මූලික ගැටුම පවතින්නේ නීතිය යනු හුදෙක් පවතින රීති පද්ධතියක් ද (Legal Positivism) නැතහොත් එය පොදු කැමැත්ත සහ ඓතිහාසික පරිවර්තනයන් සඳහා වූ මෙවලමක් ද (Legal Realism) යන කරුණු අතරය.

එම නිතිමය කොනය තුලින් මතුවී ඇති ගැටුම අපට මුහුනත් ගනනාවක් ඔස්සේ තර්ක කල හැකිව තිබේ.

 

  1. නෛතික ප්‍රත්‍යක්ෂවාදය සහ ස්වභාවික නීතිය (Legal Positivism vs. Natural Law)

  2. සමාජ සම්මුතිය සහ මහජන පරමාධිපත්‍යය (Social Contract and Popular Sovereignty)

  3. කෙල්සන්ගේ මූලික සම්මතය සහ විප්ලවය (Kelsen’s Grundnorm and Revolution)

  4. සාමූහික වගකීම සහ "රංචු මනෝවිද්‍යාව

  5. ප්‍රකෝපවීම (Provocation) සහ ආත්මාරක්ෂාව

  6. විධායක සමාව පිළිබඳ නීති විද්‍යාව (Clemency/Pardon)

ඉහත දැක්වු කරනු 06 ඔස්සේම කතා කරන්නට උත්සාහ කරන්නේ අරගලය, එහි ප්‍රතිපලය හා ප්‍රතිපලයේ අදාලත්වය සමාජයක් මෙහෙයවන්නේ කෙසේද යන්න පිලිබදවය.

නීතිය යනු හුදෙක් පාර්ලිමේන්තුවක් මගින් ගොඩනගන  දෙයක් නොව, ජනතාවගේ ජීවගුණය (Volksgeist) තුළින් පරිණාමය වන්නක් යයි  විශ්වාස කරන්නෙකුට 2022 අරගලය සාධාරනීය කරනය කරන්නට හැකි වන්නේය.

එසේ අරගලය සාධාරනය කරන්නෙකුට, අමරකීර්ති ඝාතනයේ චුදිතයන් ඉතිහාසය මා නිදොස් කරනු ඇත" යන සංකල්පය මත පිහිටා චුදිතයන්ට සැබෑ විනිශ්චය ලැබිය යුත්තේ  අධිකරණයකින් නොව, 2022 නැගිටීම ජාතික පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වූවක්ද යන්න පිළිබඳව අනාගතයේ ලියවෙන ඉතිහාසය විසින් බවට තර්ක කල හැකිව තිබේ.

ඒ අනුව අනුර ජනාධිපති වරයා සහ ජවිපෙ අවංක දේශපාලනයක යෙදෙන්නේ නම් මෙම කරුණ අරබයා තම ස්ථාවරය රටට පැවසීම තාර්කික දේශපාලන සමාජයට පැවසීම තම අවංකත්වය පෙන්නුම් කිරීමක් ලෙස සැලකිය හැකිව තිබේ.

මෙහිලා ආණ්ඩුව මුහුන දෙන උභතෝකෝටිකය තේරුම් ගත හැකිව තිබේ.

 වත්මන් රජය 2022 අරගලය නීත්‍යානුකූල "විප්ලවීය මොහොතක්" ලෙස පිළිගන්නේ නම්, එහි සහභාගිවන්නන් "නිදහස් සටන්කාමීන්" වන්නේය.

නමුත් රජය එය පැරණි නීති රාමුව තුළ සිදුවූවක් ලෙස සලකන්නේ නම්, ඔවුන් "අපරාධකරුවන්" වන්නේය.

ඒ අනුව වත්මන් රජය සිටින්නේ අතරමැද චපල අවස්ථාවකය.

එනම් අරගලයේ ජනවරම භාවිතා කරමින්ම පැරණි රාජ්‍ය නීති යන්ත්‍රණය අරගලයේ ක්‍රියාකාරීන්ට එරෙහිව ක්‍රියාත්මක කිරීමට රජය හා පක්ෂය දරන චපල උත්සාහයයි.

මෙම චපලත්වය ඔවුන් මෙතෙක් සමාජගත කරන ලද්දාවු වාග් අලංකරනයන් නිශේදනය කරනු ලබයි.

ඔවුන් කීවේ 75 වසරක අදුරු ඉතිහාසය ජනඅරගලය හරහා අවසන් කොට අරගලයේ අභිලාෂයන් යථාර්ථයක් කිරීමට ජනතාවාදී නව පාලනයක් බිහිවී ඇති බවය.
නිර්මාල්ලා, උයන්ගොඩලා මෙම පරිවර්ථනය තම අදහස් දැක්වීම් තුල හුවා දැක්වුයේ සමාජය තුල සිදුවු මෞලීය වෙනස්කමක් ලෙසටය.

එය සැබෑවක් නම් එවැනි මෞලීය වෙනස්කමක් තේරුම් ගතයුත්තේ කෙල්සන්ගේ මූලික සම්මතය සහ විප්ලවය (Kelsen’s Grundnorm and Revolution) යන සංකල්පය ඇසුරෙනි.

අනුර තන්ත්‍රය ක්‍රියාත්මක විය යුත්තේද කෙල්සන් කියනා විප්ලවයේ ප්‍රතිපලයක් ලෙසටය.

හාන්ස් කෙල්සන්ගේ නීති විද්‍යාවට අනුව විප්ලවයකදී එනම් නිර්මාල්ලා කියන අප රට තුල සිදුවුනා යයි විස්තර කෙරන “අරගලය" තුලින් රාජ්‍ය පාලනයේ තීරණාත්මක හැරවුමක් ඇති වුවා නම් සිදුවිය යුත්තෙ පැරණි නීති පද්ධතිය (Old Grundnorm) වෙනුවට අලුත් නීතිමය ආකල්පයක් ආදේශවීමය.

නමුත් මෞලීය වෙනසක් නියෝජනය කරන අළුත් ආන්ඩුවට අමරකීර්ති නඩුවේ චුදිතයන් නිදහස් සටන්කාමීන් ලෙස හදුන්වන්නට තරම් දේශපාලන හයියක් පවතින්නේ නැත.

මේවන විට නීතිපති වරයා කටයුතු කරමින් සිටින්නේ ත්‍රිපුද්ගල මහාධිකරන තීන්දුවට එරෙහිව අභියාචනයක් කරමින් මරනීය දන්ඩනයට භාජනය වන ප්‍රමානය වැඩි කර ගන්නටය.

ඒ තුලින් පෙන්වන්නේ නව ආන්ඩුවේ පිට කවරය විප්ලවවාදී වුවද එය 75 වසරක පාලන සංස්කෟතියේම දිගුවක් බවය.

ඒම අත්දැකීම පසුගිය වසරක ඔවුන්ගේ පාලනය විසින්ම සමාජයට මේ වනවිට කදිමට තහවුරු කොට දී තිබේ.

එවැනි පසුබිමක නිර්මාල් වරෙක රූසෝගේ (Jean-Jacques Rousseau) ගේ සමාජ සම්මුතිය සහ මහජන පරමාධිපත්‍යය (Social Contract and Popular Sovereignty) සංකල්පයෙන් නයට ගෙන තමන්ගේම වර නැගීමක් ලෙස හුවා දැක්වු “ ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට අයිතියක් ඇත" යන අන්තගාමී සමාජ සම්මුතිවාදී තර්කය වෙනුවෙන් අනුර ජනාධිපතිවරයා හෝ ටිල්වින් සිල්වා ප්‍රමුඛ ජවිපෙ. පෙනී නොසිටිනු ඇත.

මක්නිසාද යත් දැන් පැලවත්තේ අභිප්‍රාය තමන්ට අහම්බෙන් ලැබුන මේ රාජ්‍ය බලය සදාකාලික කරගන්නටය.

එවැනි පසුබිමක වර්මාන රජය සිය පොරොන්දු ඉටුකිරීමට අපොහොසත් වන්නේ නම්, ජනතාවට තම මූලික බලය නැවත අත්පත් කරගත හැකිය යන 2022 දී මහජන අරගලය මගින් ලබා දුන් පුර්වාදර්ශය අනුර ජනාධිපති ප්‍රමුඛ ජවිපෙ රජයක් යටතේ තව දුරටත් යථාරතයක් වන්නේ නැත.

දැන් අනුර තන්ත්‍රය සිතන්නේද රනිල් සිතු විලසටමය.

එනම් දේශපාලන අවශ්‍යතාවය සහ අපරාධමය වගකීම අතර සීමාව තීරණය වන්නේ නීතියේ ආධිපත්‍යය (Rule of Law) මත බවටය.

ඒ අනුව අනුර තන්ත්‍රය දැන් ප්‍රත්‍යක්ෂවාදී පාලනයකට  (positivist rule) පරිවර්තනය වී ඇති සෙයක් පෙනති.

ඔවුන් තර්ක කරනු ඇත්තේ දේශපාලන අවශ්‍යතාවය මත මිනීමැරුම් සාධාරණීකරණය කළහොත්, නීතියේ ආධිපත්‍යය බිඳ වැටී "රංචු පාලනයක්" (Rule of the Mob) ඇතිවන බවයි.

මෙවැනි පසුබිමක රංචු පාලනය පිලිබද සංකල්පයද සංවාදයට ගැනීම වැදගත් වන්නේ 2022 අරගලය සමයේදී ජවිපෙ දැඩි ලෙස මෙම රංචු පාලනය උත්කර්ෂයට ගෙන එනු ලැබු නිසාය. ඔවුන් පාර්ලිමේන්තුවට ගිනි තියන්නට එන්නේ එම රංචු පාලනය පිලිබදව දැරු විශ්වාසය නිසාය.

නීති විද්‍යාව තුල අමරකීර්ති නඩුවේ චුදිතයන්ට එරෙහිව වරදකාරීත්වය ආරෝපනය කිරීම සදහා භාවිතා කරන්නේ සාමූහික වගකීම සහ "රංචු මනෝවිද්‍යාව" යන සංකල්පයන්ය.

ලංකාවේ නීතිය නියෝජිත වගකීම (Vicarious Liability) පිළිගනී. දණ්ඩ නීති සංග්‍රහයේ 146 වගන්තිය යටතේ "පොදු අරමුණක්" ඇති පිරිසකගේ සාමාජිකයෙකු මාරාන්තික පහරක් එල්ල නොකළද, මුළු කණ්ඩායමම ඝාතනයට වගකිව යුතුය.

නමුත් අරගලයේ නියමුවන් දැන් තර්ක කරන්නේ සමූහ ප්‍රචණ්ඩත්වයකදී පුද්ගලයාගේ ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව ගිලිහී යන බැවින් ඊට අදාල වගකීමද ලිහිල් විය යුතු බවය.

මෙය ආචාරධාර්මික ස්ථාවරයකි. එනම් රජයේ නීත්‍යානුකූල භාවය අරගලය මත පදනම් වූයේ නම්, එහිදී පැනනගින්නේ Estoppel (පූර්ව ක්‍රියාවකට පටහැනිව ක්‍රියා කළ නොහැකි වීමේ මූලධර්මය) පිළිබඳ ගැටලුවකි.

එනම් අරගලයෙන් බලය ලබාගෙන, එම අරගලකරුවන්ටම දඬුවම් කිරීම සදාචාරාත්මක නොවන බවයි.

එසේම මරනීය දන්ඩනයට නියම වුවන් වෙනුවෙන් ඉදිරිපත් වන නීතිමය වශයෙන් තවත් තර්කයක් වන්නේ, අදාළ ප්‍රචණ්ඩත්වය සිදු වූ මොහොතේ "හදිසි ප්‍රකෝප වීමක්" (Sudden Provocation) සිදු වූයේය යන්නය.

මැයි 09 වනදා අරලියගහ මන්දිරයෙන් පැමිණි පිරිස එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රචණ්ඩත්වය ඇති වූයේ නම්, එය දඬුවම ලිහිල් කිරීමට (Mitigating factor) හේතුවක් වන බවය.

නමුත් අනුර ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා ජාතික රාජ්‍යයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනතාක් දුරට එවැනි ස්ථාවරයක් ගෙන අදාල චුදිතයන් වරදකාරීත්වයෙන් නිදහස් කිරීමේ හැකියාවක් පවතින්නේද යන්න ප්‍රශ්නගතය.

මක් නිසාද යත් අනුර ජනාධිපතිවරයාද ජවිපෙය පාලක පක්ෂයක් ලෙසට මේවන විට ඇල්ම බැල්ම යොමුවනු ඇත්තේ නෛතික ප්‍රත්‍යක්ෂවාදය තුලින් ප්‍රශ්නය දෙස බැලීමටය.

එම ගුරුකුලයේ වු දාර්ශනකයන්වු ජෝන් ඔස්ටින් හෝ H.L.A. හාර්ට් වැනි චින්තකයන්ට අනුව "නීතිය යනු පවතින නීතියයි යන මග යමින් ඉහතින් යෝජනා කෙරන සදාචාරවාදී සත්‍ය සොයා යාමකට ආන්ඩුව පෙලඹෙනු ඇතයි සිතන්නට ඇති ඉඩ කඩ අවමය.

ඒ සදහා  ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයද  ඔවුනට පහසුවක් සපයනු ඇත.

ඒ අනුව, මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ සමූහයක සාමාජිකයෙකු වීම "පොදු අභිලාෂය" (32 වගන්තිය) යටතේ වරදක් වන නිසා දේශපාලන වාතාවරණය කුමක් වුවත් අකුරටම නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණයේ වගකීමට ආන්ඩුවද මුවා වෙනු නියතය.

එවැනි පසුබිමක අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයාගේ ඝාතනය සම්බන්ධ වැරදිකරුවන්ට සමාව දීමට අවස්තාවක් ලැබෙන්නේ නැත.

එසේ ලබා දෙන්නේ නම්, එය "පොදු යහපත" හෝ "නීතියේ සාධාරණත්වය" යන පදනම මත ඔප්පු කිරීමට රජයට සිදුවනු ඇත.

ඒ සදහා ජවිපෙ ප්‍රමුඛ අනුර තන්ත්‍රයට අරගලයෙන් පසුව සිදුවු පෙරලිය දේශපාලනික විප්ලවයක් බවට සමාජය ඉදිරියේද නීතිය ඉදිරියේද තහවුරු කල යුතුව තිබේ.
නමුත් ඒ සදහා ආන්ඩුව දැන් ප්‍රමාදය.

ඒ කියන්නේ වර්ථමාන ආන්ඩුවද අළුත් බෝතලයක අසුරා ඇති 75 වසරක් පදම්වු අරක්කු බව තහවුරු වන්නේය.

ආන්ඩුවට තිබෙන්නේ මේ පිලිබදව මුනිවත රකින්නටය.

නොඑසේව ඉදිරියෙදී ඇති විය හැකි කැරැලී මර්ධනයට ලහි ලහියේ ලකලැස්ති වීමය.

(සටහන | නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
slakthilaka@gmail.com

@ Shiral Lakthilaka ෆේස්බුක් පිටුවෙන්...

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අමරකීර්ති නඩුවේ තීන්දුවට අදාලව ජවිපෙට ස්ථාවරයක් ගත නොහැක්කේ ඇයි? | Shiral Lakthilaka | The Leader